UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රූපවාහිනිය හා ධර්ම සන්නිවේදනය

සාලිය කුලරත්න

රූපවාහිනිය වැනි දෘශ්‍ය මාධ්‍යයක් නියත ධර්මනීති පද්ධතියක් (Set of canons)මත පාලනය විය යුතු බව සන්නිවේදන විශේෂඥයන්ගේ මතයයි. (ආරියරත්න ඇතුගල, සන්නිවේදකයා, 1995) එසේම රූපවාහිනිය සංස්කෘතික උපකරණයකි. ඉන් සදාචාරාත්මක ඵල, (Moral Effects) ප්‍රේක්‍ෂකයාට තිළිණ විය යුතු ය. මේ ප්‍රවේශය මගින් මම අතිශයින් කාලෝචිත ප්‍රස්තුතයක් පිළිබඳ, බුදුසරණ පාඨකයාගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. එනම් මේ වකවානුව තුළ, වෙන අන් කවර යුගයකදීත් නොදුටු ලෙස දෘශ්‍ය මාධය තුළ ගිහි ධර්ම දේශකයින් පෙනී සිටිමින්, තමන් ඉදිරියේ පැදුරු කළාල ආදියෙහි හිඳ අටසිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් අමතා ධර්මය හා ඒ ආශි‍්‍රත චර්යාමය සංස්කෘතියක් පිළිබඳ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසන කරන ප්‍රවණතාවක් තිබේ. පුවත්පත් සඳහා ලියන පිරිසක් වශයෙන් මේ පිළිබඳ අවධානය යොමු නොකරන්නේ ඇයි දැයි උගත්තු කිහිප දෙනෙක් මගෙන් ප්‍රශ්න කළහ. ඒ අනුව මා මෙහි දක්වන අදහස් දෙස මැදහත් හා අවිරෝධී මනසකින් යුතුව අවධානය යොමු කරන්නේ නම්, එය උත්තුංග මානව ධර්මයක් වනු ඇත.

පෙර රජවරුන් පවා, සමස්ත දේශයක් පාලනය කළ ද තමන්, ප්‍රජාවගේ ආධ්‍යාත්මික උපදේශනයට සුදුසු යැයි නොසිතූ බව වංසකථා දෙස් දෙයි. ක්‍රි.ව. 9 හි රජපත් මහාදාඨික මහානාග රජතුමා, තමන් ඇතුළු රජපවුල සංඝයාගේ මෙහෙවර පිණිස සගසතු කළේ ය. උපතිස්ස රජතුමා, දශරාජ ධර්මයෙන් රාජ්‍ය පාලය කරමින්, පොහොදා සිල් සමාදන් ව දිනපතා නිත්‍ය ශීලයක පිහිටියේ ය. දිවි ඇතිතාක් හෙතෙම, භික්‍ෂූන් සඳහා පිළියෙළ කළ දානයෙන් කොටසක් අනුභව කළේ මුලින් භික්‍ෂූන් ලවා එය ඉඳුල් කරවා ගැනීමෙන් පසු ය. එරජු විසින් මහජනයා සිල් සමාදන් කරවනු ලැබී ය. ක්‍රි.ව. 718 පමණේ දී ලක් රජය කළ පස්වැනි අග්‍ර බෝධි රජතුමා රටවාසීන් හා එක්ව සිල්සමාදන් වූයේ ය. ක්‍රි.ව. 667 දී රජපද පත් සිවුවැනි අග්‍රබෝධි රජතුමා ධර්මශාලා නම් විහාරයේ වැසිකිලිය තම අතින් පවිත්‍ර කළේ ය. මහ පැරකුම් රජතුමා ද සිල්සමාදන් වූ බව පැවසේ. මහාචූල මහාතිස්ස නම් රජතුමා වෙස්වලා ගොස් කුඹුරක ගොයම් කපා ඉන් ලත් මුදලින් භික්‍ෂූන්ට දන් දුන්නේ ය. ධර්ම දේශනා කිරීම කෙරෙහි සිත් යොමු වූවද, තමන් ඊට නුසුදුසු බව පෙර සිටි රජ කෙනකු විසින් පසක් කරන ලද අවස්ථාවක්, පාඨකයාගේ සිත වැඩ පිණිස මෙහිලා නිදසුන් කළ යුතු වේ.

