Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නොසන්සිඳෙන වෛරය

වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව බුදුන් වහන්සේ දේශනා කොට ඇත. දේවදත්ත තෙරුන් වහන්සේගේ සිතෙහිද බුදුන් වහන්සේ කෙරෙහි ඇතිව තිබුණේ ආත්ම ගණනාවක් ගතවීත් නොසන්සිඳුණු වෛරයකි. එදා රන් තලියකට ලොබ බැඳ බෝසතාණන් කෙරේ බැඳුණා වූ වෛර සිත සන්සිඳුවා ගන්නට බුදු පියාණන් වහන්සේගේ ධර්මය ඇසුරින් වත් දේවදත්ත තෙරුන්ට නොහැකි විණි. නොයෙක් උපක්‍රම මගින් බුදුන් වහන්සේට හිංසා, පීඩා නින්දා අපහාස කරන්නට දේවදත්ත තෙරුන් ඉදිරිපත්වීම බොහෝ භික්ෂූන් වහන්සේලාගේ කතා බහට විෂය විය. දිනක් දම්සභා මණ්ඩපයට රැස්වූ භික්ෂූන් වහන්සේලා දේවදත්ත තෙරුන් ගේ මෙම ක්‍රියාවන් ගැන සාකච්ඡා කරමින් උන්හ. එවේලේ එතැනට වැඩම කළ අප මහා ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ‘මහණෙනි මා එන්නට පළමුව කුමන කතාවක් කරමින් උන්නෝදැයි ඇසූ සේක’.

‘ස්වාමීනි දේවදත්ත තෙරුන් වහන්සේ ගැනය’ ‘මහණෙනි, දැන් මතු නොවෙයි, පෙරත් දේවදත්තයන් මා හට අකටයුතුකම් කළෝයැයි පවසා ‘චුල්ල නන්දිය’ ජාතකය දේශනා කළ සේක.

චුල්ල නන්දිය ජාතකයෙක් වත්මන් සමාජයට ගලපා ගත හැක්කේ නොසන්සිඳුණු වෛරය නිසා ඇතිවන විපාක පමණක් නොවේ. නිසි දහම් මගට යොමු වූ ගුණ යහපත් තරුණ දරුවන් දෙදෙනකු සිය ආදරණීය මෑණියන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අන්දමත් මවු සෙනෙහස තිරිසන් මිනිස් කා හටත් පොදු ධර්මතාවක් බවත් මෙමගින් පෙන්වා දෙනු ලබයි.

ඒ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රාජ සමයයි. එකල හිමාල වනයේ අසූහාරදහසක් වානරයින්ට නායකයා වූයේ නන්ද නම් තරුණ වානරයායි. චුල්ල නන්ද ඔහුටම ගැළපෙන සොහොයුරෙක් විය. අවාසනාවට ඔවුන්ගේ මව අන්ධ භාවයට පත්ව සිටියෙන් ඇයට අවශ්‍ය ආහාර පාන සැපයීම හා උවටැන් කිරීම මේ සොහොයුරන්ට පැවරිණි.

නන්ද සිය සොහොයුරාත් සෙසු වානර ජනයාත් සමග ආහාර සොයා ගෙන බුදින්නේ පළමු කොටස සිය රැළේ වානරයින් අත මෑණියන් හට එවන්නට පුරුදුව සිටියේය. එහෙත් ඒ කෑදර වානරයෝ ඒ අහර කොටසද කා දමන්නට පුරුදු වී සිටියහ. ටික කලක් ගත වෙද්දී නන්ද ගේ මෑණියන් ඉතා දුර්වල තත්ත්වයට පත් විය. නන්දට මෙය පුදුමයට කරුණක් විය.

‘මෑණියනි, ඔබ මෙතරම් දුර්වල වන්ට හේතුව කුමක්ද ? මා එවන පලාඵල ඔබට පි‍්‍රය නොවන්නේද ?’

‘අනේ පුතේ, බොහොම දවසකින් මට කිසිම අහරක් ලැබුණේ නැහැ’

නන්දට කාරණය වැටහිණි. ඔහු මෙසේ සිතීය.

‘මම මේ නායකකමෙහි තවදුරටත් සිටියහොත් මගේ මෑනියන්ට උපස්ථාන කරන්නට නොහැකි වේ. එහෙයින් නායකකම මලණුවන්ට පවරා දී මා විසින් මෑණියන් රැකගත යුතුය’ එසේ සිතූ නන්ද සිය සොහොයුරු චුල්ල නන්දට කතා කළේය.

