බුදු දහම හා චින්තන නිදහස
මහාචාර්ය
වල්පොළ රාහුල හිමි
බෞද්ධයා තරම් නිදහස් මතධාරියෙක් ලෝකයේ නැත. නිදහස්ව කල්පනා කිරීමේ අගය
පළමුවෙන් ම ලෝකයට ඉගැන්වූ ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ ය. මේ නිර්භීත
ක්‍රියාවට ඉදිරිපත් වීමට තරම් ආත්මශක්තියක් හා සත්‍යාවබෝධයක් වෙන
කිසිදා ශාස්තෘවරයකු තුළ නොවී ය. අංගුත්තර නිකායේ තිකනිපාතයේ කාලාම
සූත්‍රය මුළු ලෝකයට කල්පනා කිරීමේ නිදහස ලබා දෙයි.
කාලාමයෙනි, යමක් ඇසූ පමණින් භාර නොගනිව්, පරම්පරාවෙන් පැවැත එන
නිසාවත්, එය එසේය යන ආරංචියෙන්වත්, ආගමික පොත්පත්වල තිබුණු පමණින්වත්,
තර්කය නිසා හෝ න්‍යාය නිසාවත්, මේ කාරණය කියා තිබෙන හැටි මැනැවැයි
සිතාවත්, තමන් කලින් සිතූ අදහසට ගැළපුණු පමණින්වත්, මේ පුද්ගලයා සෑහෙන
කෙනෙකැ, ඔහු කියන දෙය පිළිගත යුතුය සිතාවත්, මේ තැනැත්තා මාගේ
ආචාර්යයන් වහන්සේය කියාවත් යමක් භාර නොගනිව්. නමුත් කාලාමයෙනි, මේ
අයහපතැයි යම් දිනක තොපට ම වැටහුණොත්, එදින එය හැර දමව්, එසේම මේ
යහපතැයි තොපට ම වැටහුණොත් එය පිළිපදිව්.
මේ ඉගැන්වීමෙන් බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයන් තුළ කොතරම් විප්ලවයක් ඇති
කළ සේක්දැයි ආගම් පිළිබඳ ඉතිහාසය සාක්‍ෂි දරයි. ලෝකයා දිවි දෙවෙනි කොට
ගරු කරන පරම්පරාව, ආගමික පොත්පත්, ආචාර්ය මතය ආදී දේවල් උන්වහන්සේ
කිසිත් ගණනකට නොගත්සේක. දඹදිව නොව අනෙක් රටක මනුෂ්‍යයෙක් මේ ප්‍රකාශය
කෙළේනම්, ඒ රටේ නීතියෙන් ඔහු මරණීය දඬුවමට පත්කරනු නොඅනුමානයි. වෙන
රටවල පහළ වූ ශාස්තෘවරයන්ටත් පණ්ඩිතයන්ටත් ඒ විපත සිදු විය. මේ අදහස්
ප්‍රකාශ කිරීම නිසා බුදුරජාණන් වහන්සේත් විනාශ කර දැමීමට උන්වහන්සේගේ
සතුරන් නොඑක් උපක්‍රම යෙදූ නමුත්, ඒ එකක් වත් සාර්ථක නොවීම ලෝකයේ
භාග්‍යයකි.
