Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සතර අචින්ත්‍ය ධර්ම

බුද්ධ විෂය, ඉඬි විෂය , කම්ම විෂය හා ලෝක විෂයය සතර අචින්ත්‍ය ධර්මයන් සේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරා ඇත.

මිනිස් චින්තන පථයට ගෝචර නොවන්නා වූද , එබැවින්ම මිනිසා විසින් මෙනෙහි නොකළ යුතු වූද, මෙනෙහි කරනු ලැබුවහොත් බුද්ධිය අවුල්වන්නාවූද, එමඟින්ම ඒ තැනැත්තාගේ පෞරුෂත්වයට හානි කරවන්නා වූද කරුණු සතරක් වේ යැයි බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායෙහිදී වදාරනු ලැබ ඇත. මේකරුණු සතර නම් බුද්ධ විෂය, ධ්‍යානයට සමවැදුණු උතුමෙකු පිළිබඳව පවත්නා ධ්‍යාන විෂය කම්ම විෂය හා ලෝක විෂයයද වේ. මිනිස් සන්තානයට මෙකරුණූ ගෝචර නොවේයැයි පැවසීමෙන් අදහස් කෙරෙනුයේ සීමිත වූ බුද්ධි ප්‍රමාණයකට අයිතිවාසිකම් ඇති සාමාන්‍ය ලෝකයා මේ පිළිබඳව මෙනෙහි කිරීමෙහි අසමත් වන බවයි. මේවා ඔවුන්ගේ ප්‍රඥා මහිමය ඉක්මවා පවත්නේය. ඊනියා වටිනාකමක් ආරූඪ කරනු ලබන නිපුණ මහා ප්‍රාඥයින්ට පවා සම්මා සම්බුදු කෙනෙකුන්ගේ ආධ්‍යාත්මික තත්ත්වය පිළිබඳව පවත්නා අසීමිත ගම්භීරත්වයේ මහිමයද ධ්‍යාන සුවයෙහිලා ඇති ප්‍රමෝදයද කර්ම නියාමය පිළිබඳව පවත්නා සූක්‍ෂම ක්‍රියාකාරිත්වයද , තාරකා මණ්ඩලය හා නිහීරීකාවන්ගෙන් සැදුම් ලත් අප්‍රමාණ සක්වළ පිළිබඳ සම්පූර්ණ අවබෝධයක්ද ලබාගත නොහේ.

අචින්ත්‍ය ධර්ම සතර අතුරින් පළමුවැන්න බුද්ධ විෂයයි. සමහර බෞද්ධයින් තමන්ගේ අල්ප බුද්ධි ශක්තිය මෙහෙයවීමෙන් සම්මා සම්බුදු කෙනෙකුන්ගේ අනන්තා ප්‍රමාණ ආධ්‍යාත්මික ගුණ කදම්බය මිනීමට උත්සාහ දැරීම සංවේදයට කරුණකි. විද්‍යාව දේවත්වයෙහිලා සලකනු ලබන්නාවූද මෙකල බුදුරජාණන් වහන්සේ මහා ප්‍රාඥයෙකු මෙන්ද හේතුවාදියෙකු මෙන්ද සලකනු ලැබේ.

සර්වඥයින්වහන්සේ පිළිබඳව පවත්නා ඒ ප්‍රභාශ්වර ආධ්‍යාත්මික දීප්තිය හා සසඳා බලත්ම මේ ලෞකික දෑ කිසිම වටිනාකමක් නොමැති දේ බව පෙනේ. තර්කානුකූල විවාදයනට සහ සදෘසද්ව්චේකයට හසු නොවන්නා වූ පුරුෂ ලක්‍ෂණයක් හා අති විශිෂ්ට චරිත ලක්‍ෂණයන් රාශියක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැවතුණේ වේ. උන් වහන්සේගේ මෙලොව උත්පත්තිය ලැබීම සාමාන්‍ය උපතක් නොවීය. බෝධිසත්වයින් වහන්සේගේ උත්පත්තිය අද්භූත සිද්ධීන්ගෙන් වෙළි පවතී. දීඝ නිකායෙහි එන මහාපදාන සූත්‍රයෙහි මේ සිද්ධීන් පිළිබඳව සඳහන් වේ.

