ජලය ගැන දෙසූ බුදු වදන්
බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම
මහා විහාරාධිපති,
ශ්‍රී සද්ධර්ම වාගීශ්වර,
ධර්ම විශාරද, මාධ්‍ය කලා කීර්ති,
නාලන්දේ විමලවංශ හිමි
ජීවින් හටගෙන ඇත්තේ ජලය ආශ්‍රයෙන් බව නවීන විද්‍යාඥයන්ගේ මතයයි. අණ්ඩජ,
ජලාබුජ, ඕපපාතික, සංසේදජ වශයෙන් සතර ආකාරයකට සත්ත්වයන් හට ගන්නා බව
බුදුහු වදාළහ. මනුෂ්‍ය රුධිරයෙහි වැඩි ප්‍රතිශතයක් ජලය අඩංගු වැ තිබේ.
ජලය මිනිසාට අත්‍යවශ්‍ය දෙයකි. ජලය නොමැති වීම හෙවත් විජලනය නිසා,
මරණයට පත් විය හැකිය. පිරිසිදු පානීය ජලය නොමැතිවීම අනාගතයෙහි බලවත්
ප්‍රශ්නයක් වනු ඇත. ඉන්ධන ප්‍රශ්නය මෙන්මැ ජල ප්‍රශ්නය ද අනාගතයෙහි
උග්‍ර වන බැවින් විද්‍යාඥයෝ දැන් සිටම එයට විසඳුම් සොයමින් සිටිති.
අනතුරු ඇඟවීම් කරති. අතීත සිංහලයා මෙම ප්‍රශ්නය පිළිබඳ මනා අවබෝධයකින්
කටයුතු කළ බව අපේ ඉතිහාසය සාක්ෂි දරයි. අහසින් වැටෙන එක ජල බිඳුවක් හෝ
ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොතැබූ ඔව්හු, සමුදුරු වැනි ජලාශ
ඉදි කළහ. ස්වාභාවික පරිසරයට අංශු මාත්‍රයක හානියක් නොවන පරිදි
වාරිමාර්ග සකස් කළහ. අපි වර්තමානයේ ද එම වැව් වලින් සිසිල ලබන්නෙමු.
ගොවිතැන් කරමින් දිවි පෙවත ගෙන යන්නෙමු. අග්‍ර ශෂ්‍ය පුදන්නෙමු. වැවෙන්
නෙළා ගත් පස් පියුමෙන් සමිඳු පුදන්නෙමු.
ැන් පූජා කිරීම මහගු පිංකමකි. ළිං පිහිළි කැරවීම මෙත් මුනිදු දකින
පින්කමක් බව මෛත්‍රී වර්ණනාවෙහි සඳහන් වෙයි. පැන් පිදීමේ අනුසස් දත්
පැරණි සිංහල රජ, ඇමැතිවරු, ප්‍රභූවරු වැව් පොකුණු කැරවා සඟ සතු කැර
පිදූ බව සෙල් ලිපි වල සඳහන් වේ.
‘නත මහ රජයහ තිකණත විහරහි පුණකොඩින වවිත දිනි’ (ක්‍රි. ව. 136 – 143)
‘දියබැට්ට විහාරයේ’ මහානාග රජතුමා විසින් තිකනත විහාරයට ‘පුණකොඩක’ වැව
දුන්නේ ය.
කරඳහෙල ලිපියට අනුවැ, ‘හබුතගල විහිරහි උවසික පුස තුමහ හමණවීර වවි ස ගස
දිනෙ’ පුස වසභ රජ තුමා, කුමාරධාතුසේන රජතුමා, 4 වන කාශ්‍යප රජතුමා, 4
වන මිහිඳු රජතුමා වැව් පූජා කළ බව සෙල් ලිපි වල සඳහන් වේ. පැන් පූජාවේ
අනුසස් වටහා ගත් පැරණි සිංහලයා තම ගෙමිදුලෙහි සතුන් සඳහා පැන් භාජනයක්
තැබුවේ ය. ගෙදරට එන අමුත්තන්ට පළමුව පිළිගැන්වූයේ පැන් බඳුනකි. මහ මග
යන එන්නන්ගේ පිපාසය සංසිඳවා ගනු පිණිස පැන් කළයක් තැබීම උසස් පින්කමක්
වශයෙන් සැලකූහ. එය ‘පැන්තාලිය’ නොහොත් ‘පිංතාලිය’ වශයෙන් හඳුන්වයි.
