Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අතුරුගිරිය ශාන්තාලෝකගම සීවලී අසපුව

පදලංගල ධම්මදේව හිමි

අතුරුගිරිය හන්දියෙන් මිලේනියම් සිටි නගරය පසුකොට ශාන්තාලෝකගම අසල සීවලී අසපුව පිහිටා තිබේ. අතුරුගිරිය නගරයේ සිට පැමිණෙන්නේ නම් අසපුවට දුර කි.මී. 2 කි.

මෙය වසර 2002 දී ගොඩනංවන ලද්දකි. ඒ කිංස්ලි ටී. වික්‍රමරත්න මැතිතුමාගේ පූර්ණ අනුග්‍රහයෙනි. අවැසි භූමිය ප්‍රදානය කිරීමට මැදිහත් වුණේ කඩුවෙල ප්‍රදේශීය සභාවේ සභාපති ජී.එච්. බුද්ධදාස මහතායි.

භූමියට ඇතුල්වීමට ප්‍රථමයෙන් ඇස ගැසෙන මුදුන් මහලේ නිමවා ඇති සම්බුදුරජාණන් වහන්සේගේ සමාධි ප්‍රතිමාව පින් බිමක සැදැහැති ලකුණ සංකේතවත් කරයි. කුඩා බිම් කඩක් නිසා පිවිසුම් දොරටුවෙන් ඇතුල්වන අපට පෝටිකෝවක් මතින් ගොස් ඉක්මනින් බිම් මහලේ ආවාස ගෘහයට පිිවිසිය හැක. එය පැරැණි විහාර ආකෘතියෙන් මදක් මිදුණු නව ආකෘතියක හැඩ තලයකි. එය අද සමාජ ක්‍රමයට අනුගත වූ නව විහාර සම්ප්‍රදායකි. ආකෘතිය වශයෙන් එහි වෙනසක් වෙතත් ඵලය වශයෙන් පුද බිමක දී අප අපේක්ෂා කරන සිත නිවන ගතිය රඳවා ගෙන තිබීම වටිනාකමක් ලෙස දැකිය හැකි වෙයි.

මෙම ආවාස ගෘහයේ උඩුමහල ධර්මශාලාව වෙනුවෙන් වෙන්ව තිබේ. ඉඩකඩ ඇති නිරාවරිත භූමියෙක වඩාත් නිදහස් සුව විඳිය හැකි පැරැණි බණමඩුව තැනීමට සමත් ආර්ථික සමාජීය භූගෝලීය වටාපිටාවක් නිර්මාණය කිරීම අද දවසේ මහත් අපහසුවකි. එවන් පසුබිමෙක වුව ධර්මශාලාවක නිදහස් සුව අවකාශය මැවීමට මෙම ධර්ම ශාලාව සමත්ව තිබේ.

මෙම අසපුවෙහි තවත් විශේෂයක් වන්නේ ඉතා ක්‍රමවත්ව පිරිසිදු ලෙස භූ®මිය සකස් කර තිබීමය. ලද මද ඉඩෙන් උපරිම ලෙස ප්‍රයෝජන ගනිමින් විහාර බිම සකස් කර ඇති ආකාරයද සිතට සහනයකි.

එතැන් සිට මදක් ඉදිරියට සක්මන් කරනා විට කුඩා බෝමළුවට අපට පිවිසිය හැක. මෙම අසපුවේදී අපට දැකිය හැකි සුවිශේෂීම දර්ශනය දැකගත හැක්කේ එතැනදී යැයි සිතේ.

 

ධර්ම ශාලාව සහිත ගොඩනැගිල්ල

එනම් අප සිද්ධාර්ථ බෝධිසත්වයාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේදී පිටදුන් ඇසතු බෝ වෘක්ෂය ප්‍රධාන කොට ගනිමින්, එක් එක් කල්පයේදී බුද්ධත්වයට පත් තවත් බුදුන් වහන්සේලා සය නමකට සෙවන සැලසූ බෝධීන් වහන්සේලා සය නමක් ද මේ ආශ්‍රයේ රෝපණය වී තිබීමයි.

දඹදිව් තලයෙන් වැඩම වූ ආනන්ද බෝධින් වහන්සේගෙන් රෝපණය වූ අංකුරයකින් මෙහි ඇසතු බෝධින් වහන්සේ ජීවමාන වී වැඩ වසති.