ළදරු සිදුහත් කුමරුනට ශ්‍රේෂ්ඨ අනාගතයක් ඇති බව සුද්ධෝදන රජ මාලිගයට කැඳවන ලද ඍෂිවරු අනාවැකි පළ කළහ. අසූවක් අනුව්‍යඤ්ජන ලක්‍ෂණයන් මෙන්ම පුරුෂෝත්මයෙකුට ආවේණික වු දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ද උන් වහන්සේ කෙරෙහි පැවැති අන්දම ඔවුහු දුටහ. දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයෙහි මේ ලක්‍ෂණ පිළිබඳව පැහැදිලි ලෙස විස්තර දැක්වේ. ළදරු කුමරා තුළ සැඟවී තිබුණු ශ්‍රේෂ්ඨ අනාගතය මේ ලක්‍ෂණ මගින් ප්‍රකට විණි.

බුදුරජාණන් වහන්සේ සතුව පැවති සුචරිත මෙන්ම බුද්ධි බලයන්ද කෙතරම් ගම්භීර සහ සූක්‍ෂ්මද යත් ආර්යයන් වහන්සේලාගේ හෝ සැරියුත් හිමියන් වැනි අග්‍රශ්‍රාවකයින් වහන්සේලාගේ අවබෝධයට වුවද එය ගෝචර නොවීය. අප වැනි පුහුදුන් ජනයාට මේ ගැන අවබෝධයක් නොමැති බවට කුමන කථාද? බුදු කෙනකු සම්බන්ධයෙන් පවත්නා ලක්‍ෂණයන් පිළිබඳව සම්පූර්ණ වශයෙන් අවබෝධයක් ලබාගත හැක්කේ තවත් බුදු කෙනෙකුන් විසින්ම පමණි.

සැරියුත් හිමියන් වැනි මහ රහත් කෙනෙකුන් තුළ පවා බුදුරජාණන් වහන්සේ පිළිබඳ කෙතරම් තදබල විශ්වාසයක් පැවැත්තේද යත් බුදුරජාණන් වහන්සේ හා සමාන සුචරිතමය හා ආධ්‍යාත්මික ඥාන දර්ශනයක් ඇති අන් කෙනෙකු සොයාගත නොහැකි බව එක් අවස්ථාවකදී සැරියුත් හිමියන් විසින්ම වදාරන ලද්දේවී නමුදු අප වැනි අන්ධ පෘථග්ජනයෝම බුදුරජාණන් වහන්සේගේ නිර්දෝෂී ධර්මය පිළිබඳව සැක ඉපිදවීමට හා අවිශ්වාස කිරීමට තරම් ථම්භ වන්නෙමු. බුද්ධියෙක් දියුණු ජනතාවක් උදෙසාම දේශනා කරන ලද කාලාම සූත්‍රයෙහි දැක්වෙන කරුණු උපුටා දක්වන අවස්ථාවන්හිදී බුදුසමය පිළිබඳව මනා අවබෝධයක් නොමැති සමහර බෞද්ධයින් විසින්, බුදුරජාණන් වහන්සේගේ දේශනයක් පිළිබඳව සැක උපදවා ගැන්මට අපට නිදහස ඇත්තේ යැයි පැවසීම , බුදු සමය පිළිබඳව කරුනු ලබන සාවද්‍ය විවරණයකි. එහෙත් කරුණු තත්වාකාරයෙන් සලකනු ලැබුවහොත් ඒ එසේ නොවන බව වැටහේ. කාලාම සූත්‍ර දේශනාවෙන් අදහස් කෙරෙනුයේ යම් කිසි ධර්මයක් පිළිගැනීමට පෙර අප විසින් අපගේ බුද්ධිය මෙහෙයවා එය සත්‍යයක් වේ දැයි පරික්ෂා කළ යුතු බව පමණක්ම වේ. අප විසින් කිසිවක් අන්ධ භක්තියෙන් පිළිගත යුතුනොවේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනයන්හි ඇති සත්‍යතාව අපට අවබෝධවන තාක්ම අප විසින් එම ධර්ම දේශනයන් අසත්‍ය සේ සැක කිරීමට ලැබී ඇති නිදහස මගින් අපට ඉඩ නොලැබේ. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය සත්‍ය සේ තමන්ට අවබෝධ වන තුරු එම ධර්මය සම්බන්ධයෙන් තමන්ට සැක ඉපදවීමට පිළිවන්කම ඇතැයි සිතන සමහර බෞද්ධයින් සිටින බැවින් මෙකරුණ අප විශේෂයෙන් පැහැදිලි කරගත යුතුවේ. මෙකරුණ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ෂසින්ද මෙසේ දක්වා ඇත. බ්‍රාහ්මණයෙනි, මා කෙරෙහි විශ්වාසය තබන්න. සම්මා සම්බුදුවරයෙකු දක්නට අවස්ථාව ලැබෙනුයේ ඉතා කලාතුරකින්ම වේ. සැබවින්ම ලෝකයට දුර්ලභ වූ උතුමෙක් අද පහළ වී සිටී. බ්‍රාහ්මණයෙනි, මම වනාහි සම්මා සම්බුදු කෙනකු වෙන්නෙමි. අසම සම සුවදායකයෙකු වන්නෙමි “

