Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලොව බිහි වූ මහා චින්තකයා

භාෂාමය ව්‍යවහාරයක් ලෙස ගත් කල චින්තකයා යනු සිතන්නාය. එහෙත් දාර්ශනික අංශයෙන් හෙවත් වාච්‍යාර්ථය ඉක්මවා යන තේරුමෙන් සලකා බලන විට චින්තකයා යන්නට බෙහෙවින් ගැඹුරු ව්‍යවහාරාත්මක අදහසක් විනිවිද ගොස් ඇතැයි සිතන්නට කරුණු ඇත.

සිතන්නෝ කවුරුද? අප දන්නා පරිදි සිතන්නෝ මිනිස්සු ය. එසේ නම් අනෙක් ජීවීහු නොසිතත් ද? ඔවුන් ක්‍රියා කරන ආකාරය දෙස බලන විට ඔවුනුත් නොසිතතියි කිය නොහැකිය. එහෙත් ඔවුන් ක්‍රියා කරන ආකාරය අනුව, ඔවුනුත් යමක් සිතති යි අනුමාන කළ හැකි වුවත්, කුමක් කෙසේ සිතත් දැයි කීම අපහසුය.

එසේ වෙතත් අනාදිමත් කාලයක සිට මිනිසා සිතූ දේත්, සිතූ හැටිත් ගැන සිතා ගන්නට මිහිතලය පුරා නොයෙක් ආකෘතියෙන් දිසිව සහ අදිසිව ගොඩගැසී ඇති ඥාන සම්භාරයෙන් සිතා ගැනීම අපහසු නොවේ.

එක්තරා තර්කයක් ඔස්සේ මේ ඥාන සම්භාරය කොටස් දෙකකට බෙදිය හැකි යැයි සිතේ. එනම්, ජීවත්වීම පිණිස “සබ්බේ සත්තා ආහාරට්ඨිකිකා” යන බණ පදයට අනුව මිනිසා කළ අරගලයේදී ලබන ලද අත්දැකීම් පිළිබඳ ඥාන සම්භාරය හා තමා කවරෙක් ද? තමා මෙලොව බිහි වූයේ කසේ ද? තමා මරණයෙන් පසු කොයිබක යන්නේ ද? ආදී ප්‍රශ්න විෂයයෙහි පිළිතුරු ලබා ගන්නට දරන ලද ප්‍රයත්නයේදී ලබන ලද අත්දැකීම් පිළිබඳ ඥාන සම්භාරය යි.

මානව පරිනාමය පිළිබඳ කතාපුවතේ සඳහන් අනාදිමත් කලෙක සිට ම ජීවන අරගලය පිළිබඳ කාර්යාවලියේදී මානවයා ලද අත්දැකීම් අත්‍යන්තයෙන් කටුක වූයේ ය. ඒවා නිරන්තරයෙන් බිය එළවන සුලු විය. ජීවන සටනේදී ඔහු වැඩිතරයෙන් ලද්දේ පරාජය මිස ජයග්‍රහණය නොවේ. ඔහු අත ගැසූ හැම කාරියකදී ම සොබාදහම ඔහුට හරස් විය. අනාදිමත් යුගයකදී ඔහුට කුසගිනි නිවා ගන්නට කෑමට සුදුසු කිසිවක් සොයා ගැනීම පවා මරු කැඳවන්නක් වූයේ ය.

