සදහම් දැනුම
වහුමුවේ විජයවංස නා හිමි
ප්‍රශ්නය -
භාග්‍යවතුන් වහන්සේ අත්තකිලමථානු යෝගයෙහි නිරර්ථක භාවය
ප්‍රත්‍යක්‍ෂයෙන් දනිමින් දකිමින් එය අනුගමනය නොකළයුතු අන්තයක් වශයෙන්
හඳුන්වාදී ඇත. පැහැදිලි කරන්න.
පිළිතුර-
බුදුරජාණන් වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේ සමඟ උන්වහන්සේගේ දුෂ්කර
ක්‍රියා සමය පිළිබඳව කරන ලද ධර්ම සංවාදය අසා සිටි, නාගස මාල තෙරුන්
වහන්සේ සංවාදය අවසන් වෙනවාත් සමඟ ස්වාමීනී හරිම පුදුමයි. හරිම
ආශ්චර්යයි. එපුවත ඇසූ මගේ රෝම කූපයන් කෙළින් සිටියේ ය.
මේ ධර්ම පරියාය කුමක්ද යනුවෙන් බුදුරජාණන් වහන්සේ වෙතින් විමසූහ.
උන්වහන්සේ එසේ නම් නාගසමාල ඔබ මෙය ලෝම හංස ධර්මපර්යාය, නමින්ම මතක
තබාගන්නැයි වදාළහ. දුෂ්කර ක්‍රියාවක් වූ අත්තකිලමථානුයෝගය ඥාන දර්ශන
ලාභයට මඟක් නොව ලොමුඩැහැගන් වන අමිහිරි අමනාප තියුණු කටුක දුක්වේදනා
ගෙන දෙන්නක් බව මහාසීහ නාද සිහ සච්චක සූත්‍ර ඇසුරෙන් පැහැදිලි වෙයි.
බෝසත් සිරිතෙහි දක්නට ලැබෙන අසිරිමත් පුදුම සහගත ලක්‍ෂණය නම් අසා මහත්
වූ ලොමු ඩැහැගන්වන දුක්වේදනා වලිනුත් උන්වහන්සේ සිත්හි පසුබෑමක් හෝ
සත්‍ය ගවේෂණයෙහි බැහැරවීමේ අදහසක් හෝ ඇති නොවීමයි. අත්හදා බැලීම්
කරමින් වද වේදනා විඳිමින් උන්වහන්සේ තුළ ඇති වූ තත්ත්වය මජ්ඣිම
නිකායෙහි මහා සච්චක සූත්‍රයෙහි මෙසේ දැක්වෙයි.
අග්ගිවෙස්සන, මාගේ වීර්ය, ඇරැඹිණ.නොසැඟවිණ.
සිහි එළඹ සිටියේ ය. මුළා නොවී ය. ඒ දුක් සහ ගත පධන් වීර්යයෙන් පීඩාවට
පත් මාගේ ශරීරය වේදනා සහිත විය. නො සන්සුන් විය. මට ඇති වූ මෙවන් වේදනා
වලිනුත් මාගේ සිත යටපත් නොවී ය. නොපසු බස්නා වීර්යයෙන් නුමුළාව එළඹ
සිටි සිහියෙන් දිගින් දිගටම අත්තකිලමථානු යෝගයෙහි යෙදුණෙමි. පසුව එය
සම්බෝධියට මාර්ගය නොවන බව බෝසතාණන් වහන්සේ ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැන ගත්හ.
ප්‍රශ්නය -
බෝසතාණන් වහන්සේට පරම සියුමැලි කාමභෝගී ජීවිතයකට අදාළ සියලු සුව
පහසුකම් නො අඩුව පැවතිණි. එබඳු පිරිපුන් දිවි පෙවෙතක් තිබියදීත් මව්පිය
අඹුදරු නෑහිතමිතුරු දැසිදස් කම්කරු ආදී පරිවාරයන් ඇත්, අස්, ගවමහිෂ,
රන්රිදී, මසු, කහවනු ආදී සකල විධ වස්තු සම්භාරයත් නොතකා නොසිතා ගිහි
දිවිපෙවෙත හැරදමා පැවිදි වීමට අදහස් කළේ ය. උන්වහන්සේ තුළ මෙවැනි
අදහසක් ඇතිවීමට හේතුකාරක වූ කරුණු මොනවාද? ලෝකය පිළිබඳව කෙතරම්
ගැඹුරින් කල්පනාකොට තිබේද යන්න බුදු සිරිතේ විවිධ අවස්ථා වලදී දේශනා
කොට ඇත. පැහැදිලි කරන්න.