වර්තමානයේ ද ඇතැම් ප්‍රදේශ වල මෙය දැකිය හැක. මියැන්මාරයේ ඉතා සුලභව
දැකිය හැක. තෙත වැලි බඳුනක් මත මැටි කළයකට ජලය පුරාවා මහ මඟ තැබීම
ඔවුන්ගේ උසස් ගුණයකි.
විහාර දේවාල වල වාර්ෂික නානුමුර මංගල්‍ය පැවැත්වීම පුරාතන චාරිත්‍රයකි.
පෙරහර අවසන දිය කැපීමේ මංගල්‍යය ද පවත්වති. ළිඳක් කැපූ පසු එයින් ලැබෙන
පළවැනි ජලය විහාරයට, බෝධියට පිදීම සිංහල බෞද්ධයාගේ උතුම් චාරිත්‍රයකි.
විවිධ අසනීප වල දී පිරිත් ගාථා වලින් පැන් මතුරා දීමෙන් සුවය ලබා ගත්හ.
ගොවිපලට ඇති වන කෘමි සහ පණු උවදුරු වල දී පැන් පිරිත් කැර ඉසීමෙන්
බවබෝග ආරක්ෂා කැර ගත්හ. රටට සිදුවන දුර්භික්ෂ අවස්ථාවන් හි පිරිත්
කියමින් පිරිත් පැන් ඉසින ලද බව ඉතිහාසයෙහි සඳහන් වේ. මංගල සම්මත
අවස්ථාවන්හි අතපැන් වත් කිරීමටත්, මිය ගිය ඤාතීන්ට පින් අනුමෝදන් කැරෙන
අවස්ථාවන්හි දීත් පැන් උපයෝගී කැර ගනියි. බුදු දහමින් පෝෂණය ලැබූ පැරණි
සිංහලයා ජලය පිළිබඳ එවන් ප්‍රතිපත්තියක් අනුගමනය කළේ සැබවින්ම බුදු
දහමෙහි ජලයෙහි අගය පෙන්වා දී තිබෙන නිසා ය. එනමුත් මිනිසා ජලයෙහි
වටිනාකම තේරුම් නොගෙන කටයුතු කරති. ඒ නිසාම ජල දූෂණය, ජල හිගය ලෝකයට
බලපාන ප්‍රශ්නයක් බවට පත්වැ ඇත. ලෝකය ජය ගන්නට, එය වෙනස් කරන්නට උත්සාහ
කරන වත්මන් මිනිසාට අපූරුතම පණිවුඩයක් දෙන්නේ මෙයට වසර දෙසියයකට පමණ
පෙර විසූ රතු ඉන්දියානු ගෝත්‍රික නායකයකු වන ‘සියටැල්’ නැමැත්තා
විසිනි. ඔහු මෙසේ පවසයි.
‘මහ පොළව අපේ මව් පියෝ වගෙයි. ගලන ගංගා අපේ සහෝදරයෝ. ඒ නිසා අපගේ
සහෝදරයන්ට දක්වන කරුණාව ගංගාවලට දක්වන්නට ඕන. අපේ පිපාසය නිවන්නෙ ගංගා.
අපේ ඔරු ගෙන යන්නෙ ගංගා. අපේ අඹු දරුවන්ට කන්න දෙන්නෙ ගංගා. ඒ නිසාම
ගංගා අපේ සහෝදරයෝ. උල ලේනියකගේ හඬට, රාත්‍රියට විලක් වටේ කෑ ගහන
ගෙම්බන්ගේ හඬට ඇහුම්කන් දෙන්න බැරිනම් ඒ ජීවිතයේ අර්ථය මොකක්ද? විලක
ජලය තවරාගෙන හමන සුළඟටත්, එහි නාදයටත්, වැස්සෙන් පිරිසිදු වුනු, එහෙමත්
නැත්නම් වනයේ සුවඳ රැගෙන එන සුළඟටත් අපි ආදරය කරමු... ‘එදා නොදියුණුය’
යි කියන ගෝත්‍රික නායකයකු පැවසූ මෙම අදහස් වත්මන් මිනිසාට කොතෙක් දුරට
සමීප විය යුතුද යනු දැන්වත් සිතා බැලිය යුතුය.