ඇසිසියේ සාන්ත ප්‍රන්සිස්තුමා උත්තම තාපසයෙකි. එතුමා දෙවෙනි
ක්‍රිස්තුස් වහන්සේ හැටියට ප්‍රසිද්ධය. එතුමාගේ මෛත්‍රිය කොතරම් ද යත්,
රුක් මතුයෙහි උන් වන පක්‍ෂීන්ට කුඩා සහෝදරයෙනි, බිමට බැසපල්ලාය යි
කීවිට, ඒ පක්‍ෂීහු ගසින් බැස එතුමාගේ හිසෙහිත් දෙඋරෙහිත් වසති. වනයෙහි
මෘගයන්ට කථා කළවිට, ඔවුහු කොහෙත්ම චකිත නොව, එතුමා පාමුලට එති. මේ
ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයා දිළිඳුකම වැලඳගෙන මුළු ජීවිතය මනුෂ්‍ය වර්ගයාගේ
යහපත පිණිස මෙහෙ කිරීමෙහි යෙදුණේ ය. දිනක් මේ උත්තම තාපසයා තම
ශිෂ්‍යයන් දෙදෙනෙකුන් ළඟට කැඳවා, ඔවුන්ට ගෝවා පැලයක් දී, එහි කරටිය යටට
සිටින්ටත්, මුල උඩට සිටින්ටත් පැලකරන ලෙස නියම කෙළේ ය. එක ගෝලයෙක්
කිසිත් කථාවක් නැතිව නියමය පිළිගත්තේ ය. නමුත් අනෙක් ගෝලයා කථා කරමින්
කරටිය යටටත්, මුල උඩටත් සිටින්ට පැල කළ නොහැකි බවත්, මුල යටටත්, කරටිය
උඩටත් සිටින්ට පැල කළ යුතු බවත් කීය. ඔබ ගුරුවරයාට වඩා උගතෙකු වන්නට
සිතන්නෙහියයි සාන්ත ප්‍රන්සිස්තුමා ඊට උදහස් විය. අනෙක් අතින් කෙතරම්
ශ්‍රේෂ්ඨ වූවත්, මෙතුමා නිදහස අතින් අපට එකඟ විය නොහැකි තත්ත්වයක සිටිය
බැව් පෙනේ.
නමුත් බොහෝ දුරට අද බෞද්ධ ඉගැන්වීමත් මේ තත්ත්වයේ පවත්නා බැව් පිළිගත
යුතුව තිබේ. ගුරුවරයාගේ අදහසට හෝ පොතේ අදහසට නැතහොත් පරම්පරාවට විරුද්ධ
මතයක් ශිෂ්‍යයා පළ කළහොත් ගුරුවරයා තදින් කිපී ඔහුට නොඑක් අන්දමින්
තරවටු කරයි. ගෝලයාගේ පරීක්‍ෂා බුද්ධිය, විවේචන බුද්ධිය පාගා දමන්නට
ගුරුවරයා නිතරම සූදානම් වෙයි. ගුරුවරයාට වඩා ගෝලයා නුවණැතියෙක් වන්නේ
කෙසේදැයි ප්‍රශ්න කරයි. ගෝලයා ජීවිතාන්තය දක්වා තමාගේ වහලා කරගන්නට
ගුරුවරයා නිතරම වෑයම් කරයි. මේ ඉගැන්වීම් ක්‍රමය නිසා ඇති වූ වහල්ලු අප
අතර බොහෝ ය. නිදහස් මතයක් ඔවුනතර ප්‍රකාශ කිරීම බීරි ඇතුන්ට කරන විනා
ගායනාවකි.
හැම කරුණක් පිළිබඳව ම මතභේදයක් හටගැනීම ලෝක ස්වභාවයකි. එකම දෙයක්
පිළිබඳව කිහිප දෙනකුන් අතර අදහස් කිහිපයක් ඇතිවීම නිසා යමෙක් පුදුමයට
හෝ කලබලයට පැමිණෙයි නම්, එය ඔහුගේ දුර්වලකමේ ලකුණකි. අනෙක් හැම දෙයක්
ගැන මෙන්ම ආගම ධර්මය ගැන ද මතභේදයක් පහළ වීම ස්වභාවයකි. පෝප්තුමාට
මෙන්ම සාමාන්‍ය ක්‍රිස්තු භක්තිකයෙකුටත් ක්‍රිස්තු ධර්මය ගැන මතයක් පහළ
කිරීමට අවකාශ තිබිය යුතුයි. කුමක් හෙයින්ද? අර සාමාන්‍ය ක්‍රිස්තු
භක්තිකයාට මෙන්ම පෝප්තුමාටත් ක්‍රිස්තුස්වහන්සේ හමුවී නැත. දෙදෙනම
බයිබලය කියවා තේරුම් ගනිති. එහෙයින් බුද්ධ ධර්මය උගත් සාමාන්‍ය
බෞද්ධයකුගේ ඒ පිළිබඳ මතයක් මහා නායක මාහිමියන් වහන්සේගේ මතයට යටත්
කරන්නට කිසිත් යුතුකමක් නැත. දෙදෙනාම ත්‍රිපිටකය කියවා තේරුම්
ගනිති.දෙදෙනාගෙන් කිසිවකුටත් බුදුරජාණන් වහන්සේ හමු වී සාකච්ඡා කරන්නට
අවස්ථාවක් නොලැබුණේ ය. බුද්ධ ධර්මයේ ගුරුවරයාගෙන් ම අසා දැනගතයුතු
ආචරිය මුට්ඨියක්, රහසක් නැති බැව් තථාගතයන් වහන්සේ පිරිනිවන්පාන්නට
ස්වල්ප වේලාවකට කලින් දේශනා කළ සේක. ධර්මය අභ්‍යන්තර දියුණුවේ හැටියට
වැටහෙන දෙයක් මිස, භාෂාවක වචන දැනගත් පමණින් වැටහෙන දෙයක් නොවේ.
