Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තෙවන සිල්පදය යනු කුමක්ද

පංචසීල ප්‍රතිපදාවට අයත් වන තෙවැනි සික පදය වන කාම මිථ්‍යාචාරයෙන් වැළකීම යන්න විවිධ අයුරින් විග්‍රහ කෙරෙනු වර්තමානයේ දක්නට ලැබේ. මෙය පමණක් නොව, බොහෝ ධර්ම කාරණා පිළිබඳව උගත් ඇසින් බලා කෙරෙන නව විග්‍රහයන් අද එතරම් විරල නොවේ. ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් හසුරුවනු ලබන චින්තනය තුළ එය අපේක්ෂා කළ යුතුය. ඇත්තෙන් ම ධර්ම විනයට අනුව පර්යාප්තිය නිවැරැදිව දුහුනන්ට තේරුම් කරදීම උතුම් ධර්ම දානයක්ම වෙයි. එහෙත් උගත් බවින් අවදි කෙරෙන සන්නිවේදන හැකියාව මත, ඒවා පුද්ගල බද්ධ වූ පෞද්ගලික විනිශ්චයන් ලෙස ගෙනහැර සාධාරණීයකරණය කොට සනාථන සත්‍යයක් ලෙස ප්‍රකාශ කොට පූර්ව අර්ථයන් බොළඳ කොට දැක්වීම නම් ධර්මකාමී පිළිවෙතක් නොවේ. එනමුත් සහේතුක විවෘත අදහස් මගින් ප්‍රකාශ කෙරෙන කරුණු තමන්ගේ් මතයක් ලෙස දැක්වීමෙන් අන්අයටද තම තම නැණ පමණින් විමසා බලන්නට අවස්ථා උදා කරදීම විනයානුකූල ධර්ම මාධ්‍ය පිළිවෙතයි. එවිට කියන්නා ද අසන්නා ද සත්‍යය විමසන්නෝ වෙත්.

කාම මිථ්‍යාචාරය යනු සතර කර්ම ක්ලේශයන්ට අයිති, එමෙන් ම කර්ම පථ සංඛ්‍යාත දස අකුශලයන්ට ඇතුළත්, කයින් කෙරෙන ප්‍රබල වරදක් ලෙස ධර්මයෙහි දැක්වේ. විනය පැත්තෙන් ප්‍රබල විපාක ගෙන දෙන සාවද්‍ය චර්යාවකි. උපසපන් භික්ෂූන්වහන්සේලාගේ විනය පරාසය තුළ, මෙම අකුසල ක්‍රියාව සම්පූර්ණ වුවහොත් සතර පාරාජිකාවට වැටෙන බැවින් භික්ෂූත්වය අත්හැර යෑමට නියම කෙරෙන්නකි. මරණයේදී අවසන් චුති සිතට, කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත යන තුනෙන් කුමක් හෝ ආරම්මණයක් ලෙස කාම මිථ්‍යාචාර වරද එළඹුනොත් සතර අපාය මුඛ ප්‍රතිසන්ධි විපාක සිතක් සකස් කෙරෙන බව දහමෙහි පැහැදිලිව දක්වා ඇත. සේවිතාය, භාවිතාය, බහුලීකතාය වශයෙන් නිතර නිතර මෙම වරදෙහි යෙදෙන්නා සතර අපාය තම ඊළඟ නිවහන කරගන්නෙක් වෙයි.

මම බරපතළ වරද පිළිබඳ පෙළ අරුත් ගැන විමසීමේදී මුල් බුදු දහමෙහි එය අර්ථ ගන්වන තැනක් මෙහි දක්වමි.

කාමේසු මිච්ඡාරෝති එත්ථ පන කාමේසුති මෛථුන සමාචාරේසු, මිච්ඡාරෝති ඒකන්ත නින්දිතෝ ලාමකා චාරෝ, ලක්ඛණතෝ පන අසද්ධම්මාදිප්පායේන කායද්වාර පවත්නා ආගමනීයට්ඨාන විතික්කම ;ච්තනා කාමේසු මිච්ඡාචාරෝ...’

