UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බටුවන්දර ශ්‍රී තිලකාරාමය


පැරැණී විහාරයේ
බුද්ධ ප්‍රතිමා වහන්සේ

බෝධින් වහන්සේ

දොරටුපාල මූර්තියක්


චෛත්‍ය හා නව විහාර මන්දීරය

පිළියන්දල, කැස්බෑව, බණ්ඩාරගම මාර්ගය ආසන්නයේ බටුවන්දර මන්සන්ධියට නුදුරින් පිහිටි ජඹුරළිය, බටුවන්දර ශ්‍රී තිලකාරාමය ප්‍රදේශවාසී බෞද්ධ පින්වතුන්ට සදහම් සිසිලස බෙදා දෙන පූජනීය සිද්ධස්ථානයකි. වසර 150 කට වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති අක්කර 3 ක පමණ භූමි භාගයක පිහිටි මෙම පුණ්‍ය භූමිය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අරුක්ගොඩ ශ්‍රී ඉන්ද්‍රසරාරාම පාර්ශ්වයේ විහාරස්ථාන අතුරින් කැපී පෙනෙන සිද්ධස්ථානයකි.

ඇතැම් පැරණි ලිපි ලේඛනවල සඳහන් වන පරිදි වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගෙන් ආරම්භ වී ඇති විහාරස්ථ සංඝ පරම්පරාව දෙහි ගස්පේ අත්‍ථදස්සි මා හිමියන්ගෙන් ඇරැබේ, මේ අතර බටුවන්දර අත්‍ථදස්සි මා හිමිපාණන් සහ මාකන්දන මංගල හිමිපාණන් ද ගෞරව සම්ප්‍රයුක්තව සඳහන් කළ යුතු ය.

1960 වර්ෂය දක්වා විහාරාධිපති ලෙස කටයුතු කළ පාන්තියේ පේමරතන නාහිමිපාණන් වහන්සේගේ යුගයේ දී නව පිබිදීමකින් ඔපවත් වූ ශ්‍රී තිලකාරාමයේ අභිනව විහාර මන්දිරය උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් ඉදිවූවකි. පොලොන්නරුව ඓතිහාසික ගල් විහාරයේ චිත්තාකර්ෂණීය බුදුපිළිමයේ ආකෘතියෙන් මෙම විහාර මන්දිරය තුළ බුදු පිළිම වහන්සේ නිර්මාණය කර ඇත.

එමෙන්ම විහාර භූමියේ ඇති පෞරාණික බුදුමැදුර පිළිබඳව පුරා විද්‍යා නිලධාරීන් පැමිණ සමීක්‍ෂණයක් කළ නමුදු, වසර ගණනාවක් ගෙවී ඇතත් මේ දක්වා කිසිවක් සිදුවී ඇති බවක් නොපෙනේ. බුදුමැදුර යාබදව ඇති මහා විෂ්ණු දේවාලයේ තත්ත්වයද එසේමය. එබැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මෙයට යොමු විය යුතුව ඇත.

පේරපිටියේ
විමලරතන හිමි

2002 සැප්තැම්බර් මස 25 වැනි දා එවකට කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අරුක්ගොඩ ශ්‍රී ඉන්ද්‍රසරාරාම විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, සද්ධර්ම කීර්ති ශ්‍රී මාලමුල්ලේ පඤ්ඤාලෝක නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පසු විහාරාධිපති වශයෙන් කටයුතු කරනුයේ ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය පේරපිටියේ විමලරතන පොඩිහාමුදුරුවන් ය. උන් වහන්සේ අපවත් වී වදාළ පඤ්ඤාලෝක නාහිමියන්ගේ තෙවැනි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ ය.

එක් එක් යුගවල සිටම ගරාවැටෙමින් තිබුණු පෞරාණික කුඩා බෝධි ප්‍රාකාරය නවීකරණය කිරීමේ මූලික කටයුතු ආරම්භ වූයේ විහාරාධිපති 27 හැවිරිදි විමලරතන පොඩිහාමුදුරුවන්ගේ පුරෝගාමීත්වයෙන් මෙන්ම අනුශාසකත්වයෙනි.

