Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෝ රුක් රෝපණය හා ආරක්‍ෂා කර ගැනීම

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ඇතුළුව සිරිලක පුරා පිහිටි වෙහෙර විහාරස්ථානයන්හි බෝධි වෘක්‍ෂ සිය දහස් ගණනාවක් රෝපණය කොට ලක්‍ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවගේ නිරතුරු පූජා ගෞරවයට පාත්‍ර වෙමින් පවතී මේ හැර අලුතින් ඉදිවන වෙහෙර විහාරස්ථානයන්හි ද තවත් බෝ රුක් රාශියක් රෝපණය කරනු ලැබේ. පැරැණි බෝධීන් වහන්සේ තවත් දීරිඝ කාලයක් ආරක්‍ෂා කර ගැනීමත් අලුතෙන් රෝපණය කරන බෝධි වෘක්‍ෂ නිවැරැදි ආකාරයට සිටුවීමත් ඒවා රැක බලා ගැනීමත් ඉතා වැදගත් වේ. සමහර අවස්ථාවලදී ක්‍රමානුකූලව බෝ රුක් රෝපණය නොකිරීම නිසා ඒවා අසාර්ථක වූ අවස්ථා ද තිබේ.

සිටුවන ස්ථානය

බෝධි වෘක්‍ෂ ඉතා විශාල ලෙස අතු පතර විහිදුවා වැඩෙන හොඳින් විහිදී දිවෙන මුල මණ්ඩලයක් ඇති නිවර්තන කලාපීය ශාඛයකි. එබැවින් ගොඩනැගිලි ආදියට අවහිර නොවන ලෙස තරමක් ඈතින් සිටුවිය යුතු වේ. නැතහොත් ශාඛය විශාලව වැඩුනු පසු අතු හා මුල් කප්පාදු කිරීමට සිදුවේ. තවද නිතර ජලය රැඳෙන ස්ථාන ද බෝ රුක් රෝපණය සඳහා සුදුසු නොවේ. සිටුවීමට තෝරා ගන්නා ලද බෝ පැලය සෙ.මී. 60 – 90 ක් පමණ උස්ව වැඩී ඇත්නම් දේශගුණික තත්ත්වයන්ට හා ලෙඩ රෝගවලට ඔරොත්තු දී හොඳින් වැඩෙනු ඇත.

බෝ පැළය සිටුවීම

බෝ පැලය සිටුවීමට සුදුසු ස්ථානයක් මනා ලෙස පරීක්‍ෂා කර බලා තීරණය කළ පසු ඒ සඳහා සෙ.මී. 120 ක් පමණ විශ්කම්භය හා ගැඹුරැති රවුම් හැඩයෙන් යුත් වලක් කපා ගත යුතු වේ. වලෙහි පස් සියල්ල ගොඩට ගත යුතු ය. එම පස් සාරවත් වේ නම් පොහොර සමග මිශ්‍ර කර නැවත වල පිරවීමට යොදා ගත හැකි වේ. එම පස් ගල් බොරළු මිශ්‍ර වී ඇත්නම් ඒවා ඉවත් කර වල පිරවීම සඳහා සාරවත් මතුපිට පස් පිටතින් ගෙන ආ යුතු වේ. ගස් වැල් වැවී ඇති ප්‍රදේශයකින් දිරි ගිය කොළ පොහොර ආදියෙන් සමන්විත හියුමස් සහිත මතුපිට පස් ලබා ගැනීම වැදගත් වේ. එසේ ලබාගත් මතුපිට පස් කොටස් තුනකට හොඳින් දිරාගිය ගොම පොහොර හෝ කොම්පෝස්ට් පොහොර කොටස් දෙකක් ද ගංගා වැලි කොටසක් ද, කුඩා ගඩොල් කැබලි කොටස් බාගයක් ද පහසුවෙන් සොයා ගත හැකිවේ. නම් දර අඟුරු කොටස් බාගයක් ද ගෙන එම ද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කර ගත යුතු වේ. මෙම පොහොර මිශ්‍රණය හිරුඑළිය ඇති ස්ථානයක ඇතිරිය යුතු ය. වේයන් ආදී මුල මණ්ඩලයට හානිකර කෘමීන් මර්දනයට සුදුසු රසායනික මිශ්‍රණයක් ලබාගෙන ඉන් තේ හැඳි එකක් වතුර ගැලුමක මිශ්‍ර කර පොහොර මිශ්‍රණය තරමක් තෙමෙන ලෙස ඉසිය යුතු ය. ඊට පසු දින තුනක් පමණ පොහොර මිශ්‍රණය වියලීමට ඉඩ තැබිය යුතු ය.

