ජීවිතය සුවපත් කරවන
දැහැමි ධනය උපයන මඟ
ඉමදූව දිවෙලේගොඩ පුරාණ විහාරාධිවාසී
ගාල්ල ශ්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙනේ
කනංකේ විජිතනන්ද හිමි
බෞද්ධ දර්ශනයට අනුව යහපත් ජීවන තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා යම් ධනයක්
අවශ්‍ය ය. දැහැමි ලෙස ධනය උපයාගත යුතු අන්දම අප තිලෝගුරු බුදුපියාණන්
වහන්සේ විවිධ අවස්ථාවන්හිදී මැනවින් දේශනා කොට ඇති අයුරු පහත සඳහන්
සූත්‍ර දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යයි. ඒවා නම්,
1. සිඟාලෝවාද සූත්‍රය
2. ව්‍යග්ගපජ්ජ සූත්‍රය
3. මහාලි සූත්‍රය
4.වණිජ්ජා සූත්‍රය
.අණන සූත්‍රය යන සූත්‍ර දේශනා ය.
ඉහත සඳහන් සූත්‍ර අනුව විමසා බැලීමේ දී පුද්ගලයා ධනය උපයා ගත යුත්තේ
ශ්‍රමය යොදවමින් බව දීඝජානු කෝලිය පුත්‍රයාට බුදුරදුන් ව්‍යග්ගපජ්ජ
සූත්‍රයේ දී ඉතා මැනවින් පැහැදිලි කොට ඇත. “උට්ඨාන විරියාදිගතේහි බාහා
බල පරිච්තේහි සේදාවක්ඛිත්තේහි ධම්මිකේහි ධම්ම ලද්දේහි” ආදි වශයෙන්
උත්සාහයෙන් හා විර්යයෙන් අත් පා මෙහෙයවා දහඩිය වගුරුවා ධාර්මිකව ධනය
උපයා ගත යුතු බව එහිදී දේශනා කොට ඇත. ධනය ඉපයීම මෙන්ම ධනය පරිහරණය කළ
යුතු අන්දම ද බෞද්ධ දර්ශනයේ දී මනාව පෙන්වා දෙයි.
ධාර්මික ලෙස ශ්‍රමය වැයකොට යහපත් ධනයක් උපයා ගැනීමට නම් නිවැරැදි
රැකියාවක ද නිරත විය යුතු ය. ඒ සඳහා කෘෂිකර්මාන්තය, වෙළෙඳාම, ගව පාලනය,
රාජ්‍ය සේවය, හස්ත කර්මාන්ත, ඇතුළු අනෙකුත් ධාර්මික කර්මාන්තයක නිරත
විය යුතු ය.
බෞද්ධ දර්ශනයෙහි සඳහන් පරිදි කෘෂිකර්මාන්තයට ප්‍රධාන තැනක් හිමිවන අතර,
වෙළෙඳාමේ දී ද පුද්ගලයා හැමවිට ධාර්මික අන්දමින් ධනය ඉපයිය යුතු ආකාරය
“වණිජ්ජා” සූත්‍රයේ දී පෙන්වා දී ඇත. ඒ අනුව නොකළ යුතු වෙළෙඳාම් 5 ක්
බුද්ධ දේශනාවෙහි, දැක්වෙයි.
1. මස් වෙළෙඳාම
2. සතුන් වෙළෙඳාම
3. අවි ආයුධ වෙළෙඳාම
4. මත් පැන් වෙළෙඳාම
5. වස විෂ වෙළෙඳාම
එපමණක් ද නොව වෙළෙඳාමේ දී පහත දැක්වෙන වංචා සිදු නොකළ යුතු බව ද මහාලි
සූත්‍ර දේශනාවේ දී බුදු හිමියෝ වදාළහ.
1. තුල කූට – (තරාදියෙන් කරන වංචා)
2. කංස කූට – (මුදලින් කරන වංචා)
3. මාන කූට – (මිනුම් මගින් සිදු කරන වංචා)
ආර්ථික අංශයෙන් ඉහළ තලයකට ගමන් කිරීම සඳහා පුද්ගලයා හැම විටම පණ්ඩිතයකු
හා සිල්වතකු ලෙධ ධනය ඉපයිය යුතු බවට තවදුරටත් කරුණු දක්වා ඇත්තේ මෙසේ
ය.