මිහිතලය පිරී තිබුණේ ජලය, සත්ත්ව ද්‍රව්‍ය, ශාක ද්‍රව්‍ය හා ඛනිජ ද්‍රව්‍යවලිනි. ආහාරය පිණිස යමක් ලබා ගත හැකිවූයේ සතුන් හා ශාකයන්ගෙනි. ජලය ආහාරය සේම වැදගත් විය. අද වුවත්, ආහාරයකින් තොර වුව ද, වතුර බී දින කීපයක් පණ රැක ගත හැකි බව අපි දනිමු. මිහිතලයෙන් 70%ක් පමණ ජලයෙන් වැසී ගියත්, බීමට සුදුසු මිරිදිය සොයා ගැනීම පහසු දෙයක් නොවීය. යථා කාලයේදී මානවයා ගංගාශි‍්‍රත ;පදෙස්හි පදිංචි වන්නට පුරුදු වීමට එක් හේතුවක් වූයේ එය යි. ළිඳක් හිමිකරු ධනවත් සහ මහා බලවත් වැදගත් පුද්ගලයකු බව බයිබලයේ පරණ ගිවිසුමේ පවා සඳහන්ව ඇත.

අනාදිමත් යුගයක මානවයා කුසගින්න යන්තම් නිවා ගත්තේ ගසක ගෙඩියක්, කොළ අහුරක්, ගසක පොත්තක් හෝ මීයකු, මැඩියකු, ගස් පණුවකු ආදී කුඩා සතකු අමාරුවෙන් සොයා කා දැමීමෙනි. අද වුවත් තිරිසන් සතුන් කුසගින්න නිවා ගන්නට දිවා රෑ නොතකා, පැය විසි හතර පුරා මාර සටනක නිරත වන ආකාරය අමුත්තක් නොවේ. ඇති හැටියෙන් කියතොත්, ඒ මාරාන්තික සටනේදී ඔවුනට මානවයාගෙන් ම කෙතරම් භීෂණයකට මුහුණ දෙන්නට සිදුවී තිබේ ද?

ආදී යුග යුගාන්තරයන්හි මානවයාටත් සොබාදහමින් මෙතෙකැයි කිය නොහැකි තරම් තර්ජන, ගර්ජන සහ අතවරවලට ලක් වන්නට සිදුවුණු බව අරුමයක් නොවේ. ඒවා සියල්ල ම වාගේ අදත් සිදුවන බව අප අමතක නොකළ යුතුය.

උන්හිටි හැටියේ මහා භූකම්පනය, පොළොව ගිලා බැසීම්ය, මහා කුණාටුය, ජල ගැලීම්ය, අක්කර සිය දහස් ගණනින් දවාලන ළැව්ගිනිය, මුහුද ගොඩගැලීම්ය, සුනාමිය, සාගතය, වසංගතය, පැරණි පතපොතෙහි සඳහන් වේරම්බවාතය, මකරකට, වඩබාග්නිය, මෘගසන් වර්ෂාව වැනි සංකල්ප එවන් සිදුවීම් හා සම්බන්ධ ඒවාය. වරක් දෙවියන් වහන්සේ විසින් මිනිසාගේ අකීකරුකම්වලට දඬුවම් පැමිණවීම සඳහා මහා ජලගැල්මකින්, නෝවාගේ පවුල සහ සියලු සත්ත්ව වර්ගයාගෙන් ජෝඩුවක් බැගින් රැක ගන්නට සලස්වා මුළු ලෝකය ම විනාශ කළ බව බයිබලයේ පරණ ගිවිසුමේ සඳහන් වෙයි. එදා හතළිස් දිනක් පුරා එක දිගට වැස්සේලු.

අනෙක් අතට සොබාදහම විසින් නොයෙක් වර ප්‍රදානයෙන් මේ වනතුරුත් මානව සංහතිය ආරක්‍ෂා කර ගෙන ද ඇත. ඒ ගැනත් අපේ අවධානය යොමු විය යුතුය. නිමිහිම් නැති අවකාශය පුරා රැස් විහිදමින් හිරු බබළන විට මානවයා තුළ කිය නොහැකි තරම් සතුටක් දැනිණ. එය මහා විස්මය දනවන්නක් ද විය.