‘කාම මිථ්‍යාචාරය යන මෙහි කාමයන්හි යනු, මෛථුන ධර්ම සමාචරණයන්හි ඒකාන්ත නින්දිත වූ මිථ්‍යාචාර ළාමක හැසුරුමය, ලක්ෂණ වශයෙන් වනාහි අසද්ධර්මයෙහි හැසිරෙන අදහසින් යුක්ත වූ කායද්වාරයෙහි පැවති නොයායුතු ස්ථාන ව්‍යතික්‍රමණය කරන චේතනා තොමෝ කාමමිථ්‍යාචාරය නම් වේ.’

මෙහි දැක්වෙන මෛථුන ධර්ම සමාචරණයන්හි ඒකාන්ත නින්දිත වූ හැසිරීම යන කාරණයට අනුවත්, ඒ අරබයා නොයා යුතු ස්ථාන හෙවත් ආගමනීයට්ඨාන පිළිබඳව දී ඇති පශ්චාත් ධර්ම විග්‍රහයට අනුවත්, මෙම වරදෙහි යෙදුනු භික්ෂූන්ට සිවුරු හැර යෑමට සිදුවන පාරාජිකාපත්තියක් වන කාරණයට අනුවත්, මෙය විෂමාචාර ස්ත්‍රී පුරුෂ කායික කාම (ලිංගික) සම්භෝගයම බව පැහැදිලි වේ.

එහි ආගමනීය ස්ථාන ලෙස මාතු රක්ඛිතාදී දස දෙනකු දැක්වේ. මව විසින්, පියා විසින්, මව සහ පියා විසින්, සහෝදරයෙකු විසින්, සහෝදරියක විසින්, ස්වාමිපුරුෂයා විසින්, වැඩිහිටියකු විසින්, මිත්‍රයකු විසින්, ආරක්ෂකයකු විසින් ආදී වශයෙන් කවර අයුරකින් හෝ ආරක්ෂා කරනු ලබන්නා වූ විවාහක හෝ අවිවාහක හෝ ස්ත්‍රියක් කරා ලෝක සමාචාර චාරිත්‍ර ඉක්මවා නින්දිත ළාමක හැසුරුම උදෙසා යමෙක් එළඹෙයිද එසේ එළඹීමට ගෝත්‍ර වන්නා වූ ස්ත්‍රිය මෙකී ආගමනීයට්ඨාන ලෙස විස්තර කෙරේ. මෙයින් වැළකීමෙන් මිථ්‍යාචාරයේ යෙදෙන්නා සහ ගෝචරවන්නා යන පාර්ශ්ව දෙකක රක්ෂණය සිදුවෙයි.

දස අකුසල විභාගයේ කාම කම්මපථ විස්තර කෙරෙන තැන්හි ප්‍රාණඝාත පරද්දබ්බං පරසාරංච කායතෝ..’ යනුවෙන් කයින් කෙරෙන අකුසල් ලෙස ප්‍රාණඝාතය, සොරකම සහ පරදාර සේවනය දක්වා ඇත. එහි පරදාර සේවනය යනු මිථ්‍යාචාරයෙහි ලා අසම්මත පර ස්ත්‍රීන් සේවනයයි. මුලින්කී පරිදි දස අකුසලයට අයත් වන්නේ කාම මිථ්‍යාචාරය යි. ඒ අනුව පරදාර සේවනය ලෙස කාම මිථ්‍යාචාරය දැක්වේ.

මෙම කාම මිථ්‍යාචාර අකුසල කර්ම පථය සම්පූර්ණ වීමට අංග සතරක් සම්පූර්ණ විය යුතු බව දැක්වේ.

පරිපරිග්ගහ ඉත්ථිච (අන්සතු ස්ත්‍රියක වීම ( 2. පරිපරිග්ගහ සඤ්ඤිතා (අන්සතු ස්ත්‍රියක්ය යි දැනීම) 3. අතික්කමන චිත්තංච (වරදෙහි යෙදීමේ සිත) 4. තතෝවා නික්කමොපිව (වරදවා හැසිරීම) යනු ඒවායි.