“පණ්ඩිතෝ සීල සම්පන්නෝ ජල මග්ගීව භාසතී බඹරස්සේව ඊරියතෝ වම්මිකෝ
චූපයති”
යනුවෙන් පුද්ගලයා දැහැමි ලෙස ධනය ඉපයිය යුතු අයුරු පෙන්වා දෙන උපමා
දෙකක් බුදුහිමියෝ පෙන්වා දෙති. “බඹරස්සේව ඊරියතෝ” යනුවෙන් මල නොතලා
බඹරා රොන් ගන්නා සේ හිංසාවෙන් හා අයුක්තියෙන් තොරව පුද්ගලයා ධනය ඉපයිය
යුතු යැයි ද ‘වම්මිකෝ චූපයති’ යනුවෙන් වේයන් පිරිසක් තුඹසක් බඳින ලෙස
අනලස්ව ශ්‍රමය වැය කොට ධනය උපයා ගත යුතු යැයි ද එහි සඳහන් වෙයි.
ගිහි දිවියක් ගත කරන තැනැත්තා දැහැමි ලෙස ධනය ඉපයිය යුතු අතර එය නිසි
ලෙස පරිහරණය කළ යුතු බවද බුදු හිමියෝ තව දුරටත් පෙන්වා දෙති. අය, වැය
දෙපක්‍ෂය සමතුලිතව තබා ගැනීම එයින් ප්‍රධාන වේ.
“ඉධ ව්‍යග්ගපජ්ජ කුල පුත්තෝ අයංච භෝගානං විඳිත්වා වයංච භෝගානං විධිත්වා
සම්ජිවි කතා කප්පෙති” යන දේශනාවට අනුව දීඝජානුකෝලිය පුත්‍රයාට
බුදුරදුන් පැහැදිලි කරන්නේ අය, වැය දෙපක්‍ෂය සමතුලිතව ධනය පරිභෝජනය කළ
යුතු බවයි. සමජීවිකතාවෙහි අගය තවදුරටත් විග්‍රහ කරන බුදුහිමියෝ උපයාගත්
ධනය වැය කළ යුතු ක්‍රමය මෙසේ පැහැදිලි කරති.
“ඒතේන භෝගේ භුඤ්ජෙය්‍ය ද්වීහි කම්මං පයෝජයේ චතුත්‍ථංච නිදාපෙය්‍ය
ආපදාසු භවිස්සති”
යන දේශනාවට අනුව උපයාගත් ධනයෙන් කොටසක් අනුභවයට ද කොටස් දෙකක්
කර්මාන්තයෙහි
දියුණුවටද ඉතිරි කොටස ආපදාවක් වූ පසු ප්‍රයෝජනයට ගැනීම පිණිස නිධන් කළ
යුතු බවද පෙන්වා දෙයි. එපමණක්ද නොව 1. පරිභෝජනය 2. ආයොජනය 3. සංරක්‍ෂණය
යන අංශ අනුව ධනය පරිහරණය කළ යුතු බව බෞද්ධ දර්ශනය පැහැදිලි කරයි.
කාමභෝගී දිවි පෙවෙතක් ගත කරන ගිහියා තමන්ගේ සුඛ විහරණය මෙන්ම සමාජයේ
වෙසෙන අන් අයටද ධනය බෙදා දිය යුතු බව බුදු දහමෙහි කරුණු දැක්වෙයි. “
අත්තානං සුචේති පීනේති මාතා පිතුන්නං පිනේති” ආදි වශයෙන් තමා සතුටු
වන්නේ සේම මවු පිය නෑදෑ හිත මිතුරන් ද සතුටු කළ යුතු බව බුදුරජාණන්
වහන්සේ දේශනා කොට ඇත. අංගුත්තර නිකායෙහි සඳහන් වන පිරිදි නිවැරැදි
ධනයක් උපයන ලද පුද්ගලයා යුතුකම් 5 ක් ද ඉටු කළ යුතු බව පහත කරුණු මගින්
පෙන්වා දී ඇත්තේ මෙසේය.
