සුව නිදි සලසන
පිළිවෙත
බද්දේගම මහගොඩකන්ද ඉසිපතනාරාමවාසී
බද්දේගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති
ගා/ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ ආචාර්ය, ශාස්ත්‍රපති
බලගොඩ සිරිනිවාස හිමි
චතස්සෝ ඉමා භික්ඛවේ සෙය්‍යා, කනමා චතස්සෝ, ප්‍රේතසෙය්‍යා, කාමභෝගි
සෙය්‍යා, සීහ සෙය්‍යා තථාගත සෙය්‍යා
අංගුත්තර නිකායේ සෙය්‍ය සූත්‍රාගත ධර්ම පාඨයකුයි ඉහත දැක්වෙන්නේ. ඔබේ
අවධානය යොමු කිරීමට අපේක්‍ෂා කරන්නේ ඔබට අත්‍යවශ්‍ය නින්ද පිළිබඳවයි.
සුව නින්දකට මඟ සලසන ඉරියව් ආදිය ගැන මෙහිදී සාකච්ඡා කැරෙයි.
මෙලොව උපන් සෑම සත්වයකුටම ආවේණික ක්‍රියාදාමයකි. නින්ද, නිදාගැනීමෙන්
කායික සහ මානසික විශාල සහනයක් සැහැල්ලුවක් දැනෙයි. ස්වභාව ධර්මය විසින්
සෑම පුද්ගලයකුටම දායාද කළ මේ ක්‍රියාවලිය තුළින් සත්වයාට මඳ විවේකයක්
ලබා දෙයි. දෛනික විවිධ කාර්ය නිසා මිනිසා කායික මෙන්ම මානසික පීඩාවට
පත් වෙයි. මෙන්න මේ විඩාව සංසිඳවන ක්‍රියාවලිය සුව නින්දයි.
චිත්ත ධර්ම විද්‍යාවට අනුව සෑම මිනිසකුටම සිත් දෙකක් පවතියි. එය උඩු
සිත සහ යටිසිත වශයෙන් නම් කර ඇත. මිනිසාගේ සියලු කටයුතු ක්‍රියාත්මක
වන්නේ උඩු සිතිනි. මිනිසාගේ බොහෝ කටයුතු මෙහෙයවන්නේ උඩු සිතිනි. යම්
වැදගත් දෙයකදී ස්ථිර වශයෙන් තීරණ තීන්දු දෙන්නේ මෙකී උඩු සිතෙනි.
නින්දේ දී අඩ වශයෙන් නින්ද යන්නේ උඩු සිතට පමණක් නිදා ගැන්ම ඇතුළුවීම
නිසයි. මෙහිදී විවිධ සිහින දකින්නේ ද මෙම උඩු සිත නිදි ගැන්වීමෙනි.
යටි සිතට උඩු සිතින් දෙන පණිවිඩය ඒකාබද්ධ වූ විට තද නින්දකට ඇතුළු
වෙයි. මෙහිදී කිසිවක් නොදැනෙයි. මෙහිදී දකින බොහෝ සිහින ද සැබෑවිය හැකි
ය. එසේ නින්ද ලැබූ විට පසුදා විශාල සහනයක්, සැහැල්ලුවක් දැනෙයි.
සමහර විට සිහිනෙන් බිය වී කෑගසන ගති විවිධ විකාර කරන ගති, ඇති විය හැකි
ය. ඒ සඳහා හේතුවන්නේ බොහෝ දුරට තම යටි සිතේ සහ උඩු සිතේ පවතින තදබල
කෙලෙස් අවස්ථා සහ එදින තම සිතට කාවැදුණු බරපතල සිද්ධියක් විය හැකි ය.
විවිධ පාප චේතනා ඊට මුල් විය හැකි ය. එවිට සුවනින්දක් ලැබිය නොහැකි ය.
