Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජාතික චින්තනයේ පුරෝගාමියා

අනගාරික ධර්මපාලතුමා

අනගාරික ධර්මපාලතුමාගේ 144 වන ජන්ම දින සමරුව, සැප්තැම්බර් මස 17 වන දාට යෙදී ඇත. මේ ලිපිය, ඒ නිමිත්තෙනි.

යුගයේ අවශ්‍යතාවන් ඉටුකිරීම උදෙසා යුගකාරක පුරුෂයන් ලොවට බිහිකිරීම ස්වාභාවික න්‍යායයි. එය මෙරට පමණක් නොව ලෝක ඉතිහාසයෙන්ද සනාථ කොට ඇත. සියවස් කිහිපයක් පරාදීනව යටත් විජිතවාදය නව යටත් විජිතවාදය යන ආක්‍රමණශීලීත්වය නිසා සිංහල ලකුණ යටපත් වී ජාතික චින්තනය අයාලේ ගොස් සෝදා පාළු වී දොරේ ගිය සමයක ඒ තත්ත්වය යළිත් ඉස්මතු කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු කරුණක් විය. ඒ හේතුව නිසයි යුග පුරුෂයෙකු අවශ්‍ය වූයේ.

දකුණු ලක මාතර හිත්තැටිය නමැති සොඳුරු ගම් පියසක දොන් කරෝලිස් හේවාවිතාරණ හා මල්ලිකා ධර්මගුණවර්ධන යුවළට දාව උපන් එම යුග පුරුෂයා අන් කිසිවකු නොව මෙරට ලෝහිත රහිත විප්ලවයක් ඇති කළ අනගාරික ධර්මපාලතුමා ය.

මාතරින් කොටහේනට අවතීර්ණ වී අද මෙන් සංකීර්ණ නොවූ උපශාන්ත භූමි භාගයක් වාසයට තෝරාගෙන ජීවිතය ඇරැබූ හේවාවිතාරණ යුවළට එඩිමන් සයිමන් චාල්ස් හා දියණියන් දෙදෙනෙකුගෙන් උපයුක්ත පවුලක වැඩිමලා වූයේ ඩේවිඩ් හේවාවිතාරණය.19 වැනි සියවස ලක්දිවට උදාවූයේ සුබවාදී පරිසරයක් නොවේ. බෞද්ධ බලය පිරිහී මිෂනාරි ආකල්ප ව්‍යාප්ත වී එම අධ්‍යාපනය වඩාත් ප්‍රචලිත වී බමුණු කුලය ඉස්මතු වී විෂම වූ සමාජ පරිසරය හේතුවෙන් මෙරට බෞද්ධ රටක් ද යන්න සිතා ගැනීමට තරම් හේතු සාධක නොවී ය. කොළඹ නගරයේ පන්සල් දෙකක් පමණක් තිබීමෙන් බෞද්ධ ආකල්ප කොතරම් දුරට පහළ මට්ටමකට ඇදවැටුණා ද යන්න තේරුම් ගැනීම අසීරු කරුණක් නොවී ය.

කිතුසමය බටහිර සිරිත්, මිෂනාරි පාසල් පරිසරයට හුරු වු ඩේවිඩ් හේවාවිතාරණ පුංචි ළමයාගේ සිතිවිලි වඩාත් වෙනතකට යොමු වන්නට විය. ඊට අනුගත විෂය ධාරාව ආදිය ගැන වැඩි කැමැත්තක් නොදැක් වූ ඩේවිඩ් පුංචි ළමයා මේ සියල්ල වෙනස් කළ යුතු නිරයට දේශය ප්‍රවේශ වී ඇතැයි යන ආකල්ප මෝරා මෝදු වී තිබුණි.

