Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පුද්ගලයා හා සමාජය

සමාජය කුල සතරකට බෙදා ඒ අයට වෙන වෙනම කාර්යයන් පනවා ඇති බව එසුකාරි බමුණා පැවසී ය. ඒවා උල්ලංඝනය කිරීම වරදක් බව ද ඔහු කීය. ඒ ඇසූ බුදුන්වහන්සේ ඒවා මුළු සමාජය විසින්ම අනුමත කර ඇද්දැයි ප්‍රශ්න කළහ. පිළිතුර වූයේ නැත යන්නය. සමාජය කුල වශයෙන් වෙන් කිරීම අයුක්තියක් බව හෙළි කිරීම සඳහා බුදුන්වහන්සේ විසින් තර්ක කිහිපයක් උපයෝගී කර ගෙන තිබේ.

1. (ජීව විද්‍යාත්මක තර්කය) වෘක්‍ෂලතාවන් එකිනෙකට වෙනස් වන්නේ ඒවාට පොදු ශාරීරික ලක්‍ෂණ ඇති හෙයිනි. මනුෂ්‍යයන් වර්ග කිරීමේ දී එබදු ශාරීරික අංග ප්‍රත්‍යංග අනුව වර්ග කළ නොහේ. ඒ බව සුත්ත නිපාතයේ වාසෙට්ඨ සූත්‍රයේ දැක්වේ.

2. (සමාජ විද්‍යාත්මක තර්කය) යෝන හා කාම්බෝජ දේශවල චතුර් වර්ණ භේදයක් නැත. එහි ඇත්තේ ආර්ය දාස භේද පමණි. එයද කලින් කලට වෙනස් වේ. ඒ අනුව කුල භේදය වූකලි කාල දේශ වශයෙන් විකල්ප පැනවීමක් පමණි.

3. කර්මයන් විපාක දීමේදී කුල භේදය බලපාන්නේ නැත. මාතංග සැඩොලාගේ බ්‍රහ්මලෝක ගමනට ජාතිය බාධාවක් නොවී ය. “තං ජාති නිවාරයි” සුත්ත නිපාතයේ වසල සූත්‍රය (මෙය ආචාර විද්‍යාත්මක තර්කයයි)

4. (ඓතිහාසික තර්කය) කුල භේදය ඉතිහාසය සෙවීමේ දී අමිශ්‍ර වූ කුල දැක්ක නොහැකි ය. බුද්ධ කාලය වන විට බොහෝ අය සත්වන පාරමිතාව දක්වා පමණක් පිරිසුදු කම දැක්වූයේ එහෙයිනි. අම්බට්ඨ මානවකයාට බුදුන් වහන්සේ කරුණු දැක්වූයේ මෙම රීතියට අනුවය. (දීඝ නිකායේ අම්බට්ඨ සූත්‍රය)

අයිතිවාසිකම් ගැන බෞද්ධ සමාජ දර්ශනයේ කෙසේ සඳහන් වන්නේ ද කියා බලමු. බෞද්ධ සමාජ දර්ශනයේ අයිතිවාසිකම් විවරණය කරන්නේ යුතුකම් හා සාපේක්‍ෂ ආකාරයෙනි. සෑම පුද්ගලයකුටම මිනිසකු වශයෙන් ඇති අයිතිය බුදුසමය පිළිගනී. මෙය සමානාත්මතාව පිළිබඳ කදිම නිදසුනකි. ගෘහ ජීවිතයේ, බාහිර හා අභ්‍යන්තරික සම්බන්ධතාවන් සාපේක්‍ෂව දක්වා සමාජ ප්‍රවෘත්තියෙහි ලා සය වැදෑරුම් පිරිසක් විසින් කෙරෙන කාර්යයන්හි උස් මිටි භේදයක් නැති ආකාරය දක්වයි. කම්කරුවන් හා දාසයන් එක් දිසාවක් ලෙස දැක් වූයේ එහෙයින් ය. මෙහිදී කම්කරුවන් යට දිශාව දැක් වූයේ අන් කිසිවක් නිසා නොව ස්වාමියාගේ ශක්තිය රඳා පවතින්නේ ද සේවකයන් මත ඬසයි. සේවකයන් ඉටු කළ යුතු යුතුකම් රාශියක් දක්වා තිබේ. සේව්‍ය සේවක දෙපක්ෂයට මානව අයිතිවාසිකම් අතින් එක සමාන තත්ත්වයක් උසුලයි. සෑම පුද්ගලයකුටම නිදහස්ව සිතීමේ, ක්‍රියා කිරීමේ, නිදහස්ව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත. එසේ පුද්ගලයාගේ ජීවිත සුරක්‍ෂිතභාවය, තහවුරු කළ යුතු ය. ඒ බව කාලාම සූත්‍රයේ සඳහන් වේ.

