බෞද්ධ සංස්කෘතියෙන් ඔපවත් වූ සිංහල ජන සංගීතය
කොලොන්න දිසා රෝහලේ වෛද්‍ය ආර්.එම්.එම්.කේ. නාමල් රත්නායක
‘සංගීතය’ යන්නට විවිධ අර්ථකතන, අදහස්, විවිධ මත යනාදිය බොහෝ ඇත.
ප්‍රාචීන කාලීන සංගීතඥයන් ‘සංගීත රත්නාකර” යෙහි සංගීතය හඳුන්වන්නේ
“ගීතං වාද්‍යං තථා නෘත්‍යංත්‍රයං සංගීත මුච්‍යතෙ” යනුවෙනි. එනම් ගායනය,
වාදනය හා නර්තනය යන ත්‍රිවිධ අංගයන්ගෙන් ප්‍රතිබද්ධ වූ කලාංගය
සංගීතයයි. වර්තමානයේ එය හඳුන්වන්නේ “ස්වරොංකා මිලානා සංගීත් කහතෙ හෛ”
යන පාඨයෙනි. එනම් ස්වර වල නියමාකාර එක්වීම සංගීතය යනුවෙනි. අපරදිග
සංගීතයේදී “Music is the Art of combining Sounds| ආදී වශයෙන් එනම්,
“නාදවල එක්වීම සංගීතය වේ.” යැයි ප්‍රකාශ කරනු ලැබේ. භාරතීය සුප්‍රසිද්ධ
ආචාර්යවරයකු වූ ශාරංගදේව පඬිතුමාගේ අදහස නම් “ගීතය, වාද්‍යය හා නෘත්‍යය
යන කාලත්‍රය සංගීතය” බවයි.
“කටහඬින් හෝ වාද්‍ය භාණ්ඩයන්ගෙන් හෝ නිපදවනු ලබන ස්වර රචනාත්මක නාදය
සංගීතය යැයි කියනු ලැබේ. භාවිත හැඟීම් පළ කරන මධුර වූ නාද මාලාව සංගීතය
නම් ලලිත කලාව වශයෙන් හැඳින්විය හැකිය.” යනුවෙන් මහාචාර්ය විමල්
අභයසුන්දර වියතාණෝ සිය ‘සංගීත සංහිතා’ කෘතියෙන් ප්‍රකාශ කරති.
මේ ආදී විවිධ අර්ථකතන ගෙන බැලූ විට පෙනී යන වැදගත් කරුණ නම් සංගීතය යනු
මිනිසාගේ රස මනෝද්භාවයන් උත්පාද කරන ප්‍රධාන ලලිත කලා අංගයක් වන බවය.
ඒ නිසා ලෝකයේ කවර ප්‍රදේශයක හෝ වේවා සංගීතයෙන් මිනිසාට ලැබෙනුයේ ඉමහත්
ආස්වාදයකි. නවීන කාර්ය බහුල සමාජය හමුවේ මිනිසා, යන්ත්‍රෝපකරණයක් බවට
පත් වීම අරුමයට නම් කරුණක් නොවන බව පැහැදිලිය. එවන් සමාජයක් තුළ කිනම්
හෝ සංගීත ආරකින් මිනිස් සංතානයට ලැබෙනුයේ මිල කළ නොහැකි අධ්‍යාත්මික
සතුටකි.
භාරතීය සංස්කෘතියට අනුව ලෝකය මෙන්ම සංගීතයද මහා බ්‍රහ්මයා විසින්
නිර්මාණය කර ඇත. සංගීතයක් නිර්මාණය කරනු පිණිස මහා බ්‍රහ්ම විසින් ශිව
දෙවිඳුට ඇරැයුම් කොට, ශිව දෙවිඳුන් විසින් කලාවට අධිපති සරස්වතී දේවියට
එම කාර්යය පැවරූ බව කියවේ. සංගීතයේ උපත ආදිතම ශිෂ්ටාචාර තුළ පැවති යම්
යම් ඇදහීම් ආශි‍්‍රතව සිදු වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ද සංගීත සම්භවය
පිළිබඳ පුරාවෘත්තය ආර්ය සංක්‍රමණයට පෙර එනම් විජයාවතරණයට පෙර කාලයට දිව
යයි.