බෝ පැලය සිටුවන වලෙහි පතුලෙහි සෙ.මී. 20 ක් පමණ උසට ගඩොල් කැබලි තට්ටුවක් තැන්පත් කළ යුතු ය. මෙසේ සකසාගත් වල ඉහත සඳහන් පොහොර මිශ්‍රණයෙන් පිරවිය යුතු ය. පොහොර මිශ්‍රණය වල තුළට යොදා පොලොවෙන් සෙ.මී. 15 ක් පමණ උසට සිටින සේ සකස් කළ යුතු වේ. වලෙහි මැදින් පැලයේ පස් බෝලයේ උසට සරිලන සේ කුඩා වලක් සකසා ගත යුතු වේ. ඉන්පසු බෝ පැලය සිටුවා තිබෙන පොලිතීන් උරය ප්‍රවේශමෙන් කපා පස් බෝල නොසෙලවෙන සේ අල්ලා ගෙන වලෙහි මැද සිටුවා පැලය වටා පොහොර මිශ්‍රණය යොදා තද කළ යුතු වේ.

බොහෝ විට බෝ රුක් රෝපණයේදී පින්කම් උත්සව පවත්වා විශේෂ අමුත්තකු හෝ මහා සංඝයා වහන්සේ විසින් උත්සවශ්‍රීයෙන් සිටුවනු ලැබේ. මෙවැනි අවස්ථාවල දී පැලය සිටුවා ඇති බඳුන ඉවත් කළ විගස සුදු සව්කඩදාසි කීපයක් ඝනකමට සිටින සේ ගෙන පස් බෝලය ඔතා අලවා ගත හැකි වේ. මෙසේ සකසා ගත් පැලය සව්කඩදාසිය සමඟ සිටුවීමට පිළිවන සව්කඩදාසිය පසුව දියවී යනු ඇත.

එසේ නැතිව බෝ පැලය රෝපණය කර තිබෙන බඳුන සමඟ සිටුවීම නොකළ යුතු ය. තවද වල වටා කොන්ක්‍රීට් යොදා හෝ කිතුල් දැව පතුරු හෝ ලෑලි යොදා පැල සිටුවීම කිසිසේත් නොකළ යුතු ය. මෙසේ, වැරැදි ආකාරයට පැල සිටුවා බෝ පැල අනතුරට පත් වූ අවස්ථා දැක තිබේ.

රැක බලා ගැනීම

බෝ පැලය සිට වූ විගස ජලය යෙදිය යුතු ය. සිටුවා මාස තුනක් පමණ වන තෙක් පායන කාලයේ දී දිනකට වරක් ජලය යෙදිය යුතු වේ. තද හිරු රැසින් ආරක්‍ෂා කර ගැනීමට පැලය වටා සෙවනක් යෙදීම වැදගත් වේ. සිටුවන ලද පැලය සෘජුව වැඩීමටත් සුළඟෙන් ආරක්‍ෂා කර ගැනීමටත් වියලි ආධාරක කෝටුවක් සිටුවා ඊට පැලයේ කඳ නූලකින් බැඳිය යුතු ය. බෝ පැලය සතුන්ගෙන් හා වෙනත් උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට දැව මගින් හෝ ප්ලාස්ටික් ආවරණය යොදා ඇති දැල්වලින් ආවරණයක් සාදා පැල කොටුවක් තැනිය යුතු ය.

