UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්මාවබෝධයේ පදනම

බුදුහිමියන්ගේ ප්‍රථම ධර්ම දේශනය වන ධම්මචක්කප්පවත්තන සූූත්‍රය ඇසූ තවුසන් පස් දෙනා අතුරින් බුදුදහම අවබෝධ කරගත් එකම ශ්‍රාවකයා වූයේත්, එසේම බුදු හිමියන්ගේ ප්‍රථම ශ්‍රාවකයා බවට පත් වූයේත් කොණ්ඩඤ්ඤ තවුසාණන් ය.

තවුසන් පස් දෙනකු අතරින් එකම එක තවුසකුට පමණක් බුදුදහම අවබෝධ වී අනෙක් තවුසන් හතර දෙනාට බුදුදහම අවබෝධ නොවූයේ ඒ හතරදෙනාම බ්‍රාහ්මණ ධර්ම ඥානයෙන් ඉතා දැඩි ලෙස දෘෂ්ටිගත වී සිටි බැවිනි. ඔවුන්ගේ එම බ්‍රාහ්මණ ධර්ම ඥාණය බුද්ධධර්මාවබෝධයට හරස්වන මහා පවුරක් බඳු විය. බුදුදහම අවබෝධකර ගත හැක්කේ ඥණයෙන් නොව ප්‍රඥාවෙනි. ඥානයෙන් සිදුවන්නේ දෘෂ්ටිගත වීමය.

දෘෂ්ටියනු ඥානය පදනම් කරගත් මතවාදයන් ය. මතවාදයන් යනු දැනුම පදනම් කරගත් පූර්ව නිගමනයන් ය. විද්‍යාත්මක ආකල්පය වන්නේ පූර්ව නිගමන යන්ට වහල් නොවී යමක ඇත්ත නැත්ත යථාර්ථවාදීව විමසා බැලීමය.

බුදු දහම අවබෝධ කරගත හැක්කේ දෘෂ්ටිගත නො වූ නොහොත් පූර්ව නිගමනයන්ට වහල් නොවූ විද්‍යාත්මක විනයකින් සංවර වූ විවෘත දර්ශනයක් ඇත්තන්ට පමණක් බවය. දිට්ඨිං ච අනුපගම්ම සීලවා දස්සනෙත සම්පන්නො යන කරණීය මෙත්ත සූත්‍ර පාඨයෙන් කියවෙන්නේ.

බුද්ධත්වයේදී බුදු හිමියන්ගේ බුදු ඇසට ලක් වූයේ ඉන් පෙර අසා රැස්කරගෙන තිබුණු ධර්ම ශ්‍රැති ඥානයට ගෝචර නොවන පෙර නොඇසූ විරූ අපූරු දහමක් බවය. ‘පුබ්බේසු අනනුස්සුතෙසු ධම්මේසු චක්ඛුං උදපාදි’ යන ධම්මචක්කප්පවත්තන සූත්‍ර පාඨයෙන් කියවෙන්නේ. එම නව දර්ශනය උදාවීම අලුත් ඇසක් නොහොත් තෙවන ඇසක් පහළ වීමක් බවය ‘චක්ඛුං උදපාදි’ යන පාඨයෙහි රූපකාර්ථයෙන් කියවෙන්නේ. අන්තර් ඤාණය නමින් හැඳින්වෙන්නේද මෙම නව නුවණැ ය. ප්‍රඥා චක්ෂුව නොහොත් පැණැස නමින් හැඳින්වෙන නුවණැසය. මගඵල නොලද හැම කෙනෙකු තුළම මේ නුවණැස නිසගයෙන්ම ඇත්තේ මෝහාන්ධකාරයෙන් හා අවිද්‍යාන්ධකාරයෙන් වැසීගෙනය.