‘මලණුවනි, මෑණියන් වහන්සේ ළඟ දැන් නිතරම කවුරුන් හෝ සිටිය යුතුය. ඒ නිසා මේ වානරයින් බලා ගැනීම තොපට බාර කොට මම මෑණියන් රකින්නට සිතුවෙමි’

එහෙත් චුල්ල නන්ද එයට කැමති නොවීය.

‘අයියණ්ඩි, මටත් නායකකම එපා. අප දෙදෙනාම මෙහෙන් පිටවී ගොස් මෑණියන් වහන්සේද රැකගෙන ජීවත් වෙමු’.

මෙසේ කතිකා කර ගත් වානර සොහොයුරෝ සිය අන්ධ මෑණියන්ද සමග බරණැස් නුවරට පැමිණ නුවර කෙළවර තිබූ දැවැන්ත නුග රුකක් දැක එය වාසය පිණිස තෝරා ගත්තෝය.

මේ කාලයේදීම තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් වෙතින් ශිල්ප උගන්නා එක් මිනිසෙකි. ඔහු ඉතා දුර්ජන පුද්ගලයකු බව දේහ ලක්ෂණ විමසා බලද්දී දිසාපාමොක් ඇදුරුට පෙනුණද ඔහුගේ උත්සාහය බලවත් වූ බැවින් ශිල්ප උගන්වන්නට සිතුවේය. ශිල්ප උගන්වා අවසන් කළ දිසාපාමොක් ආචාරීන් වහන්සේ එම මිනිසා තමා වෙත කැඳවා මෙසේ අවවාද දුන්නේය.

‘තොප බොහෝ සේ ශාස්ත්‍ර උගත්තේය. දැහැමින් මිස අදහමින් ජීවත් නොවනු. යම් සාහසික ක්‍රියාවක් වත් අනුනට හිංසා පීඩා ආදියත් නොකරන්නට සිතට ගනුව‘.

අවවාද පිළිගත් මිනිසා ‘යහපති ආචාරීන් වහන්ස’ යැයි පොරොන්දු වී බරණැස් නුවර කරා ආපසු පැමිණියේය. ඉන් පසු දුනු හී අත ඇතිව සතුන් දඩයම් කොට මරා මස් විකුණා ජීවත් වන්නට විය.

මෙසේ සතුන් දඩයම් කර ජීවත් වන ඔහුට එක් දිනක් කිසිම දඩයමක් නොලැබුණෝය. දඩයමක් නොලැබුණෙන් හිස් අතින් ආපසු යන්නේ නන්ද හා චුල්ල නන්ද සොහොයුරෝ සිය අන්ධ මෑණියන්ද සමග වාසය කරන නුග ගස ළඟට ආවේය.

‘මේ දැවැන්ත නුග රුකකි, මෙහිවත් යම් සතෙක් ඉඳීදැයි බැලිය යුතුය’ යනුවෙන් සිතූ මිනිසා ගස උඩ බලන්නේ වානර සොහොයුරන් හා ඔවුන්ගේ මෑණියන් දුටුවේය.

මිනිසා දුටු නන්ද මෙසේ සිතුවේය. ‘දුනු හී දරා මේ සිටින්නේ සතුන් දඩයම් කරන්නෙකි. එහෙත් මාගේ මෑණියන් මහලු නිසාත්, කය වැහැරුණු නිසාත් ඇය මරන්නේ නැතිවෙයි’.

එහෙත් නන්දගේ සිතිවිල්ල වැරදි විය. දුර්ජන මිනිසා ‘මේ වැඳිරි මෑල්ල ඉතා දුර්වලය. එහෙත් කම් නැත. මරා ගෙන ගොස් දරුවන්ට දෙමි’ යි සිතා මහලු වඳුරු මවට විඳීන්නට දුන්න අතට ගත්තේය. ඒ දුටු නන්දගේ සිත ගිනි ඇවිලිණි.

‘අනේ මොහු මගේ අන්ධ මෑණියන්ට විද මරන්නට සැරසෙන්නේය. දෑස නොපෙනෙන බැවින් ඇයට පැන යන්නටද නොහැකිය. මගේ ජීවිතය පුදා හෝ මෑණියන් රැක ගත යුතුය’ සිතූ නන්ද චුල්ල නන්දට කතා කළේය.

‘මලණුවනි, මොහු අපේ මෑණියන්ට විද මරන්නට සැරසේ. මම මොහුට ජීවිතය දී මෑණියන් බේරාගන්නම්, නුඹ මෑණියන් රැක ගත යුතුය’.

