Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘නිවන අරමුණු කොට දහම් දෙසීම සසුන් පිළිවෙතයි’

බුදුරජාණන් වහන්සේ දහම් දෙසීම පිළිබඳ ශික්ෂාපද දහසයක් පනවා වදාළහ. භික්ෂුන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී මෙම ශික්ෂාපදය ගැන තමන් වහන්සේගේ අවධානය යොමු කිරීම බෙහෙවින් වැදගත් වෙයි. එම ශික්ෂාපද කුඩා හෙරණුන් විසින් ද වනපොත් කළ යුතු ශේඛීයා වලට අයත් බැවින් මෙම ලිපියෙන් ඒවා පිළිබඳ අවධාරණය කිරීමට අදහස් නොකරමි. ධර්ම දේශනා කිරීම ගැන බුදුරදුන් දේශනා කැර ඇති කරුණු ත්‍රිපිටක ධර්මය ඇසුරෙන් විමසා බැලිය යුතුය.

අංගුත්තර නිකායේ කකුධ වග්ගයේ ‘සීහ’ සූත්‍රයේදී බුදුහිමියෝ මෙසේ දේශනා කළහ. ‘මහණෙනි, මෘග රාජයන්වූ සිංහයා සවස් කාලයෙහි වාසස්ථානයෙන් නික්මෙයි. හේ කයෙහි මැළි ගතිය දුරු කැරගෙන වීර්යය ගන්නේ ය. හාත්පසද සිව් දිග විමසිලිමත් වන්නේ ය. තුන්වතාවක් සිංහ නාද කොට ගොදුරු පිණිස නික්ම යයි. හේ ඇතෙකුට පහර දෙයි නම් සකසාම පහර දෙයි. නොසකසා පහර නොදෙයි. එපරිද්දෙන්මැ මීමකුට, දිවියකුට , බළලකුට , පහර දෙයි නම් සකසාමැ පහර දෙයි. මහණෙනි, ‘සිංහ’ තථාගතයන්ට එක් නමකි. තථාගතයන් වහන්සේ පිරිසක් මැද දහම් දෙසයි නම්, එය උන්වහන්සේගේ සිංහ නාදය වෙයි. තථාගතයන් වහන්සේ භික්ෂුන්ට දහම් දෙසයි නම් සකස් කොටමුත් නොසකස් කොටැ දහම් නොදෙසන්නාහ. භික්ෂූන් වහන්සේට , උවැසියනට, පෘථජ්ජනයන්ට යටත් පිරිසෙයින් ලිහිණි වැද්දන්ට වුවද දහම් දෙසන්නේනම් සකසාමැ දහම් දෙසති. කවර හෙයින් ද යත්, තථාගතයෝ ධර්මයමැ ගුරුකොටැ ගත්හ. ධර්ම ගෞරවය ඇතියහ. එසේ හෙයින් ධර්ම දේශනා පිළිබඳ බුදු රදුන් දෙසූ කරුණු විමසා බැලීම බෙහෙවින්මැ වැදගත් වෙයි.

මෙකල බොහෝ පැවිදි ගිහි දේශකයෝ සිටිති. ශ්‍රව්‍ය, දෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ ඉමහත් ප්‍රසිද්ධියට පත් වෙන්වැ ප්‍රසිද්ධියට පත් වෙමින් සිටින දේශකයෝ සිටිති. සංයුක්ත තැටි මගින් ධර්ම දේශනා ප්‍රචලිත කැරෙන දේශකයෝ ද සිටිති. එවැනි දේශකයන්ගේ දෙසුම් විවේචනය කිරීම, අපගේ අරමුණ නොවේ. ධර්ම දේශනා කිරීම පහසු කාර්යයක් ද නොවේ. ධර්මය වශයෙන් තම තමන්ට හිතෙන වල්පල් දෙසීම නොසුදුසු ය. හේතු, උදාහරණ දක්වමින් ඒ ඒ කරුණු පහදා දෙමින් දේශනා කළ යුතු ය. ලාභ, ප්‍රයෝජන අපේක්ෂාවෙන් දෙසීම නුසුදුසු ය. ඇතැම් දේශකයන්, ප්‍රසිද්ධ වීමේ අදහසින්, ජනපි‍්‍රය දේශකයකු වීමේ අරමුණෙන් දේශනා කරති. එසේම ඇතැම් දේශකයන් අනුනට ප්‍රහාර එල්ල කිරීමේ අරමුණෙන් දේශනා පවත්වති. මෙවැනි ගති සහිත දේශකයන්ගේ දෙසුම් පිරිසුදු දේශනා වශයෙන් සැලකිය නොහැකි ය. සත්ත්වයන් දුකින් එතෙර කරවීමේ කරුණාධ්‍යාශයෙන් මැ ධර්ම දේශනා කළ යුතුය. එසේ දේශනා කැරෙන ධර්මය පිරිසුදු ධර්ම දේශනාවක් වන්නේය.