පාණදුරා වාදය

1873 ඓතිහාසික පාණදුරාවාදය පුංචි ඩේවිඩ් ගේ සිත වඩාත් පෙරැළිකාර තත්ත්වයක් උදා කිරීමට සමත්විය. නව හැවිදිරි විය, සැපිරූ ඩේවිඩ් කෙරෙහි පාණදුරා වාදය තදින්ම කා වැදී එයින් උද්ගත වූ යම් යම් කරුණු කාරණා අවධාරණය කරගෙන බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට ඉටාගත්තේ ය. සමාජ පෙරැළියකට අතිශයින්ම ඉවහල් වූයේ පාණදුරාවාදය යැයි කීවොත් එය එතරම්ම නිවැරැදිය. එමෙන්ම එවකට ලක්දිවට පැමිණි සුදු ජාතික ස්ටීල් හෙන්රි ඕල්කොට්තුමාගේ ඉංගී‍්‍රසි දේශනවලට පැහැදීම එම පෙරැළිය වඩාත් ප්‍රවේගවත් විය. ඊට තවත් සාධකයක් වූයේ සරසවි සඳරැස පුවත්පතයි. සමාජ පෙරැළිය ඇති කිරීම ගිහි ජීවිතයේ සිට කළ නොහැකි කරුණක් බව සිතට ගත් ඩේවිඩ් තරුණයා බ්‍රහ්මචාරි දිවි පෙවෙතක් ගතකිරීමට ඉටාගත්තේ ය. මේ අදහස සිය පියාට සැළකිරීමෙන් පියා ඊට එකඟ නොවූයේ පවුලේ වැඩිමලා එවන් තීරණයක් ගනු ලැබුවහොත් බාලයන්ගේ ඉරණම කුමක්වේද? යන්න සළකා ය. එහෙත් ස්වකීය මල්ලිකා මෑණියන් පුතාගේ එම තීරණයට හරස් කැපුවේ නැත. සිය අභිමතයට ඉඩදීමට ඉටා ගත්තා ය.

පරම විඥානාර්ථ සමිති ශාලාව අබිනික්මනයට තෝරා ගත්තේ ය. එමෙන්ම මිෂනාරි වූ ඩේවිඩ්, නාමය ඉවත දමා ධර්මපාල යන නම තෝරා ගත්තේ ය. සුදු රෙද්ද බැනියම උතුරු සළුව ඇඳගත් ධර්මපාලතුමා පරමාදර්ශී ජීවිතය සමාජයට පෙන්නුම් කළේ ය. ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට යන්න ආප්තයගුරු කොටගෙන සේද මාවත සිඳ බිඳ දමා රළු වූත් කටුක වූත් ගමන්මග ආදේශ කොට ගත්තේ ය. මහා ධනවත් පවුලක ඉප දී සියලු සැප සම්පත් ඒ අයුරින්ම විඳ ගැනීමට අවකාශ තිබිය දී මෙබඳු මඟක් අනුගමනය කෙළේ සමාජ ප්‍රගමනය උදෙසා ය. ස්ව ප්‍රතිලාභ උදෙසා නොව සමාජයේ සෙස්සන්ගේ ප්‍රතිලාභ සඳහා ය. යන නියතය කරපින්නා ගත්තේ ය. මේ නිසාම ධර්මපාලතුමාගේ චරිතය ඉතාම විරල ගණයට ගැනෙන්නකි. දුලබ ලක්‍ෂණවලින් සම්ප්‍රයුක්ත වූ හෙයින් ඉතා කෙටි කාලයකින් ධර්මපාල නාමය නො ඇසූ කෙනෙක් නැති තරමට උත්ප්‍රේරණීය තලයකට ඇදගෙන ගියේ ය.

ඕල්කට්තුමා බුදුසමය වැළඳගෙන එම දේශන ඉංගී‍්‍රසියෙන් සිදුකළ හෙයින් ඒවා සිංහලට පරිවර්තනය කරන්නට වූයේත්, අනගාරික ධර්මපාලතුමාටය. ඉංගී‍්‍රසි දේශන ඇසීමෙන් ද ඒවා සිංහලයට පෙරැළීමෙන්ද ඇති වූ උදාත්ත චමත්කාරය මත වාග් චාතූර්යයකින් අනගාරික ධර්මපාලතුමා හෙබියේ ය. එක එල්ලේ ගලා යන හා සමායේ සෙස්සන්ට කරුණු අවබෝධ කොට තමන් වෙත යොමුවීම හා ඔවුන් කෙරෙහි මුල්බැස ගත් ආකල්ප වෙනස්කිරීමට හැකි ශක්‍යතාවක් ඇතිවීම ද සුවිශේෂිත ලක්‍ෂණයකි.