සමාජයේ පොදු ආරක්‍ෂාව නම් ඒ එම පුද්ගලයන්ගේ අරක්‍ෂාවේ එකතුව බව අයිවර් ජෙනිස් ප්‍රකාශ කරයි. සෑම අයකුගේම පෞද්ගලික ආරක්‍ෂාව සෑම සමාජ දර්ශනයකම ප්‍රධාන ලක්‍ෂණයක් විය යුතු බව මේ අනුව පැහැදිලි වෙයි. බෞද්ධ ආචාර විද්‍යාව සකස් වී ඇත්තේ සෑම අයෙකුගේම ජීවිතය සහතික වන ආකාරයට ය. පුද්ගලයන්ගේ ආරක්‍ෂාව ක්‍රම දෙකකට අයත් වෙයි. ඒවා නම් මෙසේ ය.

පුද්ගලයා රජයෙන් ආරක්‍ෂා කිරීම හා පුද්ගලයා පුද්ගලයාගෙන් ආරක්‍ෂාව ඇති කිරීම වශයෙනි. චක්කවත්ති සීහනාද සූත්‍රයේ දී චක්‍රවර්තී රජුගේ ධර්මය ලෙස පංච සීලය දක්වා තිබේ. පංච ශීලය සකස් වී ඇත්තේ ජීවිත ආරක්‍ෂාව සහතික වන ලෙසට ය. තම රටවැසියා කෙරෙහි පීතෘ, පුත්‍ර ආකල්පයකින් යුක්ත විය යුතු බව දක්වා ඇත්තේ රජු රටවැසියන් ආරක්‍ෂා කළ යුතු බව දැක්වීමට ය. බෞද්ධ සමාජ දර්ශනය පිළිගන්නා ආකාරයට රජුට බලය ලැබෙන්නේ ජනසම්මතයෙනි. එම නිසා ඔහු නීතියෙන් ජනතාවට ආරක්‍ෂාව ලබා දිය යුතු ය. වැදගත් කාර්යයන්හි දී ජනමතය විමසිය යුතු යැයි දක්වන්නේ ජනතාව කෙරෙහි ඇති බැඳීම හෙළි කිරීමට ය. නීතිය වැඩිදෙනකුගේ යහපතට මිස එහි වහලකු වීම ඉන් අදහස් නොකෙරේ. රජු නීතිය මෙහෙය විය යුත්තේ ජනතාවගේ ආරක්‍ෂාවට ය.

බුදු සමයෙන් අවධාරණය කරන කරුණු කිහිපයක් ගැන මෙහිදී අපේ අවධානය යොමු විය යුතු ය. සෑම පුද්ගලයෙක්ම අන් අයගේ ජීවත් වීමේ අයිතිය කෙරෙහි සැලකිල්ලක් දැක්විය යුතු බව සංයුක්ත නිකායේ වේළුවදාර සූත්‍රයේ සඳහන් ය. කුමන හෝ ප්‍රාණියකු නැසීම වසලයකු වීමට හේතු වේ යැයි වසල සූත්‍රයේ දැක්වේ. පුද්ගලයාගේ ජීවිතය පමණක් නොව ධනය, පවුලේ සාමය, සමාජ තත්ත්වය පිළිබඳ සුරක්‍ෂිතතාව බෞද්ධ ආචාර විද්‍යාවෙන් ආරක්‍ෂා කෙරේ. පුද්ගලයා හා සමාජය අතර අන්තර් සම්බන්ධතාව විවරණයයේ දී මෙම අයිතිවාසිකම් හා යුතුකම් යන දෙකම දක්වා තිබේ. ඒ විස්තරය මෙසේ ය.

