Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු දහම හෙළ බසින් තැබූ හෙළටුවා

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවාසීනට ගැඹුරු දහම් කොටස් දීප භාෂාවෙන් දේශනා කළ බව (ධම්මං භාසිත්වා දීප භාසාය – මහාවංශය, 14 පරිච්ඡේද 65 ගාථාව) සඳහන් වෙයි. මේ දීප භාෂාව සිංහල භාෂාවයි. එවකට සිංහලය සංවර්ධිත භාෂාවක් බව පාලි අර්ථකථා සියබසින් පරිවර්තනය කිරීමේ හැකියාවෙන්ම පෙනී යයි. මහින්දාගමනය හා එහි ප්‍රතිඵල මත ලංකාවාසීන් කෙරෙහි මහත් ප්‍රබෝධයක් ඇති විය.සිංහල භික්‍ෂූන් බුද්ධිමතුන් බවට පත්වෙමින් කෙටි කලකින්ම සිංහල භාෂාවෙන් පාලි පොත් හා පාලි අටුවා සියබසට පෙරලීම ගැන නොයෙක් තැන කරුණු දක්වයි. මනෝරථ පුරාණයෙහි “මහා මහින්ද ථෙරෙන...” යනාදී ලෙසින් සිද්ධිය විස්තර කරයි. අටුවාචාරී බුද්ධඝෝෂ හිමියෝ අටුවා ග්‍රන්ථ කීපයකම මේ පුවත දක්වති.

“අර්ථ ප්‍රකට කිරීම සඳහා මේ අටුවාවන්.... පසුව හෙළදිවට ගෙනෙන ලදුයේ මහ මිහිඳු තෙරණුවන් විසින් හෙළදිව වැසියනට වැඩ පිණිස හෙළ බසින් තබන ලදුයේ (සාරත්ථප්පකාසිනි, සංයුක්ත ස.නි. අටුවා, පිටුව 1 ) සඳහන් කරති. තවත් නොයෙක් පාලි ග්‍රන්ථයන්හි මේ සිද්ධිය දක්වාලයි. මිහිඳු මා හිමියන් හෙළ බසින් ලියූ හෙළ අටුවා ග්‍රන්ථ සියල්ල රැස්කොට තැබූ කල මධ්‍යම ප්‍රමාණයේ ඇතුන් හත් දෙනෙකුගේ උස පමණට සමාන බව පූර්වාචාර්ය විසින් කියන ලදැයි සඳහන් ය. සාර්ත්ථදිපති විනයටිකාව පුළුල් විස්තරයක් මේ පිළිබඳව දෙයි.

මගධ බසින් වැටෙමින් ආ බුදුකාලි අටුවා, හෙළදිව ඇදුරෝ හෙළු බසින් තැබූහ. ඔවුන් තැබූ නියායෙන් තමන් අටුවා කරනතාක් සිටි බැවින් සන්ථිතියුණු (ධම්පියා අටුවා ගැටපදය – මැද උයන්ගොඩ විමල කීර්ති ස්ථවිර හා නැතින්නේ සෝමින්ද ස්ථවිර සංස්කරණය – පිටුව 6 ) යනාදින් කියැවෙන පරිදි හෙළුබසින් ලිවීම මෙන්ම බුද්ධඝෝෂ මාහිමියන්ගේ අටුවාකරණය තෙක්ම එම අටුවා පැවති බවද පැහැදිලි ය.

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූ (ක්‍රි.පූ. 103 –76 ) වළගම්බා රජු දවස වනවිටත් ලංකාවේ සිංහල අටුවා පිළියෙළ වී තිබිණි.

අලුවිහාරයට එක් වූ භික්‍ෂූන් වහන්සේ පෙළපොත් මෙන්ම අටුවා පොත් ලියා පිළියෙළ කළ බව පෙනේ. සිංහල ගද්‍ය සාහිත්‍ය ගැන සිත් යොමු කරන කල දීර්ඝ සාහිත්‍ය ග්‍රන්ථාවලියේ සුවිශේෂ ස්ථානයක් හෙළටුවා ග්‍රන්ථයනට හිමිවෙයි. සිංහල ග්‍රන්ථ වංශයේ ආරම්භය සේ පෙනෙන හෙළටුවා සිංහල භාෂාව, සාහිත්‍ය ආදී කරුණු පිළිබඳව අතිශයින් වැදගත් ය.

