මැලේසියාවේ බුදු සසුන
ඌරුගමුවේ අස්සජී හිමි
මැලේසියාව බහු වාර්ගික සමාජයක් ඇති රටකි. මුස්ලිම් රාජ්‍ය පාලනයක් යටතේ
පවතින රටක් වූවද ඉස්ලාම්, බෞද්ධ, හින්දු සහ කතෝලික ආගමිකයන් අතර පවත්නේ
බෙහෙවින් සුහදශීලී වාතාවරණයකි.
පුරාතන මැලේසියාව බෞද්ධ රාජ්‍යයක්ව පැවැති අතර එම අතීතය හෙළිදරව්
නොකිරීමට වත්මත් පාලක මැලේ ජාතිකයින් කටයුතු කරන බවක් පෙනේ. ඔවුන් හුවා
දක්වනුයේ ක්‍රි.ව. 1300 න් මෙපිට ඉස්ලාම් ආගමික ඉතිහාසය පමණෙකි. එහෙත්
ක්වාලාම්පූර් හා මලක්කාවේ කෞතුකාගාරයන් හි එරටින් ලැබුණු බුදු පිළිම
කිහිපයක් හා ගල් කැටයමින් යුත් මකර රූප තවමත් දක්නට තිබේ.
ක්වාලාලාම්පූර්හි බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ විහාරය |
මැලේසියාවට නිදහස ලැබුණේ 1957 දී ය. ඒ සමඟම එරට රාජ්‍ය ආගම ඉස්ලාම් ආගම
බවටද පත් කෙරිණි. එහෙත් එතැන් සිට පත් වූ සෑම රාජ්‍ය නායකයෙකුම ආගම්
අතර සහනශීලිත්වයක් ඇති කරලීමට බොහෝ වෙහෙසක් දරා ඇත. අවිචාරවත් නූගත්
ජනතාවට ආර්ථික වාසි සලසාදෙමින් ආගම් පතුරුවන මූලධර්මවාදී, කණ්ඩායම් එරට
නොමැත. මැලේසියාවේ චීන ජාතිකයින් ගේ සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙන
අතර එය බුදු දහමේ ව්‍යාප්තියට ප්‍රබල රුකුලක් වී තිබේ.
මැලේසියාවේ දියුණුව ගැන විමසීමේ දී පැහැදිලි වන්නේ ලොව අන් එක ද
රටකටවත් නොදෙවෙනි තත්ත්වයක් පෙන්නුම් කරන බවයි. මහතීර් මොහොමඩ් මහතා ගේ
කාර්යක්ෂම පාලනය තුළ මෙකී අතිවිශාල දියුණුව ලබා ඇති බව පෙනේ.
ක්වාලාලාම්පූර් අගනගරය අති සුන්දර ලෙස ගොඩනගා ඇත. නගරයේ සෑම තැනකම එකම
සැලැස්මකට නිමවූ තට්ටු 20 – 25 ප්‍රමාණයේ ගොඩනැගිලි වලින් සමන්විත ය.
ඔවුන් මේ දියුණුව ලබා ඇත්තේ පසුගිය වසර 20 තුළදී ය. පෙර මැලේසියාව
අපටත් වඩා නොදියුණු රටක්ව පැවතිණ.
මෙසේ මැලේසියාවේ තාක්‍ෂණික හා ආර්ථික දියුණුවත් සමඟම බෞද්ධ ප්‍රබෝධය ද
ඉතා ඉහළ තලයකට ගමන් කරමින් තිබෙන බව එරට බුදුදහම ගැන අධ්‍යයනය කිරීමේ
දී මනාව පැහැදිලි වෙයි. බුදු දහම ආගමක් ලෙස මෙහෙයවීමට කිසියම් සුවිශේෂ
බලධාරියෙකු නොමැති හෙයින් මැලේසියානුවෝ බුදුදහම නොයෙක් මුහුණුවරින්
අදහති. මුස්ලිම් ප්‍රජාව අභිබවා යමින් චීන ජාතිකයින් සංඛ්‍යාත්මකව
දිනෙන් දින ඉහළයාම නිසා මහායාන බුදුදහම අන් ආගම් සියල්ල අභිබවා රටතුළ
ව්‍යාප්ත වන බව පැහැදිලිව පෙනේ.
වත්මන් පාලක මැලේ ජාතිකයින්ට වඩා චීන ජාතිකයින් ඉහළම ආර්ථික තලයක
වැජඹීමද මෙම තත්වය වඩාත් තීව්‍ර කරන්නකි.