දෙමාපියන් = දරුවෝ
ගුරුවරයා = ශිෂ්‍යයා
ස්වාමි පුරුෂයා = භාර්යාව
මිත්‍ර ජනයා = කුල පුත්‍රයෝ
ස්වාමි = සේවක
පූජකයා = කුල පුත්‍රයා

එක කොටසකින් යුතුකම් ඉටු වන විට අනික් කොටසෙහි අයිතිවාසිකම් ආරක්‍ෂා වන බව සිඟාලෝවාද සූත්‍රයේ දක්වා ඇති විස්තරයෙන් පැහැදිලි වේ. මේ ආකාරයට මෙම පිරිස් අතර ඇත්තේ වටිනා බැඳීමකි. එසේම එක් පුද්ගලයකු වටා වගකීම් රැසක් ඇති බව පෙනේ. එසේම එක් අයකුගේ යුතුකම් තව කෙනකුගේ අයිතිවාසිකමක් වෙයි. උදාහරණයක් වශයෙන් ස්වාමි, භාර්යා යුතුකම් හා වගකීම් ගත හැකි ය. සමාජයේ පැවැත්මට පුද්ගලයා ජීවත් විය යුතු ය. පුද්ගලයාට සමාජයේ අයිතියක් ඇත. එය සමාජය විසින් රැකදිය යුතු ය. එහෙත් ඔහු සමාජයට තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කළ යුතු ය. මෙසේ ක්‍රියා කිරීම සන්සුන් සමාජයක පැවැත්මට හේතුවේ.

ඊළඟට අප සමාජය කෙරෙහි පුද්ගලයාගේ ආකල්පය කෙසේ විය යුතු දැයි සොයා බැලීම අවශ්‍ය වේ. සමාජය කෙරෙහි පුද්ගලයා තුළ තිබිය යුත්තේ සුහදශීලී ආකල්පයකි. වසල සූත්‍රයේ දැක්වෙන පරිදි තමාගේ නිවසට එන අයට සංග්‍රහ නොකරන්නා වසයෙකි. සමාජය දූෂිත වීමට හේතු වන කරුණු හතරක් ගැන බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක. ඒවා නම්,

ජන්දය = ආශාව, දෝසය = තරහව, භය = බිය, මෝහය = මෝඩකම

මෙම කරුණු මනාව දැන ගෙන ඒවා ගෙන් වෙන් වීම බුදු හිමියෝ අගය කළ සේක. එසේම සමාජය ගැන සිතිය යුත්තේ මෛත්‍රී පූර්ව චේතනාවෙනි. සමාජ ආචාර විද්‍යාව ගොඩනැගෙන්නේ මෛත්‍රීය නිසා ය. සමාජයට තමා කරන දෙයෙනි. හොඳ නරක තීරණය කරන්නේ තමා උපමා කොට ගෙන වීම තවත් වැදගත් කාරණයකි. සංයුක්ත නිකායේ වේළුද්වාර සූත්‍රයේ මේ පිළිබඳ විස්තරයක් එයි. අත්තුපනායික ධර්මපරියාය අනුව මම ජීවත් වෙන්න කැමතියි. මම සැප විඳින්න කැමතියි. මා වාගේම අනිත් අයත් සැපට කැමතියි. දුකට අකමැතියි. ඒ නිසා මටත් අනුන්ටත් විපත් නොවන දේ කුසල් ය. විපත් වන දේ අකුසල් ය. යනුවෙන් විනිශ්චය කළ හැකි ය.