මුල්ම චාරිකාව

ජපානයට ගිය ධර්මපාලතුමා 1889 – 1890 දී මේ ගමන අවසන් කොට ථෙරවාදී බුදුසමය එහි ප්‍රචලිත කිරීමටත් මිෂනාරී ප්‍රචාරයන්ට එරෙහිව සිය ගමන උපයෝගිකොට ගන්නා ලදී. ඕල්කට්තුමාත් ඔහුගේ අනුගාමිකයෙකු වූ ;ලඩි මීටර් ද ධර්මපාලතුමා සිය ධර්මප්‍රචාරය උදෙසා යොදාගත් තට්ටු දෙකේ අමුතු ගැල් ද අනුසාරයෙන් ගම් නියම්ගම් පුර විසල්පුර, දනව් පසල් දනව් ඔස්සේ ගොස් බෞද්ධ ප්‍රබෝධයක් ඇතිකිරීම මත සිය අභිප්‍රායයන් මුළුමනින්ම සපුරා ගැනීම අතිශය භාග්‍යයකි. ඒ භාග්‍යය රටේම භාග්‍යයයි.

බෞද්ධ පාසල් ඇරැඹීම

මිෂනාරි පාසල් අධ්‍යාපනයට නැඹුරු වූ සමාජය බෞද්ධ පරිසරයක් මත බුදු සමය විෂය කරගෙන ඒ මගින් ආචාරශීලී යහපත් සමාජයක් ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණෙන් බෞද්ධ පාසල් රටපුරා ඇතිකිරීමට වගබලා ගත්තේ ය. කොළඹ ඉංගී‍්‍රසි බෞද්ධ විද්‍යාලය ආනන්ද නාලන්ද ගාල්ලේ මහින්ද මහනුවර ධර්මරාජ විද්‍යාලත් පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයත් 1906 බිහිකළ හිනිදුම පාසල ඒ අතර සුවිශේෂිත ය.

දඹදිව යෑම

1890 දෙසැම්බර් 05 දා අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතයේ සුවිශේෂිත අවස්ථාවකි. එනම්, දඹදිවට යාම මෙතුමා දඹදිව ගියේ එහිද විශාල පෙරැළියක් වෙනසක් පුනර්ජීවයක් උදාකිරීමටය. බුද්ධගයා විහාරය නිදහස් කර ගැනීමේ පරම අටියෙන් ගිය එතුමා එම කාර්යට අත ගැසුවේ කෙසේ හෝ එය බෞද්ධ අයිතියකට පවරා ගන්නවා යන පරම පවිත්‍ර අදිටනින් යුතුවය. එවකට බුද්ධගයාව බාරව සිටියේ හේමනාරායන සිරි මහන්තා නමැති හින්දු භක්තිකයෙකි. ඔහුගේ අණසකට පැවැති බුද්ධගයාව සියතට ගැනීමට අනගාරික ධර්මපාලතුමා අධිකරණයට ගියේ ය. අධිකරණ තීන්දුව අනුව ධර්මපාලතුමාට එහි අයිතිය පැවැරිණි. මෙතුමා එම පියවර නොගත්තේ නම් තවමත් බුද්ධගයාව හින්දු අතේ ය. එම විජයග්‍රහණයෙන් පසු එහි ද මහාබෝධි සමිතියක් ඇරැඹීය.

දෘෂ්ටි සමුළුව

1893 චිකාගෝ නුවර දෘෂ්ටි සම්මේලනයේ දී එතුමා කළ චතුර කතාව ලොවම අවදිකිරීමට තරම් සමත්විය. ආර්ය අෂ්ටාංගික මාර්ගය පාදක කොටගෙන විෂය කොටගෙන පැවැත් වූ එම දෙසුම දෙස එහි පැමිණ සිටි නියෝජිත පිරිස මහත් විමතියෙන් විමසිල්ලෙන් යුතුව බලා සිටියේ එයින් ප්‍රණීත වූ හරවත් සාරවත් විද්වත් ස්වරූපය නිසා ය. මේ සාරගර්භ කතාව නිසා පුවත්පත් වලින් ලැබුණු ප්‍රචාරය හේතුකොටගෙන අනගාරික ධර්මපාලතුමා කෙබඳු පුද්ගලයෙක් ද යන්න දැනගැනීමට දැකබලා ගැනීමට කතාබහ කිරීමට හොනලුලු වරායට සේන්දු වූ ජනකාය අප්‍රමාණය. මේ අවස්ථාවේ දී මේරි ෆෙනිස්ටර් මැතිණිය එතුමා ගැන පැහැදී සිය ධර්ම ප්‍රචාරක කටයුතුවලට ආධාර වශයෙන් ලක්‍ෂ ගණනින් මුදල් පරිත්‍යාග කරන ලදී.