විජය ඇතුළු පිරිස ලක්දිවට පැමිණෙන විට මෙහි වාසය කළේ අසුර ගණයට අයත්
යක්ෂ හා නාග ගෝත්‍රිකයන් හා සුර ගණයට අයත් දේවතාවන්ය. නාගයෝ බුදු සසුනට
ගෞරව කළහ. සමහරු බුදු සසුන වැලඳ ගත්හ. බුදුරදුන්ගේ දෙවන ලංකාගමනය සිදු
වූයේ චූලෝදර - මහෝදර නම් නා රජවරුන්ගේ යුද්ධය සමථයකට පත් කිරීමට
නාගදීපයටය. චූලෝදර - මහෝදර නාග දෙපක්ෂයම බුදුරදුන්ට ගෞරව කළහ. නමුත්
යක්ෂ ගෝත්‍රිකයෝ ඔවුන්ගේ ප්‍රධාන ඇදහීම වූ ‘මළවුන් පිදීම’ අත්
නොහැරියහ. එසේම අජීවී වස්තූන්ද, යක්දෙවිවරුන් වශයෙන් සැලකීම යක්ෂ
ගෝත්‍රිකයන් අතර පැවති පිළිවෙතය. පසුව මෙම ඇදහිලි හා සම්බන්ධ යම් යම්
නර්තනාංගද එකතු විය. ඒවායේ බොහෝ සෙයින් අන්තර්ගත වූයේ සතුන්ගේ නොයෙක්
සංරචන ක්‍රම, හැසිරීම් යනාදියයි. පසුව මේ නර්තන විලාසයන්ට ගායන
ශෛලියකුත් එකතු විය. මේ ආකාරයට මුලින්ම ජන ගායනා රටාවක් ඇදහිලි හා
සම්බන්ධව බිහි වූ බවක් පෙනේ. ජන ගායන ශෛලියේ ප්‍රාථමික අවධිය එයයි.
එනම් සිංහල ගායනයේත්, විශේෂයෙන්ම නැටුමේත් සම්භවය පිණිස මෙම යාගකරණය
බෙහෙවින් පිටුවහල් වූ බව සිතිය හැක.
පුරාණයේ සිට ලෝකයේ පැවති ප්‍රධාන සංගීතය පද්ධති දෙකකි. එනම් පෙරදිග
සංගීතය හා අපරදිග සංගීතය හෙවත් බටහිර සංගීතයයි. එහෙත් වර්තමානය වන විට
ලෝකයේ මහා සංගීත සම්ප්‍රදායයන් පහක් භාවිත වන බව පෙනේ. එනම්,
1.බටහිර මහා සංගීත සම්ප්‍රදාය
2.චීන මහා සංගීත සම්ප්‍රදාය
3.ඉන්දීය මහා සංගීත සම්ප්‍රදාය
4.මැද පෙරදිග ඉස්ලාමීය මහා සංගීත සම්ප්‍රදාය සහ
5.ගැම් ලෑන් මහා සංගීත සම්ප්‍රදායයි.
අපට බොහෝ නෑකම් කියන ඉන්දීය සංගීත සම්ප්‍රදායේ ප්‍රධාන ආකාර දෙකකි.
එනම්, උත්තර භාරතීය හින්දුස්ථානි සංගීත පද්ධතිය හා දක්‍ෂිණ භාරතීය
කර්ණාට සංගීත පද්ධතියයි. මෙයිනුත් ශ්‍රී ලාංකිකයිනට බොහෝ සෙයින්
සම්බන්ධ වනුයේ හින්දුස්ථානි සංගීත ආභාෂයයි. ඒ මක්නිසාදයත් අපට බොහෝ
සෙයින් හුරු පුරුදු නූර්ති ගීතවල තනු හින්දුස්ථානි සංගීතයේ රාග තාල
ඇසුරින් නිර්මාණය කර ඇති හෙයිනි. කෙසේ වෙතත් එක් රටක් සැලකූ විට එහි
සංගීත පද්ධතිය ක්‍රම දෙකකට විග්‍රහ කළ හැකිය. ඉන් පළමුු වැන්න එම රටටම
ආවේණික වූ දේශීය සංගීත සම්ප්‍රදාය හා දෙවැන්න වෙනත් රටවලින් පැමිණි
විදේශීය සංගීත සම්ප්‍රදායයි. බොහෝ විට දේශීය සංගීත පද්ධතිය ජන සංගීතය
ඇසුරින් ගොඩනැගී ඇති බව කිව යුතුය. ඒ අනුව ශ්‍රී ලංකාවේද ශ්‍රී
ලාංකිකයිනට උරුම සංගීත රටාව ජන සංගීතය වේ.