අප හැම කෙනෙකු තුළම නිසගයෙන් පිහිටා ඇති මෙම නුවණැස නොහොත් ධර්මය දකින ධර්ම චක්ෂුව නමැති දහම් ඇස බුදුදහම මුල්වරට ඇසූ කොණ්ඩඤ්ඤ තවුසාණන් තුළ අවිදි වූ බවය. ධම්මචක්කප්පවත්න සූත්‍ර දේශනාව අවසානයේදී සඳහන් වන ‘ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්ම චක්ඛුං උදපාදි යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරොධ ධම්මන්ති’ යන පාඨයෙන් කියවෙන්නේ.

‘විරජං වීතමලං’ යනුවෙන් කියවෙන්නේ කෙලෙස් මගින් තොර දහම් ඇසෙහි පරම පවිත්‍රභාවයයි. මෙහි දහම් ඇස යනු නිකෙලෙස් සිතයි. කෙලෙස් මලින් බිහිවෙන සිතුවිලි නමැති සංස්කාර ධර්මයන්ගෙන් තොර වූ සිතයි. නොසිතන සිතයි. සිතීමෙන් තොරව දැකීමෙන් පමණක් යුක්ත අලුත් ඇසක් නොහොත් තෙවෙනි ඇසක් බඳු සිතයි. දැනෙන දේ ගැන නොසිතමින් දැනෙන දේ දනිමින් පමණක් ඉන්නා සිතයි. දැනෙන දේ ගැන සිතන්නට වන්නේ කෙලෙස් මළ ඇවිස්සී සිත අපිරිසිදු වුවහොත් පමණි.

යං කිඤ්චි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මන්ති’ යනුවෙන් කියවෙන්නේ ඇතිවෙන සෑම දෙයක්ම නැතිවෙන සැටි දහම් ඇසට පෙනෙන බවයි. නැතහොත් සුපිරිසුදු නොහොත් නොසිතන සිතට දැනෙන බවයි. සිතට දැනෙන්නේ සිතේ් පහළ වන හැම ධර්මයක්ම ඇති වූ සැණින් නැති වී යන බවයි. ක්‍ෂණභංගූරත්වයට පත්වන බවයි.

ඇතිවෙන සෑමදෙයක්ම නැති වී යාම සිතට පමණක් නොව අනත්තාපරිමාණ මුළු මහත් විශ්වයටම පොදු ධර්මතාවයකි. ඉන් කියවෙන්නේ විශ්ව සාධාරණ අනිත්‍යතාව යි. යමක් අනිත්‍ය නම් එයම දුක්ඛ බව හා යමක් දුක්ඛ නම් එය අනාත්ම බවය සංයුක්ත නිකායේ එන යදනිච්ච සූත්‍රයෙහි සඳහන් ‘යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තදනන්තා’ යන බුද්ධ පාඨයෙන් කියවෙන්නේ. මෙම පාඨයෙහි අන්තර්ගත වන්නේ විශ්වාසධාරණ ත්‍රිලක්ෂණයේ ඒකාබද්ධතාව නොහොත් අනොන්‍යසම්බන්ධතාවය යි. අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු එකම ධර්මතාවය එකිනෙකට සම්බන්ධ ධර්මතා තුනක් බවයි.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයේ මධ්‍ය ලක්ෂණය වන්නේ චතුරාර්ය සත්‍යයේ පදනම වන දුක්ඛ සත්‍යයයි. විශ්ව සාධාරණ දුක්ඛ ලක්ෂණයේ හේතුව විශ්ව සාධාරණ අනිත්‍ය ලක්ෂණයයි. එහි ඵලය විශ්වාසාධාරණ අනාත්ම ලක්ෂණය යි.

අනිත්‍යතාව ලෙස දැක්වෙන්නේ විශ්වය තුළ ඇති හැම දෙයක්ම ඇතිකර දිරාපත්කර නැති කරන විශ්ව ශක්තියේ සක්‍රියභාවය යි. අනිත්‍යතාව යනු සකී‍්‍රයත්වය යි. විශ්ව ශක්තියේ නිරන්තර සක්‍රියභාවය නොහොත් ක්‍රියාත්මකභාවයේ ඵලය වන්නේ හැම දෙයක්ම විශ්ව ශක්තියේ සක්‍රීයත්වය නිසා නිරන්තරවම වෙනස් වෙමින් විපරිණාමයට පත් සමයි. අප තුළත් අප අවටත් පවතින තත්ත්වය නිරන්තරවම වෙනත් තත්ත්වයකට පත් වෙන බව ‘ඨිකස්ස අඤ්ඤථත්තං විඤ්ඤායති’ යනුවෙන් බුදු හිමියන් විසින් පණවන ලද්දේ මෙම විපරිණාම දුක්ඛයම ය.

