UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව

කුසලයට නැඹුරු වීම

යො පාණමතිපාතෙති – මුසාවාදං ච භාසති
ලොකෙ අදින්නං ආදියති – පරදාරං ච ගච්ඡති
(ධම්ම පදය – මල වග්ගය)

පින්වත්නි,

යහපත් ජීවිතයකට අත්‍යන්තයෙන් ම අවශ්‍ය වන්නේ කුසල් සිතක් පහළ කර ගැනීමයි. මෙය සමහරවිට අසීරුවන්නට පුළුවන. එහෙත් සිත ඒකාග්‍රතාවකට නැඹුරු කරන්නේ නම් එය එතරම් අසීරු කරුණක් නම් නොවේ. ජීවිතය වඩාත් ප්‍රපාතයට ඇදගෙන යාමට ඉවහල් වන්නේ සොරකම් කිරීම සතුන් මැරීම පරදාර සේවනයේ යෙදීම හා බොරු කීමයි. මේ නරක සිවු මාර්ගයෙන් පුද්ගලයා වැළැකිය යුතු ය.

සත්ව ඝාතනය අතිශය පිළිකුලට භාජනය වන්නකි. දැනුවත්ව පණ ඇති සතකු මරන්නේ කෙසේ ද හරකුන්, කුකුළන් වැනි ප්‍රාණඝාත දිනකට කොපමණ සිදුවනවා ද එම සතුන් මරන්නේ මිනිසා එම මස් අනුභව කරන බැවිනි. එසේ අනුභව නොකරන්නේ නම් සත්ත්වයන් ඝාතනයට බඳුන් නොවේ. මේ සත්ව ඝාතනය කරන අයට ජීවිතයේ ගැලවීමක් තිබේද? කුසල් සිත් වෙනුවට අකුසල් සිත් මෝරා මෝදු වී යාම පමණි සිදුවන්නේ. පරපණ නැසීමෙන් වැළැකී සිටීම අපගේ සසර කෙටිකර ගැනීමට ඉවහල් වේ.

මෙතැන පුද්ගලයා කෙරෙහි ඇතිවන චේතනාව ඉතාම බරපතළ ය. ජීවයක් ඇති අයකු තවත් ජීවයක් ඇති අයකු නැත්නම් සත්ත්වයකු ඝාතනයට ගොදුරු කිරීමයි. මේ මරණය ක්ෂණික වන්නට පුළුවන. තවත් විටෙක කුමන්ත්‍රණකර සැලසුම් කර කරන්නට ද පුළුවන. කෙසේ වෙතත් ඝාතනය කිරීමේ චේතනාව මත එම ඝාතනය සිදුකරන අයට සසරින් ගැලවීමක් නම් නොලැබේ.

සොරකම ද එසේමය යමකු යම් අයගේ ධනය සොරකම් කිරීම පාපයකි. පුද්ගලයකු දුකසේ හරිහම්බ කරගන්නා ධනය තවත් පුද්ගලයකු විසින් සොරකම් කරන්නේ නම් දුක් මහන්සියෙන් හම්බකරගත් පුද්ගලයාට ඇතිවන වේදනාව කොතරම් ද කියා විග්‍රහ කරන්නට ශබ්ද කෝෂයේ වදන් නොමැති තරම් ය. එය සොරාගත් තැනැත්තාට ශාපයක් බවට පත්වේ. සොර සිත සැමදා පශ්වාත්තාපයට පත්වීම ද නිරන්තරයෙන්ම සිදුවන්නකි.