ආගමික පොත්පත්වල ලියවී තිබෙන බැවින්ම යමක් පිළිගත යුතුයයි සිතීම බලවත්
මිථ්‍යා අදහසකි. මා පිටකසම්පදානේන පිටකයේ එන බැවින් පිළිනොගනිව් යැයි
බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක. ‘පිටක’ යනු ආගමික පොත්වලට ව්‍යවහාර
කරනු ලබන වචනයකි. බයිබලය ක්‍රිස්තියානියේ පිටකයයි කොරාන් පොත මහමදාගමේ
පිටකයයි. ත්‍රිපිටකය බුද්ධාගමේ පිටකයයි. පිටකයේ ලියවී තිබෙන බැවින්
යමක් පිළිගැනීමට කිසිවකුටත් යුතුකමක් නොමැතියි. බුද්ධපරිනිර්වාණයෙන්
බොහෝ කලකට පසු ලියැවුණු බෞද්ධ පොත්පත්වල අබෞද්ධ මතයන් අඩංගු වී ඇති බවට
කිසිත් සැකයක් නැත. අධර්මය නිතරම ධර්මයේ මුහුණුවරින් ඉදිරිපත් වෙයි.
මේවා ගැන මතභේදයක් හටගැනීම සත්‍යය සෙවීමට හේතු වෙනවා ඇත. අද ලක්දිව
බෞද්ධ ප්‍රතිපත්තිය නමින් සීලබ්බතපරාමාසය පැතිරී යෑමට හේතුව මේ අබෞද්ධ
මතයන් මනුෂ්‍යයන්ගේ සිත්වල පරම්පරා ගණනක පටන් කාවැදී තිබීමයි. අටුවාවල
පවා මතභේදයන් ගැන සඳහන් වී තිබේ. ඒ කාලයේ පටන් ධර්මය පිළිබඳව සැක සහිත
නොඑක් අදහස් පැවැති බැව් එයින් පැහැදිලි වෙයි.
පෙර සිට පරම්පරාගතව එන කොයි දෙයටත් අන්ධව ගරු කිරීම දියුණු නොවූ සිතක
පවත්නා මූලික දුර්වල කමකි. මේ වහල් බැම්මෙන් නිදහස්වන්නට මනුෂ්‍යයකුට
අභ්‍යන්තර දියුණුවක් වුවමනා කෙරේ. පරම්පරාගතව එන පිළිගතයුතු දේ ඇතත්,
හැම සිරිතක්ම, හැම මතයක්ම පිළිගත යුතුයයි සිතීම බලවත් මුළාවකි. සත්‍යය
පරම්පරාගතව එන දෙයක් නොවේ. අවබෝධය පරම්පරාගතව එන දෙයක් නොවේ. පුරාතන
දෙයට ගරුකළ යුතු යැයි බොහෝ දෙන කියති. පුරාතන වූ නිසාම යමකට ගරුකළ යුතු
බවක් අපට නම් නො වැටහෙයි. පුරාතන යන්නෙන් අදහස් කරනු ලබන්නේ කල්ගත වූ,
පරණ වූ බවයි. අද ජීවත්වන අය කරන දේත් තව අවුරුදු සියයකින් පමණ
පරම්පරාගත වෙනවා ඇත. නමුත් මතු කාලයේ ඇතිවන මිනිසුන් විසින් ඒවාත්
පිළිගත යුතුද?