බුදු සසුනට මා හැඟි මෙහෙයක් කළ දුටුගැමුණු රජතුමා, ත්‍රිපිටක ධාරී වූ, බව, මහාවංසය හා පූජාවලිය වාර්තා කරයි. එනිසා වරෙක එතුමා ධර්මාසනයට නැගී දහම් දෙසීමට සිතූ නමුත්, තමන් ඊට නුසුදුසු බව සිහිකොට “ස්වාමීනී බණ කියන්නට භය ඇතියෙමි” යි කීවේ ය. (පූජාවලිය උද්දේසික පූජා කථා) ඒ රජතුමා එතැන් පටන් ධර්ම කථිකයන්ට වස්තු හා දානමාන දෙවී ය. ශ්‍රී විජය රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1739) මහජනයා රැස් කරවා ගිහි ධර්ම කථිකයන් යොදවා ධර්ම දානය දෙවී ය. මේ ආකාරයෙන් ධර්ම දානයෙහි යෙදෙන ධර්ම කථිකයකු හෝ උපාසකයකු තුළ ස්ථිරසාර වූ ආධ්‍යාත්මික ගුණ කදම්භයක් තිබේ. එහෙයින් එබන්දෙක් රාජ්‍ය පාලකයකුගේ ව්‍යාජ බල අධිකාරයට ද බිය නොවේ. සද්ධර්ම රත්නාවලියෙහි එන ඡත්තපාණී උපාසක කථාව මෙහිලා මනා නිදසුනකි. තෙවලා දහමෙහි ප්‍රගුණව හුන්, උපාසකයා අනාගාමී ඵලයට ද පැමිණ සිටියේ ය. එහෙයින්, දිනක් සිව්වණක් පිරිස් පිරිවරා දහම් දෙසමින් හුන් බුදුහිමි දක්නට පැමිණි කොසොල් රජු දැක ඔහු ආචාර නොකළේ ය. රජතුමා උපාසකයා කෙරේ කිපුණු විට බුදුන් වහන්සේ, රජුට කරුණු පැහැදිලි කළේ මෙපරිද්දෙනි.

“ මහරජ මේ උපාසකයෝ ත්‍රිපිටකධරය. මහා නුවණැති ය. සැවැත් පුරෙහි හිඳිනා පමණක් මුත් අනගැමිව නිවන්පුර අත්ගෙන හිඳිනා කාරණාත් දනිති” යි (මහරජතුමණී, මේ උපාසකයා ත්‍රිපිටකධාරී වේ. මහත් නුවණක් ද ඇත. සැවැත් පුරයෙහි සිටියද, අනාගාමීව, නිවන් පුරයේ වාසය කිරීමට උචිත කරුණුත් ඔහු දනී) සද්ධර්ම රත්නාවලියේ දැක්වේ.