අනාත්මතාව යනු විශ්වසාධාරණ සක්‍රීය විපරිණාම ධර්මතාවය නිසා කිසිවකට හෝ කිසිවකුට සදාතනික ආත්මයක් ලෙස හැඳින්විය හැකි නිත්‍ය අනන්‍යතාවක් නැති බවයි. මමය මාගේ යැයි කියත හැකි ස්ථිරතාවක් නොහොත් නිත්‍යතාව නැති බවයි. එම නිසා අනාත්මතාව යනු අනිත්‍යතාවයම ය.

තමන් තුළ නිත්‍ය අනන්‍යතාවක් නොහොත් නිත්‍ය ආත්මයක් නැති බව අවබෝධ වන්නේ සෝවාන් ඵලයේදී සක්කායදිට්ඨිය දුරුවීමත් සමඟම ය. දිට්ඨිය යනු මතයක් නොහොත් නිගමනය යි. සක්කාය යනු සක + කාය නොහොත් තමන්ගේ ගොඩ යන්නයි. සක යනු තමන්ගේ යන්නයි. ජනකායක් යන තැන්හි එන ‘කාය’ යනු සමූහයක් නොහොත් ගොඩක් යන්නයි. සෝවාන් නොවූ අය තමන්ගේ ගොඩ යැයි සිතා ඉන්නේ තමන්ගේ සිත හා කය යන නාමස්කන්ධය හා රූපස්කන්ධය යි.

තමන් ය නැතහොත් තමන්ගේ ය සිතා සිටින සිත කය දෙක නිතරම වෙනස්වන සැටි විමසිල්ලෙන් හා නිරන්තර අවධානයකින් බලා සිටීමය , විදර්ශනා භාවනාවෙන් කෙරෙන්නේ. නිරන්තරව වෙනස්වන විශ්ව ශක්ති ගොනුවක් මත තමන් තුළ තමන්ය නැතහොත් තමන්ගේ යැයි රඳවාගත හැකි කිසිවක් නිත්‍යව නැති බව අවබෝධ වීමය, නිර්වාණාවබෝධයට පදනම් වන්නේ. එම අවබෝධය ලැබෙන්නේ පරණ දැනුමෙන් හිස පුරවාගත් ඥානවන්තයන්ට නොව තියුණු සංවේදීතාවයකින් යුක්ත විඥානවන්තයන්ට බවයි ‘වෙදි තබ්බො විඤ්ඤුහි’ යන පාඨයෙන් කියැවෙන්නේ.

විඤ්ඤාණවන්තයන් යනු ඥානවන්තයන් නොව ප්‍රඥාවන්තයන් ය. ඥානය ඉක්මවා ගිය සංවේදීතාවක් ඇත්තන් ය. බුදුදහම අවබෝධ වන්නේ එබඳු තියුණු සංවේදිතාවකින් යුක්ත ප්‍රඥාවන්තයන්ට නොහොත් නුවණැත්තන්ට බවය. ‘’පඤ්ඤාවන්තස්ස අයං ධම්මො’’ යන බුද්ධ පාඨයෙන් අදහස් වන්නේ.

ප්‍රඥාව යනු ඥානය නොවේ. ඥානය යනු අතීතයේදී ලත් අත්දැකීම් මගින් රැස්කරගත් දැනුම් සම්භාරය නොහොත් මතක සටහන් සම්භාරය යි. අපගේ මොළයෙහි තැන්පත්ව ඇති මෙම මතක සටහන් අයත් වන්නේ අපගේ අතීතයටයි. ඒ අතීතය මියගොස් ඇති නිසා ඒ පිළිබඳ මතක සටහන්ද මොළයේ වළ දැමු මළමිනි වැනිය. එම නිසා ඥානය නමැති අතීත මතක සටහන් අවදිවීම මළ මිනී අවදිවීමක් වැනිය.