සම්මා සම්බුදුවරයෙකුටම පමණක් සීමාවූ අති විශිෂ්ට බල සමහරක් පිළිබඳව අපි දැන් සලකා බලමු. අසාධාරණ ඥාන නමින් හැඳින්වෙන බල සයක් උන් වහන්සේ සතුව තිබුණි. මෙමඟින් උන් වහන්සේ නොදැමුණූ දුර්දානනයන් හික්මවීමෙහි හා දමනය කිරීමෙහි සමත් වුසේක. මේ හැරුණූ විට උන්වහන්සේ දශ බලධාරි වූ සේක. තවද පංච චක්‍ෂුසයෙන්ද සමන්විත වු සේක.

බුදුරජාණන් වහන්සේ සතුව පැවැති සබ්බඤ්ඤතා ඥානය (සමන්ත චක්ඛු ) හා මහා කරුණා සමාපත්ති ඥානයද සැබවින්ම ඉතා දුර්ලභ වූ එමෙන්ම උන් වහන්සේ තුළ පමණක් පැවැති සංකලනයකි. මේ හේතුවෙන් බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට අසමසමවූ ශාස්තෘවරයාණන් කෙනකු වූ අතර මේ අඳුරු ලෝකයේ උන්වහන්සේ පමණක් හුදකලා තරුවක් සේ බබළන සේක.

කම්ම විෂය වනාහි දෙවැනි අචින්ත්‍ය ධර්මයවේ. කම්ම විපාක දීම දෙයාකාර වේ. පුද්ගලයාගේ ජීවිත කාලය තුළ විපාක දෙනු ලබන කර්ම සහ ඔහුගේ මරණින් මතු අනෙක් භවයකදී විපාක දෙනු ලබන කර්ම ද වේ. මෙතන්හි ‘විපාකය ‘ යනුවෙන් අදහස් කෙරෙනුයේ වැඩුනු ලබන දෙය හෙවත් ඵල දරනු ලබන, එසේත් නැතහොත් නියම අවසානයක් කරා යොමුව ඇති දෙය යන්න වේ. උදාහරණයක් වශයෙන් සලකා බලනුයේ නම්, තමා විසින් කරන ලද යම්කිසි රාජකාරියක් වෙනුවෙන් කහවනුවක් ලබාගත් තැනැත්තෙක් ඒ මගින් තමා ආශාකරන දේ ලබාගනියි. ඔහුගේ කාර්යය නියම අවසාන ප්‍රතිඵලයක් ලබනුයේ මෙවිට පමණක්ම වේ.අපගේ සැලකිල්ලට භාජනය වී පවත්නා කම්ම විපාක ස්වරූපයද මේ අන්දමින් සලකා බැලිය යුත්තේය . යම් කිසි ක්‍රියාවක් එහි සම්පූර්ණ මාර්ගයම ගෙන ඇතැයි පැවසිය හැකි වනුයේ, එය විපාකය ලැබීමෙන් පසුව පමණි.

