Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සතුට තිබෙන තැන

සෑම මනුෂ්‍යයෙක්ම සතුටින් ජීවත්වීමට පි‍්‍රය කරති. කුඩා කාලයේ සිට මරණය දක්වාත්, මරණයෙන් පසු ලබන භවයේදීත් පී‍්‍රතිමත් ජීවිතයක් ලැබීමට කැමති වෙති. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘සියලු සත්ත්වයෝ සැප කැමැත්තෝ (සුඛ කාමානි භූතානි) යනුවෙනි. දුක යන වචනය ඇසීමට පවා පි‍්‍රය නොකරන මිනිස්සු දුක් විඳීමට ද අකැමැති වෙති. ‘සන්තුට්ඨි’ යන පාලි වචනයේ තේරුම සතුට හෙවත් පී‍්‍රතිය යන්න යි. සතුට පරම ධනය බව (සන්තුට්ඨි පරමං ධනං) බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. (ධම්මපදය - සුඛ වග්ග)

ලෞකික සතුට සහ ලෝකෝත්තර සතුට වශයෙන් සතුටේ අවස්ථා දෙකක් බෞද්ධ සාහිත්‍යය තුළ දැකිය හැකි ය. ලෞකික සතුට, තාවකාලික ය. ක්ෂණිකව වෙනස් වෙයි. එය විඳින දෙයකි. එය ළඟාකර ගත් පසු නැති වී යන දෙයකි. එය බැඳීම් හේතුවෙන් ඇතිවෙයි. ලෝකෝත්තර වශයෙන් ලබන සතුට සදාකාලික වූවකි. එය සදාකාලික වන්නේ, එහි බැඳීමක් හෝ ගැටීමක් නොමැති බැවිනි. බැඳීම් ඇති වන විට ගැටීමක්ද ඇති වෙයි. බැඳීම්වලින් පිරි ලෞකික ජීවිතයෙහි සැබෑ සතුටක් තිබිය හැකි ද? නිවනෙහි බැඳීමක් හෝ ගැටීමක් නොමැති බැවින්, සැබෑ සතුට එහි පවතී. ‘පරම සතුට නිවන් සතුටයි’ (නිබ්බාණං පරමං සුඛං) යනුවෙන් ධම්මපදය සුඛ වග්ගයෙහි දැක්වෙයි.

එහෙත් වර්තමාන සමාජයෙහි මිනිස්සු සතුට සෙවීම පිණිස විවිධ දේ කරති. එමෙන්ම ජීවී අජීවී විවිධ වස්තු ළඟා කර ගැනීමට උත්සහ කරන්නේ ද සතුට බලාපොරොත්තුවෙනි. ලෞකික සෑම වස්තුවක්ම උත්සාහ කර ළඟා කර ගත් පසු එයින් තාවකාලික සතුටක් ලැබුවත් , බලාපොරොත්තු වූ සතුට එහි නොමැති බව හැඟෙයි. ලෝකයෙහි පෘථග්ජන මිනිස්සු කිසිම වස්තුවකින් සෑහීමකට පත් නොවෙති. කොතරම් ලැබුණත් තෘප්තිමත් නොවෙති. මේ සඳහා බලපාන ප්‍රධාන සාධකය, අධික තෘෂ්ණාවයි. අධික තෘෂ්ණාව නිසා ඇති වන්නේ, සතුට නොව දුකකි.

බෝසත් ස්වර්ණ හංසයා තම පෙර භවයේ බිරියටත්, දරුවන්ටත් රන් පිහාටුව බැගින් දිනපතා ලබා දුන්නත් එයින් සතුට නොවූ පෙර භවයේ බිරිය එකවර සියල්ල ලබා ගන්නට ගොස් කිසිවක් නොලබා දුකට පත් වූ හැටි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. (ජාතක ;පාත - ස්වර්ණ හංස ජාතිකය) තෘෂ්ණාව, ශෝකයත් භයත් ගෙන දෙන බව, බුද්ධ දේශනාවයි. (තණ්හාය ජායතී සොකො - තණ්හාය ජායති භයං) ධම්ම පදය.