බෝධි ප්‍රාකාර ඉදිකිරීම

බෝධි වෘක්‍ෂ වටා ආරක්‍ෂක ප්‍රාකාර හා මල් ආසන බැඳීමේ දී, ඉදිරියට ශාකය වැඩීමට අවශ්‍ය ඉඩකඩ තැබීම ඉතා වැදගත් වේ. බෝ පැලය මීටර් 4 – 5 දක්වා වැඩුන පසු ස්ථිර බෝධි ප්‍රාකාරය හා මල් ආසන තැනීමට පිළිවන. බෝධිය වටා ඉදිවන මෙම ප්‍රාකාරය පැලයෙහි පාමුල සිට අඩු වශයෙන් මීටර් 3 පමණ ඈතින් ඉදිකිරීම යෝග්‍ය වේ. ප්‍රාකාරය පැලයට ලංවුවහොත් මූල මණ්ඩලය විහිදීයාම අවහිර වී වර්ධනය බාලවීමට ඉඩ තිබේ. ප්‍රාකාරය බෝධිය කඳට සමීපව තැනීම නිසා කලකට පසු ක්‍රමයෙන් කඳ මහත් වී ප්‍රාකාරය පුපුරාගිය අවස්ථා දැක තිබේ. මල් ආසන ආදියට ද හානි පැමිණෙනු ඇත. තවද වැසි ජලය නිදහසේ බැස නොගොස් ශාකයේ පාමුල රැඳීමෙන් මූල මණ්ඩලයට හානි වූ අවස්ථා ද තිබේ. බෝධිය වටා ඉතා ගැඹුරට කොන්ක්‍රීට් යොදා බැමි බැඳීම අහිතකර වේ. එසේ වුවහොත් අධික වැසි ජලය බැස නොගොස් මූල මණ්ඩලයට හානි පැමිණෙනු ඇත.

මෙම ප්‍රාකාරය තැනීමේ දී අදාළ ඉඩ ප්‍රමාණය තබා පොළොව යටට මීටරයක් පමණ වන සේ අත්තිවාරම යොදා ඒ මත ගඩොලින් තාප්පය තැනීම සුදුසු වේ. ප්‍රාකාරයෙහි උස අවශ්‍ය පමණට ගෙන බෝ රුක් මුලට ළඟාවීම සඳහා කුඩා දොරක් තැබීම අවශ්‍ය වේ. බෝ කොටුව තුළ හා බෝ මළුවෙහි ගංගා වැලි ඇතිරීම සුදුසු වේ.

අනවශ්‍ය රිකිළි ඉවත් කිරීම

බෝ පැලය මීටරයක් පමණ වැසුන පසු කඳෙහි හටගන්නා අනවශ්‍ය කුඩා රිකිලි ඉවත් කළ යුතු වේ. කැපුම සුව වීම සඳහා රබර් වගාවේදී පාවිච්චියට ගන්නා දිලීරනාශක ආලේපයක් යොදාගත යුතු වේ. කුඩා කාලයේ දී ශාකයේ මනා වර්ධනය සඳහා ස්වභාවික දියර පොහොර මසකට වරක් යෙදීම ප්‍රයෝජනවත් වේ. මාස හයකට වරක් දිරා ගිය ගොම පොහොර වැලි සමග මිශ්‍ර කොට පැලය වටා යෙදීම වැදගත් වේ.

බෝධි වෘක්‍ෂය ආරක්‍ෂා කර ගැනීම හා කෘෂි හානි වළක්වා ගැනීම

ලොකු කුඩා බෝ රුක් වලට බොහෝ විට වේයන්ගෙන් හානි පැමිණේ. නිරතුරුවම පරීක්‍ෂාකාරීව සිට වේයන්ගේ හානිය වැඩිවීමට පෙර අදාළ මර්දන කටයුතු කළ යුතු වේ. ශාකය පාමුල වේ හුඹස් ඇත්නම් පොලොව යටට හාරා සියලු මද ඉවතට ගෙන ඈතට දැමිය යුතු ය. පැරැණි බෝරුක්වල කඳෙහි අතු බෙදෙන ස්ථානවල වේයන්ගෙන් හානිවීම සුළභව දක්නට ලැබේ.

හානි වී ඇති පොත්ත ඉවත් කර පවිත්‍ර කිරීමෙන් පසු සුදුසු වේ නාශකයක් ඉසිය යුතු ය. ඊට දින තුනකට පමණ පසු පොත්තේ ඇති වූ තුවාල සුවවීමට දිලීරනාශක ආලේපයක් යෙදිය යුතු වේ. ඇතැම් විට බෝ පත්‍රවලට කුඩා පනුවෙකුගේ හානිය දක්නට ලැබේ. මෙම පනුවා පත්‍ර දෙකක් එක්කරගෙන ඒ අතරට වී පත්‍රය කා දමනු ලබයි. මේ සඳහා සුදුසු කෘමි නාශකයක් යෙදීම වැදගත් වේ. කුඩා බෝ රුක්වල පත්‍ර නිරෝගීව වැඩීම පිළිබඳව නිරතුරුව ම පරීක්‍ෂා කාරීව සිටීමෙන් මෙම උවදුරු කල් ඇතිව වලක්වා ගැනීමට පිළිවන.