පිණ්ඩපාතයේ වඩින්නට සූදානම්ව පාත්‍රය ඉර අවුවට අල්ලා බැලීම පෙර එක්තරා
මහා ස්ථවිරයන් වහන්සේ නමකගේ සිරිතක්ව පැවැත්තේ ය. උන්වහන්සේගේ ගෝලයෝ ද
මේ සිරිත අනුගමනය කරන්නට පටන්ගත්හ. සත් පරම්පරාවක් යනතුරු මේ සිරිත
නොකඩවා පැවැත්තේ ය. මහා ස්ථවිරයන් වහන්සේ පාත්‍රය අවුවට අල්ලා බැලුයේ,
පාත්‍රයේ සිදුරක් තිබුණු බැවින්, එය බලා එතැනට ඇඟිල්ල තබා ගැනීමට ය.
නමුත් ගෝලයෝ ඒ කිසිත් නොදැන, ගුරුවරයා කළ දෙය අනුගමනය කරන්නට පටන්
ගත්හ. මෙබඳු හෝ මීට ස්වල්පයක් වෙනස් දේ අප අතර බොහෝ ය. රජ කාලයේ පටන්
පැවැත එන දෙයට බොහෝ අය ගරු කරති. නමුත් ධර්මය අතින් රජුන්ගෙන් ආදර්ශ
ගැනීම ප්‍රවේශම් සහිත නොවේ.
මහජන මතය ගැන සැලකිය යුතු අවස්ථාවෝ ද වෙත්. දේශපාලනය, නීතිසම්පාදනය,
රැකීරක්‍ෂා, අයබදු ආදී සාමාන්‍ය කටයුතු සම්බන්ධයෙන් නම් මහජන මතය ගරු
කළ යුතුම වෙයි. නමුත් ආගමික සත්‍යයක් ප්‍රකාශ කිරීමේ දී මහජන මතය
සලකන්නට අවකාශයක් නො ලැබේ. මහජන මතය නම් ලෝකයේ වැඩි ;දනාගේ අදහසයි.
ලෝකයේ වැඩි පක්‍ෂය ගුණයෙන්, ඥානයෙන් හීනය. ආශාව, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව,
මානය, අහංකාරය, මුළාව ආදී පාපයන්ගෙන් දැඩි ලෙස කිළුටු ය. ආගමික උතුම්
සත්‍යයක් ප්‍රකාශ කිරීමේ දී එබඳු මහජන මතයක් ගැන සිතන්නට යෑම වටිනා
මෙහෙයකට බාධාවකි. ලෝකයේ වැඩිදෙන ආලයෙන්, ආත්මාශාවෙන් වෙලී, පැටලී සිටින
බවත්, එනිසා ඔවුන්ට පවිත්‍ර ධර්මයක් තේරුම් ගත නොහැකි බවත් බුදුරජාණන්
වහන්සේට මුලදීම පෙනුණේ ය. යම්කිසි යහපත් ක්‍රියාවක් කොට, එයින් තමාට
නිවනවත් බලාපොරොත්තුවීම ආත්මාශාවයැයි කී විට සාමාන්‍ය මහජනයා කලබල
වෙයි. නමුත් පිරිසුදු අදහස් ඇති නුවණැතියන්ට මේ අදහස වටිනා නිධානයකි.