ඒ ඒ පුද්ගලයන් තුළ හෝ ඒ ඒ වස්තු තුළ සතුට ඇතැයි ඔබ සිතුවත්, සැබැවින්ම එය මිථ්‍යාවකි. එය මිරිඟුවක් පසුපස හඹා යෑමක් හා සමාන යි. ජලය ඇතැයි මිරිඟුව පසුපස දුවන සිව් පා ආදී සතුන් අවසානයේ ලබන්නේ, ජලය නොව - විඩාවත් මරණයත් පමණකි. සතුට සොයමින් භෞතික වස්තු පසුපස හඹා යන මිනිසාට ද අවසානයේ උරුම වන්නේ එයම නොවේ ද? සතුට අපේක්ෂාවෙන් බොහෝ භෞතික වස්තු රැස් කළත්, අවසානයේ ඉතිරිවන්නේ සතුට නොව, අසහනයත්, අවිවේකයත් පමණකි.

මෙම ලිපියෙහි අරමුණ වන්නේ, ඔබ ඔබගේ ජීවිතයට ළඟා කරගත්, ලබාගත් යම් වස්තු තුළ සතුට පවතී දැයි අවධානය යොමු කිරීම යි. ගෘහ ජීවිතයෙහිදී මවුපියන් විසින් දූ දරුවන් හදන්නේ වඩන්නේ සතුටින් ජීවිත ගත කිරීම පිණිස වුවත් දූ දරුවන් සිටින සෑම මවක්ම පියෙක්ම සතුටින් සිටින්නෙහිද ඇතැම් මවුපියන් දරුවන් නිසා කොතරම් තැවීමට - වේදනාවට පත්වෙන්නේ ද? දරුවන් සිටින මවුපියන් , තම දරුවන් ආවාහ - විවාහ කර දෙන්නේ ඔවුන්ට සතුටින් සිටීම පිණිස නොවේ ද? එහෙත් විවාහ ජීවිතයේ සතුට නොමැති බැවින් දික්කසාද වෙන විවාහ ජීවිත අපායක් කර ගන්නා කොතරම් විවාහක පිරිස් සමාජයෙහි සිටිත් ද? එහි සතුට තිබේනම් පවුල් අවුල් වීමට දික්කසාද වීමට හේතු කවරේද? ඇතැම් මවුපියෝ තමන්ට දරුඵල නොමැති විට සමාජයෙන් නැන්දා, මාමා, ඇතුළු ඥාතීන්ගෙන් ද මොනතරම් අපහාස විඳිත් ද?

ඉතා රමණීය මන්දිර සාදාගෙන සුඛෝපභෝගි ලෙස ජීවිත ගත කරන බව සමාජයට පෙන්වන පවුල්වල හැමදෙනා සතුටින් සිටිත් ද? යාන වාහන, ඉඩකඩම් බහුලව ඇති හැම දෙනාම සතුටින් සිටිත්ද? ලොකු රැකී රක්ෂා කරන - ඉහළ තනතුරු, නම්බුනාම දරන හැම දෙනා සතුටින් සිටිත් ද? සැබැවින්ම මෙවැනි සම්පත් ඇති හැම දෙනා ඒ වස්තු තුළ සතුට නොමැති බැවින්, සතුට සොයමින් සිටිති.

ඇතැම් විට තමාට හැකියාව ද තිබියදී ගුණ ධර්මවල නොයෙදී, ගේ දොර ඉඩකඩම් හා දූ දරුවන් ගැන ආඩම්බර වෙමින් සමහරු කල් ගෙවති. (පුත්තාමÀථි ධනංමÀථි) මේ ආකාරයෙන් කල්පනා කරමින් ජීවත් වන පිරිස බාලයන් , මෝඩයන් ලෙස බුදුන්වහන්සේ හැඳින්වූහ. (ඉතිබාලො විහඤ්ඤති) තමාට තමාවත් නොමැති කළ අනෙක් දේවල් පිළිබඳව ආඩම්බර වීමේ ඵලය කිම? කොපමණ සම්පත් තිබුණත් ආඩම්බර නොවී - ගුණධර්මයන්හි නියැළෙන්නා දෙලොව ජය ගනියි.