එයිනුත් සිංහල ජනයා අතර ඈත අතීතයේ සිටම පැවතගෙන එන සංගීත සම්ප්‍රදාය
සිංහල ජන සංගීතය නම් සිංහල ජන සංගීතයේ ආරම්භය ගැමි ගී වන අතර, පසු
කාලීනව ගැමි ගී ජන ගී ලෙස හැඳින්විය. ඒ අනුව ජන කවි සිංහල ජන සංගීතයේ
අත්තිවාරම ලෙස සැලකීම යුක්ති යුක්තය.
මේ ජන ගී ක්‍රමානුකූලව සැකසී තව තවත් ඔප මට්ටම් වී ඒ තුළින් ජන සංගීතය
බිහි විය. වර්තමානය වනවිට එය නව මංපෙත් විවර වී ‘මානව සංගීත විද්‍යාව‘
බවට පත් වී ඇත.
සංගීතයේ ප්‍රබලතම අංග දෙක නම් ගායනය හා වාදනයයි. මීළඟට වැදගත් වන
ප්‍රධානම කරුණ නම් සිංහල ජන සංගීතයේ මේ අංග දෙක පෝෂණය වීමට වැඩි
වශයෙන්ම දායක වී ඇත්තේ බෞද්ධ සංස්කෘතිය බව විදහා පෙන්වීමයි. ඒ නිසා
බෞද්ධ සංස්කෘතියේ බලපෑම සිංහල ජන සංගීතය පුරාම කැපී පෙනෙන ප්‍රධානතම
ලක්ෂණයකි. එනම් සිංහල ජන සංගීතයත්, බෞද්ධ සංස්කෘතියත් එකිනෙකට සිත හා
සිතුවිලි මෙන් බැඳී පවතියි. ඒ කෙසේද යත්, අනුරාධපුර යුගයේදී ලියැවුණු
‘සියබස්ලකර’ යෙහි මෙසේ දැක්වේ.
‘කිවි බැව් කිවිඳුමේ
කුසුම් සැපක් එහි විපුල්
පෙළේ බෝසත් සර වැණුම්
වියත් මුවපත් වේවි” මෙහි අදහස නම් කවීත්වය නමැති ගසේ මල් ඵල හට ගැනීමට
නම් බෝසත් සිරිතක් කවියෙන් වර්නනා කළ යුතු බවයි.
ජන වහරට වඩාත්ම ළං වූ විට,
“බුද්ධං සරණේ සිරස දරා ගෙන
ධම්මං සරණේ සිත පහදාගෙන
සංඝං සරණේ සිවුරු දරාගෙන
ඉඤ්ඤයි මේ තුන් සරණේ අදහාගෙන”
මෙම තුන් සරණයේ එන කවිය නොදන්නා බෞද්ධයකු නැති තරම්ය. ඒ තරමට ම බෞද්ධ
සංකල්ප ජන ජීවිතය කෙරෙහි නොයෙක් ඇසුරින් බලපා ඇත. බුදු සමයෙන් ආභාෂය ලද
සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියයි. ‘සංස්කෘතිය’ යන පදයේ වචනාර්ථය සැලකූ විට
එයින් ගම්‍ය වන්නේ විශේෂයෙන් කරන ලද දේ යනුයි. බී. මලිනොව්ස්කි නම්
මානව විද්‍යාඥයා හඳුන්වන්නේ” උපකරණ හා පාරිභෝගික භාණ්ඩ, විවිධ සමාජ
කණ්ඩායම් වලට අයත් සංස්ථා සන්නස්, මනුෂ්‍ය අදහස් හා ශිල්ප විධි,
විශ්වාස හා සිරිත් විරිත් අඩංගු සමස්තය සංස්කෘතිය වෙයි” යනුවෙනි.