ගන කළු වලා පටලයකින් හිරු වැසී ගොස් අඳුරු වන විට ඔහුට විමතියකි. අර තරම් බලවන්තයාට වූයේ කුමක් ද? ඔහුට බියක් ද දැනිණ. හිරු බැස ගොස් අඳුර වැටෙන විට ඔහුගේ බිය දැඩි විය. බියෙන් තැති ගත් ඔහු ගස් බෙනයක් හෝ ගල් ලෙනක් තුළට වී රැය පහන් කළේ ය.

පසු දින හිරු උදාවනු දුටු ඔහු තුළ ඇති වූයේ අමන්දානන්දයකි. තමා තවමත් ජීවත්ව සිටිනු දැනුණු නිසා විය හැකිය.

අනන්තාකාශය පුරා විචිත්‍රාකාරයෙන් නොයෙක් දේ සිදුවන බව ඔහුට පෙනිණ. දිවා කල්හි හිරු බබළයි. රෑ කල්හි සඳ බබළයි, තරු බබළයි. වලාකුළු පාවෙයි. දිවා රෑ නොබලා වැසි වසී, හෙණ පුපුරයි. අකුණක් වැදී තමන්ගේ එකෙක් මැරී වැටෙයි. වනස්පති වෘක්‍ෂයක් හෙණ පහරකින් හතරට පහට කැඩී ඇද වැටෙයි. මෙසේ ඉහළ අහස් කුස තුළ සිදුවන දෑ මෙතෙකැ යි නැත.

මෙවන් ඉවරයක් නැති දේ සිදුවන්නේ කෙසේ දැයි ඔහුට තේරුම් ගත හැකි වූයේ නැත. තමාගේ ශක්ති ප්‍රමාණයෙන් කරන ලද කිසියම් ක්‍රියාවකින්, එයට සමානුපාතික ප්‍රතිඵලයක් ලැබෙන බව ඔහු අත්දැක ඇත. අත්තක එල්ලෙන ගෙඩියකට පොලු පහරක් ගැසූ විට එය නටුවෙන් ගිලිහී බිම වැටෙයි. ගලකින් ගැසූ විට පියාඹන කුරුල්ලෙක් මැරී මැටෙයි. මෙවන් දැයින් ඔහු සිය කර්මයන්ගේ සරල ප්‍රතිඵල අත්දුටුවේය.

අනන්තාවකාශයේ කොතැනක හෝ සිට මහා බලවතෙක් හෙණ පුපුරවයි, මිහි මකට අකුණුසැර පතිත කරයි, වලාකුළු පාකර හරී, ධාරානිපාත වැසි වස්සයි, එක්තරා කාල සීමාවකට වරක් හිරු සැඟවී යයි. දින කීපයක් සඳ පාකර හරින්නේ කොටසින් කොටස කපා හරිමිනි. ඉක්බිති දින කීපයක් කොටසින් කොටස පුරවාලමින් පාකාර හරී. ඉතින් මේ මහා විපරිත කරන බලවතා කවරෙක් ද? ඔහු නම් මහා විශ්වකර්මයකු විය හැකිය.

සකු බසින් ද්‍යූ යන්නට දිය හැකි තේරුම් කීපයක් ඇත. එනම්, අහස, දීප්තිය, දිදිලීම, දවස හෙවත් දිවා කල යනුයි. ඉතින් මේ සියලු බලපුළුවන්කාරකම් කරන්නා කවරෙක්ද? ද්‍යූහි සිටින්නා හෙවත් දිව්‍යයෙකි.

එනම් දෙවියෙකි. මානව ඉතිහාසයේ යම් දිනක මානවයා විසින් තමාට හිතුණු හැටියට භාෂා ප්‍රයෝගයකින් දෙවියන් මාවා ගන්නා ලද්දේ එපරිදිය.

ආදිකාලීන හැම ශිෂ්ටාචාරයක් තුළම දෙවියන්ගේ උපත සිදුවී ඇත්තේ, මීට සමාන්තර ආකාරයෙන් මිනිසා විසින්ම ය. මේ න්‍යායට අනුව මිහිපිට සිදුවන සියලු දේ උඩ සිටින දෙවියන් විසින් මෙහෙයවනු ලබතියි විශ්වාසයක් මානවයා තුළ අරක් ගත්තේ ය. අතළොස්සක් දෙනකුගේ හැර, බහුතරයකගේ හදපත්ලේ මේ අදහස අරටු බැස ඇත.