දඹදිව ප්‍රගමනය

බුද්ධගයාව බේරාගැනීමෙන් පසු දඹදිව ප්‍රගමනය අරබයා විශාල කාර්යභාරයක් ඉටුකරන ලදී. බෞද්ධ ප්‍රචාරය හරිජනයන් බුදුසමයට හරවා ගැනීම, බෞද්ධ මධ්‍යස්ථාන ඇරැඹීම 1896 දී කල්කටාවේ දී වෙසක් මහෝත්සවයක් පැවැත්වීම, කුල කාන්තාවන් උපයෝගී කොටගත් ඛම්බුසාය වෙනුවට ඔසරියට හුරු කිරීම, කල්කටාවේ මහාබෝධි සමාගමේ ශාඛාවක් ඇරැඹීම, මහාබෝධි (Mahabodi) නමින් ඉංගී‍්‍රසි සඟරාවක් ආරම්භ කිරීම.

සිංහල බෞද්ධයා

1906 දී සතිපතා පළවන සිංහල බෞද්ධයා නැමති පුවත්පත ආරම්භ කළේ ය. මෙයින් ද මෙතුමා අදහස් කෙළේ බෞද්ධාගම බෞද්ධ ධර්මය බෞද්ධ ආචාර ධර්ම පොදු ජනකාය කෙරෙහි ඇතිකිරීමට එදා මේ පුවත්පත සමාජයේ ප්‍රබල හඬක් ඇති කෙළේ ය.

ධර්ම ප්‍රචාරය

දේශීය මෙන්ම විදේශීය වශයෙන් ධර්ම ප්‍රචාරක කටයුතු වල නියැලුණු මෙතුමා උදේ පටන් රෑ වනතුරුත් අව්ව වැස්ස නොබලා වේලාව, අවේලාව නොතකා දිවා රෑ නොසිතා කුඩා නිවසක හැඩයට තැනූ රිය කූඩුව සහිත මොටෝ රථයකින් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැලී එදා සමාජයෙන් සිදුවිය යුතු සියලුම කටයුතු නොපිරිහෙලා ඉටුකිරීමට වගබලා ගත්තේ ය.

දේශනය හා ලේඛනය සමගාමීව ගිය ගමන් මගකි. සිය ආකල්ප දේශනයෙන් ප්‍රකට කළයුතු නැත්හි දි එලෙස සිදුකළ අතර ලේඛනයෙන් කිව යුතු තැන දී සිය වාග් ශෛලිය ඊට උපයෝගී කොට ගත්තේ ය.

කාර්මික ඥානය

තමන් දේශ දේශාන්තරවල සංචාරය කිරීමේ දී ඒ ඒ රටවල කාර්මික සංවර්ධනය තම දේශයේත් ඇති කිරීමට ඉටා ගැනීමේ ඵලයකි රාජගිරියේ ආරම්භ කළ හේවාවිතාරණ පේෂකර්ම විද්‍යාලය ඊට සමගාමීව ගිනිපෙට්ටි කම්හලක් ද ආරම්භ කරන ලදී. තම බාල සොහොයුරු දොස්තර සී.ඒ. හේවාවිතාරණ කර්මාන්ත දියුණුවට යොමුකොට 1922 දී වෙම්බිලි කර්මාන්ත දැක්ම එහි තවත් ඵලයකි.