වැඩිදෙනාට නොවැටහෙන බැවින්, වැඩිදෙනා එකඟ නොවන බැවින්, නැතහොත්
වැඩිදෙනා විරුද්ධ වන බැවින් එබඳු සත්‍යයක් ප්‍රකාශ කළ යුතු නොවේ යැයි
යමකු කියතොත්, ඔහු සත්‍යය කෙරෙහි කිසිත් විශ්වාසයක් නැති සුළු දෙයින්
බියවන දුර්වලයෙකැයි අපි යටහත්ව කියමු.
මහජන විරෝධය සහ කැළඹීම ගැන බොහෝ දෙන බියවෙති. මහජන මතයට බියවීමේත්
පුද්ගලයකුට බියවීමේත් වැඩි වෙනසක් නැත. මහජන මතයට බියෙන් තමාගේ අවංක
අවබෝධයක් එළි කරන්නට මැළිවීම බරපතළ දුර්වලකමකි. ලාභ, ප්‍රයෝජන, කීර්ති,
ප්‍රශංසා, බලය සහ අයිතිය මහජනයාගෙන් ලබන්නට බලාපොරොත්තු වන්නා මහජනයාගේ
මතයට වෙනස්ව සිය අවංක අදහස පළ කරන්නට බියවෙයි. නමුත් එසේ බලාපොරොත්තු
නොවන්නකුට එයින් කම් කිම? වැඩිදෙනා පිළිනොගත්, නුපුරුදු අදහසක් ප්‍රකාශ
කළ විට, මහජනයා අතර කැළඹීමක් හටගැනීම නොවැළැක්විය හැකි සිද්ධියකි.
එනිසා ඇතැම් විට භයානක, අන්තරාදායක දේ පවා සිදුවන බවට ඉතිහාසය සාක්‍ෂි
දෙයි. හැම ක්‍රියාවකටම අනුව එක්තරා කැළඹීමක්ද හටගනී. ක්‍රියා වේගයේ
පමණට කැළඹීම පැතිරෙයි.
බුදුරජාණන් වහන්සේගේ අදහස්වලට එදා සිටි නොඑක් දෙනා විරුද්ධ වූහ. ඔවුහු
උන්වහන්සේ මැරීමට නොඑක් කූට උපක්‍රම යෙදූහ. වරක් උන්වහන්සේ විනාශ
කරන්නට ගලක් පෙරළූහ. තවත් වරෙක උන්වහන්සේ විද මරන්නට දුනුවායන් යැවූහ.
අනෙක් වරෙක රා බී උමතු වූ ඇතකු ලබා පාගවා මරන්නට වෑයම් කළහ. මේ
සියල්ලටම වඩා නින්දිත ලෙස ඔවුහු උන්වහන්සේගේ පවිත්‍ර චරිතය කිලුටු
කරන්නට තැත් කළහ.
උන්වහන්සේට දාව චිංචාවගේ කුසෙහි දරුවකු පිළිසිඳ තිබෙන බැව් කියා ලොව
මුළා කරවන්නට, ඇය ලවාම ඒ ප්‍රවෘත්තිය ප්‍රසිද්ධියේ, මහජනයා මධ්‍යයේ,
උන්වහන්සේ ඉදිරියේ කියවූහ. නැවැත වරෙක සුන්දරිකාව මරා, විහාරය අසල
සඟවා, ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් සුන්දරිකාව මරා සඟවන ලදයි රජුට
පැමිණිලි කළහ. චෝදනාව අමූලික බොරුවක් බැව් ආණ්ඩුව තේරුම් ගත් නමුත්,
එයින් මහාජනයා අතර හටගත් කැළඹීම නිසා සතියක් පමණ ගතවනතුරු තථාගතයන්
වහන්සේටවත් භික්‍ෂූන් වහන්සේලාට වත් විහාරයෙන් පිටතට පැමිණීම සතුටුදායක
නොවන බැව් පෙනුණේ ය. බුදුරජාණන් වහන්සේ හැමදෙනම පිළිගත් සාමාන්‍ය වැඩ
පිළිවෙළක යෙදුණුසේක් නම්, රටේ මෙබඳු භයානක කැළඹීමක් ඇති වන්නට කිසිත්
යුතුකමක් නැත.
