Yý ~¹Yzˆrp£
රත් පියුම් බඳු දෙපා නො වඳිමි
රත් පියුම් බඳු දෙපා පාමුල
මල් තබා නො වඳිමි
හිස, දෙවැලමිට , දෙදණ බිම ඇන
පුරා පන්සාලිස් වසක්
වෙයින් වෙය ඇවිද ගොස්
විඩාපත් වූ දෙපා සිතින් මවාගෙන
බැතිබර ව පුදමි හිමියනි ඔබට
සුපිරිසුදු මගේ සිත් මල
වසන්ත පි‍්‍රයංකර නිවුන්හැල්ල
**************************
බුද්ධත්වය
නුවර පහන් නිවී තිබිණ
අඳුරු සළුව පොරවා ගෙන
ලෝ වැස්සෝ නිදා උන්හ
ගඳෙව් කළෝ වෙහෙස පත් ව
මත් වී සීසන් නොමැති ව
හිස් වූ මී බඳුන් අතර
ඒ ඒ තැන වැතිර උන් හ
නිඳා සිටින්නන් නින්දෙන්
ගොරවන මර හඬ නංවන
දත් මිටි කන හඬ පැතිරිණ
දෝංකාර දී හැම තැන,
සිහින ලොවේ සිටි ඇතැමෙක්
එහි ම රැඳී සිනාසුණ හ
එහඬ අසා පිබිදුණු මම
ඇස් හැර වටපිට බැලීමි
යා යුතු කාලය ළං විය
පස්කම් සැප එක් තැන් කළ
ඇගෙ කුටියේ දොරගුලු හැර
පස්කම් සැපතින් දා කළ
ආසාවේ පුතු අත හැර
දොගොඩ තළා යන මහ ගඟ
එක පිම්මෙන් තරණය කොට
අඳුර අතර මඟ හෙළි කර
නිරන්තර ව ගමන් ගතිමි
අඳුරු ලොවින් ඉර මතුවී
අරුණු නැඟී එන වේලෙහි
කඳු මුදුනට නැඟ ගත් මට
නිම්වළල්ල පැහැදිලි විය
ඈතින් හිම කඳු පිසගෙන
හමන අලුත් සිහිල් පවන
වෙහෙස දුරැර නව පණකින්
මගෙ ගත සිත පහන් කෙළෙ ය
ළහිරු මඬල කෙරෙන් නැෙඟන
රන්වන් වූ සහන් එළිය
බහල තිමිර විනිවිද ගෙන
කඳු මුදුනට ගලා හැලිණ
තවමත් නින්දේ පසුවන
වැලපෙන සිහිනෙන් හිනැහෙන
ලොව ඇති තතු ඇති හැටියට
ඒ එළියෙන් මම දුටුවෙමි
මහගමසේකර කිවිඳුන්ගේ
සක්වා ලිහිණි (1962) කවි කෘතියෙන්
**************************
විසිතුරු බුදු ගුණ
බිහිසුණු අතුරු අනතුරු පිරි දිඟු මඟෙක
දෙහිතින් සැරි සරණ මට යම්කිසි දිනෙක
පිහිටක් වතොත් ඔබමය එහෙයින් රැයක
සිහිනෙන් පෙනේවා මට මගෙ බුදු මැණික
සහ සැස් සුරන් සහ බුදු ගුණ ගීය ගයයි
මහ බඹු සතට වැඩියෙන් පුදවතක් සොයයි
මහ කෙළ නාග කඬුපුල් මල මදිය කියයි
බහ දුරු ඔබට මුළු තුන් ලොව තවම ණයයි
බඹහුගෙ පියුම් අසුනෙහි අබ පියැල්ලෙහී
සුරිඳු ගෙ සිතුරු විසිතුරු පඬු ඇඹුල්ලෙහී
එකරඟෙ හිඳින පොහොසත් මේ සියල්ලෙහී
ම හිමි ගෙ මහිම මනිමිද මම කිකල්ලෙහී
සඳේ සිසිල මල් පියලෙක සුසිනිඳුව
උදේ තණග පිණි බිඳුවෙහි පිරිසිදුව
බඳේ කනක ගිරියට අමොදෙහි මදුව
රැඳේ හිමි බසෙක බැලුමෙක එක බඳුව
අද හම් අඳුරු සෙණ වැසි පිරි වරා සිට
රොද රොද රුපුන් ලුහුබැඳෙතත් පුරාවට
සදහම් හිමිගෙ සදහම් මැඟැ දුරාකොට
පද වමි මගේ දිවි නැව මොක් වරායට
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි
**************************
නියම් දහම්
තනිව නැඟෙනු හැකි වූ මඟ නොගෙනැ එදා
ලෙවන් කැලත් ගෙනෙ තර වන පැරුම් සදා
එ - වත ඇසින් දැකැ ලොවට මැ දෙනු පහදා
උපන්නේ නම් කෙනෙකුන් උන් පුදමි මෙදා
සැපත කියා දුක මැ බදා මෙ සක්වළේ
ඇලෙන දනා නෙත පාදා නිවන් පැලේ
ලබන උපා නුවණ බෙදා දෙන විපුලේ
දහම උසා -යෙන් ලද්දා පහන් දිලේ
සුවඳ පියුම් වුව මැලැවී හැළුම් දහම්
පහන දිලුම් තෙල නිමි සඳ නිවුම් දහම්
ලොවැ මැ උතුම් අය කය වුව දිරුම් දහම්
නියත වි නම් ‘අනිස ‘ මැ වෙයි නියම් දහම්
ජයත් පියදසුන්
**************************
රාහුලො ජාතො
“ බුදු බව පැතුවෝ
දරු දුක නැද්දෝ ”
මා නොසොයා පුත නිදියන් සියුමැලි
සදා එළිය පිරි ලොවක් සදා දෙමි
පුත නුඹ නිදිගත් කුටිය කැලුම් දෙයි
කුටියෙ දොරින් පිට ගනඳුර රජයයි
නිදි ලොව සිටිය ද නුඹ මා කැඳවයි
පිටත අඳුර පිරි බව නුඹ නො දනියි
දිනෙක නඟා ඔබ සියුමැලි පා යුග
අඳුරු ලොවක් වෙත මා මෙන් එනු ඇත
එදා ඔබේ මඟ එළිය සදන්නට
එළිය සොයා යමි පුත නුඹ නාඬන්
මා නො සොයා පුත නිදියන් සියුමැලි
සදා එළිය පිරි ලොවක් සදා දෙමි
අරියවංශ රණවීර
**************************
වෙසක් මල් හා සිතිවිලි
ගසක් පාසා මල් ය වැලක් පාසා මල්ය
අසක් සැකි කපක් කල් පිපුණු පෙරුමන මල්ය
රසක් වෙයි වෙසක් වල නැවුන් සුදසුන් මල්ය
වෙසක් සිතිවිලි මල්ය පිපි වෙසක් මල් මල්ය
කිරණ හර මලෝ ලඹු සිසාරා ගුවන් කුස
දියද ගොඩ කුසුම් රොද නන් වණින් නුවන් පිස
එළැඹි සිටි වෙසක් මඟුලෙහි මහිම පහන් රස
හමළ නල කෝමලය රොන් වැහෙන පියුම් රැස
දස දහස් සක්වළේ හැම හදක් සහන් වී
තුන් ලොවේ සුවඳවත් සුපිපි මල් යහන් වී
සංහිදේ මල් පැලේ දුමලොසු ද දහන් වී
නිල් දළා හෝ කෙරේ බුදු එළිය පහන් වී
පන්සලේ පොහෝ හේවිසිය තේවා පදෙන්
ගුම් නැගේ කැඳවමින් සිල්වතුන් සක් සුදෙන්
බුන් මෙනෙන් වසවතුන් පැරැද ගොස් මර යුදෙන්
කම් පිතයි මිහි මඬල ගිගුම් දී තියූ නදෙන්
තුදුස් මහ බුදු නැණින් සියල්නේ මඬල මැන
සුවාසු දහස් දම් අතැඹුලක් පරිදි දැන
සිවු වැදෑරුම් උතුම් බුදු නුවණ ලබා දෙන
පාරමී බලය පෑ අසිරිමත් වෙසඟ දින
සිතන සිතිවිලි වෙසක් අමා ඇල්ලකි සිතේ
දකින ඇස පවා ලයි මහිමි රුව හදවතේ
පිළි සමුප පා දසත අරි අටඟ මාවතේ
නිවන් පුර සුදිස්නා පහන් ටැම් වී ඇතේ
කියන බස මෙත් කුලුණු උතුළ සීලැල් පොදයි
සසර දුරු කතර කෙළවරෙහි බැඳි රන් දදයි
සුවඳ ගඳ කිළි බිතක්කන නිවන් සුව සදයි
පිපෙන හැම වෙසක් මල සුගත් සිරි පද පුදයි
පණ්ඩිත කලාසූරි විමල් අභයසුන්දර |