වෙසක් පෙරහරේ වීථි සංචාරය කරන දර්ශනීය ප්‍රදර්ශන රථ |
නැතිවී ගිය බෞද්ධ උරුමය යළිත් වරක් මෙසේ මැලේසියාව තුළ ඇතිකරලීමට මුල්
වී ඇත්තේ 20 වන සියවසේ මුල් භාගයේ ක්වාලාලාම්පූර්හි පිහිට වූ
බ්‍රික්පීල්ඩ් බෞද්ධ විහාරයයි. එය එරටට ගොස් සිටි සිංහල බෞද්ධයන්
විසින් පිහිටුවා ලංකාවේ වියත් භික්‍ෂූන් වහන්සේ වරින්වර ගෙන්වාගෙන
පවත්වාගෙන ගොස් තිබේ. බ්‍රික්පීල්ඩ් බෞද්ධ විහාරය විශාල දියුණුවකට
පත්වූයේ මෙයට වසර 55 කට පෙරාතුව ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ එහි වැඩමවීමෙන් පසුවයි. මෙම විහාරස්ථානය දියුණු
කිරීමේ දී මැලේසියාවේ චීන බෞද්ධයින්ගේ නොමද ධන පරිත්‍යාග බෙහෙවින් ම
මහෝපකාරී වී ඇත. ඔවුන්ගේ ධන පරිත්‍යාග නොලැබුණි නම් එතරම් විශාල අලංකාර
බෞද්ධ විහාරයක් ක්වාලාලාම්පූර් අගනුවර ඉදි නොවන්නට ඉඩ තිබිණි. 2006 දී
අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද, නාහිමියන් ගේ අපවත්වීමෙන්
පසු එම හිඩැස පිරවීමට වත්මන් විහාරාධිපති කිරින්දේ ධම්මරතන නාහිමියන්
ගනු ලබන උත්සාහය බෙහෙවින්ම පැසසුම් කටයුතු ය.
ධර්ම ග්‍රන්ථ ලියවා මුද්‍රණය කොට ලෝකය පුරා ප්‍රචලිත කරවීම දිනපතා ධර්ම
දේශනා, ධර්ම සාකච්ඡා පැවැත්වීම, ධර්මය ඉගැන්වීමේ පන්ති, භාවනා සහ මල්
පහන් පූජා ආදියද ඉතා ආදර්ශවත් ලෙසත්, චිත්තාකර්ෂණීය ලෙසත්,
බ්‍රික්පීල්ඩ් බෞද්ධ විහාරය මුල් කරගෙන සිදුවේ.
Sasana Abhiwurdhi Wardhana Society මගින් බ්‍රික්පීල්ඩ් විහාරය පාලනය වන අතර එහි නිල
ප්‍රකාශනය වන Voice of Buddhism සඟරාව ද ඉංගී‍්‍රසි - චීන දෙබසින් ම පළ
වේ. ඉමහත් ධර්මදූත සේවාවක් මෙම විහාරස්ථානය මුල් කරගෙන සිදු වේ.
එසේම වත්මන් විහාරාධිපති කිරින්දේ ධම්මරතන නා හිමියන්ගේ
පුරෝගාමීත්වයෙන් ආරම්භ කෙරුණු. Ti – Ratana welfare
centre නමින් ළමා
හා වැඩිහිටි නිවාසයක් ද ක්වාලාලාම්පූර් නගරයේ පිහිටුවා තිබේ.
කිසිවෙකුගේ පිළිසරණක් නොමැතිව අසරණ වූ ළමා හා වැඩිහිටි විශාල පිරිසක්
එමඟින් රැකවරණය ලබති. මෙහි ළමයින්ගේ අධ්‍යාපනය හා වැඩිහිටියන් ගේ
සෞඛ්‍ය ආවශ්‍යතාවන් ඉටු කරලීමට අවශ්‍ය විධිවිධාන උපරිම ලෙස යොදා ඇත.
කෙටියෙන් කිවහොත් පුද්ගලයෙකු ගේ උපතේ සිට මරණය දක්වා ජීවිතයම වාසනාවන්ත
කර ගැනීමට අවශ්‍ය නිසි මාර්ගෝපදේශකත්වය මෙන්ම අවශ්‍ය සියලු පහසුකම් ද
මෙහි සලසා ඇත. මෙකී උදාර වූ සමාජ හා ආගමික සේවාවන් පිළිබඳ බෙහෙවින්
ප්‍රසාදයට පත්ව සිටින මැලේසියානුවෝ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ට සේම
ධම්මරතන නාහිමියන්ට ද දක්වනුයේ අසීමිත භක්ත්‍යාදරයකි.