බෞද්ධාගම සහ බෞද්ධ දර්ශනය මුල් කරගෙන බිහි වූ ජන ජීවිතයේ සියලුම
අංගෝපාංග බෞද්ධ සංස්කෘතියෙන් විදහා දැක්වේ. එනම් ආහාරපාන, ඇඳුම්
පැළඳුම්, නිවාස, රැකී රක්ෂා, විනෝදාංශ ආගම, දහම යනාදි මිනිසාගේ ජීවිතයේ
සියලුම අංග සඳහා බුදු දහමේ බලපෑම ලැබී ඇත. ඊට ප්‍රධානතම අඩිතාලම වැටුනේ
බෞද්ධාගමත් සමඟය. මුලින්ම සිදු වූයේ මිනිසා විසින් බෞද්ධාගම වැලඳ
ගැනීමයි. ඉන් පසුව ඒ ඇසුරෙන් අනෙක් අංශද ක්‍රම ක්‍රමයෙන් වර්ධනය සමට
පටන් ගත්තේය.
මේ විග්‍රහයේදී ජන සංගීතය හා සම්බන්ධ ජන ගී යම් කිසි ආකාරයකට බෙදා
දැක්වීමක් කර, ඒ එක එකට බෞද්ධ සංස්කෘතියේ බලපෑම විදහා දැක්වීම වඩාත්
උචිත ක්‍රියාමාර්ගයකි. විවිධ පුද්ගලයෝ විවිධ අයුරින් ඒ බෙදා දැක්වීම
සිදු කරති.
මෙහිදී ජන ගී ප්‍රධාන කොටස් දෙකකට එනම්, ගැමි ගී හා සේ ගී ලෙස බෙදා
දැක්විය හැක. ගැමි ගී වල නැවත මෙහෙ ගී, ඇදහිලි ගී හා සමාජයීය ගී ලෙස
කොටස් තුනකි. වන්නම්, ප්‍රශස්ති ගී, පසන් ගී, සංදේශ කාව්‍යයන් සහ
නොයෙක් කාව්‍ය රචනා යනාදිය සේ ගී වලට අයත් වේ. මෙහි ගී, ගයනු ලබන
රිද්මය අනුව ආකාර දෙකකි.
එනම් තාලයන්ට ගැයිය හැකි ආඝාතාත්මක ගී හා තාලයක් තැබිය නොහැකි
අනාඝාතාත්මක ගී වශයෙනි. ගොයම් ගී, නෙළුම් ගී, කමත් ගී, දැල් ගී යනාදිය
ආඝාතාත්මක ගී යටතට ගැනේ. අනාඝාතාත්මක ගැමි ගී යටතට පතල් ගී, ගැල් ගී,
පාරු ගී, පැල් ගී, බඹර කැපීමේ ගී යනාදිය ගැනේ.
සිංහල ජන ගී අතර බෞද්ධ ඌරුවට මොනවට පැහැදිලි කරන පද්‍ය නම් “තුන් සරණේ”
කවියි. ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරමින් ගෙතී ඇති මේවායේ ඇත්තේ
ඉතාමත් සරල බස් වහරකි. එය ගැමි ගී වල දක්නට ලැබෙන විශේෂිතම ලක්ෂණයයි.
තුන් සරණේ කවි සාමාන්‍ය බෞද්ධයන් අතර ඉතා ප්‍රචලිතය.
“පෙරයම බුද්ධං සරණේ ගඤ්ඤයි
මද්දිම ධම්මං සරණේ ගඤ්ඤයි
අලුයම සංඝං සරණේ ගඤ්ඤයි
තුන්යමට ම තුන් සරණේ ගඤ්ඤයි”
බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවනට වඩා වටින වෙන යමක් මෙලොව නැත. ත්‍රිවිධ
රත්නයේ ගුණ සමුදාය අපිරිමිතය; අනන්තය. මෙම ගැමි ගී බොදු ගී බවට පත්
වූයේ සැබැවින්ම බෞද්ධාගමේ බලපෑම මතයි. මේ ගී බෞද්ධයා විසින් වන්දනා
ගමන් යන කාල වලදී හඬ නගා කියවයි. තුන් සරණේ් ගී අතර ප්‍රාර්ථනා ගී වලද
දක්නට ලැබෙන්නේ බුදු දහමේ තථාගත සංකල්පයමය.