තමන්ගේ භාර්යාව සිටියදී වෙනත් භාර්යාවන් සොයායන පුද්ගලයා පිරිහීමට පාත්‍රවේ. තමන් හරිහම්බ කරගන්නා ධනය පර අඹුවන්ට පූජා කිරීමෙන් නිවසේ අඬ දබර ඇතිවීම ද ස්වාභාවිකය. භාර්යාවන් වෙනත් සැමියන් සොයා යන්නේ නම් එය ද පිරිහීමට කරුණකි. නිවසේ සතුට පළාගොස් අප්‍රසන්න තත්ත්වයක් ද මේ අනුව ඇතිවේ. එබැවින් එකම ස්වාමියෙක් එකම භාර්යාවක් පතාගෙන ජීවත්වීම අනුව තමන්ගේ ජීවිතයට ශාන්තියක් උදාවන අතර ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමට ද බලපාන කරුණකි. පංචකාම සම්පත්තිය විඳගැනීමට යොමුවන පුද්ගලයාට අයත් වන්නේ පළඟැටියාට අත් වූ ඉරණමයි. පළඟැටියා ආලෝකය සොයා යාමෙන් එම ආලෝකයට හසු වී විනාශ වන්නා සේ පස්කම් සැප විඳින්නට යොමුවන පුද්ගලයා ද පස්කම් සැපෙන් දැවී යයි.

බොරු කීම ද ජීවිතයට අප්‍රසන්න වූවකි. බොරු කියන්නාගේ මුඛය දුර්ගන්ධයයි කියුමක් තිබේ. බොරු කියන්නා කාටත් ප්‍රිය ජනක ද නැත. එම පුද්ගලයා ඇත්තක් කිව්වත් පිළිනොගන්නා තත්ත්වයක් ඇතිවේ. දුගඳ හමන මල්වලට ආසා නොකරන පිළිකුල් කරන අයුරින් බොරු කියන්නා කෙරෙහි ද එවන් තත්ත්වයක් ජනිත වේ. නිතරම පුද්ගලයා සත්‍යගරුක වන්න ජීවිතය විනාශ වූවද සත්‍යගරුක වූ පුද්ගලයාට සතුටට පත්විය හැකි ය. දැන දැන සමාජය බොරුවෙන් නොමග යවන තැනැත්තාගේ ආයුෂ කාලය ද කෙටිවේ. බොරුවට ආයුෂ කෙටි වන්නාසේ පුද්ගලයාගේ ආයුෂ ද කෙටිවේ. එම ආයුෂ කාලය කෙටි වූවද සසර දිගුවේ. සංසාර පුරුද්ද මත බොරු කියන්නට පෙළෙඹෙන තැනැත්තාට ජීවිතයෙන් සමුගන්නට සිදුවන්නේත් ඉතාම කටුක දුක්ඛදායක මොහොතකය.

බොරුව වූ කලි සමාජ පිළිලයකි. බොරු කියන්නාට සමාජයේ පිළිගැනීමක් ද නැත. ඔහු දෙස බලන්නේ වපර ඇසිනි. මෙය පුද්ගලයා තේරුම් නොගන්නේ නම් එය ද අවාසනාවකි. අකුසල් නූපද්දා ගැනීමටත් උපන් අකුසල් හැලීමටත්, නූපන් කුසල් උපද්දා ගැනීමටත් උපන් කුසල් වර්ධනය කරගැනීමටත් අප නිතරම කටයුතු කලයුතු ය. පුද්ගලයාට ලෝකෝත්තර සුවයක් ඇතිවන්නේ එවිටය.

සමහරු බොරු කීම විනෝදයක් බවට පත්කරගෙන ඇත. ඔවුන්ට බොරු නොකියා සිටින්නට බැරිතරම් ය. එහෙත් බොරු කීමේ ආදීනව නොදන්නාකම එයින් ප්‍රනීත වේ. එහි පවත්නා බරපතළකම හේතුකොට ගෙන බොරුවෙන් වැළැකී සිටීමට අප නිතරම උත්සාහ ගතයුතු කරුණකි.