හෙළටුවා දැනට අවිද්‍යමානය, බුද්ධඝෝෂ හිමියන්ගේ අට්ඨ කථා කරණයෙන් පසු හෙළටුවා මුළුමනින්ම අභාවයට ගිය බවක් ද නොපෙනේ. දහතුන්වන සියවසින් මෙපිට හෙළටුවා විද්‍යාමාන වූ බවට සාධක මද ය. පොළොන්නරු යුගයේ සාරත්ථදීපතිටිකායෙහි අවසන් වරට මේ ග්‍රන්ථ ගැන අසන්නට ලැබේ.

එහෙයින් එම සියවස ආසන්න කාලයේ දී හෙළටුවා විනාශ වී ගියේ යයි සිතීම නිවැරැදි ය. මේ ගැන දත හැක්කේ බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවා ග්‍රන්ථත්, සොළොස්වන සියවසට පෙර ලියැවුණු පාලි හා සිංහල ග්‍රන්ථ කීපයකුත් මගිනි. මිහිඳු මා හිමියන් බුදු දහම ගෙන ඒමේ දී පෙළපොත් හා අටුවා ද ගෙනෙන්නට ඇත.

මෙය වචන මාර්ගයෙන් පැවති අනතුරුව උන්වහන්සේ ප්‍රමුඛ ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේ විසින් භාරතයෙන් ගෙන ආ අටුවා ග්‍රන්ථ ද ඇසුරෙන් එම පෙළපොත් වල අර්ථ කථා සපයන්නට ඇත. මේ අර්ථ කථා සමුදාය “හෙළටුවා” නම් වෙයි. පස්වන සියවසේ ලක්දිව වැඩි බුද්ධඝෝෂ හිමි මහා පඬි රුවනකි. උන්වහන්සේගේ ආචාර්ය රේවත හිමියෝ මිහිඳු මා හිමියන් කළ හෙළටුවා පාලියට නගන ලෙස බුද්ධඝෝෂ හිමියන් මෙහෙය වූහ. එපරිදි බුද්ධ ඝෝෂ හිමි ලක්දිව වැඩ අනුරාධපුර අරසංකර පිරිවෙනේ නතරව එහි භික්‍ෂූන් වහන්සේගේ සහායෙන් හෙළටුවා පාලියට නැගූහ. (මහා වංශය 37 පිටුව)

“මනෝඥ වූ සිංහල භාෂාව බැහැර ලා ශුද්ධ වූ ත්‍රිපිටක පාලියට නගමින්” යනාදි ලෙසින් බුද්ධ ඝෝෂ හිමියෝම දක්වති. (අපෙ නෙත්වාන තතොනං සීහල භාසං මනොරමං භාසං) (සනි අටුවා) බුද්ධඝෝෂ හිමි පාලි අටුවා ග්‍රන්ථ රචනා කළේ හෙළටුවා පාලියට පරිවර්තනය කිරීමෙනි.

මිහිඳු හිමියෝ හෙළටුවා සම්පාදනය කළහ. අරිට්ඨ තෙරණුවන්ගේ සහායද ලැබෙන්නට ඇත. “මිහිඳු අටුවා” නමින් ද හැඳින්වෙන මේ හෙළටුවා අතර මුලින්ම ලියැවුණේ මහා අට්ඨ කථා, මහා පච්චරි අට්ඨ කථා, කුරුන්දි අට්ඨ කථා බව කියැවෙයි. අන්ධට්ඨකථා, සංඛපට්ඨ කථා යනුවෙන් තවත් හෙළටුවා ග්‍රන්ථ වෙයි. එහෙත් මේ පස අතුරෙන් කවරක් හෙළටුවා ලෙස ගිණිය යුතුදැයි විවිධ අදහස් ය. මුලින් තුන පමණක් හෙළටුවා ලෙස පිළිගැනීම යුක්ති යුක්ත බව මහාචාර්ය ටී.ඊ. හෙට්ටි ආරච්චි සූරීහු අදහස් කරති. (වෙස්ස මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, ප්‍රස්තාවනාව. පිටු. 9 – 11)

මහා අට්ඨ කථං වෙව - මහා පච්චරි මෙවච කුරින්දිඤවාපි තිස්සෝපි - සීහලට්ඨ කථා ඉමෙ. යනුවෙන් මුල් මහාඅට්ඨ, මහා පච්චරිඅට්ඨ, කුරුන්දිවෙල්ලි අට්ඨ යන තුන සිහලට්ඨ කථා බව කියයි. අන්ධ අට්ඨ හා සංඛපට්ඨ, හෙළටුවා ලෙස පිළිගැනීම නුසුදුසු බව ඇතමුන්ගේ අදහස ය.

ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් සූරීහු හෙළටුවා ග්‍රන්ථ විසි අටක් (පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය, පිටුව 41) දක්වති. එහෙත් මේ නාමමාත්‍රමුත් දක්නට නැත. මේවා වෙන වෙනම පැවති ග්‍රන්ථ නාම නොවේ. ඇතැම් නම් ඇතමෙකුට පර්යාය නාමය. නමකින් කෘති සමුදායක් වෙයි. සමහරක් අභ්‍යන්තර විශාල ග්‍රන්ථයක කොටස් ය. මහා අට්ඨ කථාව ප්‍රමාණයෙන් විශාල මෙන්ම තත්වයෙන් ද උසස් නිසා මහා අටුවාව නම ලබයි. ඒ මුළු තුන්පිටකයම අළලා කළ සම්පූර්ණ අටුවාවයි. ඇතැම් වියතුන්ගේ අදහස සිංහල අටුවාවලින් මිහිඳු මාහිමියන් දවස සකස් කැරුනේ මහ අටුවාව විය හැකි බවකි. මහා පච්චර අට්ඨ කථා යන නාම ව්‍යවහාර කරනුයේ පහුරක සිට ඇරඹීම නිසා ය. කුරුන්දිවෙල්ලි නම් ස්ථානයේ කළ නිසා කුරුන්දිවෙල්ලි අට්ඨ කථා යන නම ව්‍යවහාරය. අන්ධට්ඨ කථාව අට්ඨ අටුවාවකැයි ද විද්වත්හු අදහස් කරති. (ආචාර්ය ඊ.ඩබ්. අදිකාරම් මහතා) මෙය ආන්දා බසින් ලියැවුණක් සේද සලකයි. ආන්දා රටේ ලියැවුණු හෙයින් අන්ථට්ඨ කථා කුටි වී යයිද අදහස ය. (ආචාර්ය ඇම්. වින්ටර්නිට්ස් A History of Indian Literafure සංබේපට්ඨ කථා යන්න මහා පච්චරි අට්ඨ කථාවට සංකේතයක් හකුලා දැක්වුණු ග්‍රන්ථයක් සේ සැලකේ. එය වෙනම ප්‍රධාන හෙළටුවාවක් සේ සැලකීම නුසුදුසු සේ පෙන්වයි.

හෙළටුවා පාලියට නැගීමෙන් පසු ශතවර්ෂ පහකටත් වඩා නිරුපද්‍රිතව පැවති අතර හෙළටුවා භාෂා ව්‍යවහාරය ව්‍යවහාර භාෂා ව්‍යවහාරයෙන් ඈත් වීම හෙළටුවා අභාවයට යන්නට හේතුවන්නට ඇත. සිංහලය මළ භාෂාවක් නොව ජීව භාෂාවක් හෙයින් කල් යත්ම හෙළටුවා භාෂාව වටහා ගැනීම අපහසු වන්නට ඇත. තවද පාලිය නොවෙනස් මාතෘ භාෂාවක් නිසා එය ජනපි‍්‍රය වන්නට ද ඇත.

එසේම පරසතුරු ක්‍රියා නිසාද අනිත් සාහිත්‍ය පොත පත මෙන්ම මේ හෙළටුවාද හානියට ද පත් වන්නට ඇත. හෙළටුවා අභාවයට ගියද දහවන සියවසේ කාශ්‍යප රජු විසින් ලියවුණු ධම්පියා අටුවා ගැටපදයෙහි හෙළටුවා පාඨ රැසක් හමුවෙයි. (ධම්පියා අටුවා ගැටපදය, විමල කීර්ති, ස්ථවිර හා සෝමින්ද ස්ථවිර සංස්කරණය පිටු, 75, 76, 98, 99, 101, 130, 142, 143) භාෂා සාහිත්‍ය ආදී ලක්‍ෂණ විමර්ශනය කරන්නෙකුට හෙළටුවා, ආශ්‍රයෙන් පදනම් කරගත හැක්කේ එම පාඨ කීපය පමණි. යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම මාහිමියෝ අප්‍රතිහත උත්සාහයෙන් ශාස්ත්‍රීයත්වයෙන් හෙළටුවා පාඨ සංශෝධනය කොට දක්වාලූහ. (මජ්ඣිම නිකාය, පළමු කාණ්ඩය, 21 පිටුව, යක්කඩුවේ ප්‍රඥාරාම මාහිමි) ඒ විශිෂ්ට කාර්යයක් මැයි, සියලු විද්වතුන්ගේ පැසසුම මේ සම්බන්ධයෙන් උන්වහන්සේ ලබති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.