“ගතේ රෝග කිසි කලක නොවන්ටයි
සිතේ ක්‍රෝධ කිසි කලක නොවන්ටයි
රතේ ගොසින් තුසිතේ උපදින්ටයි
මෙතේ මුනිඳු දැක නිවන් දකින්ටයි”
සංස්කෘතිය යනු ආගම නොව, ආගම ජනතාව අතරට ගෙන යන වාහකයායි. ඒ අනුව බුදු
දහම ජනතාව තුළ මුල් බැස ගත්තේ බෞද්ධ සංස්කෘතිය හරහා ය. මේ අනුව බලන කල
පෙනී යන්නේ බෞද්ධ දර්ශනයේ ‘පටිච්ච සමුප්පාදයෙන්’ කියවෙන පරිදි, ලෝකයේ
සෑම දෙයක්ම අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින්නාක් මෙන් බෞද්ධ සංස්කෘතිය
සිංහල ජන සංගීතය කෙරෙහිද, සිංහල ජන සංගීතය, බෞද්ධ සංස්කෘතිය කෙරෙහිද
අන්‍යොන්‍ය වශයෙන් බැඳී පවතියි. ඒ කෙසේද යන්න පහත සඳහන් ජන ගී
සංගීතාංගය කෙරෙහි විමසා බැලීමෙන් පෙනී යයි. එය ජයමංගල ගාථා නමින්
ප්‍රකටය.
“බාහුං සාහස්ස මභිනිම් මිත සායුධන්තං
ගිරිමේඛලං උදිත ඝෝර සසෙන මාරං
දානාදි ධම්ම විධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තෙ ජයමංගලානි
මාරාතිරේඛ මභියුජ්ක්ධිත සබ්බ රත්තිං
ඝෝරං පනා’ලවක මක්ඛ මථද්ධ යක්ඛං
ඛන්ති සුදන්ත විධිනා පිතවා මුනින්දෝ
තං තේජසා භවතු තෙ ජයමංගලානි”
ජයමංගල ගාථා නමින් හඳුන්වන්නේ මංගල කටයුතු වලදී සෙත් පැතීම සඳහා භාවිත
කෙරෙන බුදුගුණ ඇතුළත් පද්‍ය පාන්තියකි.
බත් කැවීම, කෙස් කැපීම, අත පොත් තැබීම, අවාහ විවාහ ආදී කටයුතු ද අලුත්
නිවසක් සඳහා මුල් ගල තැබීම , අලුත් නිවසකට ගෙවදීම ආදී කටයුතු ද මංගල
සම්මත අවස්ථා ලෙස සැලකේ. මෙවැනි අවස්ථා වලදී ත්‍රිවිධ රත්නයේ ගුණ
සිහිපත් කරමින් සෙත් පැතීම අතීතයේ සිට සිංහල බෞද්ධයා අතර බොහෝ විට
කෙරෙන සිරිතකි.
බුදුරජාණන් වහන්සේගේ චරිතයේ වැදගත් අවස්ථා කියවෙන මෙම ගාථා පෙළින් උන්
වහන්සේ නොයෙක් තරාතිරම් වල මිනිසුන්ට පිහිට වූ ආකාරය අංගුලිමාල,
නාලාගිරි ඇතු, ආලවක යක්ෂයා වැනි අදාන්තයන් දමනය කළ ආකාරය උන් වහන්සේගේ
මහා ගුණ සමුදාය යනාදිය නිරූපණය වේ. මෙම ගාථා වල නාද මාලාවද සිංහල ජන
සංගීතය කෙරෙහි බෙහෙවින්ම බලපා ඇති බව නොරහසකි.
සංගීතයේ ප්‍රධාන අංගෝපාංගයක් වන්නේ නාද මාලාවයි. විවිධ නාද මාලා හෙවත්,
සංගීතය ගායනය හෝ වාදනයෙන් හසුරුවන ආකාර විවිධය. ඒ මගින් අපූර්ව
චමත්කාරයක් අසන්නාට ලැබේ. ඒ නිසා සංගීතයේදී සුමිහිරි ගායනයත්, ඒ
ආශි‍්‍රතව බැඳුණු නාද මාලාවත් එක සේ වැදගත්ය. ඒ අනුව බුදු දහමෙන් ජන
සංගීතයට වචන, විවිධ වස්තු බීජ පමණක් නොව අපූර්ව නාද මාලාවන්ද ලැබුණි.