පුද්ගලයාගේ දියුණුවට අවශ්‍ය වන අනුක්‍රමික කරුණු ඇතුළත් විස්තරයක් මහා මංගල සූත්‍රයේ සඳහන් වෙයි. මහා මංගල සූත්‍රයේ මංගල කරුණු 38 න් කිහිපයක් මෙහි දක්වා ඇත. ඒවා නම් මිනිස් මනසේ සංවර්ධනයට පරිසරය බලපාන අයුරු, බාලයන් බැහැර කිරීම, සුදුසු ප්‍රදේශයක් තෝරා ගැනීම ය. දියුණුවට කැමැති, පුද්ගලයා හොඳ ජීවන වෘත්තියක් තෝරා ගැනීමද අවශ්‍ය වේ. එසේම දානය, අඹු දරුවන්ට සංග්‍රහ කිරීම, මව්පිය උවටැන් ආදී තවත් යුතුකම් ඉටුකළ යුතු වෙයි. මෙසේ බාහිර හා අභ්‍යන්තරික යන ගුණාංග වලින් ප්‍රගතියට ගිය පුද්ගලයාට නිවන් සාක්‍ෂාත් කර ගැනීම පහසු වේ. අභිවෘද්ධිය පතන පුද්ගලයා මේ කරුණු වලින් යුක්ත විය යුතු ය.

1. හැකියාවෙන් යුක්ත විය යුතු ය.
2. සෘජු ප්‍රතිපත්තියක් හා කීකරු බවින් යුක්ත විය යුතු ය.
3. නිහතමානී විය යුතු ය.
4. මෘදු බව තිබිය යුතු ය.
5. ලද දෙයින් සතුටු විය යුතු ය.
6. නුවණ ඇතිව සංසුන්ව කටයුතු කළ යුතු ය.

මෙම කරුණු පුද්ගලයාගේ දියුණුවට හේතු වන අතර, පරිහානියට හේතු වන කරුණු පරාභව සූත්‍රයේ සඳහන් වෙයි. සමාජයේ අභිවෘද්ධිය පුද්ගලයාගේ අභිවෘද්ධිය වන අතර පිරිහීම සමාජයේ පිරිහීමට හේතු වේ. සමාජයේ පරිහානියට හේතු වන කරුණු කිහිපයකි. බුදුන් වහන්සේ මිනිසුන්ගේ පරිහානියට හේතු වන කරුණු 21 පරාභව සූත්‍රයේ දී දේශනා කර ඇත.

ධර්මය රුචි නොකිරීම, ධර්මයට ද්වේෂ කිරීම, අසත් පුරුෂයන්ට පි‍්‍රය වීම, සත් පුරුෂයන්ට පි‍්‍රය නොකිරීම, අසත් ධර්මය රුචි කිරීම, නිදි බරව ගත කිරීම, දොඩමළුව කල් යැවීම, ක්‍රෝධ බහුල වීම, මව්පියන් නොරැකීම, බොරුවෙන් මහණ බමුණන් රැවටීම, ආහාරයට තද ගිජු කම, ජාතිය, ධනය, කුලය යන මෙයින් උඩඟු බව, නෑයින් පහත් කොට සැලකීම, ස්ත්‍රී කෙරෙහි ලොල් බව, දූ කෙළියට ලොල් බව, සුරාවෙහි ලොල් බව, වෙසඟනන් පතා යෑම, මහලු අය තරුණියන් භාර්යා තනතුරට ගැනීම, ලොල් වූ අරපරිස්සම නැති ස්ත්‍රියක හෝ පුරුෂයකු ඉසුරු තන්හි තබා ගැනීම, වස්තුවෙන් අඩු වූ තෘෂ්ණාවෙන් වැඩි වූ ස්ත්‍රියන් සරණකර ගැනීම. මෙම කරුණු වලට අමතරව පුද්ගලයකුගේ පරිහානියට බලපාන කරුණු 6 ක් සිඟාලෝවාද සූත්‍රයෙහි දන්වා තිබේ.

1. සුරා පානය
2. අවේලාවේ වීදි සංචාරය
3. සමාජ ශාලාවලට යෑම.
4. නරක මිනිසුන් ආශ්‍රය
5. අලස වීම.
6. දූ කෙළිය.