ඉරානයේ සිට ඉන්දියාවට සංක්‍රමණය වූ ආර්යයනට අත්දකින්නට ලැබුණේ වඩාත් අලුත් ලෝකයකි. එය අපූර්ව සුන්දරත්වයකින් පිරි ගියේ ය. එයින් ඔවුන්ගේ කව් සිත විකසිත විය. ඔවුහු සොබාදහම තුළ තමන් අත්දුටු හැම වස්තුවක් ම කවියට නැගූහ.

සෘග්වේද ගීතාවලිය බිහිවූයේ එසේය. මේ ගීපදමාලා සූක්ත නමින් හැඳින්වෙයි. සෘග්වේද සූක්ත ගණන එක් දහස ඉක්මවා සිටී. එතුළ ගීත හෙවත් ශ්ලෝක ගණන දස දහස ඉක්මවා සිටී. මේ සූක්ත අග්නි, මරුත්, ඉන්ද්‍ර, රුද්‍ර, උෂස්, සූර්ය, මිත්‍ර, පරිජන්‍ය, වරුණ, ආපස් ආදී නමින් හඳුන්වා ඇත. මේ සියල්ලෝ දේව ගණයක් ලෙස පුදපූජාවට ලක් කරනු ලැබූහ.

ආර්ය සංක්‍රමණයෙන් පසු භාරතයේ වැඩී ගිය සියලු විද්‍යා, ශාස්ත්‍ර, කලා ශිල්ප, දර්ශනය හා යෝධ සාහිත්‍යය යනු සෘග්වේදගීත වස්තු විෂය කර ගත් අර්ථකථනයක් හෙවත් විවරණයකියි කිය හැකිය.

කාලයාගේ ඇවෑමෙන් මේ අර්ථකථනය පිළිබඳ අධිකාරී බලය බ්‍රාහ්මණ නම්වූ පැළැන්තියක ජන්ම උරුමය බවට පත්විය. ඔවුහු තමන් බ්‍රහ්මපුත්‍ර වෙතියි කියා ගත්හ. බ්‍රහ්මන්මහ දෙවියා වූ අතර ලෝකය බ්‍රහ්ම නිර්මිතයකි යි සම්මතයක් බවට පත් කැරිණ.

මිනිසාගේ සියලු අවශ්‍යතා ඉටු කර ගත හැකි වූයේ දෙවියනට යාතිකා කිරීමෙනි. එහිලා යොදා ගැනුණේ යාගයයි. යාගයේදී මුල්තැන් ගත්තේ බිලි පූජාවයි. කල් යත්ම යාගය, යාගාවාටයෙහි දැල්වූ ගින්නට දහස් ගණනින් සතුන් පමණක් නොව මිනිසුන් පවා ඇද දමන්නක් බවට පත්විය. ගින්න සිත් සේ දැල්වෙනු පිණිස ගිතෙල් කළ දහස් ගණනින් හළනු ලැබිණ. මෙසේ ගිනි දෙවියාට බිලි දුන් සජීවී සහ අජීවී සම්පත් ප්‍රමාණය මෙතකැයි සීමාවක් නැත. මිහි මත ජීවීන්ගේ ඉරණම තීන්දු කිරීම පිළිබඳ පණිවිඩය දෙවියන් වෙත ගෙන ගියේ යාගාග්නිය විසිනි.

ඒ අනුව අග්නි දෙවියාගේ බලය ද සුළුපටු එකක් නොවීය. යාගාග්නිය මඟින් දෙවියන් සමඟ ඒකාත්මික වූයේ බ්‍රාහ්මණයා ය. දෙවියන් සමඟ ගනුදෙනු කරන්නට හැකි මිහිපිට සිටි එකම බලවතා ලෙස බමුණාගේ බලය වැඩි ගියේය.