ගලක ශාන්ත ගතියක් දක්නා ලැබේ. මළ මිනියක තැන්පත් කමක් දක්නා ලැබේ.
නමුත් ඒ ශාන්තගතිය වත් තැන්පත්කමවත් කුමටද? නිදන විට කලබලයක් නැත.
පුද්ගලයකු මෙන්ම නගරයක්, රටක් නිදන විටද, ඒ නගරයේම, රටේම කිසි කලබලයක්
නැත. ගෙවල් බිඳින්නෝ ඔවුන් එසේ නිදනවාට කැමැති වෙත්. පිබිදුණු විට
කැළඹීමක් ඇති වෙයි. ඒ කැළඹීම කටයුතුවල යෙදීමෙන් හටගන්නා කැළඹීමකි. ඒ
කැළඹීමට යමෙක් බිය වෙයිනම්, ඔහු මැරෙන තුරු, කටයුතු නොකොට, නොනැඟිට
නිදිය යුතු යි.
නින්දෙන් පුබුදු කරනුවට අලසයා නො කැමැති ය. පුබුදු කරන්නා සමග හෙතෙමේ
කිපෙයි. ශරීරයේ නින්දට වඩා සිතේ නින්ද බලවත් ය. එසේම ශරීරයේ නින්දෙන්
නැගුටුවනුවට වඩා සිතේ නින්දෙන් නැගිටවීම දුෂ්කර ය. සිතීමට අකමැති,
සිතින් නිදන අලසයා එම නින්දෙන් ඔහු පුබුදුවන්නට වෑයම් කරන්නා සමඟ
කිපෙයි. නමුත් ඔහුගේ කිපීම ගණන් නොගෙන ඒ නින්දෙන් ඔහු නැගිටවීම ඔහුට
කරන විශාල යහපතකි. නොඑක් මත ඇසීමෙන් මහජනයා කලබල වී මුළාවේ වැටෙතැයි
සමහරුන් බියවන්නේ මේ පිබිඳීමට ය. අඳුරේ සිටින්නාට ආලෝකය ලැබුණු විට
නැගී සිට ක්‍රියා කරයි.
ධර්මය සෙවීම අතින්, විවේචනය අතින් ලක්දිව ඉතාම කනගාටුදායක තත්ත්වයක
පවතී.ඉතාම උසස් පණ්ඩිතයාගේ පටන් සාමාන්‍ය නූගත් රටවැසියා දක්වා කවුරුත්
පාහේ පරම්පරා ගතව පුරුදුව එන දෙයටත්, පොත්පත්වල කියන්නට ලැබෙන දෙයටත්
සාධුකාර දෙමින්, සත්‍යය කුමක් වූවත් තමාට පාඩු නොවන්නට වැඩ යොදාගෙන
නිදිමතේ කල්ගත කරති. පරම්පරාවේ එන කොයි සිරිතත්, කටයුත්තත් මේ
පින්වතුන්ට උතුම් ය. පාලි පොත්වල තිබෙන මොන අදහසත් මේ භවතුන්ට බුදුබණ
ය. අපේ සිරිත් විරිතුත් වැඩපිළිවෙළත්, අදහසුත් උතුම් නම්, පවිත්‍ර නම්,
ධර්මානුකූල නම්, අපේ දියුණුව මෙතරම් පහත් තත්ත්වයක පවත්නේ මන්දැයි ඒ
භවත්හු සිතන්නට නොවෙහෙසෙති. පරණ පටන් පුරුදුව එන කිසිත් සිරිතක් හෝ
අදහසක් වෙනස් කොට, එය ඊට වඩා හොඳ එකකට මාරු කරන්නට තරම් ශක්තියක්
ඔවුන්ට නැත. දියුණුව හෝ පිරිහීම එක අඩියක සිටීම නොව පරිවර්තනය වීමයි.
හොඳ අතට පරිවර්තනය දියුණුවයි, නරක අතට පරිවර්තනය පිරිහීමයි. අවුරුදු
සිය ගණනකට පෙර සෑදූ කරත්තයට වඩා අද සෑදූ කරත්තයේ ලී කැබැල්ලකින් වත්
වෙනසක් දක්නා නොලැබේ. ගුරුවරයා සිතූ ක්‍රමයට වෙනස්ව සිතන්නට ගෝලයා බිය
වෙයි.