තවත් තැනක 1. ආගමනීය වත්ථු, 2. සේවන චිත්තං, 3. සේවන පයෝගෝ, 4. මග්ගේන මග්ග පටිපත්ති අධිවාසන්ති යනුවෙන් සේවන ප්‍රයෝගය ද ඇතුළත් කර ඇත.

කාම මිථ්‍යාචාරය ද්විත්වාරම්මණ වෙයි. ස්ත්‍රී පුරුෂයන් අරමුඅණු කොට පැවැත්මෙන් සත්ත්වාරම්මණ වේ. සේවනයේදී ස්පර්ෂය අරමුණු කොට පැවැත්මෙන් සංස්කාරම්මණ වේ. මෙහි විශේෂත්වය වන්නේ ප්‍රාණඝාතය, අදත්තාදානය ආදී අකුසල කර්මයන්හි මෙන් නොව සාහත්ථික ප්‍රයෝගයෙන් ම, එනම් මිථ්‍යාචාර ක්‍රියාවෙහි යෙදෙන්නාට පමණක් කර්ම පථය සිදුවීමයි. අන් අයකු ලවා කරවීමෙන් හෙවත් අණ කිරීමෙන් (ආණත්තික) අණ කළ තැනැත්තාට කර්මපථය සිදු නොවේ.

මිථ්‍යාචාරයට භාජිතයා ගේ ගුණයන් ගේ අඩුවැඩිකම් අනුව , එහි යෙදුනු තැනැත්තාට වන විපාකයෝ ද අල්ප සාවද්‍ය මහා සාවද්‍යවෙත්. දුශ්ශීල ස්ත්‍රිය කෙරෙහි අල්ප සාවද්‍ය වෙයි. ගෝ සිල, සරණාගත, පන්සිල්වත්, අටසිල්වත්, දස සිල්වත්, සාමනේරී, උපසපන් පෘථග්ජන මෙහෙණ, සෝවාන් භික්ෂුණිය, සකදාගාමී, අනාගාමී භික්ෂුණිය කෙරෙහි පිළිවෙත් මහා සාවද්‍ය භාවය වැඩේ. ස්ව රක්ෂණයෙහි නොසමත් උම්මත්තක ස්ත්‍රිය කෙරෙහි මහා සාවද්‍ය වේ. රහත් මෙහෙණක් කෙරෙහි පංචානන්තරිය තරමින් අතිශයින් මහා සාවද්‍ය වේ.

විස්තර වශයෙන් පුරුෂයා කර්තෘත්වයෙහි තබා මෙම සාවද්‍ය ක්‍රියාව උධෘත කොට දැක්වෙන්නේ මිනිස් ඉතිහාසයේ බහුල වශයෙන් පුරුෂයා මූලික බැවිනි. නමුත් පුරුෂයා කෙරෙහි ස්ත්‍රිය ක්‍රියාත්මක වූ විට ස්ත්‍රියටද කාම මිථ්‍යාචාර අකුසල කර්ම පථය වේ.

විපාක වශයෙන් කර්මකාරීන් නිරයට, තිරිසන් හෝ පේ‍්‍රත යෝනියට පමුණුවනු ලබත්. කිසියම් ගති සම්පත්තියම පුණ්‍ය කර්මයකින් මිනිස් ව ඉපදුනක් උපධි සම්පත්ති නොලබත්. බොහෝ සතුරන් ඇතිවීම, ජනයාට අපි‍්‍රයවීම, පුරුෂ තෙමේ ස්ත්‍රී හෝ නපුංසක භාවය ලැබීම, ස්ත්‍රීත්වය ලැබුවෝ ස්ත්‍රීත්වයෙන් නොමිදීම, විරූප වීම හා ලිංගික අතවරවලට ගොදුරුවීම, අසම්පූර්ණ ඉන්ද්‍රියයන් ඇතිවීම ආදී විපාක ලබත්. කේසි කියවීම් වලට අනුව, අපස්මාර රෝගීන් විශාල සංඛ්‍යාවක් ගෙන කළ ස්වයං ප්‍රතිගමනයේදී ඔවුන් සියල්ල ම පාහෝ බහුල ලෙස කාම මිථ්‍යාචාරයෙහි හෙවත් පරදාර සේවනවෙහි යෙදුනු අය බව එළිදරව් කරනු ලැබ ඇත. (සංසාර මන්දිර පොත බලන්න)

මේ අනුව මුල් බුදු දහමේ දැක්වෙන අර්ථ ගැන්වීම් අනුව පාත්‍ර වර්ගයා වශයෙන්ද ක්‍රියා වශයෙන් ද ප්‍රයෝග වශයෙන්ද විපාක වශයෙන්ද ගත්කල ස්ත්‍රී පුරුෂ සමාචාරණයන්හි මිථ්‍යාචර්යාවම මෙම ශික්ෂාපදයෙන් වාරණය කෙරෙන බව පැහැදිලිය.

