Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බිනර මහිම

සංස්කෘතයේ ද, පාලියේ ද, මිශ්‍ර සිංහලයේ ද “අභි” යන උපසර්ගය යෙදෙන්නේ, උසස් නොහොත් උතුම් යන අර්ථයෙනි. ඒ අනුව අභිධර්මය යනු ඉතා උසස් නොහොත් ඉතාම ගාම්භීර ධර්මයකි. ශුද්ධ සිංහලයේ දී අභිධර්ම යන්න ‘බිදම්’ යනුවෙනුත්, බියන්නට වියන්නත් ද යන්නට ජයන්නත් ආදේශ වීමෙන් පැරැණි සිංහලයේ දී විජම් යනුවෙන් යෙදේ.

උතුම් වූ ධර්මය බිදම් යනුවෙන් හැඳින්වෙන නිසා උතුම් වූ නරයා නොහොත් උතුම් මිනිසා යන තේරුම බිනර යන්නෙන් ලැබේ. ඉතාම උතුම් තත්ත්වයට මිනිසකු පත්වන්නේ රහත් වීමෙනි. කෙනකු බුදුවන්නෙත්, පසේ බුදු වන්නේත් රහත් වීමෙනි.

බුදු, පසේ බුදු, මහරහතන් අතර ප්‍රමාණාත්මක හා ගුණාත්මක වෙනස්කම් භෞතික ලෙස දක්නට ලැබෙන්නේ හැම දෙයක්ම ප්‍රමාණ කොට මැනිය හැකි භෞතික නොහොත් ලෞකික ලෝකයේ දී පමණි. ලොකොත්තර නිවනේදී ඔවුනතර එබඳු භෞතික වෙනස්කම් නැත. මැනිය හැකි, කිරිය හැකි සංසන්දනය කළ හැකි ප්‍රමාණාත්මක වෙනස්කම් භෞතික ලෝකයේ විවිධ දේ අතර තිබුණද භෞතිකත්වය මුළුමනින්ම ශූන්‍ය වූ නිවනේ දී බුදු පසේ බුදු මහරහතන් වහන්සේ අතර එබඳු සංසන්දනාත්මක කිසි වෙනසක් නැත. එසේම උන්වහන්සේ තුළ එසේ සංසන්දනය කළ හැකි වෙනම ආත්මයක් හෝ පුද්ගල භාවයක් ද නැත. “අත්ථි නිබ්බුතිත නිබ්බුතො” යන බුද්ධඝෝෂ පාඨය අනුව නිවනක් තිබුණ ද නිවන දුටු කෙනකු, නිවනේ දී වෙනම දක්නට නැත.

නිවන අභෞතික ධර්මයකි. භෞතික වස්තු හා පුද්ගලයන් නිපදවන පඨවි, ආපො, තෙජො, වායො යන සතර මහා භූතයන් නිවනේ නැති බව දීඝ නිකායේ කේවට්ඪ සූත්‍රයේ එන එකළ ආපොච පඨවි තෙජො වායො න ගාධති, යන බුද්ධ පාඨයෙන් කියැවේ. එම සූත්‍රයේ එන ‘අනිදස්සනය’ යන පාඨයෙන් කියැවෙන්නේ නිවනෙහි කිසිවක් දක්නට නැති බව ය. එසේ ම ‘එත්ථ නාමඤ්ච රුපඤ්ච අසෙසං උපරුජ්ඣති’ යන බුද්ධ පාඨයෙන් කියවෙන්නේ පුද්ගලභාවය ගෙනදෙන නාමරූප දෙකම නිවනේදී නිරුද්ධවන බව ය.

රහතන් වහන්සේ කෙනෙකුගේ ‘අභිතර’ නොහොත් ‘බිනර’ යන උත්තරීයතම මනුෂ්‍යත්වයට හේතුවන්නේ උන්වහන්සේ අතර ආරිය සංඝ නමින් හැඳින්වෙන සමස්ථාත්ම භාවයක් මිස පෞද්ගලික ආත්මභාවයක් නැතිකමය. ඔවුහු සමස්තයෙන් වෙන් වූ වෙනම පුද්ගලයන් ය. යන ‘පෘථග්ජන’ නාමයෙන් හැඳින්විය නොහැකි ආරියෝ වෙති. ආරිය සංඝයා වෙති. රහත් බවේ බිනර මහිමය එයයි.

ඉතාම උසස් නරයන් නොහොත්, බිනරයන් ලෙස හැඳින්විය හැකි වන්නේ නිවන දුටු රහතන් වහන්සේ පමණි. වස්සාන කාලය ආරම්භයේ එන ඇසළ, නිකිණි වැනි මාසවලදී නිරන්තරව භාවනානුයෝගීව වසන භික්‍ෂූන් වැඩි දෙනකු රහත් වී බිනරයන් බවට පත් වන්නේ ඇසළ හා නිකිණි මාසවලින් පසුව උදාවන බිනර මාසයේ දී ය. එම නිසා ඒ මාසය ‘බිනර’ නමින් හැඳින්වීම අර්ථාන්විත ය.

රහතන් වහන්සේගේ විශේෂ ලක්ෂණයක් වන්නේ බාහිර භෞතික ස්වරූපයන්ගෙන් සාමාන්‍ය නරයන් වුවත් අභ්‍යන්තර නොහොත් අධ්‍යාත්මික ස්වරූපයෙන් නර බව ඉක්ම වූ අභිනජයන් නොහොත් බිනරයන්යැයි කියහැකි සුවිශේෂි පුද්ගලයන් වීම වේ.