සමාජයේ ඇතැම්හු තමා ළඟා කරගත් වස්තු තුළ සතුට නොමැති විට, වෙනත් විසමාචාර කෙරෙහි යොමු වෙති. ස්ත්‍රීන් කෙරෙහි ලොල්වීම, (ඉත්ති දුතෙතා) සුරාව කෙරෙහි ලොල් වීම, (සුරා දුතෙතා) සූදුව කෙරෙහි ලොල් වීම (අක්‍ඛ දුතෙතා) බහුලව දැකිය හැකි ය (පරාභව සුත්ත) සූදුව, සුරාව හා අනියම් ස්ත්‍රි පුරුෂයන්ගෙන් සතුට අපේක්ෂාවෙන් කටයුතු කර ජීවිත අවුල් කරගෙන මෙලොවත් පරලොවත් පිරිහෙන පිරිස් සමාජයෙහි කොතරම් සිටිත් ද?

ලෞකික ජීවිත ගත කරන ගිහි ජනතාව වින්දනය කරන ගිහි සැප පිළිබඳ බුදුන්වහන්සේ සූත්‍ර දේශනා රැසකදීම දේශනා කර තිබේ. එම සැප තුළින් ලෞකික සතුට ළඟා කර ගත හැකි අයුරු ගිහි සැප හතරක් පිළිබඳ දේශනා කරන අනණ සූත්‍රයේදී බුදුන් වහන්සේ පැහැදිලි කර තිබේ. ඒවා මෙසේය.

* ධාර්මිකව උපයාගත් ධනයක් තිබීම (අත්ථිසුඛ)

* දැහැමිව පරිභෝජනය කිරීම (භෝග සුඛ)

* ණය නැතිව ජීවත්වීම (අනණ සුඛ)

* තිදොරින් සංවර ව සීලාදී ගුණයන්හි පිහිටීම (අනවඡ්ජ සුඛ)

දැහැමි ගිහි ජීවිතයක මෙම අංග හතර තිබිය යුතු ය. මෙම කරුණු වලින් පරිපූර්ණ ගිහියා, සතුටින් ජීවිතය ගත කරයි. (අ. නි. චතුක්ක නිපාතය - අනණ සූත්‍රය)

එපමණක් නොව උත්සාහයෙන් ධාර්මිකව ධනය හම්බකර (උට්ඨාන සම්පදා) හම්බකළ දේ ආරක්ෂා කරගෙන (ආරක්ඛන සම්පදා) සත්පුරුෂ කල්‍යාණ මිතුරන් ඇසුරු කරමින් (කල්‍යාණ මිත්තතා) අයවැය පිළිබඳ අවබෝධයෙන් විය පැහැදම් කරමින් (සමජීවිකතා) පංචසීලාදී ගුණධර්මයන්හි නියැළෙන්නා ගිහි සැප විඳින්නකු බව, බුදුන් වහන්සේ දේශනා කළහ. (ව්‍යග්ගපජ්ඡ සූත්‍රය)

සතුට පිරි ලෞකික ජීවිතයක් ගතකිරීම පිණිස දූ දරුවන්ගේ ආවාහ - විවාහයේදී මවුපිය අවධානය යොමුවිය යුතු කරුණු හතරක් බුදුනක් වහන්සේ ගේ් දේශනාවෙහි සඳහන් වෙයි.