‘යාය තණ්හා පෝනෝභවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභිනන්දනී, සෙය්‍යථිදං : කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන සමුදය ආර්ය සත්‍ය විභාගයේදී යෙදෙන ‘කාම’ යන්න මගින් සියලු කාම වස්තූ®න් කෙරෙහි වූ ඇලීම් සංඛ්‍යාත ආශාව නම් වූ කාම තෘෂ්ණාව දැක්වේ. එය රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ඨබ්බ කාම, ධම්භ කාම ලෙස ෂට් ආකාර වෙත්. එකී කාම තෘෂ්ණාව නැවත නැවත සසර ඉපදීම ඇතිකරවන බවද උපනුපන් ආත්මභාවයන්හිදී පංචද්වාරාවජ්ජන හා මනෝද්වාරාවජ්ජන අරමුණු කෙරෙහි ඇල්ම ඇතිකරන බවද දැක්වේ. ඇසින් රූප රම්මණයක් ග්‍රහණය කරගෙන එය නිත්‍යයි, සුඛයි, සුභයි ලෙස ගැනීම කාම විතර්කයයි. එහෙත් එතැන දී කන, නාසය, දිව, ශරීරය යන අනෙක් ඉන්ද්‍රියයන් එම අරමුණ නොගනී. අනෙකුත් ඉන්ද්‍රියන් සම්බන්ධයෙන්ද මෙම අනන්‍ය ආලම්බනය බොහෝ විට වෙයි. නමුත් ඇස, කන, නාසය, දිව, ශරීරය යන සියලු ඉන්ද්‍රියයන් එකවර පිනවීම සඳහා ඒකාරම්මණ වීම සිදුවන අවස්ථාව ස්ත්‍රි පුරුෂ ලිංගික සම්භෝගය යි. මෙහිදී පහළ වන සිත රාග සිතයි. රාගය ද කාම තණ්හාව ම ය. අරමුණ නිත්‍යයි, සුඛයි, සුභයි ලෙස ගැනීම මෙහිදීද කැලම සිදුවෙයි. නමුත් මෙහිදී සිදුවන ක්‍රියාව තවත් කෙනෙකුගේ කායික අයිතිය බලපායි. දෙදෙනාගේ කැමැත්තෙන් වුවත් අකැමැත්තෙන් වුවත් එය එසේ මය. ප්‍රාණඝාතාදී අනෙකුත් අකුසල ක්‍රියාවන්හි ඇත්තේ ද කර්මය කරන්නාට පමණක් නොව ඉන් ඔබ්බට හවත් අන්‍යයන්ට බලපාන සාධක ය.