වර්තමාන, ජනපි‍්‍රය මාධ්‍ය හිමිකරුවනට මේ යථාර්ථ ධාරණාවෙන් පලක් නැත. ආචාර්ය ආරියරත්න ඇතුගලට අනුව (2004) මාධ්‍ය කරුවනට බුද්ධිමය ක්‍රියාවලියකින් පලක් නැත. ඔවුනට අවශ්‍ය වන්නේ ආචාර ධර්මවලට ඉතා සමාන දෙයක් අලෙවි කර වේදිතයක් (make sense)ඇති කිරීම පමණි. ඒ සඳහා සාර්ථකව ප්‍රේක්‍ෂකයාගේ භාවයන් අවුස්සා ගත හැකි ප්‍රතිරූප ඒ සඳහා තෝරා ගනිමින් අරමුණු බද්ධ භූමිකා (objective role) ඔවුහු ගොඩනඟති. දෘශ්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත්ව, සදාචාරයට සමාන දෙයක් ගැන දෙසන කථිකයන්ට ඇත්තේ, ලුණු ඇඹුල් හා කටගැසුම් පිළිබඳ හැකියාවක් එය මාධ්‍ය අධ්‍යයනයේ දී අලංකාරික ප්‍රතිරූපකරණය (The Rhetoric of image) සේ හැඳින් වේ. පාසල් වියේ ළමයින් හට ගැඹුරු පොතකින් දෙන අධ්‍යාපනයට වඩා රසවත් ව අමනාප කර ගැනීමකින් තොරව කථා කරන මේ මාධ්‍ය ගුරුවරු විටෙක “ළමුන්ගේ දෙමාපිය විරෝධය” ඉතා කාලෝචිත බව අඟවති. පාසල් ළමයින් හා විශ්ව විද්‍යාල සිසුන්, නොදන්නාකමත්, අපරාජිත කමත් නිසා, වැරැදි හැසිරීම් මැවීම නිසා අනාගතය අයහපත් කර ගැනීමට ප්‍රධාන වගකිවයුත්තා මේ ජනපි‍්‍රය මාධ්‍යය බව, සාම විනිසුරු ආරියදාස මහතා (මහනුවර, ගොහාගොඩ, පල්ලේගම) මහා පැවසීය. මින් වසර කිහිපයකට පෙර, කටුගස්තොට බෞද්ධ සමිති ශාලාවේ පැවැති ධර්ම සාකච්ඡාවකට, ප්‍රකට මාධ්‍ය උගතෙක් පැමිණියේ ය. ඔහු ඉතා ආකර්ෂණීය ලෙස කථා කළේ ය. ඒ කථාවෙන් වැඩිපුර අවධාරණය වූයේ මේ යුගයේ තරුණ තරුණියන්ගේ අපරිණත චර්යා නිවැරැදි බව ය. විශ්වවිද්‍යාල තරුණියන් විසින් විභාග ජය ගැනීම සඳහා ව්‍යාජ ප්‍රේමයක් පෙන්වනු ලැබ, ආචාර්යවරුන් රවටනු ලැබීම නිවැරැදි බවත් එතැන වරද පැටිවිය හැක්කේ ආචාර්ය වරයාට බවත් ඒ මාධ්‍ය උගතා පැවසී ය. එබඳු ප්‍රකාශන වලින් වැරැදි අර්ථ ගන්නා ශිෂ්‍යයින් විසින් කරනු ලබන කිසිදා සමාව නොලැබෙන වැරැදි, සමාජ ජීවිතයේ ඔඩු දුවන අර්බුද බවට පත් වේ. ඉහත විස්තර කළ වැරැදි පුරුෂාර්ථ හිසින් ගෙන, තමනට විචක්ක්‍ෂණ ලෙස සිප් දුන් ආචාර්යවරයකුගෙන්, ඊටත් වැඩි අවධානයක් දිනාගනු පිණිස බොරු ප්‍රේමයක් පෙන්වා, ආචාර්ය වරයා රවටා ඔවුහේ පවුල් පසුබිමද අවුල් කළ ශිෂ්‍යාවක පිළිබඳ සංදෘෂ්ටික නිදසුනක් තමා දන්නා බව සාම විනිසුරු ආරියදාස මහතා තවදුරටත් පැවසීය. එහෙත්, මේ ඊනියා තාවකාලික සංතුෂ්ටිමය අත්දැකීම (happy experience)ප්‍රදානය කිරීම මගින් ඒ ප්‍රකාශයෝ තාවකාලික වීරකමක් (Bardic Function) පෙන්වති. (ආරියරත්න ඇතුගල, රූපවාහිනි රජ්‍යය හා මතවාදී මාධ්‍යය, 2004)

ජනකාන්ත මාධ්‍ය ප්‍රතිරූපකයන් විසින් ආයතනික රාමුව, කාලීනව උත්කර්ෂවත් කිරීම සඳහා බණ දහම් හෝ ආචාර ධර්ම වල වෙස් ගන්වා පවසන දෑ සුත්ත නිපාතයේ දැක්වෙන්නේ දිට්ඨි, සූත හා මූත යන වචන වලිනි. තමා දකින අන්දම, තම ඇසූ සැටි හා තමාගේ ස්මෘතිය වශයෙනි.

දහම් විමංසන ලෙස එළි දකින මේ දෘශ්‍යමය සංදර්ශන වලට සහභාගී වන කථිකයන්, කීයෙන් කීදෙනෙක්, අටසිල් සමාදම්ව, තමා කථා කරන දෙයට සාකල්‍යයෙන් සුදුසුව සිටීද? මෙය, පුද්ගල දොස් දැක්වීමකට වඩා තම තමන් සකස් විය යුතු ආකාරය ගැන ස්වයං විවේචනයක රුවින් දරා ගැනීම යුක්ති යුක්ත වේ. බෝධි චර්යාවතාරයේ මෙසේ දැක්වේ.

