පණ්ඩිතයා - බාලයා
දහමෙන් නිශ්චය කර ගැනීම
ශාස්ත්‍රවේදී, පණ්ඩිත
අමුණුපුර
පියරතන හිමි
කම්මලක්ඛණො භික්‍ඛවෙ බාලො කම්මලක්ඛණො පණ්ඩිතො අපදාන සොභිනී පඤ්ඤා
අප බුදුරජාණන් වහන්සේ පුද්ගලයා හා පුද්ගලාන්තරව පැවතිය යුතු නිරවුල්
සම්බන්ධතා පිළිබඳ සමාජ විද්‍යාත්මක ලෙස පෙන්වා වදාළ සේක.
පුද්ගලයා සමාජ සම්බන්ධතාවලින් ඈත් වුවහොත් ඔහු තනි වෙයි. ඔහු සමාජගත
කෙනකු වීමට සුදුසුකම් නොලදහොත් සමාජයෙන් තනිවීම, එහි අනිවාර්ය
ප්‍රතිඵලයයි.
කුඩා කළ පටන් මවුපියන්ගෙන් පෝෂණය වන අධ්‍යාපනය ලබන කෙනෙකු සමාජය සමඟ
සම්බන්ධ වීමේ දී ක්‍රියා කළ යුතු ආකාරය ආගම දහමින් උගත යුතුම ය. සමාජ
අවශ්‍යතා හඳුනා ගැනීම, තමා ඒ අවශ්‍යතාවන්ට යෝග්‍යවීම, කුසලතා නිර්මාණය
මෙන්ම නිවැරැදි සමාජ සබඳතා පවත්වා ගැනීමෙන් පුද්ගල චරිතය තුළ පවතින
ප්‍රඥාව ප්‍රතිමූර්ති වන්නේ ය.
නිවැරැදි ලෙස සමාජගත නොවන පුද්ගලයාගෙන්, ඔහුටත්, සමාජයටත් අර්ථයක්
නොවන්නේ ය.
තීහි භික්‍ඛවෙ ධම්මෙහි සමන්නාගතො බාලොවෙදිතබ්බො කතමෙහි තීනි. කාය
දුච්චරිතෙන, වචී දුච්චරිතෙන මනො දුච්චරිතෙන. ඉමෙහි ඛො භික්‍ඛවෙ තීහි
ධම්මෙහි සමන්නාගතො බාලොවේදිතබ්බො.
කුඩා කළ සිට ආගම දහමට සිත යොමු කිරීමේ ප්‍රවණතාවක් නොතිබූ පුද්ගලයා කරන
එකම දේ තුන් දොරින් තම දැනුමෙන් ගත් තීරණ අනුව ක්‍රියා කිරීම යි. හොඳ,
නරක, පින් පව් යන සිද්ධාන්ත තීරණය කැරෙන්නේ ආගම දහමින් බැවින් ඒවා
බාලයාට, පි‍්‍රය ජනක නොවේ. කාය දුශ්චරිත, වචී දුශ්චරිත, මනෝ දුශ්චරිත
යනාදී නයින් දක්වා ඇති පාප ක්‍රියා බාලයාගේ චරිත ලක්‍ෂණ වෙයි.
ප්‍රාණඝාතය, සොරකම, දුරාචාරය, බොරු, කේලාම්, ඵරුස, හිස් වචන භාවිතය,
ලෝභය, ද්වේෂය, මෝහය යන දස අකුසල් කරණ කොටගෙන බාලයා තම ජීවිතය තමාටත්,
සමාජයටත් පරම හතුරකු බවට පත් කරගනියි. බාල කාලයේ දී ඉතා සුළු ප්‍රාණීන්
විනාශකොට, සතුන්ට හිංසා කොට ලබන තෘප්තිය ක්‍රමයෙන් වර්ධනය වී, මිනිසුන්
ඝාතනය කිරීමට පමණක් නොව සියල්ලන් විනාශ කර හෝ පහත් තෘප්තියක් ලබාගැනීම
බාලයාගේ ලක්‍ෂණය බව, මෙතෙක් මානව පරපුරේ සිදුවූ සාපරාධී ක්‍රියාවලින්
ප්‍රත්‍යක්‍ෂ වෙයි.
හිංසාවට හුරු වූ පුද්ගලයා සොරකම හා දුරාචාරය ද සලකන්නේ, ඉතා සුළුවෙනි.
ලෝකයේ අපරාධ වැඩිවන්නේ උසාවි, බන්ධනාගාර පිරී යන්නේ උම්මත්තකයන්,
අංගවිකලයන් වැඩි වන්නේ, ජාති, ආගම්, දේශපාලන, ගැටුම්, ඇති වී ලක්‍ෂ
ගණන් මිනිසුන් ඝාතනය වන්නේ අනාථ කඳවුරු පිරී යන්නේ රෝගාබාධ ඇති වී
ව්‍යප්ත වන්නේ මේ මහා පාපතර ප්‍රාණඝාතයට නැඹුරු වීම නිසාම ය. මිනිසාගේ
ජීවන පැවැත්ම සඳහා හරක්, එළු, බැටළු, කුකුළන්, ඔටුවන්, මුවන්, ගෝනුන්,
කුරුල්ලන්, මාළුවන් ආදී සතුන් කෝටි ගණන් විනාශ කොට තම තමන්ගේ ශරීර
පෝෂණය කිරීම භෞතික විද්‍යාවෙන් දියුණු ලෝකයේ සිදුවන සාවද්‍ය
ක්‍රියාවයි.