පිළිතුර
මේ සඳහා මජ්ඣිම නිකායේ අරියපරියේසන සූත්‍ර දේශනා සුත්ත නිපාතයේ සහ
අට්ඨකවග්ග අත්තදණ්ඩ සූත්‍ර තොරතුරු ඇසුරු කළ යුතු ය. ඒ අනුව බෝසතාණන්
වහන්සේගේ අභිනිෂ්ක්‍රමණයට හේතුකාරක උන්වහන්සේ තුළම හටගත් බව පසුව බුදු
හිමියෝ ශ්‍රාවක භික්‍ෂූන් වෙත ප්‍රකාශ කළහ. “මහණෙනි මම බුදුවීමට පෙර
නොබුදුව බෝසත්වම, තමා උපත ස්වභාව කොට සිටිද්දී උපත ස්වභාව කොට ඇති දේම
සෙවීමි. ජරාව ස්වභාව කොට සිටිද්දී ජරාව ස්වභාව කොට ඇතිදේම සෙවීමි.
ව්‍යාධි ස්වභාව කොට සිටිද්දී ව්‍යාධි ස්වභාවකොට ඇතිදේම සෙවීමි. තමා මරණ
ස්වභාව කොට සිටිද්දී මරණ ස්වභාව කොට ඇතිදේම සෙවීමි. තමා ශෝක ස්වභාව
ඇතිව සිටිද්දී ශෝක ස්වභාව ඇතිව සිටිද්දී කෙලෙසන ස්වභාව ඇතිදේම සෙවීමි.
ඒ මට මෙසේ සිත්විය. තමා ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක සංකිලේස ස්වභාව
ඇතිව සිටියදී මම කුමකට නම් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක සංකිලේස
ස්වභාව ඇති දේම සොයන්නේම්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක සංකිලෙස
ස්වභාවයන්ගෙන් තොර අතිඋත්තම නිර්වාණය සොයන්නෙමි.
මේ බෝසතාණන් වහන්සේට අභිනිෂ්ක්‍රමණය සඳහා හේතු කාරක වූ කරුණු ය.
අනුසෝතගාමී (පුහුදුන්) මිනිසුන් මෙන්ම බෝසත්තුමා ද ලෞකික සම්පත්
ආශ්වාදය නිසා ඒවා සෙවීම් රැස්කිරීම් ආදියෙහි නිරත වූ බව තමා විසින්ම
අවබෝධ කොට ගනියි. තවද සු.නි. අත්ත දණ්ඩ සූත්‍රාගත තොරතුරු අනුව,
බෝසතාණන් වහන්සේ ලෝකය පිළිබඳව කෙතරම් ගැඹුරින් කල්පනා කොට තිබේද යන්න
පැහැදිලි වේ.
මෙලොව පරලොව පවත්නා තාක් කාය, වාග් මනඞ දුශ්චරිත හටගනී. මේ කලහකාරී
ජනයා දෙස බලා මට සංවේගය ඇති වූ සැටි පවසමි.
මඳදියෙහි දඟලන මාළුවන් මෙන් උනුන් කෙරෙහි විරුද්ධවාදීව ක්‍රියා කරන්නා
වූ අය දැකීමෙන් මා තුළ ඇති වූයේ බියකි. ලොව හැම අතින්ම නිසරුය. චංචලය
තමනට රැකවරණය පිණිස ජාතිජරා මරණාදියෙන් නොමැඩෙන තැනක් නොදකිමි. සටන්
වදින්නෝ අවසානයෙහි වැනසෙති. මට ලෝකය පිළිබඳව නොඇල්ම ඇතිවිය. ඔවුන්ගේ
සිත් වල නොදැකිය හැකි රාගාදී සියුම් උල් දුටුවෙමි.
මේ සියල්ලට හේතුවන්නේ මිනිසුන්ගේ කාය, වාග්, මනඞ සමාචාර සමූහයයි. මේ
නිසා බෝසත් සන්තානයෙහි මහත් සංවේගයක් මෙන්ම ලෝකයට නො ඇල්මක් ඇතිවිය.