නිර්වාණය කෙබඳුද, නිර්වාණය ලබාගත හැක්කේ කෙසේද කියා පැහැදිලි කැරෙන ත්‍රිපිටකයට අයත් ධර්ම කොට්ඨාශ බුදු හිමියන් පෙන්වා වදාළ ධර්ම දායාදය වශයෙන් පිළිගැනීම සුදුසු ය. ඉගෙන ගන්නා ක්‍රමය අනුව පර්යාප්ති ධර්මය කොටස් තුනකට බෙදා දැක්විය හැකි ය. එනම් ‘අලගද්දූපම, නිත්ථරණත්ථ, භාණ්ඩාගාරික වශයෙනි. මෙහි දක්වන ‘අලගද්ද’ යනු විෂ සහිත සර්පයාට නමකි. සර්පයන් අල්ලන මිනිසකු වනාන්තරයේ ඇවිදින විට මහත් විෂ සහිත සර්පයකු හමු වෙයි. හෙතෙම සර්පයාගේ කදෙන් හෝ වල්ගයෙන් අල්ලා ගනියි. එවිට සර්පයා මිනිසාට දෘෂ්ඨ කරනු ලැබ මහත් විනාශයක් සිදුවේ. එමෙන්ම කිසියම් භික්ෂුවක් වාදකොට අනුන් පරදවමියි යන අදහසින් හෝ වාදයෙන් මිඳීම පිණි ජනපි‍්‍රයත්වයට පත්වැ, උසස් අයකු බවට පත්වීමේ අරමුණෙන් හෝ බණ දේශනා කැර ලාභ සත්කාර කීර්ති ප්‍රසංසා ලැබීමේ අරමුණෙන් හෝ බුදු බණ හදාරානම් දේශනා කරයි නම් වැරැදි ලෙස ඇල්ලූ සර්පයාගෙන් මෙන් විනාශයක්, නපුරක් එයින් සිදුවෙයි. මෙවැනි දේශකයන් තුළ ඊර්ෂ්‍යා, මද මාන, ද්වේශය වැනි පාප ධර්ම ඇතිවෙයි. ඒ නිසාම හෙතෙම අනුන් හෙළා දකිමින්, එසේම ලාභ සත්කාර ලබා ගැනීමේ පහත් අරමුණෙන්, අසභ්‍ය කරුණු පවා කියමින් තමන්ට හිතෙන හිතෙන දේ කියමින්, තමන් උසස් කොටැ දක්වමින් අනුන් පහත් කොටා සළකමින් දේශනා කැරෙති. එමගින් ඔව්හු අපාගත වීමට මංපෙත් හෙළි කැර ගනිති. ඇතැම් දෙනා ජීවනෝපායයක් වශයෙන් ධර්ම දේශනා කරති. මෙය ධර්මය සාවද්‍ය ලෙස පරිහරණය කිරීම නොහොත් ‘අලගද්දූපම පරියත්තිය’ වෙයි.

තමන්ගේ මෝහය දුරුකැර ගැනීමේ අරමුණෙන් ධර්මය හැදෑරිය යුතු ය. අනුන්ගේ මෝහය දුරු කිරීමේ අරමුණෙන් ධර්මය දේශනා කළ යුතු ය. නිවන් මඟ දැක්වීම් වශයෙන් සසරින් එතෙර කැරවීම සඳහා දහම් දෙසිය යුතු ය. එය ‘නිස්සරණත්ථ පරියත්ති වශයෙන් හැඳින්වෙයි. එසේම රහතන් වහන්සේ විසින් ඉගෙන ගෙන දේශනා කරන ධර්මය ‘භාණ්ඩාගාරික පරියත්තිය’ නම් වෙයි. මෙම කරුණු ත්‍රිපිටක ධර්මයට අයත් ‘අලගද්දූපම’ සූත්‍රය මගින් පැහැදිලි කැර ඇත.