නැවත වරක් කම්ම විපාකය දෙයාකාරයකින් සලකා බැලිය හැක. පුද්ගලයා කෙරෙහි බලපාමින් මාරුවීමද , අන් අය කෙරෙහිද බලපාමින් බහුල ලෙස පැවැත්ම ද මේ දෙයාකාරයවේ. මින් පළමුවැන්නෙන් දැක්වෙනුයේ මිනිසෙකුට තමා විසින් රැස් කරන ලද කුශලාකුශල කර්මයනට විපාක වශයෙන් මේ ජීවිතයේදී හෝ මතු භවයකදී හෝ තනි පුද්ගලයෙකු වශයෙන් මුහුණ පෑමට සිදුවන සමෘද්ධිය හෝ පරිහානිය පිළිබඳව ය. මේ අවස්ථාවේදී කර්ම විපාකය බලපානුයේ ක්‍රියාව කරන ලද තැනැත්තා කෙරෙහි පමණි. කෙනෙකුගේ උපතේදී ඔහුගේ සැපතට හෝ විපතට මුල් වූ කර්මයේ ශක්තිය සහ බලවත් බව හේතුවෙන් මේ තැනැත්තා හැරුණු විට අන්‍යයන් කෙරෙහිද බලපාන්නා වූ මේ සමෘද්ධියට කර්ම බලවේගය හෝ විනාශයට යොමු වු අවස්ථාද පැන නගිනු ඇත. මෙය කර්ම විපාකයේ අන්‍යයන් කෙරෙහිද යොමුව පැවැත්ම සේ හැඳින්වේ. මෙවැනි අවස්ථාවලදී එක් අයකුගේ කර්ම විපාකය අන් අයද අත් විඳිනු ලැබේ. තුන්වැනි අචින්ත්‍ය ධර්මය ඉÿ විෂයය වේ. විශේෂ අභ්‍යාසයන් මගින් අතින්ද්‍රිය ශක්තිය දියුණු කර ගැනීම ඉද්ධි නමින් හැඳින්වේ. ආයු ප්‍රමාණය දීර්ඝව පැවති පුරාණයේ බුදු දහමින් බැහැරව සිටි ඍෂිවරු සහ බ්‍රාහ්මණයෝ ඉද්ධිවිධ අභිඤ්ඤා , දිබ්බ චක්ඛු, දිබ්බ සොත, පරචිත්ත විජානන ඥානය , සහ පූර්වේනිවාසානුස්සති නමින් වු පංච අභිඤ්ඤා උපදවා ලීමෙහි සමත්වූහ.

මේ පංච අභිඤ්ඤා ආසවක්ඛයාභිඤ්ඤා (තමා සතර මදයන්ගෙන් නිදහස්ව ඇතැයි යන විශ්වාසය) නම් වූ ඥාන විෂයද සමග එක්කොට ෂඩ් අභිඤ්ඤා නමින්, බුද්ධ ශ්‍රාවකයින් අතර හැඳින්වේ. දිබ්බ චක්ඛු හෝ දිබ්බ සොත වැනි ඉද්ධි බල තිබූ ඍෂිවරුනට ඈත ඇතිදෑ දැක්මට හා ඈතින් වු ශබ්ද ඇසීමටද, හැකියාව තිබුණි. පරචිත්ත විජානන ඥානය හේතුවෙන් මොවුන් අන්‍යයන්ගේ සිත් කියවීමෙහි සමත් වු අතර පුබ්බේ නිවාසානුස්සති ඥානය හේතුවෙන් ඈත අතීතයේ සක්වළ පරිණාමය සහ සංවර්ධයද ඇතුළු සිය ගණන් ආත්මවල සිදු වූ දෑ පවා සිහියට නඟා ගැනීමේ සමත් වූහ සතර වැනි අචින්ත්‍ය ධර්ම ලෝක විෂය වේ. විද්‍යා ඥානය මෙන්ම තර්ක ඥානයද පිළිබඳව ද පරතෙරට පැමිණ සිටින ප්‍රාඥයින්ගේ මෙන්ම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්ද තර්ක විතර්කයන් මගින් මිනීමට උත්සාහ දරන්නා වූ ශංසය වාදීන්ගේද අවධානය මිනිස් බුද්ධිය පිළිබඳ වූ සීමිත වුද අසම්පූර්ණ වූද තත්ත්වය කෙරෙහි යොමු කිරීම මැනවයි හැඟේ. විශ්වය පිළිබඳව පවත්නා විශාලත්වය හේතුකොටගෙන මිනිස් බුද්ධි පථය සීමාවී පවතී. නූතන විද්‍යාඥයින් ගේ මතයට අනුව විශ්වය අනන්තාපර්යන්ත වේ. මේ විශ්වය නොමිණීයහැකි අප්‍රමාණ වු චක්‍රාවාට සංඛ්‍යාවකින් සැදුම් ලද්දේය.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.