* සම සද්ධා

* සම සීල

* සම චාග

* සම පඤ්ඤා

මවුපියන් දූ දරුවන්, ආවාහ විවාහ කර දෙන්නේ සතුටින් ජීවිත ගත කිරීමට නම් ‘බූදලය’ හා ‘ලස්සන’ ගැන පමණක් සොයා බැලීම ප්‍රමාණවත් නොවේ. විවාහ වන දෙදෙනාම ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, පරිත්‍යාගයෙන් සහ නුවණින් සමාන ද යන්න යම් පමණකටවත් සොයා බැලිය යුතු ය. මෙයින් එකක් විසම වුවත් පවුල තුළ ගැටුම් ඇති විය හැකි ය. මේ හතරම විසම වූ කළ එවැනි පවුල් ජීවිත ඉතා කෙටි කාලකින් දික්කසාදයෙන් නිම වන්නේ්ය. එවැනි විසම පවුල් තුළ සතුටක් නොමැත. නකුල මවු වැනි මවුවරු, නකුල පිය වැනි පියවරු සිටින්නේ සම සිලාදී ගුණයන්ගෙන් පිරුණු නිවසක පමණකි. (නකුල මාතා සහ නකුල පිතා - පී‍්‍රතිමත් පවුල් ජීවිතයක් ගතකළ දෙදෙනෙකි. ඔවුහු මතු සසරදී ස්වාමි භාර්යාවන් ලෙස එක් වන්නට ප්‍රාර්ථනා කළහ) වර්තමාන පවුල් ජීවිත තුළ මෙවැනි ප්‍රාර්ථනාවක් කළ හැකි වන්නේ කීයෙන් කී දෙනකුට ද?

බුද්ධ දේශනාවෙහි බෞද්ධ ජීවන ප්‍රතිපදාව දේශනා කර තිබේ. එම දේශනාව අනුගමනය කරමින් සරල ජීවිත ගත කරන්නෝ සතුටින් ජීවත් වෙති.

යථාර්ථය නොදැන ඇතැම්හු වෙරළෙහි සතුට ඇතැයි සිතා වෙරළට යති. ගිය පසු එහිද සතුට නොමැති බව හැඟෙයි. කන්දක් අසල හෝ සුන්දර වනාන්තරයක සතුට ඇතැයි එහි ගිය පසු ද එතැන ද සතුට නැතැ යි ආපසු එති. සමහරු සතුට සොයා සාප්පු සවාරිය යති. ඇතැමෙක් මුදල් හම්බ කරන්නේ්ද සතුට අපේක්ෂාවෙනි. සමහරු ප්‍රසිද්ධිය මඟින් සතුට සොයති. එහෙත් මේ සියල්ල ළඟා කර ගත් පසු එහි සතුට නොමැති බව හැඟෙයි. එහෙත් සත්‍යය තේරුම් නොගනිති.

එසේනම් සතුට ඇත්තේ කොතැනද? සතුට ඇත්තේ මේ කිසිම භෞතික වස්තුවක් තුළ නොව, අප සිතෙහිම ය. සිත ඇත්තේ ශරීරය තුළ යි. (ගුහාසයං) ධම්ම පදය. පුද්ගලයා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම අරමුණු ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රිය මගින් ලබා ගනියි. මෙම ඉන්ද්‍රිය මගින් ලබාගන්නා යම් එකම අරමුණක් ඇතැම් විට දෙදෙනකු දකින්නේ දෙයාකාරයෙනි. කෙනකුට පි‍්‍රය වස්තුවක් තවත් කෙනෙකුට අපි‍්‍රය වෙයි. කෙනකු සතුටු වන දෙයින් තවත් කෙනකු සතුටු නොවේ.

‘මට මෙය ලැබුණු විට සතුටින් සිටිය හැකි යැයි’ විශ්වාස කරන අයගේ සතුට, අනාගතය පිළිබඳ දකින සිහිනයක් පමණකි. එය හරියට ඉදිරියෙන් ඇතැයි පෙනෙන දේදුන්නක් වැනි කිසි දා සමීප විය නොහැකි දෙයකි. (සුවය ගෙනෙන බෞද්ධ කතා - අජාන් බ්‍රහ්මවංසෝ)

සතුට ඇත්තේ හදවත තුළයි. හදවතේ් (සිතේ) සතුට ඇති කර ගන්න. පෞද්ගලිකව ඔබ හදවතේ සතුට ඇති කරගත් විට හැම විටම සතුටින් විසිය හැකි ය. වස්තු හෝ පුද්ගලයන්ගේ බලපෑමකින් තොරව සතුටින් විසිය හැකි ය.