මාලමුල්ලේ පඤ්ඤාලෝක නා හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ඉදිකොට ඇති සීමා මාලකය සහිත ශ්‍රී පේමරතන ගුණානුස්මරණ ධර්ම මන්දිරය, චෛත්‍ය රාජයාණන් වහන්සේ ආවාසය, ඝණ්ඨාර කුළුණ, දාන ශාලාව, දොළොස් මහේ පහන, ප්‍රාකාර ආදියෙනි මෙම විහාරස්ථානය පරිපූර්ණත්වයට පත් කර ඇත. ශ්‍රී පේමරතන දහම් පාසල, ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල, තිලකාරාම පෙර පාසල ආරම්භ වූයේ ද පඤ්ඤාලෝක නා හිමියන්ගේ අනුශාසකත්වයෙනි.

වසර 150 කටත් වඩා පැරණි බුදු පිළිමය දෙපස වැඩ සිටින සැරියුත්, මුගලන් පිළිමවලින් සමන්විත නුවර යුගයේ බිතු සිතුවම්වලින් සහ දර්ශනීය ලියවැල්, කැටයම් ආදියෙන් අලංකාර වී ඇති පැරැණි බුදුමැදුරේ එම ඓතිහාසික බිතු සිතුවම් සියල්ලම මේ වන විට දුර්වර්ණ වී විනාශ වීමට ආසන්න බවක් පෙනෙන්නට ඇත.

මෙහි නව බෝධි ප්‍රාකාරය වෙනත් බොහෝ බෝධි ප්‍රාකාර වලට වඩා ආකර්ෂණීය වේ. වෙනස් සැලසුමකට අනුව අටවිසි බුදුකුටි සහිත වෙනත් විවිධ අංගෝපාංග රැසක් සමග පහත මාලයේ විශාල දහම් පාසල් ගොඩනැගිල්ලක් ද ඉදිකොට ඇත.මෙය දායක සභාවේ නියුතු, බටුවන්දර චිත්‍රානන්ද අතුකෝරල මහතාගේ සැළසුමකි.

අභිනව බෝධිප්‍රාකාර කාර්ය සාධක කමිටුව, දායක සභාව විසාකා කුලඟන සමිතිය, ශ්‍රී පේමරතන දහම් පාසල, තිලකාරාම සර්වෝදය පෙර පාසල, මිහිඳු පෙරහර සංවිධානය, ආදී සංවිධාන රැසක් විහාරස්ථානයේ ක්‍රියාත්මකව ඇත. විහාරවාසීව වැඩ වෙසෙන බටුවන්දර කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්ය, ජඹුරළිය ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය විහාරාධිකාරි, පූජ්‍ය මස්තැන්නේ ඉන්ද්‍රරතන හිමි, පාඨශාලාචාර්ය පූජ්‍ය බටාඳුරේ පඤ්ඤාතිස්ස හිමි, පූජ්‍ය බුද්දම සුමනජෝති හිමි, පුජ්‍ය අලයායේ ධම්මානන්ද හිමි, පූජ්‍ය මුතුකණ්ඩියේ චන්දරතන, හිමි ඇතුළු ගරු ස්වාමීන් වහන්සේලාගෙන් ද විහාරස්ථානයේ ආගමික කටයුතු සඳහා ලැබෙන නොමද සහයෝගයද ප්‍රශස්තය.

බටුවන්දර ශ්‍රී තිලකාරාම විහාරස්ථානය සතර පේරුවේ බෞද්ධ ජනතාවට ලැබුණු අමිල දහම් තිළිණයකි.

ඇසළ පුර අටවක

ඇසළ පුර අටවක පෝය
ජූලි 09 වනදා බදාදා අපර භාග 09.20 ට ලබයි. 10 වනදා බ්‍රහස්පතින්දා
අපරභාග 10.50 දක්වා
පෝය පවතී. සිල් සමාදන් වීම
ජූලි 10 වන දා බ්‍රහස්පතින්දා ය.
 

මීළඟ පෝය
ජූලි 17 වන දා
බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]