වෙසක් පෙරහරේ ගමන් කිරීම සඳහා තාවකාලිකව පැවිදි කළ රතන සුබ
සාධක මධ්‍යස්ථානයේ කුඩා ළමයින්. |
මැලේසියාවේ ථෙරවාද හා මහායාන විහාරස්ථාන රාශියක්ම පැවතිය ද ඒ අතර
ප්‍රධානත්වය හිමිවනුයේ මෙම ක්වාලාලාම්පූර් බ්‍රික්පීල්ඩ් බෞද්ධ
විහාරයටයි. එයට හේතු කිහිපයකි. ඒ අතර ක්වාලාලාම්පූර් නගර මධ්‍යයේ
පිහිටා තිබීම, භූමි ප්‍රමාණයෙන් විශාල වූ අංග සම්පූර්ණ විහාරයක් වීම,
ලෝකයේ විවිධ රටවලින් පැමිණි නේවාසික භික්‍ෂූන් වහන්සේ විශාල සංඛ්‍යාවක්
වැඩ සිටීම, මැලේසියාවේ පැරැණිම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය වීම යන කරුණු
ප්‍රධානත්වයෙහිලා සැලකිය හැකි ය. ඒ නිසාම එය
Brickfield Buddhist maha vihara යනුවෙන් නම් කොට ඇත.
බුදු දහමින් ලොව සැනසූ ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නා
හිමියන්ගේ
භෂ්මාවශේෂ තැන්පත් කොට බ්‍රික්ෆීල්ඩ් විහාරයේ ඉදිකොට ඇති සෑය. |
වෙසක් උත්සවය මැලේසියානු බෞද්ධයෝ මහත් හරසරින් පවත්වති. එහි දී වෙසක්
පෙරහර පැවැත්වීම අනිවාර්ය අංගයක් ලෙස සිදුවන බව පෙනේ.
වෙසක් සමයේ ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණෙන සැදැහැවතුන්ගෙන් සෑම බෞද්ධ
විහාරයක් ම පිරී ඉතිරී පවතියි. ඉස්ලාම් හින්දු, කතෝලික ආදී
අන්‍යාගමිකයින් පවා ආශිර්වාද ලබා ගැනීමට පැමිණීම මෙහි ඇති විශේෂත්වයයි.
ඔවුන් ගේ වඩාත්ම ජනපි‍්‍රයතම ආශිර්වාද ලබාගැනීමේ ක්‍රමය නම් භික්‍ෂූන්
ලවා මලක ආධාරයෙන් භාජනයෙන් පිරිත් පැන්ගෙන ඒවා හිසට ඉසගෙන ආශිර්වාද
(Blessing)ලබා ගැනීමයි. තමා පරිහරණය කරන රත්‍රං ආභරණ හා මුදල්
පසුබිම්වලට පවා මෙසේ පිරිත් පැන් ඉසගෙන Blessing කර ගැනීම එරට බෞද්ධයන්ගේ
පාරම්පරික සිරිතකි. පිරිත් ධර්මය ශ්‍රවණය කිරීමටද ඔවුහු දැඩි කැමැත්තක්
දක්වති. වෙසක් සමය තුළ විහාරස්ථානවලට පැමිණෙන ඔවුන් එකිනෙකාට ආශිර්වාද
කරගනුයේ Happy wesak “Buddha Bless you”යනාදී වදන් පවසමිනි. සෑම වසරකම
බ්‍රික්පීල්ඩ් බෞද්ධ විහාරයේ වෙසක් උළෙල නිමාවට පත්වනුයේ වෙසක්
සංස්කෘතික රාත්‍රිය (Wesak cultural Night) නම් වූ සංදර්ශනයකින්
මෙහිදී ශ්‍රී ලංකා, චීන, ජපන්, තායිලන්ත, මියන්මාර්, ඉන්දුනීසියා,
ඉන්දියා හා කොරියා යන රටවලින් පැමිණෙන නර්තන ශිල්පීහු තම තම රටවලට
ආවේණික සංස්කෘතික අංග ඉදිරිපත් කරමින් උළෙල විචිත්‍රවත් කරති. මෙවර
(2008) වෙසක් සංස්කෘතික රාත්‍රිය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස මැලේසියාවේ
අගමැතිතුමන් ද සහභාගී වීම ඉතා වැදගත් සිද්ධියක් විය.
මැලේසියාවේ වෙසෙන බෞද්ධයන් මුහුණපාන බරපතල ප්‍රශ්නය නම් ධර්මදූත සේවාව
සඳහා අවශ්‍ය තරම් භික්‍ෂූන් වහන්සේ නොමැතිකමයි. බුදුදහම ඤාණාන්විතවත්,
ප්‍රායෝගිකවත් අධ්‍යයනය කිරීමට සූදානමින් සිටින විශාල ගිහි බෞද්ධ පිරිස
වෙනුවෙන් විදේශ භාෂා දැනුමින් පෝෂිත වියත් භික්‍ෂූන් වහන්සේගේ
අවශ්‍යතාව දැඩිව පවතියි.
|