ඥානය මියගිය අතීතයට අයත් වූවත් ඒ ඒ ජීවමාන මොහොතේ ර්‍ථනයෙන් තොරව ක්ෂණිකව මතුවන ප්‍රඥාව සජීවී ක්ෂණික අවබෝධයකි. එය ඥානය පදනම් කරගෙන කර්කානුකූලව සිතමින් ඇතිකරගන්නා අවබෝධයක් නොවේ.

ඥානය නමැති මතක සටහන් අවදිකරගෙන සන්සන්දානත්මකව තර්කානුකූ®ලව සිතා බැලීමට කිසියම් කාලයක් ගත වේ. එහෙත් ප්‍රඥාවබෝධය කාලය ගතවීමකින් තොරව ක්ෂණිකව මතුවන අකාලික අවබෝධයකි. ඒ අනුව ප්‍රඥාවන්තයා නොහොත් නුවණැත්තා යනු යමක් ක්ෂණිකව නොහොත් වහා දැනෙන සංවේදී පුද්ගලයෙකි. බුදුහිමියන් ධම්මපදයේ බාලවග්ගයේදී දහම් රසය වහා දැනෙන සංවේදී ප්‍රඥාවන්තයන් උපමාකොට ඇත්තේ ‘ජිව්හා සූපරසං යථා’ යනුවෙන් හොද්දේ රසය වහා දැනෙන දිවටයි. එම ප්‍රඥාව මුහුකුරා නොගිය මෝහමූලික චරිත ඇත්තන් උපමා කොට ඇත්තේ ‘දබ්බී සුපරසංයථා’ යනුවෙන් හැඳීමිට දක්වා ගෙවී යනතෙක් හොඳි හැදිගෑවද හොද්දේ රසය නොදැනෙන පොල්කටු හැඳිවලටය. බුදුහිමියන් දුප්පඤ්ඤයන් නමින් හඳුන්වා ඇත්තේ එවැන්නන්ව ය. ඉහත සඳහන් ධම්මපද පාඨයෙන් හෙළි වන්නේ ප්‍රඥාවෙහි මූලික ලක්ෂණය යමක් වහා දැනෙන රසඥතාව නොහොත් සංවේදීතාව බවය.

බුදු දහමින් කියවෙන නිවන අත්දැක පත්තියං කරගැනීම සඳහා වෙනම තැනක් හෝ වෙනම වෙලාවක් අවශ්‍ය නො වේ. එය සර්ව ව්‍යාප්ත සනාතන ධර්මයකි.

මේ දැන් මේ දැන් මෙතනම යැයි කියහැකි පරිදි හැම තැනකදීම අත්දැකිය හැක්කකි. ‘එහි පස්සකෝ’ යනුවෙන් කියවෙන්නේ එය මේ දැන් මෙතනදීම දැකිය හැකි බවයි.

‘එහි’ යනු මේ යන අරුත දෙන පාලි ‘ඉම’ යන ශබ්දයේ ආධාර විභක්ති බහුවචනය යි. එමනිසා ඉන් ලැබෙන්නේ මෙතැන’ යන ඒක වචන අරුත නොව ‘මේ මේ තැන්වල’ යන බහු වචන අරුතයි. එසේ බුදු දහමෙන් කියවෙන නිවන මේ මේ යැයි කිවහැකි හැමතැන්වලදීම දැකිය හැක්කේ එය හැම තැනකම ඇති දහමක් හෙයිනි. එසේම බුදු දහම ද හැම විටම හැම තැනම දැකිය හැක්කේත් එය ද හැම තැනටම හැම දේටම අදාළ දහමක් හෙයිනි. බුදු දහම අකාලික විශ්වාසතර සනාතන දහමකි.

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]