පෞද්ගලිකත්වය නමැති පුද්ගලභාවය ඉක්ම වීම යනු සමස්තයෙන් වෙන්වූ පෘථග්ජන භාවයට පදනම් වන මමත්වය නොහොත් තමා අන් සියල්ලන්ගෙන් හා සියල්ලෙන් වෙන් වූ වෙනම පුද්ගලයෙක් යැයි යන හැගීම මුළුමනින්ම දුරු වුවත් වීම වේ.

උසස් නොහොත් විශිෂ්ඨ යන තේරුම දෙන ආරිය නාමයෙන් රහතන් වහන්සේ හඳුන්වනු ලබන්නේ උන්වහන්සේ දරන අබිනර ස්වරූපය කරණකොට ගෙනය.

අරිය අෂ්ටාංගික මාර්ගය යනු ඒ අබිනර ආරිය ස්වරූපය වර්ධනය වන මාර්ගය යි. ‘මග්ගමත්ථි ගමිකො නවිජ්ජති’ යන බුද්ධඝෝෂ පාඨයෙන් කියැවෙන්නේ එබඳු මගක් තිබුණද එහිද ගමන් කරන්නකු දක්නට නැති බව ය.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ප්‍රථම සන්ධිස්ථානය සෝවාන් ඵලයයි. සෝවාන් ඵලයේදී මූලික වශයෙන්ම සිදුවන්නේ් මමය මාගේ ය කියන මමත්වය ඇතිකරන ‘සක්කාය දිට්ඨිය’ දුරුවීම ය.

එමනිසා මමත්වය දුරුව සමස්ථත්වයට නොහොත් ආරිය සත්‍ය නමැති සාමුහිකත්වයට පත් සෝවාන්, සකදාගාමී, අනාගාමී අරහත් යන සියලු ආරිය උතුමන් ‘බිනර’ නමින් හැඳින්විය හැකිය. වස්සාන කාලයේ අවසානයට ළංවන බිනර මාසය, බොහෝ සෙයින් සෝවාන්, සකෘදාගාමි , අනාගාමි සහ අරහත් යන බිනරයන් බිහි විය හැකි මාසයකි.

බුද්ධ කාලයේදී මෙන්ම අදත් වස්සානයේදී වස් වසන භික්ෂුන් සිටියදී බිනර මාසයේදී සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන ආරිය අබිනරයන් නොහොත් බිනරයන් බිහිවන බව අසන්නට නැත්තේ සැබෑ වශයෙන්ම භාවානානුයෝගීව වැඩ වසන යෝගාවචර භික්ෂුන් දන්නට නැති නිසා විය යුතුය. එසේම බොහෝ භික්ෂූන් ලෝකෝත්තර මාර්ගයෙන් බැහැරව ලෞකික මාර්ගයට වැටී සිටින නිසා විය යුතු ය.

මමත්වය මුල් කරගෙන ආත්මීය හැඟීමකින් තමාගේ් අධ්‍යාත්මික හෝ ලෝකෝත්තර අභිප්‍රාය ඉටුකර ගන්නා අභිමතාර්ථයෙන් කෙරෙන භාවනාවක් පදනම් කරගෙන සිදුවන්නේ ආත්මිය හැඟීම තවදුරටත් තරකර ගැනීම මිස ආත්මීය බාවයෙන් මිදී අභිනර බවට පත්ව ආර්ය ස්වරූපයෙන් නිවන් දැකීම නොවේ.

නිවන යනු සිතක් සපුරා නිවී යෑම ය. එසේ සිතක් නිවී යන්නේ ආත්මීය හැඟීම නොහොත් මමත්වය පදනම් කරගත් ආත්මාර්ථකාමි ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරාදිය දුරු වී, පරාර්ථකාමි මෛත්‍රී කරුණා දයා ආදී සිසිල් චිත්ත ස්වරූප පහළ වන තරමට ය. එබඳු සිසිල් සිත් පහළ වන්නේ අකුසල මූල ලෙස සලකන ලෝභ, දෝස, මෝහ තුනී වූ තරමට ය. අංගවික නොවූ, මන්දබුද්ධික නොවූ සෑම සාමාන්‍ය මිනිසකුම ලෝහ, දෝස, මෝහ දුරු වූ අලෝභ, අදෝස, අමෝහ පාදක ත්‍රිහේතුක ප්‍රතිසන්ධි කුසල චිත්තයකින් මනුෂ්‍යාත්මකභාවයක් ලබා ඇති බව යි ධර්මයෙහි කියැවෙන්නේ.

එම නිසා අපගේ ප්‍රකෘති මනුෂ්‍යත්වයෙහි ඇත්තේ සියලු අකුසල්වලට පදනම් වන ලෝබ, දෝස, මෝහයන් ගෙන් දුරු වූ අභිනර නොහොත් බිනර බවකි. විදර්ශනා භාවනාව යනු මෙම බිනර භාවය පාදා ගන්නා බෞද්ධ මාර්ගය යි.

එම නිසා බිනර මහිමය පහළ වන්නේ විදර්ශනා භාවනාව මගිනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.