මේ අනුව කාම තණ්හා යන්නෙහි දැක්වෙන ‘කාම’ යන්නෙන් වෙන් ව හා සුවිශේෂීව ‘කාම මිථ්‍යාචාර’ යන්නෙහි දැක්වෙන ‘කාම’ යන්න අරුත් ගන්නා බව පැහැදිලි වෙයි. එකම වචනයට උභයාර්ථ හා සුවිශේෂි අරුත් ගෙන දෙන තැන් දහමෙහි ඇත. චක්ඛු විඤ්ඤාණය යන තැනෙහිත් විඤ්ඤාණය උභයාර්ථ වේ. පංචස්කන්ධ විභාගයේත් පටිච්ච සමුප්පාදයෙහිත් සංඛාර යන්න උභයාර්ථ වෙයි. ලෝක සම්මත චාරිත්‍රයන්ට අනුව ස්වාමි - භාර්යා ලිංගික සමාගමය බුදුදහමෙහි චාරිත්‍ර සිලයට නොයෙ දේ. සමාගමයේ ස්වභාවය මඳ වුවද, අධික වුවද, බහුල වුවද,, කර්ම පථය නොවේ. නමුත් රාග මූලික නිසා තණ්හාවෙන් අභිසංස්කරණය වී භව පැවැත්ම සකසයි. නමුත් විකෘති කාමයෙන් යුක්ත වී ස්ත්‍රියට කායික හෝ මානසික හෝ වධ හිංසාවන්ට ලක්වීමට සිදු වුවහොත් පුරුෂයාට ප්‍රවෘත්ති විපාක ලබාදෙන කර්මය වේ. ස්ත්‍රී පුරුෂ සමාගමයෙන් අන්‍ය වූ ඇස කන නාසය ආදී පංච ඉන්ද්‍රියයන් අධික ලෙස පිනවීම (කාම වස්තු අධික ලෙස පරිභෝග කිරීම) කමයෙහි වරදවා හැසිරීම ලෙස මෙම ශික්ෂාපදය තුළට ගෙන අර්ථ ගැන්වුවොත්. එම පරිභෝගයේ අධික භාවය කොතැනින් එහාට වලංගු වන්නේදැයි ප්‍රමාණකොට සීමාව තීරණය කිරීම කිසිසේත් කළ නොහැකි බැවින් වරද පටන්ගන්නේ ;කාතැනින් එහාට දැයි නිශ්චය කළ නොහැකි ය.

ස්ත්‍රී පුරුෂ ද්විපාර්ශ්වික සම්භවය සමස්ත කාම ලෝකයන්ට සාධාරණ වූ විශ්ව ධර්මතාවකි. එබැවින් ස්ත්‍රී පුරුෂ සමාගමය දෙස බුදු දහම නිර්දය ලෙස නොබලයි. මාතෘ පීතෘ තත්ත්වයන් බුදුන්වහන්සේ අග්‍රස්ථානයට තැබූ සේක. පුද්ගලයාගේ ලිංගික අයිතියට හානි කිරීම, කාම මිථ්‍යාචාර ගණයට ගෙන බුදුහු දහම් දෙසූහ. මෙම මිථ්‍යාචාරයේ යෙදෙන්නේ ලෝක පාලක ධර්ම දෙක වන හිරි ඔතප් නැත්තෝ ය. එබැවින් මෙම ශික්ෂාපදයෙන් යෝජනා කෙරෙන ස්වයං චාරිත්‍ර සීලය ස්ත්‍රී පුරුෂ මිථ්‍යා සමාගමය අරබයාම දේශිත බව ධර්ම විවරණයන්හි දැක්වේ.

පංචේන්ද්‍රියන් බොහෝ සෙයින් පිනවීම කාම සුඛල්ලිය බව දැක්වේ. කාමයේ පුළුල් අර්ථය ගැඹුරින් විග්‍රහ කෙරෙන නිබ්බේධික සූත්‍රයේ දැක්වෙන පරිදි යම් කෙනෙකුගේ චිත්ත සන්තානයේ, යම් දෙයක් (නිමිත්තක්) සමග ඇලීම් සංඛ්‍යාත වූ සම්බන්ධතාවයක් හෙවත් ගනුදෙනුවක් පවත්වා ගැනීම කරණකොට ගෙන ඇතිවන වින්දනය කාමයයි. එය නිර්වාණ පිළිවෙත නොවන බව බුද්ධ දේශනාවයි. මෙහි සුවිශේෂ ස්ථානයක් ගන්නා ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය පෘථග්ජන ජීවිතයේ ප්‍රධාන බලවේගයයි. එහි සාවද්‍ය පිළිවෙත කෙරෙහි ශික්ෂා පදයක් පනවා ඇත්තේ එහෙයිනි. නමුත් සියලු කාමයන්ගෙන් නෛෂ්ක්‍රම්‍ය වීම උත්කෘෂ්ට සීලයයි. ඒ උදෙසා වු උතුම් චාරිත්‍ර සීලයක්ද ඇත. එය අබ්‍රහ්මචර්යාව යි. සාවද්‍ය අනවද්‍ය සියලු ස්ත්‍රී පුරුෂ කාම විතර්ක සංඛ්‍යාත සමාගමයන්ගෙන් වෙන්ව වාසය කිරීම අබ්‍රහ්මචර්යාවන්ගෙන් වැළකීම වෙයි. සප්ත මෛථුනයෙන් වෙන්වීම නම් වූ මෙවුන් දම් සේවනයෙන් වැළකීම මෙහි ප්‍රධාන ශික්ෂණයයි.  මෙය නෙක්ඛම්භ සීලයකි. එහිදී හුදෙක් ස්ත්‍රී පුරුෂ වශයෙන් කායික හා මානසික සාවද්‍ය ක්‍රියාවන්ගෙන් වැළකීම පමණක් නොව, ඇස කන නාසය හා දිව යන චතුර් ඉන්ද්‍රියන්ගේ් සාවද්‍ය පිනවීමෙන් වැළකීම ද වේ.