මෙම කරුණු වලට යම්කිසි පුද්ගලයකු ලොල් නම් ඔහු ආර්ථික තත්ත්වයෙන්, සමාජ තත්ත්වයෙන්, සෞඛ්‍ය තත්ත්වයෙන් හා ගුණානුවණින් පරිහානියට පත් වේ. මිනිසුන්ගේ බොහෝ ගැටලු ආර්ථික ඒවාම නොවේ. බොහෝ ඒවා මානසික ය. ක්‍රේම්බ්‍රිජ්හි ප්‍රකට මනෝ විද්‍යාඥයකු වූ රොබට් එච්. තවුලස් ප්‍රකාශ කරන්නේ සමාජය මනෝවිද්‍යාවට තථාගතයාණන් වහන්සේගෙන් වූ සේවය අති විශාල බව ය.

දේශපාලන සංස්ථා සුමගට යෙදවීමට අවශ්‍ය පැහැදිලි අදහස් මාලාවක් බුදුසමයෙහි එයි. බුද්ධ කාලයේ ආණ්ඩු ක්‍රම වර්ග දෙකක් විය. ඒවා රාජාණ්ඩු හා සමූහාණ්ඩු ය. මේ දෙකින් එකක් අනිකට වඩා උසස් බව බුදුහු නොවදාළහ. රාජ්‍යය යහපත් වන්නේ ආණ්ඩුව අනුව නොව පාලන ධර්මය අනුවයි. රජකු රටක් පාලනය වන විට රජු ධාර්මික විය යුතු ය. රජකු රට පාලනය කළ යුත්තේ ස්වමතයෙන්ම නොව මහජන මතයද විමසමිනි. කුටදන්ත සූත්‍රයෙහි යාගයට පෙර සාමාන්‍ය ගෘහපතියන්ගේ ද අදහස් විමසන ලෙස මහා විජිත රජුට කළ අවවාදයක් දැක්වේ. දීඝ නිකායේ කුටදත්ත සූත්‍රයේ රජු හා පොදු ජනයා අතර සම්බන්ධතාව දැක්වෙන්නේ පීතෘ, පුත්‍ර ආකල්පයෙනි.

බුද්ධ කාලීන සමූහාණ්ඩු ක්‍රමය ලිච්ඡවි හා ශාක්‍ය වැනි රාජධානි ගණනාවක පැතිර තිබිණි. ඔවුන්ගේ පාලන ක්‍රමය ජනහිතකාමී එකක් වූ බව හෙළි කරන ප්‍රජාතාන්ත්‍රික මූල ධර්මය මහාපරිනිබ්බාන සූත්‍රයේ සාකච්ඡා කෙරේ. බුදුරජාණන් වහන්සේගේ පාලන දර්ශනය මැනවින් විග්‍රහ කළ හැක්කේ සංඝයාට ඇති කර දුන් පාලන ක්‍රමය අනුව ය. ගෝකුල් දාස් නමැති විද්වතා දක්වන අන්දමට භික්‍ෂු ප්‍රජාතන්ත්‍රවාදය භික්‍ෂූන් විසින් භික්‍ෂූන් සඳහා කළ, භික්‍ෂූන්ගේ පාලනයකි. වර්තමාන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග රාශියක්ම මෙම පාලන ක්‍රමයෙහි දක්නට ලැබේ. කථානායක තේරීම, ගණපූර්ණය බැලීමේ නිලධාරියකු පත් කිරීම, යෝජනා හා සාකච්ඡා ක්‍රමය, පනතක් තෙවරක් කියවා සම්මත කිරීම, වැඩි ඡන්ද ක්‍රමය, තනි පුද්ගලයකුට ඡන්ද හිමි වීම, ඡන්ද බලය එක්තරා වයසක් ගත විය යුතු බව, සාමූහික වගකීම වැනි වර්තමාන පාර්ලිමේන්තු වාදයේ සංකල්ප සියල්ලම බෞද්ධ සංඝ සංස්ථාවෙහි දැකිය හැක.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.