බුදු දහමින් පෝෂණය වූ ලක් වැසියා ජලය පිළිබඳ උතුම් ප්‍රතිපත්ති සමුදායක
පිහිටා කටයුතු කළේ සැබවින්ම බුදු දහමෙහි ජලයෙහි වටිනාකම පෙන්නුම් කැර
තිබෙන නිසා ය. අප බුදු රජාණන් වහන්සේ ජලය උපමාවට ගනිමින් ධර්ම දේශනා
සිදු කළහ. ‘ජලය නමැති වාසස්ථානයෙන් ගොඩ දමන්නා වූ මත්සයකු පරිද්දෙන් මේ
සිත සැලෙයි’ – වාරිජෝව එලේතිත්තෝ... “මනාසේ සෙවිලි නොකළ ගෙයක් වැසි ජලය
විනිවිද යන්නාසේ” දිය ගෙන යන්නෝ කැමති තැනකට දිය ගෙන යති. එමෙන්
නුවණැත්තෝ තමන් දමනය කැර ගනිති. ‘යථාපි රහදෝ ගම්භීරෝ විප්පසන්න
අනාවිලෝ...’ යම්සේ මහා සමුද්‍රයෙහි ජලය ගැඹුරු කොටසෙහි විශේෂයෙන්
පෑදුනේ ද, එමෙන් පඬිවරු ධර්මය අසා පැහැදෙති. ‘ජින්න කොඤ්වාච
ක්‍ධායන්ති, ඛීන මච්චේච පල්ලලේ, බඹසර නොහැසුරුනු, ධනය හරි හම්බ නොකළ
පුද්ගලයා දිය සිදුනු විලක් අසල දුකින් තැවෙන ලිහිණියකු පරිද්දෙන් දුකට
පත්වේ. ‘යථා බුබ්බුලකං පස්සං ඒවං ලෝකං අවෙක්ඛන්තං’ - ලෝකය දිය
බුබුලක්සේ දැකිය යුතුය. එලෙස බලන්නා මාරයා නොදනියි. ‘සුත්තං ගාමං
මහෝගෝච මච්චු ආදාය ගච්චති’ – බව බෝග නිසා අතිශයින් මත් වූ පුද්ගලයා
නිදි ගත් ගම් වැසියන් මහා ගංවතුරින් ගසාගෙන යන්නාක් මෙන් මාරයා රැගෙන
යයි. ‘සවන්ති සබ්බධී සෝතා ලතා උබ්භිජ්ජ තිටඨතී’ – තෘෂ්ණා නමැති සැඩ
පහර සෑම තැනම ගලා බසියි. එබැවින් තෘෂ්ණාව දුරු කැර ගන්න. ‘වාරි
පොක්ඛරපත්තේච’ - නෙළුම්පතෙහි දිය මෙන්ය යමෙක් නාමයෙහි නොඇලේ නම්, හෙතෙම
බ්‍රහ්මණයකු වේ.
බුදු රජාණන් වහන්සේ ජලය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ශික්ෂාපද සමූහයක්
ද පැනවූහ. ඒවා පනවන ලද්දේ මිනිසාගේ සහ පරිසරයෙහි සුරක්ෂිත භාවය උදෙසා
ය.
‘නඋදකේ අගිලානෝ උච්චාරංවා පස්සාවංවා ඛෙලංවා කරිස්සාමීති සික්ඛා කරණීයා’
ගිලනකු නොවී පරිභෝගයට සුදුසු ජලයෙහි කෙළ නොගැසිය යුතුය. මල මුත්‍ර නොකළ
යුතුය.
ගංවතුර වැනි විපත් අවස්ථාවන්හි ජලයට කෙළ ගැසීමෙන් අ වැත් සිදු නොවේ.
සාගර ජලයට කෙළ ගැසීමෙන් ඇවැත් සිදු නොවේ. උපසම්පදා භික්ෂු භික්ෂුණීන්ට
නොපිළිගන්වන දෑ වැලඳීම අතැපය. එහෙත් ජලය නොපිළිගන්වා වුව ද වැලඳීම
කැපය. ජලයට යමක් මිශ්‍රවැ ඇත්නම් අකැපය. විකාල භෝජන ශික්ෂා පදය අනුව ද
විකාලයෙහි වැළඳිය හැක්කේ ජලය පමණකි. නොඑසේ නම් පාන වර්ග පමණකි. පාන
වර්ග අටක් පිළිබඳ සඳහන්වේ. ‘අනුජානාමි භික්ඛවේ අට්ඨ පානානි, අම්බපානං,
ජම්බ පානං, චෝච පානං, මෝච පානං, මධුපානං, මුද්දිත පානං, සාලුත පානං,
ඵාරුසක පානං, (මහාවග්ගය) ආහාර වලට වඩා ජලය මිනිසාට අත්‍යවශ්‍ය වන බව
සැලකූ බුදු හිමියෝ, ජලය පිළිබඳ මෙවන් ලිහිල් ප්‍රතිපත්තියක් පෙන්වා
වදාළහ.