1.ඤාති බලි – (ඤාතීන්ට සංග්‍රහ කිරීම )
2. අථිති බලි – (ආගන්තුකයන්ට සංග්‍රහ කිරීම )
3. රාජ බලි – (රජුට බදු ආදිය ගෙවීම )
4. දේවතා බලි - (දෙවියන් උදෙසා පිදීම )
5. පුබ්බපේත බලි - ( මිය ගිය ඤාතීන්ට පින්දීම)
සිඟාලෝවාද සූත්‍රය විමසා බැලීමේදී ධන විනාශය පිළිබඳ මැනවින් කරුණු
එහි වෙන බව පෙනෙයි. ඒ අනුව අජද්දුමාරිත හා උදුම්බරකාදන යන ක්‍රම දෙක
අනුගමනය කිරීම මඟින් ධන විනාශය සිදු වේ. අජද්දුමාරිත යනු නොකා නොබී
ජීවත් වී මිය යෑමයි. ඒ බව මජ්ජරිය , කෝසිය , අදින්න පුබ්බක,තෝද්‍යෙය යන
චරිත මගින් මනාව පැහැදිලි වේ. උදුම්බරකාදිත ක්‍රමය යනුවෙන් බුදු රදුන්
පෙන්වා දෙන්නේ ධනය ආරක්‍ෂා නොකොට කා බී සියල්ල විනාශ කර දැමීමයි.
“ දිවුල් ගසේ අතු සොළවා එහි හටගෙන ඇති ගෙඩි මල් ආදිය බිම හෙළා දමන්නා
සේ “ යන උපමාවෙන් එය මැනවින් අවධාරණය වේ . එසේම ධන විනාශය සඳහා හේතු වන
ප්‍රධාන වැරැදි පිළිවෙත් 6 ක් සිඟාලෝවාද සූත්‍රයෙන් පැහැදිළි කරදෙයි.
එනම්
1. මත්පැන් පානය කිරීම
2.අවේලාවෙහි වීථි සංචාරය
3. සමජ්ජාභිචරණය
4. දූ කෙළියෙහි යෙදීම
5. පාප මිත්‍ර සේවනය
6. අලසකම
යනු එම කරුණු ය
එපමණක්ද නොව පරාභව සූත්‍රයේදී
“ ඉත්ති ධුත්තෝ සුරා ධුත්තෝ
අත්ත ධුත්තෝ චයෝ නරෝ
ලද්ධං ලද්ධං විනාසේති
තං පරාභව තෝ මුඛං “
ස්ත්‍රීන් කෙරෙහි ලොල්වීම සුරාව හා සූදුවට යොමු වීම ආදිය නිසා ලැබෙන දෑ
විනාශ කරගෙන පුද්ගලයා පිරිහීමට පත් වෙයි.
ඉහත සඳහන් කරුණු දෙස අවධානය යොමු කිරීමේදී යහපත් ආර්ථිකයක් පවත්වා ගත
යුතු වන්නේ කෙසේද යන්න ඉතා මැනවින් පැහැදිළි වෙයි. පුද්ගලයා උපයන ධනය
ඉතා දැහැමි විය යුතු අතරම එය වැය කළ යුතු අන්දම ද පැහැදිළි කිරීම
තුළින් බෞද්ධ ආර්ථික දර්ශනය කොතරම් දැහැමි වූවක් දැයි මැනවින් ගම්‍ය
වෙයි.
ගිහි දිවියක් ගත කරන සැම පුද්ගලයකුම මෙම වටිනා පිළිවෙත් අනුව දැහැමිව
ධනය උපයා ගනිමින් හා එය සමතුලිතව වැය කරමින් යහපත් ලෙස ආර්ථිකය පවත්වා
ගත යුතු බව අප තථාගත ලොව්තුරා බුදු පියාණන් වහන්සේ මැනවින් අවධාරණය කොට
තිබීම මගින් බෞද්ධ දර්ශනය පුද්ගලයාගේ දෙලොව දියුණුව සඳහා කොතරම් දුරට
ඉවහල් වන්නේද යන්න ඉතා මැනවින් සනාථ වේ.
එම නිසා පින්වත් ඔබද මෙම වටිනා දහම් කරුණු අනුව යමින් තම වටිනා ජීවිතය
සාර්ථක කර ගැනීම සඳහා අදිටන් කර ගන්න.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි! |