එම පින්කමේ ප්‍රධාන දායකත්වය දැරූ අවිස්සාවේල්ල මුණ්ඩිගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලෑවේ මහින්ද හිමියෝ පින්කමේ අරමුණ මෙසේ පැවැසූහ. “සුනාමි ව්‍යසනයෙන් පීඩා විඳි නැගෙනහිර අහිංසක ජනතාවගේ නිවාස කීපයක් සාදා දීමේ අදහසින් මම 1995 දී අම්පාර පානම ප්‍රදේශයට ගියා. ඒ සඳහා ලැබුණු අක්කර 200 ක භූමිභාගයක මම නිවාස 12 ක් හදන්න පටන් ගන්නා විට තවත් දායකයෝ ඊට එක් වුණා. මගේ නිවාස 12 ඉදිකර ඔවුන්ට පරිත්‍යග කරන දිනය වනවිට එහි නිවාස 65 ක් ඉදිවෙමින් තිබුණා. අද වන විට එහි නිවාස 116 ක් පමණ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ඉදිවී තිබෙනවා. ඒ පානම කුරුළු පොකුණ ගම්මානයයි. මේ ප්‍රදේශයේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේගේ අඩුවක් පවතිනවා. පොතුවිල් මුදා මහා විහාරයේ, ලාහුගල සහ ශාස්ත්‍රවේල විහාරස්ථානයේත් දෙතුන් නමක් වැඩ හිටියත් සාංඝික දානයක් පූජා කරන්නට මොණරාගල සිට ස්වාමීන් වහන්සේ වැඩම කළ යුතුව තිබුණා. එහෙත් කිලෝමීටර් 87 ක් පමණ වූ ඒ දුරට අඩුතරමින් ත්‍රිරෝද රථයකට රුපියල් තුන්දහස් පන්සියයකවත් මුදලක් ගෙවිය යුතු වුණා. ඒ නිසාම ගමේ අහිංසක බෞද්ධයකුට සංඝගත දක්‍ෂිණාවක් පිරි නැමීමේ කාර්යය පහසු වූයේ නෑ. කලකට පෙර පොතුවිල් බෝධිරාජාරාමයේ ආරම්භ කළ භික්‍ෂු අභ්‍යාස මධ්‍යස්ථානයක් තිබී ඇතත් කළබලකාරී තත්ත්වය (එල්.ටී.ටී.ඊ. උවදුර) නිසා ඒවා වැසී තිබුණා. මේ අතර ශාස්ත්‍රවෙල බෝධිගිර විහාරස්ථානයේ ඉදිකළ ශාලාවක මෑතකදී පිරිවෙනක් ආරම්භ කර තිබුණත් මා එහි ගිය කීප අවස්ථාවකම වැඩ සිටින කුඩා සාමණේර භික්‍ෂූන් වහන්සේට නිතර නිතර දාන වේල වරදින අයුරු දැක්කා. එහි නේවාසික භික්‍ෂූන් 18නමක් සිටිය අවස්ථා කීපයකදී වියළි සලාක යැව්වත් එය ස්ථිර පිළියමක් නොවන බව පෙනීගිය බැවින් පානම කුඹුරු යායෙන් කුඹුරක් මිලට ගෙන පූජා කිරීමට අදහස් කළ බව පැවැසූහ. පානම ශාස්ත්‍රවෙල මණිනාග පබ්බත බෝධිගිර විහාරාධිපති වෙල්ලස්ස දිගාමඩුල්ල දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පානම ශ්‍රී චන්දරතන නාහිමියෝ මෙසේ පැවැසූහ. නැගෙනහිර අම්පාර පානම පත්තුවේ ශාස්ත්‍රවෙල මණි නාග බෝධිගිර පුරාණ රජමහා පිරිවෙන් විහාරය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක්. මහාදාඨිය මහා නාග යුවරජතුමා රහතන් වහන්සේ 500 නමකට පූජා කරන ලදැයි සැළකෙන මෙම විහාරස්ථානයේ පෞරාණික බිතුසිතුවම් අදත් තිබෙනවා. ලෙන් ලිපි, කුටි ලිපි හා ගිරිලිපි සහිත නෂ්ඨාවශේෂයන් අදත් දක්නට