ධර්මපාලතුමා නිතරම ගුරුහරුකම් ගනු ලැබුවේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගෙනි. මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙන බිහිකිරීමට ඉඩම පූජා කොට පෙර පැවැති ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය දියුණු කිරීමට මේ විද්‍යාස්ථානය නාහිමියන්ට පවරන ලදී. පාලි, සකු, ප්‍රාකෘත, හින්දි, අර්ථ ශාස්ත්‍රය, ඡ්‍යොතිෂය, තර්ක ශාස්ත්‍රය, බුදුසමය දර්ශනය ආදී විවිධ විෂයයන් වලට පාදක වූ මේ ශාස්ත්‍ර ශාලාව නිසා පැවිදි පඬිවරුන් පමණක් නොව ගිහි පඬිවරුන් පවා බිහි වීමට කේන්ද්‍රස්ථානයක් විය. එවකට සමාජයේ මහ ඉහළින් වැජඹුණු හෙයියන්තුඩුවේ දේවමිත්ත හිමියන්ගෙන් හා බටුවන්තුඩාවේ පඬිවරයාගෙන් සිංහල හා පාලි භාෂා ඉගෙන ගෙන ඒවායේ ගැඹුරට ම ගිය බව ලේඛනවලින් අනාවරණය වේ.

අම්‍යප ව්‍යාපාරය

මිනිසා මතින් බැහැර කිරීමේ පරම අටියෙන් අමද්‍යප ව්‍යාපාරයක් අරඹන ලදී. පෙරසේම ගම් නියම්ගම්වලට ගොස් මත්පැන් පානය කිරීමෙන් මිනිස් දිවියට සිදුවන බරපතළ හානිය යථාර්වාදීව පහදාදීමේ ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ දෙනා මත්පැන් පානය කිරීමෙන් වැළැකී සිටියහ.

එවකට ඉන්දියාවේ සිටි මහා ප¼ඬිවරයෙකු වූ සතිස්චන්ද්‍ර විද්‍යාභූෂණ පඬිවරයාගේ අනුදැනුම අනුව ඉන්දියාවේ උසස් විද්‍යාල කිහිපයක් ද ආරම්භ කරන ලදී.

එහි පාලි භාෂාව ඉගැන්වීම මූලික වශයෙන් සිදුවිය. මෙතුමා අතින් Buddhist සඟරාව සංස්කරණය වීම ද විශේෂිත ලක්‍ෂණයකි. එම සඟරාව සැකැසීමට තරම් ශික්‍ෂණය භාෂා ඥානය විෂය ඥානය පරිචය ප්‍රාගුන්‍ය අත්දැකීම් බහුලවීම ආදිය මත ප්‍රඥාව පැවැතියේ කෙබඳු තැනකද යන්න තේරුම් ගැනීම අපහසු නොවේ.

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට සයිමන් හේවාවිතාරණ නමින් අරමුදලක් ද මෙතුමා පිහිටුවන ලදී. ත්‍රිපිටකාගත වත ගොත සමාජයට උකහා ගැනීම මේ මගින් සිදුවීම මෙතුමා අතින් සිදුවූ තවත් විශිෂ්ට මෙහෙවරකි.

කොටහේනේ අරගලය.

බෞද්ධ හා මුස්ලිම් ජනයා අතර ඇති වූ කොටහේනේ අරගලය මෙතුමාගේ චින්තනය වඩාත් ගැඹුරුට සිතන්නට යොමුවිය. තර්කාන්විත තර්කානුසාරී බුද්ධිය සමාජ ප්‍රගමනයට ඉවහල් කිරීමට බලපාන ලදී. සමාජය ආගමික වශයෙන් බේද භින්න වීමේ අනිටු විපාක මේ අරගලයෙන් මනාව ඉස්මතුවිය. ඉතිහාසයේ මහා පෙරැළියක් කිරීමට තරම් බලපෑ කොටහේනේ අරගලය සම්බන්ධයෙන් මහාචාර්ය ජී.වී. ජී. සෝමරත්න kotahena Raiout යනුවෙන් මහා ග්‍රන්ථයක් ලියන්නට පෙළඹවීම මත අනගාරික ධර්මපාලතුමාගේ චින්තනය කොතරම් දුරට වෙනසකට බඳුන් වන්නට වූවා ද යන්න අපට සිතාගත හැකි ය.