“අසත්‍යම් යථා මායා, දෘශ්‍ය දුෂ්ටෘ තථා මනඞ” යම් සේ ඉන්ද්‍ර ජාලිකයකු විසින් මන්ත්‍රාදී බලයෙන් මවන ලද රූපය සත්‍යයක් නොවුනද ඒ මායා රූපය තාවකාලිකව පෙනේ යනු එහි අර්ථයයි. එසේම සත්‍ය විමංසනය හා විග්‍රහය තුළ මායාවක් වන නමුත් මේ දෘශ්‍ය ප්‍රතිරූප තාවකාලිකව මූඪ ප්‍රේක්‍ෂකයාට ඒත්තු යන දේ කියමින් පසුවෙති.

මේ ඊනියා මාධ්‍ය ධර්ම දේශනා හා ඊට පිටුතල සපයන සියල්ල, බුදුන් වහන්සේ ගයා ශීර්ෂයේ දී දෙසූ ආදිත්තපරියාය සූත්‍රය හා සැසඳෙයි. ඒ සුතුරෙහි සාරාංශයක් බලංගොඩ ආනන්ද මෛත්‍රීය ස්වාමීන් වහන්සේගේ බුද්ධ චරිතයෙහි (1946) මෙසේ පිඬු කර දැක්වෙයි. “සියල්ල ගින්නෙන් ඇවිලැගත්තේ ය. කවර සියල්ලක් ගින්නෙන් ඇවිලැ ගත්තේ ද යත් ඇස ගින්නෙන් ඇවිලැගත්තේ ය, රූප ගින්නෙන් ඇවිලැ ගත්තේ ය. චක්ෂූර්විඥානය ගින්නෙන් ඇවිලැ ගත්තේ ය.... “ ආදී වශයෙනි.

වොල්ටර් ලිප්මන් (Walter Lippmann)නම් සන්නිවේදනඥයා පවසන පරිදි බොහෝ රූපවාහිනී මාධ්‍ය කරුවෝ අප ජීවත්විය යුතු සැටිය (how to live)අපේ අවශ්‍යතා (needs)සාර්ථක විය යුතු සැටි (how to get success)හා ආදරය (love)ගැන මූලධර්ම සපයති.

ඒ ලෝක රූපවාහිනියෙනි. ලාංකේය රූපවාහිනී මඟින් දැන් විමුක්තිය ලැබිය හැකි සැටි ඉගැන් වේ. මේ වැඩසටහන් සඳහා මේ ක්‍ෂේත්‍ර පිළිබඳ ප්‍රවීණයන් නොගෙන්වන්නේත්, ප්‍රේක්‍ෂක රුචිය සතපවන මාධ්‍ය ප්‍රතිරූප පමණක් කැඳවන්නේත්, ආයතනික අරමුණක් සඳහා පමණි.

යම් කෙනකු කුමක් සන්නිවේදනය කළද, ධර්ම සන්නිවේදනයට අත ගැසිය යුත්තේ පූර්ණ සත්භාවයකිනි. හාත්පසින් කායික හා මානසික කැපවීමකිනි. “සත්‍යය හෝ සාධාරණත්වය විනා අන් කිසිවක්, (ඉහත කී) සන්නිවේදනයේ අන්තර්ගතයට දායක වේ යැයි කියා සිටීම දුරාචාර්යකි යි ප්‍රවීණ සන්නිවේදන විශේෂඥ නන්දන කරුණානායක (ජනසන්නිවේදනය සහ සමාජය, 1999) පවසා තිබීම ද මෙහිලා මා නඟන අදහසට ප්‍රබල ප්‍රතිෂ්ඨාවක් වේ.

වෙසක් පසළොස්වක පෝය

  මැයි මස 19 වැනිදා සඳුදා පූර්ව භාග 5.22 ට ලබයි.
20 වනදා අඟහරුවාදා පූර්ව භාග 7. 41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මැයි 19 වනදා සඳුදාය.

මීළඟ පෝය මැයි මස 28 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]