රෝග වළක්වා ගැනීම

බෝ පත්‍රවල කහපාට පුල්ලි හට ගැනීම ද සුලබව දක්නට ලැබෙන දිලීර රෝගයකි. මින් තදබල හානි ඇති නොවේ. බොහෝ විට මෙම පත්‍ර පුල්ලි ඇතිවන්නේ පැරණි බෝ පත්‍ර හැලීමට පෙර පෙවරවාරි මාසය ආසන්නවයි. එහෙත් කුඩා බෝ රුක්වලට මෙම පත්‍ර පුල්ලි ඇති වුවහොත් දිලීර නාශකයක් සති දෙකකට වරක් යෙදීම යෝග්‍ය වේ.

දිරා ගිය අතු ඉවත්කිරීම

පැරැණි බෝ රුක් වල බොහෝ විට දිරාගිය අතු දක්නට ලැබේ. මේවා තිබීමෙන් මෙම දිරීම තව දුරටත් පැතිරී යාමට පිළිවන. දිරාගිය අතු ඉවත් කිරීමේ දී ප්‍රධාන කඳෙහි සිට අඟල් 6 ක් පමණ තබා අත්තෙන් ඉවතට වැසි ජලය ගලා යන සේ හැඩයෙන් යුතුව කැපිය යුතු වේ. ඊට පසු එහි කැපුම මතුපිට දිලීර නාශක ආලේපයක් යෙදිය යුතු ය.

ආධාරක යෙදීම

තවද පැරැණි බෝධි වෘක්‍ෂයන්හි ඈතට විහිදී ගිය අතු හට ගැනීමට පිළිවන. වැලිගම අග්‍රබෝධිය, කළුතර කතරගම හා මහියංගන බෝධිවල මෙම ලක්‍ෂණය මැනවින් දක්නට ලැබේ. මෙම අතු බොහෝ විට පොළොවට සමාන්තරව ඈතට දික්ව වැඩෙනු ඇත. සුළඟට හෝ වර්ෂා සමයේ දී බර වැඩි වී මෙම අතුවලට හානි පැමිණීමට ඉඩ තිබේ. මෙම අතු ආරක්‍ෂා කර ගැනීම සඳහා ආධාරක යෙදීම ඉතා වැදගත් වේ. මේ සඳහා පරණ රේල් පීලි වැනි ශක්තිමත් ආධාරක යොදා ගැනීම සුදුසු වේ. කුඩා අතු සඳහා ශක්තිමත් දැව හෝ පයිප්ප බට යොදා ගැනීමට පිළිවන. ආධාරකය අත්තට සම්බන්ධ වන ස්ථානයෙහි පොත්තට හානි නොවන සේ සකස් කර ගත යුතු වේ. ආධාරකයේ මුදුන කත්තුවක හැඩයෙන් කපා පැරැණි ටයරයක කොටසක් ගෙන තබා බැඳ ඒ මත අත්ත තැබිය යුතු වේ. ආධාරකයක සුළඟට නොසෙල්වන ලෙස ශක්තිමත්ව සවි කිරීම වැදගත් වේ. සමහර බෝධි වෘක්‍ෂ ඉතා පැරැණි වූ විට අවට පස නිසරු වී වර්ධනය දුර්වල වනු ඇත. එවිට ශාකය වටා සෙ.මී. 15 ක් පමණ මුල්ලු කර පැලය සිටුවීම සඳහා යොදා ගන්නා ලද පොහොර මිශ්‍රණය සාදා බෝධිය වටා අතුරා ජලය යෙදීම කළ යුතු වේ. මේ හැර ස්වාභාවික ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරන ලද දියර පොහොරක් ලබාගෙන අදාළ උපදෙස් අනුව බෝධියේ කඳ වටා තෙමා මූල මණ්ඩලය අවට පසට ද යෙදීමට පිළිවන. ඉහත සඳහන් අයුරු අලුතින් රෝපණය කරන ලද සහ පැරැණි බෝධි වෘක්‍ෂ රැකබලා ගතහොත් සිරිලක සිසාරා පිහිටි දහස් සංඛ්‍යාත වෙහෙර විහාරස්ථානවල රෝපණය කරන ලද බෝධීන් වහන්සේලා මතු පරම්පරා ගණනාවකට සිසිලස හා ශාන්ති සුවය ගෙන දෙමින් සෙනෙහසින් යුතුව පිහිට වෙමින් නිරෝගීව චිරාත් කාලයක් වැජඹෙනු නොඅනුමාන ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.