බොරුකීම, කේලාම, ඵරුස වචනය, සම්පප්‍රලාප දෙඩීමා දී පාපකාරී වචන බාලයාගේ
මුවේ රැඳී පවතින අතර, තණ්හා දීයද හිංසාවෙන් ජීවනය පැවැත්වීම ද ඔහුගේ
ජීවන ප්‍රතිපදාවයි.
යානි කානිචි භික්‍ඛවෙ භයානි උප්පජ්ජන්ති සබ්බානිතානි බාලතො උප්පජ්ජන්ති
නො පණ්ඩිතතො යෙ කෙචි උපසග්ගා උප්පජ්ජන්ති. යෙකෙචි උපද්දවා උප්පජ්ජන්ති,
සබ්බානිතානි බාලතො උප්පජ්ජන්ති.
සිත් තැති ගැනීම් ආදියද බිය ද, රෝග පීඩාදිය හා චිත්ත වික්‍ෂිප්ත වීම්
ආදියද සිදුවන්නේ බාලයාගේ අර්ථ අනර්ථ නොදන්නාකම නිසා ය. නිසි ජීවන
දැක්මෙන් සමාජගත නොවූ පුද්ගලයාගේ සන්තානයේ තෙරපෙන්නේ ක්‍රෝධයයි. එමෙන්ම
ඔහුගේ මතයට නතු වන පිරිසක් තමන්ගේ පිරිවර කරගැනීමේ පහත් හැඟීමක්,
සෙය්‍ය මානයක් ඔහු තුළ පවතී. විවිධ උපද්‍රව ඇති වන්නේ බාලයා නිසාම ය.
එබැවින් බාලයන් ආශ්‍රය නොකරන ලෙස බුදුරදුන් දේශනා කර ඇත්තේ නොයෙක්
ජාතිවල දී මානව සමාජාශ්‍රයෙන් ලද අත්දැකීමෙන් ලද ප්‍රත්‍යක්‍ෂ ඤාණයෙනි.
තී හි භික්‍ඛවෙ ධම්මෙහි සමන්නාගතෝ පණ්ඩිතො මෙදිතබ්බෝ. කතමෙහි තීහි කාය
සුචරිතේන වචී සුචරිතේන මනො සුචරිතේන.
කය, වචනය, මනස යන තිදොරින් හැකිතරම් සුචරිත ක්‍රියාවන්හි යොදන
ජීවිතයෙන් තමන්ටත් මෙරමාටත් යහපතක් කරගන්නේ පණ්ඩිතයා බව, බුදුරජාණන්
වහන්සේ පෙන්වා දෙති.
කෙනකු කුඩා කල පටන් ආගම දහම හඳුනාගෙන තම ජීවිතයට එම ප්‍රතිපත්ති එක්
කරගන්නේ නම්, ඔහුගේ පුද්ගලාන්තර සබඳතා නිරවුල් වන්නේ ය.
විශ්වයේ ශ්‍රේෂ්ඨතම තත්ත්වය වන බුදු බව සඳහා ප්‍රඥාවත්, වීර්යයත්
ප්‍රධාන කරගෙන පාරමී ධර්ම පුරුදු පුහුණු කළ ආකාරය බෝසත් සිරිතෙන්
ප්‍රකට වෙයි.
තිරිසන් ආත්මයක ඉපදුණ ද හොඳ නරක තෝරා ගැනීමේ පරිඥානයක් බෝධිසත්වයන්
වහන්සේ තුළ තිබූ බව ප්‍රකට වෙයි.
අප ගුණ දහම් ක්‍රියාත්මක කළ යුත්තේ සමාජමය අවශ්‍යතාව අනුව ය. ආශාව,
ක්‍රෝධය, වැනි ලාමක හැඟීම් වලින් සීඝ්‍රයෙන් සංකීර්ණ වන සමාජයට එකම
ප්‍රතිෂ්ටාව වන්නේ, පණ්ඩිතයන්ගේ පරාර්ථ චර්යාවයි. ප්‍රඥාවෙන් සත්, අසත්
භාවය තේරුම් කරදෙන අතර, වීර්යයෙන් කුසලතාවයෙන් නිර්වාණයට ද සිත මෙහෙය
වෙයි.
ප්‍රඥාවෙන් මාර්ගය හඳුනා ගනියි. වීර්යයෙන් එහි ගමන් කරයි.
ගමන් මාර්ගයේ පරමාර්ථය හඳුනා ගැනීමට ප්‍රඥාව උපයෝගී වන අතර, වීර්යයෙන්
තුන්දොර නොමැලිව ඉදිරියටම ක්‍රියාවෙන් ගමන් කිරීම සිදුවෙයි.
නිවන වශයෙන් ගත යුතු දෙයක් නැතැයි ආර්ය මාර්ග ප්‍රතිපදාව වශයෙන්
ධර්මතාවයක් ද නැතැයි සිතා චිත්ත සන්තානය සූන්‍යතාවයකට නොවැටී සජීවී
ප්‍රතිපත්තියක් හා එහි පරමාර්ථයක් ඇති බව වැටහීම ප්‍රඥාවෙන් හඳුනාගෙන
එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම වීර්යයෙන් කළ යුතු වේ.
‘අපදාන සෝභිනී පඤ්ඤා’ චරිතය අලංකාර වන්නේ ජීවිත අවබෝධය නම් වූ ප්‍රඥාව
නිසා ය. |