අෂ්ටාංග සීලයෙහි අවසන් සිකපද තුනෙන්ද දස සීලයෙහි අවසන් සිකපද හතරෙන්ද කෙරන්නේ අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම නම් වූ සිකපදය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පිටුබලය හා රක්ෂණය ලබාදීමයි.

විකාලභෝජනාදි එම ශික්ෂාපද ඛණ්ඩනය වු විට අබ්‍රහ්මචරියා සිකපදයේ සතර සංවරය බිඳෙයි.

මෙය බොහෝ සවිස්තරව දැක්විය යුතු සිකපදයක් වුවත් මෙම ලිපිය බොහෝ දීර්ඝ විය හැකි බැවින් මෙතෙකින් නවතිමි. සියලු ඉඳුරන් කාම විතර්ක සංඛ්‍යාතව පිනවීමට යාමෙන් වැළකීම ස¼ඳහා සමාදන්වන බ්‍රහ්මචරිය ශික්ෂාපදයේ අන්තර්ගතය, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදයේ අන්තර්ගතය ලෙස ගැනීමෙන් සිදුවන පටලැවිල්ල නිරවුල් කර ගැනීමට මෙකී කරුණු ප්‍රමාණවත් වේයයි සිතමි.

මෙම කරුණු ගොනු කර ගැනීම සඳහා මවිසින් ආශ්‍රව කරගත් පරිශීලන ධර්ම ග්‍රන්ථ බොහොමයක් වූ බැවින් ලිපිය දීර්ඝ වන නිසා ඒ සියල්ල මෙහි ඇතුළත් නොකළෙමි.

අද සමාජයේ බොහෝ අය මෙම සිකපදය කැඩීම නිසා අසන්නට ලැබෙන්නනේ කවරදාවත් නැති දුක් හඬකි. මේ ශික්ෂා පදයෙන් විස්තර කෙරෙන කරුණු රහමස්‍ය සන්දේශන ලෙස සැඟවීමට අද අවශ්‍ය නැත.

මෙම සාවද්‍ය ක්‍රියාවන්හි ප්‍රායෝගික අවබෝධය අද පහ හය ශ්‍රේණිවල පාසල් දරුවන්ට පවා දීමට විද්යුත් මාධ්‍ය (සමහර) සමත්වී ඇත. ඔවුහු බොහෝ අය වැඩිහිටියන්ටත් වඩා බොහෝ දේ දනිති. අනෙක් අතට, රාගයෙන් දැවෙන වැඩිහිටියන්ට අහිංසක දරුවන්ද ගොදුරු වෙති.

එනිසා ධර්මානුකූලවද, සමාජ විද්‍යානුකූලවද, කාම මිථ්‍යාචාරයේ භයානක හානිකර ස්වභාවය හා එහි ආදීනව, පිළිබඳව, සැඟවුනු වචන වලින් තොරව, වියුක්ත චින්තන අවදියේ සිටින පාසල් දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා සියලු දෙනාටම පැහැදිලිව දැනෙන පරිදි සමාන්‍ය හා ධර්ම අධ්‍යාපනද්වයෙන්ම වැඩි වැඩියෙන් කථාකළ යුතුව ඇති බව පෙනේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.