සාමාන්‍ය මනුෂ්‍යයකුට රාත්‍රී කාලයේ පමණක් පැය 5 ක් හෝ 8 ක නින්දක්
අවශ්‍ය වෙයි. මෙය දවසකට සෑහෙන ප්‍රමාණයකි. තවත් සමහරු දිවා රාත්‍රී
දෙකේදීම වැඩි පැය ගණනක් නිදති. එය එතරම් සුදුසු කාර්යයක් නොවෙයි.
සුව නින්දකට මඟ බුදුහිමියෝ මෙත්තානිසංස සූත්‍රයෙන් පෙන්වා දෙති. “සුඛං
සුපති” සැප නින්දක් සඳහා මෙත් සිතිවිලි මතු කර ගනිමින් නින්දට යන ලෙස
සිහිපත් කොට ඇත.
ඕනෑම කෙනෙකු මෛත්‍රී කරමින් නිදි යහනට ගියහොත් සුවබර නින්දක් ඔහුට
ලැබෙයි. සමහර විට නරක සිතිවිලි සිතේ පුරවාගෙන නිදාගැනීමට සූදානම්
වුවහොත් ඔහුට නින්ද නොයයි. සුළු මොහොතක් හෝ එවැන්නෙකුට නින්ද ගියද එයද
පීඩාකාරී එකක් වෙයි. මෛත්‍රී භාවනානුයෝගීව නින්දට එන කල සුව නින්දකට ඔබ
කැඳවනවා ඇත. “ධම්මචාරී සුඛං සේති” යන්නෙන් ද පෙන්වා දෙන්නේ දැහැමි
චර්යාවෙන් යුතු පුද්ගලයාට සුවබර නින්දක් ගෙන දෙන බවයි. නිතර කෙලෙස්
බරිතව, අදැහැමි පිළිවෙතෙහි ගමන් ගන්නා විට කිසිම දිනක සුව නින්දක්
නොලබයි.
එසේම තමා කළ පාප ක්‍රියා නිතර සිහි වන විට අන් අය තමාට කළ කී සතුරුකම්
නිතර සිහි කරන විට, තද කේන්තිය මුසු ඊර්ෂ්‍යාව නිතර හට ගන්නා විට සුවබර
නින්දකට ඔහු කැඳවන්නේ නැත. තම වස්තුව දේපළ වැඩිවීමත් සමඟ සතුරු සොරුන්
ගැන බිය ඇති වීමත් සමඟ සන්සුන් නින්දක් කෙසේ ලැබෙයිද?
දිනක් බුදුහිමියෝ ඇට්ටේරිය වනයක සැතැපී හිමිදිරි පාන්දර එහි ඇට්ටේරිය
ගසක් මුල වැඩ සිටිති.
මේ අවස්ථාවේ එරට රජු බුදුරදුන් මුණ ගැසී ඔබ වහන්සේ ඊයේ රාත්‍රී මේ
ඇට්ටේරිය වනයේ සුවසේ සැතැපුණිදැයි අසයි. එවිට බුදුරදුන්ගේ පිළිතුර වූයේ
මේ මහා ඝන වනාන්තරයේ පින්න මැසි මදුරුවන් සිටියත්, මගේ සිත වීතරාගී
වීතදෝසී වීත මෝහ නිසා මම ඉතා සුවසේ සැතැපුණෙමි යන්න යි.
ඊළඟට පෙරළා රජුගෙන් ද සුවසේ නින්ද ගියාදැයි බුදුහිමියෝ අසයි. එම
අවස්ථාවේ රජු පිළිතුරු දෙමින් මට තට්ටු හතක ඉහළම තට්ටුවේ අතට පයට දැසි
දසුන් පිරිවරාගෙන හැම පැත්තෙන්ම රැකවරණ ඇතිව ඉහළම සුව පහසු තිබුණත්
මොහොතක් නින්ද ගියේ නැති බව පවසයි.