යට කී චතුර් ගුණයෙන් සමලංකෘත වූ පුද්ගලයා කාටත් පි‍්‍රයජනකය. ප්‍රසන්නය. පරමාදර්ශීයය. සොරකම් කරන පරදාර සේවනයේ යෙදෙන බොරු කියන සත්ත්ව ඝාතනයේ යෙදෙන තැනැත්තා නිතරම ජීවත් වන්නේ බියෙනි. ඒ ඔහුට හෝ ඇයට කිසිදු ගැලවීමක් නැති නිසා ය. පින්, පව් කියා දෙකක් ලොව ඇත. බුදුරදුන් මෙය අපට පෙන්වා දුන්නේ ය. නිතරම පිනට නැඹුරුවන තැනැත්තා ජීවත්වන්නේ සැහැල්ලුවෙනි. එහෙත් පවට බර වූ තැනැත්තා හෝ තැනැත්තිය දිවිගෙවන්නේ බරක් දරාගෙන ය. හරියට ගොනා පසු පස ගැල යන්නාසේ පව ඔහු පසු පස හඹා යයි. පින් කරන තැනැත්තා හරියට තමන්ගේ පසුපස එන සෙවණැල්ල මෙන් සැහැල්ලුවෙන් යුතුව ජීවන ගමනේ යෙදෙයි. මෙන්න මේ යථාර්ථය අනුව අප ජීවිතය සකස් කරගන්නට උත්සුක වන්නේ නම් සංසාර ගමන කෙටිකරගෙන නිවන් සාක්ෂාත් කර ගැනීමට හැකිවේ. නිරන්තරයෙන්ම ධර්මයට නැඹුරු වූ පුද්ගලයා සමාජයට පරමාදර්ශීයය. ධර්මය ආත්මය කොටගෙන ජීවිතය ගතකළ යුතු ය. ධර්ම මාර්ගය දිවියට ඒකායන මාර්ගයයි. ධර්මකාමීව ජීවිතයක් ගත කරන්නේ නම් එම පුද්ගලයා ධර්මයෙන්ම රකිනු ලැබේ. ධර්මය හා අසද්ධර්මය දෙකි. පිරිසුදුව ගලා යන ජලයේ ගල් බොරලු අප දකින්නේ ඉතාම පැහැපත් අයුරිනි. එමෙන්ම ධර්මකාමී අයුරින් දිවිගෙවන තැනැත්තාගේ ජීවිතය ඒ අයුරින්ම විනිවිද දැකිය හැකි ය. තමන්ගේ ධාර්මික දිවිය දැක බලා ගන්න.

එවිට තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් විමර්ශනයක යෙදිය හැකිය. සත්‍ය දැකගත හැකි ය. ධර්මයෙහි කොතෙක් දුරට හැසිරෙන්නේ ද යන්න තේරුම් ගත හැකි ය. අද්‍යතන සමාජයේ බොහෝ අය දෙබිඩි චරිතවලින් ජීවත්වන බව පෙනේ. මතුපිටින් පෙනෙන දිවිය නොව ඇතුළාන්තයේ පවත්නේ ඇතුළත එක් මුහුණකි. පිටත තවත් මුහුණකි. මෙවන් වෙස් මුහුණු මාරු කිරීමෙන් රැවටෙන්නේ තමන්මය. ධර්මය නොවේ. ධර්මකාමී පුද්ගලයාගේ ඇතුළත්, පිටතත් එක සමාන ය. චරිත දෙකක් නොමැත. අවංකය, සෘජුය. ධර්මකාමී බෞද්ධයා සාරධර්ම මතුපිටින් පෙන්වීමට උත්සුක නොවන්නේ ය. අභ්‍යන්තරය පිරුණු ගතිලක්‍ෂණවලින් උපයුක්තය අසාර වූ තැනැත්තාගේ දිවිය ඇතුළත හිස් ය. කුහරයක් බඳු ය. එහෙත් ධර්මයෙන් සපිරි තැනැත්තා පිරුණු කළයක් බඳුය. ධර්මය මෝස්තරයක් බවට පත්කරගෙන යන්නේ ද නැත. ගැඹූරු ගංගාව නිසලය. ධර්මයෙන් පිරිපුන් තැනැත්තා ද නිසලය.