නරසීහ ගාථා, ඡත්තමානවක ගාථා, නොයෙක් පිරිත් සජ්ඣායනයන් යනාදිය එයට
සාක්ෂි දරයි.
යශෝදරා දේවිය විසින් තම කුඩා පුතුනට එනම් රාහුලයන්ට උගන්වා, බුදුරජාණන්
වහන්සේ බුද්ධත්වය ලබා පළමු වරට කිඹුල්වත් නුවරට වැඩම කළ අවස්ථාවේදී
කියන ලදැයි සැලකෙන නරසීහ ගාථා වල ඇත්තේ අපූර්ව ජන නාද මාලාවකි. එම නාද
මාලාව නොයෙක් පෙරහැරවලදී ලී කෙළි සෙල්ලම් , කාවඩි යනාදිය සඳහා යොදාගෙන
ඇත.
‘චක්කවරංකිත රත්ත සුපාදෝ
ලක්ඛණ මණ්ඩිත ආයත පන්හී
චාමර ඡත්ත විභූසිත පාදෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ”
මෙම නාද මාලාව මාත්‍රා හතරෙන් හතරට යන මහ තිත යටතේ ගායනය හෝ වාදනය කළ
හැක. එනම්,
/චක්ක/වරංකිත/රත්තසු/පා Sදෝ ඉ /
/ලක්ඛණ/මණ්ඩිත/ආයත/පන්හS/
/චාමර /ඡත්තවි/භූසිත/පාදෝ S/
/ඒ Sසහි/තුය්හපි/තානර/සී
S හෝ S/
‘නරසීහෝ’ යනු ශ්‍රේෂ්ඨ මනුස්සයායි. එනම් බුදු රජාණන් වහන්සේය. මෙම ගාථා
වලින් කියැවෙන්නේ උන් වහන්සේගේ ශරීරයෙහි පිහිටි විශේෂ ලක්ෂණ ගැනයි.
එසේම තෙරුවන් ගුණ ඇතුළත් ඡත්ත මානවක ගාථා සලකමු.
“යෝ වද තං පවරෝ මනු ජේසු
සක්‍ය මුනි භගවා කතකිච්චෝ
පාරගතෝ බල විරිය සමංගී
තං සුගතං සරණත්ථමු පේමී”
“රාග විරාග මනේජ මසෝකං
ධම්ම මසං කතමප්පටිකූලං
මධුරමිමං පගුණං සුචිභත්තං
ධම්මමිමං සරණත්ථමු පේමි”
මෙම නාද මාලාව ක්‍රම දෙකකින් ගැට බෙරය හෝ යක් බෙරය භාවිතා කරමින් වාදනය
කළ හැක.
බෞද්ධයන්ගේ අති පූජනීය, අති වන්දනීය, වස්තුවක් වූ බෝධීන් වහන්සේ වැඳීමේ
දී කියනු ලබන පාලි පාඨයේද නාද මාලාව සැකසී ඇත්තේ මැදුම් තනි තිත ආශ්‍රය
කරගෙනය.
එය මධ්‍යලයෙන් ගායනා කරන විට මාත්‍රා තුනෙන් තුනට බෙදේ.
“ඉන්දනීල වණ්න පත්ත සේත ඛන්ද භාසුරං
සත්ථු නෙත්ත පංකකජාහි පූජිතග්ග සාදතං
ග්ගබෝධි නාම වාම දේව රුක්ඛ වණ්ණිතං
තං විශාල බෝධි පාද පං නමාමි සබ්බදා”
එකල සමහර බ්‍රාහ්මණයෝ බුදු දහම කරෙහි පැහැදී බුද්ධ ශාසනයේ පැවිදි වී
ඔවුන් කලින් හුරු පුරුදුව සිටි යාග හෝම පවත්නා තාලයට බුද්ධ ධර්මයේ පාඨ
කියන්නදැයි, බුදු රජාණන් වහන්සේගෙන් වරක් විචාළහ. එවිට උන් වහන්සේ
ප්‍රකාශ කළේ “රුන්න මිදං භික්ඛවේ යදිදං හින්න මිදං” එනම් කිසිදු
භික්ෂුවක් බුදු දහමේ පාඨ ඡන්දසට නොනැගිය යුතු බවයි. ඒවා මූලිකව අර්ථ,
ධර්ම, නිරුක්තිය, ප්‍රතිභාන යන කොටස් හතරෙන් සමන්විත විය යුතු බව උන්
වහන්සේ තවදුරටත් දේශනා කළ සේක. මෙමගින් පෙනී යන්නේ බුදු දහම ගීතය, කවිය
ප්‍රතික්ෂේප කළ බවක් නම් නොවේ. දීඝ නිකායේ එන සක්කපඤ්හ සූත්‍රයේ
දැක්වෙන පරිදි බුදුන් වහන්සේ ගීතස්වරය හා තන්ත්‍රීය ස්වරය අගය කොට
දක්වා ඇත.