අනුපුබ්බ කථං තථෙස්සාමි පරේසං ධම්මෝ දේසිතබ්බෝ, පරියාය දස්සාවිකථං... අනුද්දයතං පටිච්චකථං... ආමිසන්තරනෝ කථං.... අත්තනංච පරංච අනුපහච්ච කථං. (අංගුත්තර නිකාය) ආදී වශයෙන් දේශනා කර ඇති පරිදි ‘ආනන්ද අනුන්ට දහම් දෙසන තැනැත්තා කරුණු පහක් තමන් තුළ තබාගෙන දේශනා කළ යුතු ය. එනම් කරුණු දැක්වීම් වශයෙන් කැරෙන කථාවක් කරමියි අනුනට දහම් දෙසිය යුතුªය. දාන කථා, ශීලකථා, ආදී වශයෙන් පිළිවෙලින් කැරෙන කථාවක් කරමියි දුකට පත් සත්ත්වයන් එම දුකින් මුදවා ගනිමියි යම්කිසි ආමිස ලාභයක් නිසා මෙම දේශනාව නොකරමියි තමාගේද අනුන්ගේද ගුණ නොනසා කථාවක් කරමියි යනාදී වශයෙන් අනුනට දහම් දෙසිය යුතු ය. පිරිසුදු ධර්ම දේශනාවක් වන්නේ, එසේ යහපත් අදහසින් කැරෙන ධර්ම දේශනාවම ය.

‘යෝහිකෝචි භික්ඛවේ භික්ඛු ඒවං චින්තෝ පරේසං ධම්මෝ දේසේති. අහෝ වන මේ ධම්මං සුණෙය්‍යුං සුත්වාච පන ධම්මං පසීදෙය්‍යුං පසන්නාච මේ පසන්නකාරං කරෙය්‍යුං ඒව රූපස්ස භික්ඛවේ භික්ඛුතෝ ධම්ම දේසනා අපරිසුද්ධා හෝති (අං.නි. කස්සප සංයුත්තය)

මහණෙනි, යම් භික්ෂුවක් මෙවැනි සිතින් දහම් දෙසයි ද මාගේ ධර්මය ඇසුවහොත් හොඳ ය, අසා පැහැදුණහොත් හොඳ ය. පැහැදීමෙන් යුතුව සත්කාර උදව් උපකාර කළහොත් හොඳය යන අදහසින් කැරෙන ධර්ම දේශනාවක් වෙත්නම්, එය අපිරිසුදු දේශනාවකි. මෙකල ඇතැම් දේශකයන් තමන්ගේ් සේවය තමන් විසින්ම වර්ණනා කර ගනිති. එසේම එම සේවය තවදුරටත් ව්‍යාප්ත කිරීමට ඉඩමක්, ගෙඩනැගිල්ලත්, වාහනයක් තිබුණහොත් හොඳය.

දැනටමත් යම් යම් පරිත්‍යාග ලැබෙමින් පවතියි. ධර්ම දේශනා සඳහා විවිධ ප්‍රදේශවලින් විදේශවලින් පවා ඇරයුම් ලැබෙමින් පවතියි ආදී වශයෙන් පවසමින් ව්‍යංගාර්ථයෙන් ලාභ ප්‍රයෝජන, ජනපි‍්‍රයතාව අපේක්ෂාවෙන් දේශනා කැරෙති. එවැනි දේශනා අපිරිසුදු දේශනා වෙයි.

එහිමැ වැඩිදුරටත් සඳහන් පරිදි යම් භික්ෂුවක් බුද්ධ ධර්මය මැනවින් දේශනා කැරෙන ලද්දේ ය. තමා විසින් මැ දත හැකිය. එතෙරහි මැ ලැබිය හැකි ඵල ඇතිය. එන්න බලන්න යැයි දැක්විය හැකි ය. තම තමන්ගේ සිත් වලට ඇතුළු කැරගත යුත්තක් යැ. තම සිතින් දැකිය හැක්කක් යැ. ධර්මය ඇසුවහොත් යහපත්යැ. තේරුම් ගතහොත් යහපත් යැ. ඒ අනුවැ පිළිපැදීනම් යහපත් යැ. මෙලෙස ධර්මයෙහි යහපත් බව නිසාම දේශනා කළ හොත් එය පිරිසුදු ධර්ම දේශනයකි.