යථාවාදී තථාකාරි ධර්මයක් වූ බුදුසමය නිසි ලෙස පිළිපදින්නේ නම් මිනිසා වැටී ඇති දුකෙන් අත්මිදෙන්නට අසීරු නොවේ. මෙහිදී වැදගත්වන්නේ චේතනාවයි. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙන් සඳහන් කළේත් ඒ නිසා ය. පාරිශුද්ධ චේතනාවෙන් පරිපූර්ණ වූ පුද්ගලයාට සැනසීමෙන් යුතුව මියයා හැකි ය. මරණය අප රැගෙන එන්නේ උපතත් සමඟය. අපට සැමදා ජීවත්විය නොහැකි ය. සදාකාලික වශයෙන් යමක පැවැත්මක් ද නැත. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනුවෙන් තිලකුණු පහදා දුන්නේත් ඒ හේතුව නිසා ය.

උසස් මනසකින් හෙබි මිනිසා එයින් උපරිම ඵල නෙළාගත යුතු ය. එවිටයි ජීවිතය ජයගත හැක්කේ, තෘෂ්ණාව පසුපස හඹායාම මත ජීවිතය සියලුම වේදනාවන්ට ගොදුරු වේ. සතුට මිහිර ලබන්නට අසීරු ය.

එහෙත් වේදනාව ඉතාම පහසුවෙන් අත්කරගත හැකි ය. ඒ අර පංචකාම සම්පත්තියට නැඹුරුවීම මතය.

තමන් හරිහම්බ කරගත් ධනය නැති වූ විට පසුව වේදනාවට පත් වන්නේත් තමන්මය. සන්තාපය, පසුතැවීම, පශ්චාත්තාපයට පත්වීම ආදී සියල්ලටම පුද්ගලයා ගොදුරුවන්නේ තාවකාලික වින්දනය සැප සොයායාම මතය.

සැපය සදාකාලික වූවක් නොවේ. එය තාවකාලිකය,ධනය යහමින් ඇති තැනැත්තා ඉහළින්ම සැපයක් ලබන්නේ යැයි අප සිතමු. එහෙත් ධනය රැකගන්නට ඔහු මහත් දුකක් විඳියි. ධනය නැති මිනිසා ද දුක් විඳියි. තත්ත්වය මෙබඳු නම් මේ සියල්ලෙහිම සැපයක් නම් නැත. දුකයි ඇතිවන්නේ. ධනය රැස්කළ තැනැත්තා එම ධනය සොර සතුරන්ගෙන් බේරා ගැනීමට දිවා, රෑ නිදි නොලබා අසීමිත ලෙස දුකට පත්වෙයි. ඉතින් සැපය පවත්නේ කොතැන ද? මේ සියල්ලම අවසානයේ මායාවක් මිථ්‍යාවක් බවට පත්වේ. අප කළ යුත්තේ මේ දුකෙන් මිදෙන්නටය. ගැලවෙන්නටය. එසේ කළ හැක්කේ මල වග්ග ගාථා ධර්මයට අනුව එම සියල්ලෙන් තුරන් වී සරල දිවියකට නැඹුරුවීමය. පුද්ගලයා නිරන්තරයෙන්ම සැහැල්ලුවෙන් දිවි ගෙවිය යුතු ය. හිසට බරක් දරා නොගෙන මේ ගමන යා යුතු ය. බුදුසමයේ පිහිට පතා ඒ අනුව චතුරාර්ය සත්‍ය ධර්මයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් අප නිතර ගුරුකොට ගන්නේ නම් සංසාරයෙන් එතෙර වීම එතරම් අසීරු නොවේ.

සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 8.25 ට ලබයි.
11 වන දා බදාදා පූර්ව භාග 8.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 10 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 18 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]