පිරිත් සජ්ඣායනය ගැන සැලකූ විට ඒ පිළිබඳව පුරාණ අටුවා වල දැක්වෙන්නේ,
“න භික්ඛවෙ ආයතකෙන ගීතස්සරෙන ධම්මො ගායිතබ්බො”
කිසිදු භික්ෂුවක් අදින ලද ගීත ස්වරයෙන්, ධර්මය දේශනා නොකළ යුතු බව මෙහි
අදහසයි.
“ආයතකො ගීතස්සරො නාම තං තං වත්තං භින්දිත්තාම අක්ඛරානි විනාසෙත්වා”
අදින ලද ගීතස්වරයෙන් ඒ ඒ වෘත්ත බිඳී ගොස් අක්ෂර විනාශ වන්නේ ය. යනු
මෙහි අදහසයි.
පිරිත් ගායනය තරම් දීර්ඝ කාලයක් තිස්සේ නොකඩවා පවත්වාගෙන යන වෙනත්
කිසිදු ගායනයක් සිංහල බෞද්ධයන් අතර දක්නට නැත. ඒ තරමටම පිරිත් ගායන
ශෛලිය බෞද්ධාගමික පරිසරයක හැදී වැඩුණු ගැමි ජනයාගේ ජීවිතයට සම්බන්ධය.
අකුරු කියවීමට, ලිවීමට , නොදත් ගැමියාට පවා තුන් සූත්‍රය කට පාඩම්ය.
එසේම එය මනාව ගායනය කිරීමේ හැකියාවක්ද ඇත. එනම් පිරිත් ගායනයේ ඇති නාද
මාලාව බෞද්ධ ජනයාගේ හදවත් තුළට තදින්ම කා වැදී ඇති බව පෙනී යයි. මේ
හේතුව නිසා පිරිත් ගායන ශෛලියෙහි නාද රටාව වෙනත් ජන ගායනා සඳහාද එක් වී
ඇත. ගොයම් කැපීමේදී ගායනා කෙරෙන ‘අලව් සැහැල්ල’ කවි පන්තියට ආටානාටිය
පිරිතේ ගායන ප්‍රයෝග ඒ ආකාරයෙන්ම යොදා ගෙන ඇත. එසේම ගොයම් කැපීමේ දී
‘මල් තාලය’ නමින් හැඳින්වෙන ගායනා ක්‍රමයක් පහත රට ප්‍රදේශ වල
ප්‍රචලිතය. එයට පිරිත් ගායනයේ ආභාෂය ලැබී ඇත. නෙළුම් කවි අතර ‘පිරිත්
ඕසය’ නමින් නාද රටාවක් බිහි වූයේ ද පිරිතේ බල පෑමෙනි.
ජන ජීවිතයේ විශේෂ අවස්ථාවන්හිදී ගයනු ලබන අෂ්ඨක, ශ්ලෝක, ගාථා,
ස්ත්‍රොත්‍ර, එළුසිලෝ යන ගායනා වලද ඇත්තේ පිරිත් ගායන ශෛලියේ බලපෑමයි.