අංගුත්තර නිකායේ සද්ධම්ම සම්මෝස සූත්‍රයට අනුව මේ ශාසනයේ මනාව උගන්වන ලද, සූත්‍රාන්ත මැනවින් යොදන ලද, පද ව්‍යංජන යුක්ත කොට පිරිවහනි. මැනවින් යොදන ලද පද ව්‍යංජනයෙන් යුක්ත සූත්‍රවල අර්ථයද ප්‍රණීත වෙයි. තවද යහපත් වදන දේශනා කැරෙන විට අසන්නන්ද යහපත් වචන ඇතිවුන් බවට පත්වෙති. ඉවසීමෙන් දේශනා කැරෙන විට අසන්නන් ද ඉවසන දනන් බවට පත් වෙති. එසේම කිසියම් භික්ෂුවක් බහුශ්‍රැත වූ, ආගමට අනුකූ®ල වූ, ධර්මධර , විනයධර මාතෘකාවකින් අනුනට දහම් දෙසති. සූත්‍රවල අඩංගු කරුණු නොනසා දහම් දෙසති. මේ ශාසනයේ භික්ෂූන් සකස් කොටැ දහම් දෙසති. සකස් කොටැ දහම් පිරිවහනි. සකස් කොටැ දහම් දරති. සකස් කොටැ දැරූ ධර්මයෙහි අර්ථය පිරිවහනි. සකස් කොටැ අර්ථය දැන ධර්මය දැන, ධර්මානු ධර්මය, දේශනා කරන්නාහ. මෙය ධර්මයේ පැවැත්ම පිණිස හේතු වෙයි. තවද මහණෙනි, ඇතැම් දෙනා ගුණමකු ලෙස ධර්මය දේශනා කරයි. අනුන්ගේ සිදුරු, අඩුපාඩු ඇදකුද ඉස්මතු කැරමින් දේශනා කරයි. අනුන් කෙරෙහි වෛර ඇතිවන ලෙස දේශනා කරයි. ජඩ වූයේ, තෙළතොලු වූයේ දුෂ්ප්‍රාඥ වූයේ නොදත් දේ දත්තෙමියි යන මානයෙන් යුක්ත වැ දේශනා කරයි. මෙය ධර්මයෙහි අතුරුදන් වීම පිණිස හේතු වෙයි.

සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදානං ඉති උත්තකං ජාතකං අබ්භූත ධම්මං වේදල්ලං අයං භික්ඛවේ පඨමෝ ධම්මෝ සද්ධම්මස්ස අන්තරධානං (අං. නිකාය දුතිය සද්ධම්ම සම්මෝඪම සූත්‍රය)

මහණෙනි කරුණු පහක් සද්ධර්මයේ විනාශය පිණිස පවතියි. එනම් මේ ශාසනයහි සූත්‍ර ගෙය්‍ය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉති උත්තකය, ජාතකය, අද්භූත ධර්මයය, වේදල්ලය යන ධර්ම ප්‍රගුණ නොකරන්නේ නම් එය ධර්මයෙහි අතුරුදන් වීම පිණිස හේතු වෙයි. තව ද යථාගෘත යථා පර්යාප්ති, ධර්මය වනපොත් නොකරන්නම්, හැදෑරීම් නොකරත්නම්, සිතින් අනුවිතර්ක නොකරත්නම්, අනු විචාර, අනුපේ‍්‍රක්ෂණය නොකරත්නම්, එය ධර්මයෙහි අතුරුදන් වීම පිණිස හේතුවෙයි. ත්‍රිපිටක ධර්මය හැදෑරීම් නොකළ ඇතැම් දේශකයන් තම නොදන්නාකම වසා ගන්නේ ‘කාලීන ධර්ම දේශනා’ කරමියි මොනවා හෝ පැවසීමෙන්ය. එහෙත් ඉහත සඳහන් කරුණු අනුව බුදුබණ දෙසිය යුත්තේ ත්‍රිපිටක දේශනාවන්ට අනුකූලවමය. සමාජවාදය, ධනවාදය, මාක්ස්වාදය, විද්‍යාව ඔස්සේ වෙනත් දේශනා පැවැත්වීමෙහි වරදක් නැත.