එසේම කාශ්‍යප බුදුන් වහන්සේට පිටදුන් නුග වෘක්ෂයද, කෝණාගම බුදුන් වහන්සේට පිටදුන් අත්තික්කා වෘක්ෂයද, කකුසද බුදුන් වහන්සේට පිටදුන් මහරී වෘක්ෂයද, වෙස්සබු බුදුන් වහන්සේට පිටදුන් සල් වෘක්ෂයද, සිකී බුදුන් වහන්සේට පිටදුන් ඇටඹ වෘක්ෂයද, විපස්සී බුදුන් වහන්සේට පිටදුන් පලොල් වෘක්ෂයද වශයෙන් මෙම කුඩා භූමියේ සත්බෝධින් වහන්සේලා රෝපිතව තිබීම විශේෂ අවස්ථාවකි. එය බුදුදහම හා බැඳී පරිසර සාධකය තීව්‍ර ලෙස උද්දීපනය කරන අතර ඒ පිළිබඳ දැනුම සොයා යන්නකුට අනගි ප්‍රවේශයකි.

ඉතා කුඩා බිමෙක ලද ඉඩෙන් මෙවන් නිර්මාණාත්මක සැදැහැති බව වඩවන කාර්යයකට ප්‍රවිශ්ටවීම ම අගය කළ යුතු යැයි සිතේ.

එසේම සර්ධාසම්පන්න සිතින් අනෙකුත් වෘක්ෂයන් දෙස බලන්නට අවැසි චින්තනය ගොඩ නැගීමෙන් පරිසරයට සොබාදහමට ලෙන්ගතු ධාර්මික සිත් තනන්නට මෙවන් නව අත්දැකීම් හා එකතු වීමට නිසි කාලය එළඹ ඇතැයි සිතේ.

අවම ඉඩ කළමනාකරණය කරගනිමින් සාදා ඇති බුදුමැදුරත් ඒ මත තනා ඇති කුඩා වෙහෙර වහන්සේත් ප්‍රමාණය ඉක්මවා සිතට විසල් සර්ධාවක් එකතු කරලීමට සමත්ව තිබේ. අද සමාජයේ සැබෑ පිළිම කලා නිර්මාණ ශිල්පීන්ගේ හිඟය නිසා වෙනත් සමාජමය ප්‍රශ්න නිසා පුරාණයේ විශිෂ්ඨ පිළිම වහන්සේලා නිර්මාණය කළ ඒ උන්තුංග දායාදයෙන් ලද අපූර්ව නිර්මාණ කුසලතාව ඇති දකින බුදු පිළිමයෙන් ප්‍රති නිර්මාණය නොවීම නම් කණගාටුවට කරුණකි. කෙසේ හෝ මේ සියලු මහත් වූ අභියෝගයන් ජයගත් පසුබිම් කථකයාණන් වහන්සේ මෙම අසපුවේ අනුශාසක වශයෙන් කටයුතු කරන පදලංගල ධම්මදේව හිමියන් ය. මේ තරුණ භික්ෂූන් වහන්සේ කවි බණ සජ්ඣායනා කිරීමෙන් මහත් ප්‍රසිද්ධියක් උසුලන භික්ෂූන් වහන්සේ නමක් ලෙස කුදු මහත් කා අතරත් ප්‍රසිද්ධියට පත්ව ඇත.

පුංචි සිඟිත්තන්ට සිරිත් මල්දමින් සාරධර්ම පිළිබඳ පාඩම් තරුණයන් වෙනුවෙන් විශේෂ දහම් අධ්‍යාපන වැඩසටහන් මෙන්ම වයස්බේදයකින් තොරව විශේෂ ධර්ම දේශනා මෙන්ම වසරක් පාසා කඨින පිංකම වෙනුවෙන් සතර දිගින් භික්ෂූන් වහන්සේලා වඩම්මවමින් කෙරෙනා දානමය පුණ්‍ය කර්මයද ප්‍රදේශයේ කා අතරත් මහත් ප්‍රසාදයකට පත්ව තිබේ.

ධර්ම ශාලාවේ ඇතුළත දසුනක්

සත් බෝධීන් වහන්සේගෙන් කොටසක්

ආනන්ද බෝධි අංකුරයකින් පැන නැඟුණු බෝධින් වහන්සේ

අසපු බිමේ දසුනක්


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.