එහෙයින් උන්වහන්සේ නිස්සරණය සොයා නිෂ්ක්‍රමණය කළ බව ඉතා පැහැදිලි ය.
ප්‍රශ්නය
ගෘහවාසය සම්බාධක සහිත තැනක් වශයෙන් සලකා ඒවා පහසුවෙන් මඟහැරගැනීමට
පැවිද්ද ඉතා සුදුසු ය. එය අභ්‍යවකාශය මෙන් පැහැපත් ය. නිදහස් යැයි
සිතූ.
බෝසතාණන් වහන්සේ පැවිදිවීම මැනවැයි තීරණය කළහ. විස්තර කරන්න.
පිළිතුර
මජ්ඣිම නිකායේ අරියපරිසේන සූත්‍රාගත තොරතුරු වලට අනුව බෝසතාණන්
වහන්සේගේ පැවිද්ද මෙසේ සිදුවිය. ‘මහණෙනි, පසු කාලයෙහි මම භද්‍ර
යෞවනයෙන් යුතුව ප්‍රථම වයසෙහි කළු කෙස් ඇති තරුණයෙක්වම මව්පියන්
නොකැමැතිව සිටිද්දී කඳුළු වැකි මුහුණින් හඬද්දී කෙස් රවුල් කපා කහවත්
හැඳ ගිහිගෙයින් නික්ම අනගාරික පැවිද්දට පැමිණියෙමි.
ඉහතින් සඳහන් කළ පරිදි බෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය සිදුවූයේ,
එකුන් තිස්වන වියෙහිදී ය. මෙය ලෝකයට බියෙන් පලායාමක් නොව ලෝක ගැටලුවලට
විසඳුමක් සෙවීමේ ආරම්භයක් විය. අනිත් අතට පෞද්ගලික ගැටලුවක් නොව පොදුවේ
සියලු සත්වයන් මුහුණ පා ඇති ගැටලුවක් ද විසදීමට කළ උත්සාහයකි.
ලෝකය හා ජීවිතය පිළිබඳව ගැඹුරු විචාරයකින් එළඹගත් පරාර්ථකාමී තීරණයක්
වුවත් මෙය ක්‍රියාත්මක කිරීම එතරම් පහසුකාර්යක් නොවූ බව පෙනේ.
මව්පිය, අඹුදරු, නෑ හිතමිතුරු වටා පිටාවෙන්ද කෙත්වතු හා ධන නිධාන මෙන්ම
වගකීම් වලින්ද බැඳී සිටි උන්වහන්සේට ඔවුන්ගේ අනුමැතිය සහිතව
ප්‍රසිද්ධියේ එවැනි නික්මීමක් නොකළ හැකි බව පෙනීයන්නට ඇත. කෙසේ නමුත්
ආත්මාර්ථය ට වඩා ලෝකහිතාර්ථය කළ යුතුම යුතුකමක් හා කාර්යයක් වූ බැවිනි.
අනුන්ගේ අනුමැතියක් නොපතා හුදකලාවම තම අභිමතය පරිදි සියල්ලම සිත මෙන්ම
ගතින්ද ඉවත්කොට හද සැහැල්ලු කරගත් බෝසතාණෝ හිතවත් රියදුරා පමණක් සමඟ
මැදියම් රැයේ මාලිගයෙන් නික්ම අදුරෙහිම ගමන් ඇරඹීය. අතේ කහවණුවක් නැතිව
හුදකලාව සත්‍ය සොයා ගිය උතුරාගිය තාරුණ්‍යයෙන් හෙබි රාජකුමාරයා
අභිනිෂ්ක්‍රමණය කළහ. මේ වූ කලි ලෞකික සැප විඳ නිමකළ මහල්ලකු තවුස්දම්
රකින්නට ගිය ගමනක් නොවේ. එමෙන් ම අත්හරින්නට කියා කිසිවක් නො තිබුණු
දුගී දුප්පත් තැනැත්තෙකුගේ පැවිදීමක් ද නොවේ. සෞභාග්‍යයෙන් සශ්‍රීක වූ
ප්‍රභාශ්වර යෞවන වයසේ පසු වූ රාජකුමාරයකු කළ අභිනිෂ්ක්‍රමණයෙකි. මෙබඳු
අභිනික්මනක් මානව ඉතිහාසයේ තවත් නොවී ය. |