සිංහල ජන සංගීතයේ ප්‍රාථමික ගායන ශෛලියක් වන ගද්‍ය සැහැදි ගායනය අතීතයේ
බොහෝ ජනපි‍්‍රය වී තිබූ ජන සංගීතාංගයකි. ඒ සඳහා බොහෝ විට තෝරා ගනු
ලැබුවේ පන්සිය පනස් ජාතක පොත, සද්ධර්මරත්නාවලිය, බුත්සරණ, අමාවතුර වැනි
දහම් පොත් පත් වල අඩංගු පාඨයන් මිහිරි ස්වරයෙන් ගායනා කිරීමයි. පිරිසක්
ඉදිරියේ මෙවැනි ගද්‍ය පාඨ කාටත් ශ්‍රවණය කළ හැකි පරිද්දෙන් හඬ නගා
ගායනා කළ යුතුව තිබිණි. උදාහරණ ලෙස සද්ධර්මරත්නාවලියේ එන නාගසේන
වස්තුවේ එවැනි පාඨයක් පහත අයුරින් දැක්විය හැක.
“යටගිය දවස අපගේ බුදුන්ට පෙරාතුව බුදු වූ, කසුප් බුදුන් පිරිනිවියත්
ඔබගේ සස්න වතින් පිළිවෙතින් පමණක් නොනැස පවත්නා අවධියෙහි, ගඟක් බඩ කළ
එක් වෙහෙරක වත් පිළිවෙත නොපමා බැවින් උදෑසනම නැගි හිඳිනා වහන්දෑ වත
පිළිවෙත නොපමා බැවින් උදෑසනම නැගී සිට හමදනා මුසුන් හැරගෙන ස්වර්ග
මොක්ෂ දෙකට බාධක කථා හැර, නව අරහාදී වූ බුදුගුණ සලකමින් සකස් කොට මළුව
හැමද, කසළ එක්තැන් කොටලා තමන් වහන්සේ හැමදි කසළ තමන් වහන්සේත් දමා
නොපියා එක්කෙනෙකුන් වහන්සේ සාමණේර නමක් බනවාලා හැමදි කසළ අනුන් ලවා
වුවත් දම්මවා පීම නොවත් නොවන හෙයින් හෙරණෙන! තෙල කසළ දමා පියව යි වදාළ
සේක”
මීට අමතරව බෞද්ධ සංස්කෘතියෙන් ආභාෂය ලැබූ ගද්‍ය සැහැදි ගායනයන් අතර
යාදිනි, පිං අනුමෝදනා, බණ ආරාධනා, දේවාරාධනා, චූර්ණිකා, කමත් හෑල්ල
අඩහැර පෑම, යනාදිය ද කැපී පෙනේ.
අඩහැර පෑම සම්බන්ධව ගෙතී ඇති ජන කවියක් සලකමු.
“තිසරණ සරණයි බුදුන් දැකපන්
මගේ සුරතල් මීවෝ උඹ, උවෝ, උවෝ, උවෝ
සතර වරන් දෙවියන් හට බාරයි
මගේ මී වස්සා උඹ, උවෝ, උවෝ, උවෝ
තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි
මගේ වහු දරුවෝ උවෝ, උවෝ, උවෝ, හෝ
කතරගම දෙවි රැකපන් මගෙ මී වස්සා
උඹ උවෝ, උවෝ, උවෝ, උවෝයි”
මෙම අඬහැරයෙන් ජනිත වන බෞද්ධාගමික සංකල්පය මදක් හෝ විමසා බැලීම යුක්ති
යුක්තය.
එමගින් සියලු ජීවීන්ට මෙත් සිත පතුරවමු යන අදහස වඩාත් ඉස්මතු වී ඇති බව
කිව යුතු නොවේ. වසු පැටියාට ගැමි ජනයා ආමන්ත්‍රණය කර ඇත්තේ ‘වහු දරුවෝ’
යන නමිනි.
එසේම තෙරුවන්ගේ සරණ, දෙවියන්ගේ ආරක්ෂාව සිවුපා සතාටද ලැබෙන්නැයි කියා
ගැමියා ආයාචනා කරයි. ආගමක් වශයෙන් සැලකූ විට බෞද්ධාගමේ මූලික හරයද මෙය
වන්නේය.
සෑම සත්ත්වයා කෙරෙහිම සමානාත්මතාවයෙන් සැලකීම හා ජීව මෙන්ම අජීව
පරිසරයටද එකසේ ලෙන්ගතුකමක් දැක්වීම කරණීය මෙත්ත වැනි සූත්‍ර වලින් පවා
බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත. |