ග්‍රන්ථ කරණය

The Buddhist Empire of Asoka the great 2. What did Buddha Teach 3. Relation between Buddhism and Hiduism  ග්‍රන්ථ මෙතුමා අතින් ලියැවුණු ඉංගී‍්‍රසි ග්‍රන්ථයන් ය. මේ ග්‍රන්ථ දෙස් විදෙස් වශයෙන් වඩාත් සිත්ගත් ග්‍රන්ථ බවට පත් වී ඇත.

අනගාරික ධර්මපාලතුමාගේ අන්තිම වදනවූයේ නැවත විසිපස් වරක් ඉපිද බුද්ධ ශාසනය දියුණු කරන්නට ලැබේවා යන්නයි. මේ වදන් අතළොස්සෙහි පවත්නා නිර්මලත්වය මොනවට පැහැදිලි වේද? මෙතුමාගේ සමාජ විඥානය එදාටත් වඩා වැදගත් වන්නේ අදට ය. ධර්මපාල චින්තනය වඩාත් ප්‍රබල ලෙස සමාජයට අවශ්‍ය අංගයක් බවට පත් වී ඇත. යළිත් වරක් මෙතුමා සිරිලක හෝ දඹදිව බිහිවිය යුත්තේ ඒ හේතුව නිසා ය.

1933 අප්‍රේල් 29 දා බරණැස ඉසිපතනයේ සාරානාත්හිදී සිරිදේවමිත්ත ධර්මපාල හිමි නමින් අපවත්විය. මේ අපවත්වීමේ ද සුවිශේෂත්වයක් වන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් අපවත් වී වසරක් ගත වූ 29 දා ය. හික්කඩුවේ නාහිමියන් ධර්මපාලතුමා අතර තදාන්තර බැඳීම මෙයින් සනාථ වේ. මෙතුමාගේ හැම කරුණකදී ම මාර්ගෝපදේශකයා වූයේත් ගුරුතන්හි සිටියේත් හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ය.

ඒ හේතුව නිසයි මෙතුමාට මෙතරම් සර්ථක ගමන් මගක නියැලෙන්නට අවකාශ ලැබුණේ. මේ ලිපිය මෙතුමාගේ සමකාලීනයකු වූ ගණේගම සරණංකර නාහිමියන්ගේ අදහසකින් සමාප්ත කිරීම කාලෝචිතයැයි සිතමි.

“ඉන්දියාවට නොගිය කිසිවෙක් ධර්මපාලතුමා ගැන නියම හැටියට නොදනිති. මම ඉන්දියාවේ වර්ෂ 5 ක් සිටියෙමි. ඉන් වර්ෂ 3 ක් කල්කටාවේ මහාබෝධි සමාගමේත් වර්ෂ 2 ක් ශාන්ති නිකේතන විශ්වවිද්‍යාලයේත් ගත කෙළෙමි. කුඩා කළ මා විද්‍යෝදය පිරිවෙනේ ඉගෙන ගනිද්දී ධර්මපාලතුමා සිටියේ ඒ ඉදිරිපිට මහාබෝධි සමාගමට අයත් නිවසක ය. එහිදී එතුමා නිතර දිටිමි. එතුමාට ඇති බිය නිසා ඉදිරියට ගොස් කථා නොකෙළෙමි. එතුමා එහි සිටි කාලයේ පිළිපැද්ද හැටි හොඳින් දනිමි.

දඹදිව නවතින්නට ගිය දිනට පෙර දින විද්‍යෝදය පිරිවෙනේ ශ්‍රී සුමංගල ශාලාවේ දී 500 ක් පමණ මහා සංඝයා ඉදිරියෙහි කළ එතුමාගේ ඒ අන්තිම කථාව අසා සිටියෙමි.

එය අසා සිටි වැඩිහිටි මහ තෙරුන්නාන්සේලා ගේ දෑසින් කඳුළුකැට කඩා වැටෙනු බලා සිටියෙමි. ඒ අන්තිම කථාව මීට අවුරුදු 47 කට පෙර ඇසූ එකක් වූවත් අදත් මගේ හදවත් කුටියේ කැවී නොමැකී තිබේ. (ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල, 11 පිටුව)


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.