පාලකයන් වූවාහු ක්ෂත්‍රියයෝය. එහෙත් ඔවුන්ගේ ගුරුවරුන් බමුණෝ ය. එබැවින් රාජ්‍ය පාලනය පිළිබඳ කුදු මහත් කාරියේදි රජුට උපදෙස් ලබා ගන්නට සිදුවූයේ බමුණාගෙනි. බමුණාගේ බලය ඉක්මවා දෙවියන්ගෙන් වර ලබා ගත හැකි වූයේ බමුණාගේ මැදිහත් වීමෙනි.

කාලයාගේ ඇවෑමෙන් යාගය මුල් කර ගත් පුදපූජා ක්‍රමය සමාජයට මහ බරක් වූයේය. මූලික වශයෙන් යාගය සඳහා වූ ඉමහත් පිරිවැය සපයන්නට සිදුවූයේ පාලකයා වූ රජුට ය. ඊට අමතරව පොදු ජනතාවට ඒ වෙනුවෙන් විඳින්නට සිදුවූ දුක් ගැහැට අපමණ ය.

පුරුෂමේධ යාගය හෙවත් මිනිසුන් බිලිදී කරන යාගයේදී එයට මිනිසුන් තෝරා ගත්තේ කවර පදනමක් යටතේ දැයි සොයා බැලීම වැදගත් ය. කවර ශිෂ්ට සම්පන්න සමාජයකදී වුවත් එයට අනුමතයක් නොලැබෙනු ඇත. යාගය කරන ලද්දේ ලෝකය මවන ලදැයි කියන ලද බ්‍රහ්මන් උදෙසා ය. එසේ කරන ලද්දේ මරණින් මතු බ්‍රහ්මන් සමඟ එක් වනු පිණිස ය. බ්‍රහ්මත්වය ලැබීම පරම විමුක්තිය බවට සිහින මවන ලදී.

එහෙත් බ්‍රහ්මයාගේ සෙවණැල්ලකුදු අත්දුටුවෙක් නොවීය. එබැවින් යාගය හා බ්‍රහ්මන් කෙරෙහි වූ විශ්වාසය බොද වන්නට පටන් ගැනිණ. ඒ ඔස්සේ විවේකීව සිතන චින්තකයෝ බිහි වන්නට පටන් ගත්හ. පසුව උපනිෂද් දර්ශනය නමින් හැඳින්වුණේ මේ ගැඹුරු චින්තන ක්‍රමය යි. මේ චින්තකයෝ ‘කිං සච්ච ගවේසි’ හෙවත් සත්‍යය යනු කුමක් දැයි සොයන්නෝ වූහ. බමුණන් විසින් පෙන්වා තිබුණේ සත්‍යය නම් යාගය යනුයි.

බමුණු මතයට අනුව කුලහීන යැයි සම්මත තරුණයෝ පමණක් නොව, බමුණන්ගෙන් උගත් ක්ෂත්‍රීය තරුණයෝ ද ‘කිං සච්ච ගවේසි’ මඟට පිළිපන්හ.

එයින් ප්‍රමුඛත්වයට පත්ව පසු කල්හි බුද්ධ නමින් විශ්ව කීර්තියට පත් වූවාහු සිද්ධාර්ථ ගෞතමයෝ ය. එතුමෝ එතෙක් කිසිවකු නොඇසූ දහමක් දෙසූහ. එනම් කර්මවාදය යි. ඒ එතෙක් “කර්මය නම් යාගය යැ” යි බමුණන් දෙසූ කර්මවාදය නොවේ. එනම්:-

“න ජච්චා වසලෝ හෝති - නජච්චා හෝති බ්‍රාහ්මණෝ

කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මණෝ”

එවන් දහමකින් මිනිසාට ඔහුගේ ස්වාමිත්වය විෂයයෙහි කෙතරම් වගකීමකින් හා ස්වාධීනත්වයකින් ක්‍රියා කිරීමට ආත්ම විශ්වාසයක් ජනිත කර තිබේද?