‘අනුජානාමි භික්ඛවේ සබ්බ පච්චන්තිමේසු ජනපදේසු ධුව නහානකං...’
ප්‍රත්‍යන්ත දේශවල භික්ෂූන්ට දිනපතා නෑමෙන් ඇවැත් සිදු නොවේ. එහෙත්
මධ්‍ය දේශයේ භික්ෂූන්ට නෑමට අනුදැන වදාළේ දින පහළවකට වරකි. ජල හිඟය සහ
අධිත ශීතලය මෙම සික පදය පැන වීමට හේතු වන්නට ඇත.
ආගන්තුකයකු පැමිණි කල්හි පැන් පිළිගැන් විය යුතු බව “වත්තන්ඛන්ධකයෙහි”
සඳහන්ව ඇත. ‘පාණීයේන පුච්ඡන්තේන සචේ සකිං ආනිතං පාණීයං සබ්බං පිවති පුන
ආනේති පුච්ජිතබ්බෝ’ යනුවෙන් ආගන්තුකයාගෙන් පැන් ගැන විචාරණ භික්ෂුව
විසින් වරක් පිළිගැන්වූ පැන් සියල්ල ආගන්තුකයා පානය කළහොත් දෙවනුවත්
ගෙන එන්නදැ’ යි විමසිය යුතු බව විනය අටුවාවෙහි දක්වා ඇත. ජලයෙහි
ප්‍රාණීන් සිටින බව සලකා කටයුතු කිරීමට බුදු හිමියෝ අනු දැන වදාළහ. ඒ
නිසාම සංඝයා පරිභෝජනය කැරෙන ප්‍රධාන පිරිකර අටට පෙරහන් කඩක් ද ඇතුළත්වැ
ඇත. දීර්ඝ මාර්ගයෙහි ගමන් කරන භික්‍ෂුව පෙරහන් කඩක් රැගෙන යායුතුය. ‘න
භික්ඛවේ අපරිස්සාවනකේන අද්ධාන මග්ගේ පටිපජ්ජි තබ්බෝ’ මහණෙනි, පෙරහනක්
නොමැතිවැ දුර ගමන් නොයා යුතුය. එසේ යයි නම් දුකුලා ඇවැත් සිදුවේ. එහෙත්
මෙකල පිරිසිදු ජලය සපයා ගැනීමේ අපහසුතාවයන් නොමැති නිසා පෙරහන් කඩක්
රැගෙන යාමෙහි අවශ්‍යතාවයක් ඇති නොවේ’ ‘යෝපන භික්ඛූ ජානං සප්පාණතං උදතං
පරිභුඤ්ජෙය්‍ය පාචිත්තියං’ යම් මහණෙක් ප්‍රාණීන් සහිත ජලය පරිභෝග කරයි
නම් ඔහුට පචිති ඇවැත් සිදුවේ. දීර්ග මාර්ගයෙහි ගමන් කරන භික්ෂුවක්
පෙරහනක් ඉල්ලූ විට එය අනිවාර්යයෙන්ම දිය යුතුය. නොදුනහොත් දුකුලා ඇවැත්
සිදුවේ. බුදු හිමියන්ගේ මෙම පැහැදිලි කිරීම් මගින් පිරිසිදු ජලය
පරිභෝජනයෙහි වැදගත් බව වඩාත් තහවුරු කැර ඇත. බුද්ධ කාලයේ සෑම
විහාරස්ථානයකම මෙන්මැ වෙනත් පොදු ස්ථානවල ද ප්‍රධාන දොරටුව සමීපයෙහි පා
දෝවනය සඳහා පැන් බඳුනක් තිබුන බව දීඝනිකායේ ‘පරිනිබ්බාන’ සූත්‍රයෙහි
සඳහන්වැ ඇත. ඒ අනුවැ වර්තමානයේ ද දානමය පින්කම් අවස්ථාවන්හි භික්ෂූන්
වහන්සේලාගේ පා දෝවනය කිරීමේ චාරිත්‍රය පවත්වති. පා දෝවනය කැරෙන විට ගලා
යන ජලය පොළවෙහි අතුරුදන් වන අයුරු බලා සිටි භික්ෂුවක් අනිත්‍යය මෙනෙහි