බුදුරජාණන් වහන්සේ ධම්මපදය - සුඛ වර්ගයේ දී සතුට පවතින අවස්ථා මෙසේ දේශනා කළහ.

* වෛර සහිත පුද්ගලයන් ජීවත් වන සමාජයක මෛත්‍රී සහගතව ජීවත් විය හැකි නම්, ඔහු සතුටින් ජීවත් වන අයෙකි (ධම්ම පදය - සුඛ වග්ග 01)

* කෙලෙස් වලින් ලෙඩ වී ජීවත් වන පුද්ගලයන් අතර, කෙලෙස් වලින් ලෙඩ නොවී ජීවත් විය හැකි පුද්ගලයා සතුටින් ජීවත් වන්නෙකි. (ධම්ම පදය, සුඛ වග්ග 02)

* කම්සැප සෙවීමෙහි උත්සුක වන පුද්ගලයන් අතර කම්සැප සෙවීමෙහි උත්සුක නොවී ජීවත් වන පුද්ගලයා සතුටින් ජීවත් වෙයි. (ධම්ම පදය සුඛ වග්ග 03)

* ආභස්සර බඹ ලොව බ්‍රහ්මයා සමවත් සුවයෙන් ඇතිවන සතුට භුක්ති විඳින්නා සේ රාගා දී වූ කිසිම පලිබෝධයක් නැතිව ජීවත් වන පුද්ගලයා සතුටින් ජීවත් වන්නෙකි. (ධම්මපදය සුඛ වග්ග 04

* ජය - පරාජය සමව විඳින්නා සතුටින් ජීවත් වන්නෙකි. (ධම්ම පදය - සුඛ වග්ග 05)

* සංස්කාර දුකක් බවත් - නිවන උතුම් සැපත බවත් තේරුම් ගත් පුද්ගලයා සතුටින් ජීවත් වන්නෙකි (ධ. සු 06)

* නිරෝගීකම උතුම් ලාභය බවත් සතුට උතුම් ධනය බවත් හොඳම ඥාතියා විශ්වාසය බවත් උතුම්ම සැපය නිවන බවත් තේරුම් ගත් පුද්ගලයා සතුටින් ජීවත් වන්නෙකි. (ධ. සු. 08)

* කායිකව හා මානසිකව සුව සේ වසමින් ධර්මානුකූ®ලව කටයුතු කරන්නා (ධ.සු.) සතුටින් ජීවත් වන්නෙකි.

* සත්පුරුෂයන් ඇසුරු කරමින් අසත්පුරුෂයන් දුරු කරමින් කටයුතු කරන්නා (ධ.සු. 10) සතුටින් ජීවත් වන අයෙකි.

* සුචරිතය දියුණු කරන්නා සතුටින් ජීවත් වන්නෙකි (ධ.සු.11)

* එබැවින් සතුටින් ජීවත්වීම පිණිස, අහසේ චන්ද්‍රයා වැජඹෙන්නාක් මෙන් ප්‍රඥාවන්ත, බහුශ්‍රැත, සිල්වත්, බුද්ධිමත් සත්පුරුෂයන්ගේ ඇසුර නිරතුරු ලැබිය යුතු ය. (ධ. සු. 12)

තිදොරින් - සංවරව දහමට අනුව සරල ජීවිතයක් ගත කරන්නා මෙලොව සතුටුවන බවත් (ඉධ නන්දති) පරලොව ද සතුටු වන බවත් (පෙච්න නන්දති) බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එබැවින්, බුදු මඟ යන්නෝ දෙලොවම සතුටු වෙති.

ඔබ සැමට තෙරුවන් සරණයි!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.