මේ අවස්ථාවේ දැක්වෙන කරුණු වලින් සුව නින්ද ලැබිය හැකි වන්නේ සිත කය
සැහැල්ලු වූ තරමට බව පැහැදිලිව පෙනෙයි.
භෞතික සැප සම්පත් කොපමණ තිබුණත් සිත පාලනයක් නොමැතිව සැහැල්ලුවක්
නොමැතිව සැපවත් නින්දක් නො ලැබෙන බව එයින් පෙන්වා දෙයි.
මේ සැපවත් නින්ද සඳහා නිදන ඉරියව් බලපාන බවද පෙන්වා දෙයි. නිදන ඉරියව්
හතරක් මෙහිදී දක්වා ඇත.
ඉන් පළමු වැන්න ප්‍රෙතසෙය්‍යා යන්නයි. ප්‍රේතාත්මභාව ලැබූ අය මළමිනී සේ
උඩුහුරුව මෙසේ සමහර අය උඩුහුරුව නිදති.
එය එතරම් සෝභන ඉරියව්වක් නොවෙයි. එසේම එය සැපවත් නින්දක් සඳහා ද එතරම්
සුදුසු නැත. සමහර විට ගිය ආත්මභාව වල ප්‍රේතාත්මවල සිටි බව ඉන්
සංකේතවත් කරයි.
දෙවන ඉරියව්ව “කාමභෝගී සෙය්‍යාවයි” පුද්ගලයා වම් ඇලයට හැරී නිදන
ක්‍රමයයි. මෙහිදී වම් පැත්තට හැරී නිදන විට විවිධ කාමුක හැඟීම්
උද්දීපනය වෙයි. මොලේ වර්ධනයට පවා බලපෑම් ඇති කරවයි. මෙය ද සුව නින්දක්
සඳහා එතරම් සුදුසු නැත.
තුන්වැන්න සිංහ සෙය්‍යාවයි. දකුණු ඇළයට හැරී නිසොල්මන්ව නින්දට යෑමයි.
සිංහයා නිදන ස්වරූපය මෙයින් පෙන්වා දෙයි. සිංහයා නිදන විට දකුණු ඇළයට
හැරී වල්ගය අත් පා නිසි ලෙස සකසා ඉතා ක්‍රමවත්ව නිදයි. උදේ අවදි වී තමා
සිටින අයුරු හිස ඔසවා බලයි.
එහිදී පුංචි වෙනසක් හෝ සිදු වී තිබුණහොත් එදින ඌ බලවත් ලෙස වේදනාවට පත්
වෙයි. එදින සිය ගොදුරු සෙවීමට පවා නොගොස් තමාගේ වරදට තමාම දඬුවම් කර
ගනියි.
මේ සිංහ සෙය්‍යාව ශ්‍රේෂ්ඨ වැදගත් අය අනුගමනය කරන ඉරියව්වකි. ඉන් මොළය
වර්ධනය වෙයි. යහපත් සිතිවිලි ජනිත වෙයි. මෙය බුදුරදුන් ද අනුමත කළ, සුව
නින්දකට ද පොළඹ වන චර්යාවකි.
අවසාන සෙය්‍යාව තථාගත ශය්‍යාවයි. මෙය බුදුරජාණන් වහන්සේට සීමා වූ
ඉරියව්වකි. සියලු කාමයන්ගෙන් වෙන් වූ උන්වහන්සේ ප්‍රථම ධ්‍යානාදිය
උපදවා ගනිමින් ඉහත සඳහන් කළ පරිදි සිංහ සෙය්‍යාවට අනුව සැතපීමයි.
මෙසේ නිදන ඉරියව් හතරින් අප අනුගමනය කළ යුත්තේ ද මේ සිංහ සෙය්‍යාවයි.
ඔබත් සුවබර නින්දක් සඳහා මෙය අනුගමනය කිරීමට අදිටන් කර ගන්න.
තෙරුවන් සරණයි. |