නොඑක් පළාත්වල අප විසින් පවත්වන ලද දේශනාවන්ද, පළ කරන ලද ලියමන්ද
බෞද්ධයන් අතර ප්‍රබෝධයක්, ඇතැමුන් කියන පරිදි කැලැඹීමක් හටගැනීමට හේතු
වී තිබෙන බැව් පෙනේ. මෙය නම් සැබැවින්ම සතුටුදායක ආරංචියකි.
කැලඹීමකින්, විප්ලවයකින් තොරව කිසිත් යහපතක් සිදු වී නැත. එය අනිවාර්ය
දෙයකි. අපේ අදහස් අපෙන්ම නො අසා, අප ආශ්‍රය නො කොට, වැරැදි ආරංචිවලින්
නොමඟ ගොස්, කරුණු වරදවා තේරුම් ගත් ඇතැම් අය නො නිසි ලෙස කථා කිරීම
කනගාටුදායකයි. අපි කවුරුත් ධර්මය පිහිටුවන්නට අවංක හිතින් වෑයම්
කරන්නෙමු. අපේ යම්කිසි අදහසක් වැරැදි බැව් අපට වැටහෙන පරිදි ශිෂ්ට
අන්දමින්, කරුණු සහිතව යමකු පහදා දුනහොත්, එය නමස්කාර පෙරදැරිව
පිළිගන්නට ඉතා යටහත්ව අපි නිතර සැදී පෑදී සිටිමු. අසවල් පොතේ මෙසේ කියා
තිබෙන්නේ ඇයි? අසවල් උත්තමයන් මෙය පුරුදුකරගෙන ආවේ ඇයි? කියා ඇසීම ඉතාම
දුර්වල, ප්‍රඥාගෝචර නොවූ ප්‍රශ්නයකි. අන්‍යයාගේ මතය තමාගේ මතයට වෙනස්
වූ බැවින්, යමෙක් සිතේ නො මනාපයක් ඇති කර ගනියි නම්, එය ධර්මයෙන්
පිළියම් කටයුතු බලවත්, චිත්ත රෝගයකි.
අපේ හැම අදහසක්ම පිළිගත යුතුය කියාවත්, ඒවායේ යම් යම් අඩුපාඩුකම් නැත
කියාවත් අපි කිසි විටෙකත් නොකියමු. දැනටනම් මේ අදහස් සත්‍ය බැව් අපට
පෙනේ. නමුත් කල්යාමේ දී අවබෝධය වෙනස් වන්නට බැරි කමක් නැත. කලකට පෙර අප
ඉතා හරි හැටියට සැලකූ ඇතැම් අදහස් අද එතරම් හරි නැති බැව් අපට පෙනේ.
තවත් කල්ගතවන විට, දැන් පවත්නා අදහස්වලට වඩා උතුම් අදහස් වැටහීමෙන් මේ
අදහස් වෙනස් වන්නටද බැරිකමක් නැත. තමාගේ අදහසම හරි බවත්, අන්‍යායාගේ
අදහස වැරැදි බවත් ඔප්පු කරන්නට තැත්කිරීම සත්‍යය ගරු කරන්නන්ගේ සිරිත
නොවේ. සත්‍යය කිසිවකුගේ පෞද්ගලික අයිතියක් නොව හැමටම සාධාරණ වූවකි.
අප ඉගෙන ගත්, පිළිගත් දෙයට හාත්පසින්ම විරුද්ධවූවක් සත්‍ය වීමට ද
බැරිකමක් නැත. අපට වුවමනා කරන්නේ දැනට හැම එකටම ‘එහෙයි’ කියන්නවුන්
සත්‍ය සෙවීමට, විවේචනයට, සිතිවිල්ලට යොමු කිරීමයි.
(සත්යෝදය කෘතියෙන්
උපුටා ගන්නා ලදී) |