ඇතැම් දේශකයෝ ත්‍රිපිටක පාඨවලින් උදාහරණ නොගෙන ගායක ගායිකාවන්ගේ ගීත කොටස් උදාහරණ වශයෙන් ගෙනහැර දක්වති. මෑතක දී එක්තරා සංයුක්ත තැටි (ධර්ම) දේශනාවක් අසන්නට ලැබිණි. එහි දේශකයන් වහන්සේ පැවසුවේ තම ධර්ම දේශනාවෙන් ගත හැකි කරුණු ගන්නා ලෙසත් එසේ නොහැකි කොටස් කුණු කාණුවට දමා යන ලෙසත් ය. බුදුබණ ත්‍රිවිධ රත්නයෙන් එක් රත්නයකි. ඒ උතුම් රත්නය කුණු කාණුවකට දැමීමට නොහැකි බව බෞද්ධයනට අමුතුවෙන් වටහා දිය යුතු නොවෙයි. සාරජ්ජ සූත්‍රයට අනුවැ ඇතැම් කථා දුෂ් කථා වශයෙන් සැළකෙයි. එනම් ශ්‍රද්ධා රහිතයාට ශ්‍රද්ධා කථා, දුස්සීලයාට සීල කථා, අල්ප ශෘතයාට බහුශ්‍රැත කථා, මසුරාට ත්‍යාගය පිළිබඳ කථා, දුෂ්ප්‍රාඥයාට ප්‍රඥාව පිළිබඳ කථා, දුෂ්කථාවෝ වෙති. සමාජයේ පවතින ඇතැම් චාරිත්‍ර වාරිත්‍ර විශ්වාස පුද පූජා ඇඳුම් පැළදුම් පිළිබඳ කැරෙන දේශනා බොහෝවිට සිනාසෙමින්, ඔල්වසරන් දෙමින් ශ්‍රවණය කරති.

අනුනට රිදෙන විට තවත් පිරිසක් සතුටු වෙති. ‘අපරාදෙ කියන්න බැහැ හොඳ බණ ටික’ කියමින් සියුම් වින්දනයක් ලබති. එය සමාජයේ ස්වභාවයයි. වැරැදි පෙන්වා දීම කරුණාධ්‍යාශයෙන්, ධර්මානුකූ®ලවමැ කළ යුතු ය. විශාල පිරිසක් මධ්‍යයේ කිහිප දෙනෙකු හෝ අපහසුතාවට පත් වෙයි. නම් එය ඛේදාන්තයක් වීමට ද පිළිවන. වරක් එක්තරා දේශකයකු තරුණියකගේ ඇඳුම් පිළිබඳ පිරිසක් මධ්‍යයේ කළ අපහාසාත්මක විවේචනය නිසා ලජ්ජාවට පත් ඇය සිය දිවි නසා ගත්තා ය. තවත් කාන්තාවක් මානසික වශයෙන් ඔත්පල වූවා ය. එවැනි උපහාසයකට ලක් වූ තරුණයෙක් ‘සමාජභීතිකා’ රෝගයට ගොදුරු විය.

බුද්ධ ශ්‍රාවකයා නිවන උදෙසාම ධර්ම දේශනා කළ යුතු ය. බුදු හිමියන් රජ පදවි අත්හැර අභිනිෂ්ක්‍රමණය කළේ තමන් ද දුකින් මිඳී මෙරමා ද දුකින් මුදවනු පිණිස ය. දේශකයාගේ ආත්ම ශුද්ධිය ග්‍රාහකයා කෙරෙහි ප්‍රබල ලෙස බලපායි. මල් වෙඩි සංදර්ශන මෙන් ඇතැම් දේශකයන්ගේ දේශනා මෙන්මැ එම දේශකයන්ද කෙටි කලෙකින් අතුරුදන් වන්නේ, සමාජය ඉදිරියේ හෙළිදරව් වීමත් සමඟම ය. ‘ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට, දුසිරිත දනන් දෙන ඔවා වැද්දන් දෙසන බණ වැනි’ යනුවෙන් ‘ලෝකෝපකාරය’ කාව්‍ය ග්‍රන්ථයේ සඳහන් වන්නේ එවැනි දේ පිළිබඳ වයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.