කැර මඟ පල ලැබූ කථා පුවතක් ද බෞද්ධ සාහිත්‍යයේ එයි. වැසිකිළිය සඳහා
වෙනම ජල බදුනක් තැබිය යුතු බව සහ වළඳා ඉතිරි ආහාර ප්‍රාණීන් නොමැති
ජලයෙහි දැමිය යුතුªබවට ද සිකපද පනවා ඇත. ජල පහසුව ලබා ගැනීමේ දී
‘ආගතපටිපාටිය’ අනුවැ එනම් පැමිණි පිළිවෙළ අනුවැ කටයුතු කිරීමෙහි වරදක්
නොවන බව දක්වා තිබීමෙන් ජලය මූලික මිනිස් අවශ්‍යතාවක් බව බුදු හිමියන්
පිළිගෙන තිබෙන බවට පෙනේ. ජලස්නානය කිරීමේ දී අනුනට බාධා නොවන අයුරින්
එය කළ යුතු බව ‘පාචිත්තිය පාලියට අයත් නඟානශික්ඛාවයන්ට අනුව පෙනෙයි.
පානීය, පරිභෝජනීය වශයෙන් ජලය දෙආකාර වන බව විනය ග්‍රන්ථ අනුවැ
පැහැදිලිය. ආහාර ගැනීමේ දී අමාශයේ එක් කොටසක් ජලය සඳහා ඉඩ තැබිය යුතු
බව සඳහන් වේ. එය යහපත් සෞඛ්‍යය පුරුද්දක් බව නූතන වෛද්‍යවරු ද පෙන්වා
දෙති. විනය කර්ම සඳහා රැස් වන සීමා මාලකවල ඇමදීම, පහන් දැල්වීම අමතරවැ
පැන් බදුනක් තැබීම පුබ්බකිච්ච, පුබ්බකරණ වලය අයත් ය. ජලයට මල මුත්‍ර
දැමීම, කෙළගැසීම සුදුසු නොවන බවට ශික්ෂා පද පනවා ඇතත් එමඟින් වෙනත්
අපද්‍රව්‍ය දැමීමට අවසර ලබා දී ඇතැ’ යි සිතිය යුතු නැත. ගංගා, ඇළ, දොළ
වලින් නෑමේදී කෙළ, ඩහදිය වැනි දෑ එක්විය හැකිය. ඒ නිසා භික්ෂුන්ට එවැනි
ස්ථාන වලින් නෑම තහනම් කැර නැත. ජලය මූලික මිනිස් අයිතිවාසිකමක් බව
බුදුහු පෙන්වා වදාළහ. ජලය මූලික මිනිස් අයිතිවාසිකමක් බව බුදු දහමට
අනුවත්, ලෝක ධර්මතාවයට අනුවත් කවුරුත් පිළිගත යුතු කරුණකි.
බුදු හිමියන් ජීවමාන කාලයේ ‘රෝහිණී’ නදියෙහි ජලයට අයිතිවාසිකම් කියමින්
ශාඛ්‍ය වංශිකයන් සහ කෝලීය වංශිකයන් අතර මහා සටනක් ඇති වන්නට ගියේ ය.
අවි අමෝරා ගත් දෙපිරිස අතරට වැඩම කළ බුදු හිමියෝ, ජල අවශ්‍යතාව සෑම
දෙනාටම පොදු දෙයක් බවත්, ජලය වෙනුවෙන් රුධිරය වැගිරීම නිෂ්ඵල දෙයක්
බවත්, නදියෙහි ජලය දෙපිරිසම සමව බෙදා ගත යුතු බවත් දේශනාකැර ජලය නිසා
ඇතිවීමට ගිය මහා විනාශයක් වැළැක්වූහ. යුද්ධය සඳහා වැය කැරෙන අති විශාල
ධනස්කන්ධය ඇළ වේලි, වැව් අමුණු සොරොව්ව ඉදිකිරීමට යොදවා තවත් විශාල
පිරිසකගේ ජල අවශ්‍යතාවන් සපුරා ගත හැකි බව පෙන්වා දුන්හ. |