“අත්තාහි අත්තනෝ නාථෝ - කෝහි නාථෝ පරෝ සියා

අත්තනාව සුදන්තේන - නාථං ලභති දුල්ලභං”

“තමා වනාහි තමාගේ මැවුම්කරුවා ය. අන් මැවුම්කරුවෙක් කොහිවේද? තමා ම මැනවින් දැමුණු කල්හි දුලබවූ නිවන ලැබේ.”

තමාගේ ඉරණම හෙවත් විමුක්තිය පිළිබඳ වගකීම අදිසි බලවේගයකට පවරා තිබියදී, ඒ බලය ඇත්තේ තමා තුළ ම වෙතියි කියැවෙන දහමක් දෙසූ අන් ශාස්තෘවරයෙක් කොහි නම් වේද?

“මනං උස්සති ති මනුස්සෝ” හෙවත් “මනසින් උසස් වේනු යි මින්ස් වෙති” යි අර්ථකථනය කළ බුදුන් වහන්සේ මිනිසාට සිය මනසෙහි ශක්තිය හඳුන්වා දෙමින් එහි කාර්ය ශක්තිය මෙසේ විවරණය කළ සේක.

“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායේන, වාචාය, මනසාං” මිනිසාට සිය පැවැත්ම පිණිස එකම පිහිට ඔහුගේ කායිකවූත්, මානසිකවූත් ශ්‍රමය යි. බුදුන් වහනසේ එය සපුරා කර්මය මත තබා, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ක්‍රියාත්මක වීමෙන් ලෞකිකවූත්, ඉක්බිති එතුළ ම කුළු ගැන්වෙන ලෝකෝත්තරවූත් විමුක්තිය ලද හැකි බව පන්සාළිස් වසක් පුරා දෙසන ලද ධර්මස්කන්ධයෙන් තේරුම් ගත නොහැකි ද?

හුදෙක් නාමික බෞද්ධයනට වඩා නිරවුල් ලෙස එය තේරුම් ගත්, ලොව පසිඳු පැණවතුන් බුදුන් වහන්සේ ගැන කියා ඇති දේ විමසමු. එවිට ලොව බිහිවූ මහා චින්තකයා කවරෙක් දැයි හඳුනා ගත හැකි වනු ඇත. “බුදුහිමියෝ අනම්‍ය ආගමික ක්‍රමවලටත්, විවිධ සාමාජික මතවාදවලටත් වඩා ශ්‍රේෂ්ඨ ය. බුදුහිමියන්ගේ සනාතනික සන්දේශය කාලාන්තරයක් මුළුල්ලේ මානව වංශය ප්‍රමෝදයට පත් කළේය. උන්වහන්සේගේ සාම පණිවිඩය දුකින් පෙළෙන, දෝමනස්සයට නැඹුරු මානව වංශයට අද යුගයේදී පමණ අවශ්‍ය වන අන් සමයක් අතීත ඉතිහාසයේ නොතිබුණේ විය හැකිය.” - ඉන්දියාවේ හිටපු අගමැති ශ්‍රී නේරු

“බුදුහිමියන්ගේ දේශන කියවන විට ඒවායේ තර්කානුකූල බව ගැන අපි ෂස්මයට පත්වෙමු. උන්වහන්සේගේ ආර්ය මාර්ගයෙහි පළමු වන පියවර නම්, සම්මා දිට්ඨිය යි.

එනම් බුද්ධිමත් දර්ශනයයි. මානව සංහතියට සිය ඉරණම සහ සිය දෛවය දැකීමට හරස්ව පවත්නා මකුළුදැල් සියල්ල ඉවත් කර දීමට බුදුහිමියෝ යත්න දරති.”

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.