උතුම් ගතිගුණ ඇති දරුවකුට සිය මෑණියන් වෙනුවෙන් කළ හැකි පරිත්‍යාගය කෙතරම්ද? නන්ද තමා හට ලේ කිරි කර පොවා, හදා වඩා දෑත් දෑස් අන්ධව අසරණව සිටින මෑණියන් වෙනුවෙන් ජීවිතය දෙන්නට ඉදිරිපත් විය.

‘මගේ අසරණ, දුර්වල මෑණියන්ගෙන් නුඹට ඇති වැඩය කිම ඇයට ජීවිත දානය දී මා මරා මස් කර ගනුව‘ නන්ද මිනිසාට කීවේය. ‘හොඳයි තොපගේ මෑණියන්ට ජීවිත දානය දෙමි..’ යි කියූ මිනිසා නන්දට විද මැරීය. එහෙත් දුර්ජනයාගේ සිත ඉන් සෑහීමකට පත් නොවිණි. ඔහු නැවතත් ඒ අසරණ මෑණියන්ට විදින්නට දුන්න මෑනුවේය. ඒ දුටු චුල්ල නන්ද

‘අනේ මේ මිනිසා මගේ මෑණියන්ට විදින්නට දුන්න මානයි. මෑණියන් මරන්නට දිය නොහැක. මමත් දිවි පුදා හෝ මෑණියන් රැක ගන්නෙමි’ සිතා මිනිසාට මෙසේ කීවේය.

‘නුඹ මගේ සහෝදරයාත් මරා ගත්තා. දැන් මෑණියන්ද මරන්නට සැරසේ. මේ අසරණ අන්ධ මෑණියන් මරන්නට එපා. ඒ වෙනුවට මා මරා දමා ඇයට ජීවිත දානය දෙන්න..’

මිනිසාත් ‘හොඳයි ඇයට ජීවිතය දෙමියි’ පවසා පොරොන්දු වී චුල්ල නන්දට විද මරා ගත්තේය. ඉක්බිති ඒ ගුණමකු මිනිසා පොරොන්දු කඩ කොට ඒ අසරණ මවද මරා තිදෙනාගේම සිරුරු කදක බැඳ කර තබාගෙන ගෙදර යන්නට ගියේය.

අභාග්‍යයකි. ඒ වෙලාවේ ඒ ගුණමකු මිනිසාගේ ගෙට අකල් හෙණයක් පාත්වී ඔහුගේ බිරිඳත් දරුවනුත් එයින්ම නැසී ගියේය. මිනිසාට ඒ බව මගදීම ආරංචි වී දඩ මස් කද පසෙකට දමා ගෙට දිවූ ඔහුගේ හිස මතට ගෙයි තිබූ දා ගිය කණුවක් පහත් වී බිම ඇද වැටිණි. එපමණද ? මෙවන් අකුසල් වල බරින් මිරිකී ගිය මහ පොළොවද කම්පා වී විවර වූයෙන් අවීචි මහා නරකාදියේ ගිනි දැල් පැමිණ ඔහු ගත වසා ගත්තේය. ඒ මහා ගිනිදැලින් වැසී නරකයට ඇද ගෙන වැටෙද්දී

‘අනේ දිසාපාමොක් ආචාරීන් වහන්සේ එදා මට දුන් අවවාද නොපිළිගත්තෙමි. මා විසින්කළ පව්කම් වල විපාක මට ලැබේ..’ යැයි දුක්බර ලෙස කියමින් අවීචි මහා නරකාදියට ඇද ගෙන වැටිණි.

ජාතක කතාව අවසානයේදී බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා ‘මහණෙනි එසමයෙහි වානර සොහොයුරෝ හා අන්ධ මෑණියන් මැරූ දුර්ජන ඳඬසා නම් මෙකල දේවදත්ත ස්ථවිරයෝය.

එකල මව් වැඳීරිය මෙකල ප්‍රජාපතී ගෝතමී ස්ථවිරීන් වහන්සේය. එකල සිය අන්ධ මව් වෙනුවෙන් ජීවිතය දුන් චුල්ල නන්ද නම් වඳුරු වූයේ මෙකල ආනන්ද ස්ථවිරයෝය.

එකල වානරයන්ට නායකයාව සිට අන්ධ මෑණියන් වෙනුවෙන් ජීවිතය පූජා කළ නන්ද නම් වානර රජු වූයේ තෙල බුදු වූ මම්ම වේදැයි වදාළ සේක.

(චුල්ල නන්දිය ජාතකය ඇසුරිනි)

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.