තිබෙනවා. වනගතව තිබුණු මෙම පුදබිම 70 දශකයේ දී බෞද්ධයන්ට වැඳුම්, පිදුම් කිරීමට සුදුසු වන අයුරින් සැකසුනත් 80 දසකයේ දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී උවදුරු නිසා වල්බිහිවුණා. නැවතත් 2003 වසරේ දී ප්‍රතිසංස්කරණය කළත් 2004 සුනාමි ව්‍යසනයෙන් ඊට අයත් සියලුම සම්පත් විනාශ වී ගියා. අම්පාර දිස්ත්‍රික්කයේ සුනාමියෙන් විනාශයට පත් එකම විහාරස්ථානයද මෙයයි. ශාස්ත්‍රගල විහාරස්ථානයට කිසිදු දේපලක් නැතිව ප්‍රත්‍ය පහසුකම් සළසා ගැනීමද ඉතා අපහසු තත්ත්වයක සිටියදී අසරණයින් සොයමින් ඔවුන්ට දැඩි කැමැත්තකින් නිරතුරුවම උපකාර කරන මුණ්ඩිගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලෑවේ මහින්ද හිමියන් මෙම ස්ථානයට පැමිණියා. ඒ උන්වහන්සේ කුරුලන් පොකුණ ගම්මානය ඉදි කරමින් සිටි අවස්ථාවේ දී ය. “එදා ඒ සඳහා දැඩි කැපවීමක් කළ උන්වහන්සේ ඇතැම් දිනවල නිවාස ඉදිකිරීමට වඩු කාර්මිකයින් පෙදරේරුවන් ඇතුළු පිරිස් කැඳවාගෙන විත් ඔවුන් සේවය කරද්දී තම දෑතින් ඔවුන්ට ආහාර පිළියෙළ කර සංග්‍රහ කළා. මේ මහා වනය මැද දුක් කරදර විඳිමින් වැඩ කළ අයුරු අපි දුටුවා.” “එක දවසක් මට කථාකළ මිල්ලෑවේ මහින්ද ස්වාමීන් වහන්සේ මට තවත් පින්කමක් කරන්න ඉඩ සළසාදෙන්න කියා ඉල්ලීමක් කළා. ඒ මේ ශාස්ත්‍රගල පිරිවෙන් විහාරස්ථානයේ වැඩවසන භික්‍ෂූන් වහන්සේලාට ප්‍රත්‍ය පහසුව සළසා ගැනීමට කුඹුරු ඉඩමක් පූජා කිරීමට අවශ්‍ය බවයි.” “ඒ අනුව පානම කුඹුරු යායෙන් මෙම අක්කර 03 ක කුඹුර මිලට ගෙන පැසුණු ගොයමින් යුතු මෙවන් අවස්ථාවක දසදෙසින් වැඩම කළ එකසිය පනහකට අධික මහා සංඝරත්නයද ප්‍රදේශවාසී රාජ්‍ය නිලධාරීන්ගේ ද, ප්‍රභූ බෞද්ධ ජනතාවගේ ද සහභාගීත්වයෙන් මෙම මහා පින්කම සිදු කිරීමට අවස්ථාවක් උදාවුන බව පැවැසූහ. කොළඹ සම්බෝධි විහාරාධිපති දරණගම කුසලධම්ම කනම්පැල්ලේ ආනන්ද යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයද නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී දයා ගමගේ, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.පී.පී. ආයුපාල ආරුගම්බේ විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර අධිනීතීඥ රාජ මුන්දනායක, නීතිඥ ලොකු ලියනගේ ලාහුගල ප්‍රාදේශීය සභාවේ සභාපති සිල්වා විපක්‍ෂ නායක ආර්. චන්ද්‍රසේන යන මහත්වරුන් ඇතුළු විශාල ප්‍රභූ පිරිසක් ද එම ප්‍රජා මහෝත්සවයට එක් වී දායකත්වය දැක් වූහ.
|
|||
©
2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම |