Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සත්‍යයේ පණිවිඩය

වෙසක් දිනය සත්‍යයේ පණිවුඩය ගෙනා දින යයි. සත්‍ය යනු බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ධර්මය සහ අපි අනුගමනය කරන ක්‍රියා මාර්ගයයි. සියලු දෙනාටම එකම ආකාරයකට ධර්මය අවබෝධ කර ගැනීමට නො හැකි බැවින්, එක් එක් කෙනාගේ නුවණ අනුව වටහා දීමට බුදුරජාණන් වහන්සේ නොයෙක් පර්යාය ක්‍රම භාවිතා කරමින් එක් එක් පුද්ගලයාට එක් එක් ආකාරයට ධර්මය දේශනා කළ සේක.

එම භාවිතා කළ පර්යාය ක්‍රම වලින් එක් ක්‍රමයක් අනුගමනය කිරීමෙන් ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට ක්‍රම තුනක් හඳුන්වා දී තිබේ. සත්‍යානුරක්ෂණය , සත්‍යානුබෝධය, සත්‍යානුප්‍රාප්තිය යන ත්‍රිමාන වගකීමක් සහිත ක්‍රම තුනකින් හැසිරීම එම පර්යාය ක්‍රමයයි.

සත්‍යානුරක්‍ෂණය යනු සත්‍ය රැකීමයි. සත්‍ය රකින පුද්ගලයා පරීක්‍ෂණයකින් , විමර්ශනයකින්, ගවේෂණයකින් තොරව මෙයම සත්‍යය යැයි අනෙක්වා අසත්‍යයැයි හෝ හිස් යයි නිෂ්ඨාවට නො පැමිණේ. තමාගේ මතය නිවැරැදිය . අනෙක්වා වැරැදි යැයි නිගමනයකට බැස තීරණ ගැනීමෙන් අනෙක් අය සමග ඇති කර ගන්නා ගැටුම් සමාජ අර්බුද වලට හේතු වී තිබේ. ලෝකයේ ආරාවුල් ඇතිවීමට හේතුව ද මෙයයි.

ආගම් පිළිබඳව පක්ෂ දේශපාලනය පිළිබඳව එමෙන්ම නොයෙකුත් මිථ්‍යා මත වාද පිළිබඳව ඇති වන කල්පනාවන් ගැන මෙන්ම අනෙක් සියලු අදහස් ගැන ද සත්‍ය අසත්‍ය හෝ හරි වැරැද්ද කුමක් දැයි විමසා බැලීම සත්‍ය රැකීමට හේතුවේ.තමන්ට කිසියම් අදහසක් ඇති වූ විට ඒ ගැන හොඳින් මෙනෙහි කර, පරීක්‍ෂාවට ලක් කර අත්හදා බැලීම් ආදියෙන් හා පොත පත කියවීමෙන් තමා තුළ කලින් තිබූ අදහස හා අලුතෙන් ඇති වූ අදහස ගැන පරීක්‍ෂා කර බලා සත්‍ය කුමක්දැයි වටහා ගෙන වැරැදි මතය අතහැර දමා නිවැරැදි මතයකට එළඹීම සත්‍යානුරක්‍ෂණය වශයෙන් හැඳින්වීමට පුළුවන. මේ සඳහා නුවණ තිබිය යුතුය. බුද්ධි හීන අයට සත්‍ය රැකීමට නොහැකිය.

බුදුරජාණන් වහන්සේ විචාර බුද්ධි පෙර දැරිව දේශනා කළ ධර්මයට අප සවන් දිය යුත්තේ විචාර පූර්ව ආකල්පයෙන් යුතුවය. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මුඛ්‍ය කෘත්‍ය ද විචාර පුර්ව ආකල්පය යි . මේ අනුව සන්තානගත විචාරයෙන් තොර වු පුද්ගලයා වහලෙකි. සමාජ විචාරයෙන් තොර වු සමාජය ද වහල් සමාජයකි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පෞද්ගලික භක්තියක් ඇති කොට ගෙන කරනු ලබන පූජාවන් හා ඇදහිලි ආදියෙන් ද විචාර බුද්ධිය පරාජයට පත්වේ. අමූලිකාදී ශ්‍රද්ධාව සත්‍ය රැකීමට මහත් බාධාවකි.

සෑම ප්‍රස්තුතයක් ගැනම කල්පනා කර විචාරයට ලක්කර අදානග්‍රහයෙන් තොරව යමක් නිවැරැදිව වටහා ගැනීම සත්‍යානු රක්‍ෂණයයි.

මෙම ත්‍රිමාන වැඩපිළිවෙලේ දෙවැනි අංගය (දෙවැනි අදියර) සත්‍යානුබෝධයයි. සත්‍ය රකින පුද්ගලයාට සත්‍යානුබෝධය පිණිස කැමැත්තක් ඇතිවේ. ශ්‍රද්ධාව යනුවෙන් හඳුන්වන්නේ සත්‍යාවබෝධයට ඇතිවන කැමැත්තටය.

එසේ නොමැති ශ්‍රද්ධාව යනුවෙන් හඳුන්වන්නේ පිළිම වන්දනාව, වෘක්ෂ වන්දනාව , සත් බුදු පූජා, අටවිසි බුද්ධ පූජා , මල් පූජා පැවැත්වීමට තිබෙන කැමැත්තට නොවේ. ඒවා අමූලිකාදී ශ්‍රද්ධාව නිසා කරන භවගාමි පින්කම්ය. මේවා එය ආර්ය මාර්ගයට කිසිත් සම්බන්ධයක් නැත.

සත්‍යාවබෝධය සඳහා පළමුකොට ගුරුවරයෙකු අවශ්‍ය වේ. ගුරු උපදෙස් ගැනීමට ගුරුවරයෙකු තෝරා ගැනීමේදි සැලකිලිමත් විය යුතු විශේෂ කරුණක් තිබේ. එනම් ගුරුවරයා වශයෙන් තෝරා ගන්නා තැනැත්තාට තමාට වඩා ලෝභ, ද්වේශ , මෝහ අඩු කෙනෙක් විය යුතුය. එනිසා ඔහු ළඟ ලෝභ, ද්වේශ, මෝහ කොපමණ තිබේ දැයි දැන ගැනීමට ඔහුව ටික දිනක් ඇසුරු කර පරීක්‍ෂා කළ යුතුය. එසේ ඇසුරු කිරීමේදි ඔහුගේ කාය සංවරය වාග් සංවරය ගැන පරීක්‍ෂාවෙන් සිටින විට ඔහු තමාගේ ගුරුවරයා වශයෙන් තෝරා ගැනීමට සුදුසු දැයි වටහා ගැනීමට පුළුවන. මේ සඳහා තමන්ට හොඳ නුවණක් තිබිය යුතුය. අද හොඳ ගුරුවරුන් ගැන ලොකු ගෞරවයක් තිබෙන්නේ හොඳ ගුරුවරයකු සොයා ගැනීමට තිබෙන දුෂ්කරතාවය නිසාය.

ගුරුවරයා තුළ තමාට වඩා ලෝභ, ද්වේශ, මෝහ වැඩිනම් ඔහු කොතරම් උගතෙක් උවත්, මොනතරම් භාෂාන්තර ඥානයක් තිබුනත් කොපමණ වයසට ගිය කෙනෙක් වුවත්, ඔහු තමාගේ ගුරුවරයා හැටියට තෝරා ගැනීමට සුදුසු නැත. එබඳු ගුරුවරු තමන් දන්නා දෙය නොදන්නා බව කියති. නොදන්නා දෙය දන්නා බව කියති. අනුනට අහිත පිණිස දුක් පිණිස පවතින වැඩවල යොදවති. මෙවැනි අයගෙන් ප්‍රවේශම් වීමට වගබලා ගත යුතුය.

තමාට වඩා ලෝභ , ද්වේශ , මෝහ අඩු ගුරුවරයකු හමුවූ විට ඔහු තමාගේ ගුරුවරයා වශයෙන් තෝරා ගැනීම යෙහෙකි. මෙවැනි ගුරුවරයකු හමු වු විට තමා බලාපොරොත්තු වන අරමුණ ඉටු කර ගත හැකි වන හෙයින්, ගුරුවරයා කෙරෙහි ලොකු ශ්‍රද්ධාවක් ඇතිවේ. ඒ ශ්‍රද්ධාව නිසා ධර්මය අසා දැන ගැනීමට ලොකු කැමැත්තක් තමා තුළ ඇතිවෙයි. මෙවැනි ගුරුවරයෙකු ඇසුරු කිරීමේදි තමන්ට නිතරම ඇසෙන්නේ ධර්මයයි. එවැනි ගුරුවරයෙකු කිසි විටෙකත් හිස් වචන කථා නොකරයි.

ධර්මය ශ්‍රවණය කිරීමේදී ඇති වු ශ්‍රද්ධාව නිසා, අසා ධාරණය කරගත් ධර්මය නැවත නැවත මෙනෙහි කර අර්ථ පරීක්‍ෂා කර ධර්මය වටහා ගැනීමට උත්සාහ කරනු ලැබේ. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන විට ඇතැමෙකුට එවෙලෙහිම වැටහුනත් අද්‍යතන ලෝකයේ කිසිවෙකුටත් ඇසු පමණින් ධර්මය වැටහෙන්නේ නැත.

ධර්මය කෙරෙහි ඇති වී තිබෙන ශ්‍රද්ධාව නිසා නිතරම ධර්මය ගැන මතක් වන හෙයින්, ගමන් බිමන් යන විටදීත් , නින්දට යන විටදීත් විවේකීව සිටින අවස්ථාවන් වලදීත් නිතරම හිතේ රැව් පිළිරැව් දෙන්නේ ඇසු ධර්මය ගැනමයි. මතක තබාගත් ධර්මය ගැන මෙසේ මෙනෙහි කරනවිට අර්ථ පරීක්‍ෂා කරනවිට ධර්මය ගැන වැටහීම ඇතිවේ. ඉන් පසු කුසල් කිරීමේ කැමැත්ත ඇතිවෙයි. මේ ශ්‍රද්ධාව නිසා අනිත්‍යාදි ධර්මතා දැක ගැනීමට නොයෙක් ආකාරයේ අත්හදා බැලීම් කරනු ලැබේ. එම අත්හදා බැලීම් වලදී සත්‍යාවබෝධයට ඇති එකම මග භාවනාව (ප්‍රධන් වීර්යය) බව අවබෝධ වේ.

භාවනාව ආරම්භ කිරීමට පෙර ශීලයෙහි පිහිටීම අවශ්‍යය. ශීලය පදසමාදානයට පමණක් සීමා නොකර නිරන්තරයෙන්ම ශීලය තමාතුළ තිබිය යුතු ප්‍රධාන අංගයකි. ශීලය රැකගැනීමට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම ජන සමාජය තුළ දීම කර ගත යුතු වැඩකි.

මේ සඳහා පසිඳුරන්ට අරමුණු වන නිමිති වලදි වික්ෂිප්ත භාවයට පත් නොවී ඒ ඒ වේලාවේදීම ඒ ඒ දේ අතහැරීමට නිවැරැදි සිහිය අවශ්‍ය වේ. කරන්නට තිබෙන සියලු කාරණා සිහියෙන් කිරීමට පුරුදු වීම භාවනාවට පෙර හුරුවකි.

මුළු ජීවිතයම සිහියට අරගෙන කටයුතු කිරීමේ දී සිහිය අපට හොරා පැන යන කිසියම් අවස්ථාවක් තිබේදැයි බැලිය යුතුය. මුළු මහත් ජීවන ක්‍රමයම අපේ පරිපාලනයට අවනත ද කියන කාරණය ගැන තමාට ම ජන සමාජය තුළ හැසිරීමෙන් වටහා ගැනීමට පුළුවන. මේ කාරණය ගැන දැන ගැනීමට ශූන්‍යාගාරයක් රුක්ඛ මූලයක් හෝ ආරණ්‍යයක් අවශ්‍ය නොවේ.

සමාජයත් පුද්ගලයාත් අතර ගැටුමේදි තමා සිහියෙන් කටයුතු කරන්නේ නම්, දැන මම සිහියෙන් හා අවදිකමෙන් සිටින සදාචාරාත්මක පුද්ගලයෙක් බව දැන ගැනීමට මෙය හොඳම අවස්ථාවකි. නමුත් බෞද්ධ මාර්ගයේ කෙළවර භාවනාවයි. භාවනාවට හිත එකඟ කර ගැනීමට ඇති ප්‍රබල බාධාව පංචනීවරණයයි.

පිටට හොඳ සිල්වතෙක් බව පෙනුනත් මේ බලවේග පහ නිසා හිත නිතර සසල වනු ලැබේ. එනිසා කාමච්ඡන්ද , ව්‍යාපාද, ථීනමිද්ද, උද්දච්ඡ, කුක්කුච්ඡ හා විචිකිච්ඡා නමැති මේ බලවේග පහ උදුරා දැමිමට විවේක ස්ථානයක් අවශ්‍ය වේ. ශූන්‍යාගාරයකට රුක්ඛ මූලයකට හෝ අරණ්‍යකට ගොස් ආත්මාවලෝකනයක යෙදීමේ දි හිත ඇතුලේ වැඩ කරන මේ බලවේග පහ අනුක්‍රමයෙන් ගලවා දැමීමට වීර්යය කළ යුතුය. මේ බලවේග පහ නිසා සිතිවිලි කිළිටි වී ප්‍රඥාව දුර්වල වනු ලැබේ. සිතිවිලි පිරිසිදු කර ප්‍රඥාව ප්‍රබල කර නිර්වාණගාමි මාර්ගයට යෑමට පංච නීවරණ දුරු කළ යුතුය.

මේ භාවනාමය වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමට නම්, ශීල සංවරය ඉන්ද්‍රිය සංවරය අනිවාර්යයෙන්ම සම්පූර්ණ වී තිබීම අත්‍යවශ්‍යය. මෙම බෞද්ධ භාවනාව අනෙක් සියලුම භාවනාවන්ගෙන් වෙනස් වන්නේ භාවනාව නිෂ්ඨාව නොවන හෙයිනි. භාවනාව උපායක් ලෙස සලකනවා මිස සමාධියෙන් ඇති කිසිම වැඩක් නොමැත.

බෞද්ධ භාවනාව වූ කලී සත්වයා පුද්ගලයා පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීමට තිබෙන උපාය මාර්ගයක් පමණි. සත්වයා පුද්ගලයා පිළිබඳ සමස්ත යථාර්ථය තේරුම් නොගෙන කොතරම් භාවනා කළත් කිසි තේරුමක් නොමැත. භාවනාව මේ සඳහන් කරන යථාර්ථයට යෑමට තිබෙන උපාය මාර්ගයක් පමණි. ඒ නිසා සමාධියට පැමිණ ධ්‍යාන ලබා ගැනීම ගැන බුදුදහම එතරම් අගය කරනු නොලැබේ. බුදුන් වහන්සේ පහළ වීමට පෙරත් භාරතයේ එවැනි භාවනා තිබී ඇත. එම භාවනා නිවන් මගට සම්බන්ධ නැත.

මම වියුක්ත කෙනෙකි. සංයුක්ත කෙනෙක් නොවෙමි. මම භාවනාවෙන් කරන්නේ මේ තත්ත්වයෙන් මිදීමට පාර කපා ගැනීමකි. භාවනාවේ ඇලී ගැලී සිටීමෙන් පලක් නොමැත. අන්තිමේදී භාවනාවත් අතහැර දැමිය යුත්තකි.

මේ අවබෝධයෙන් යුතුව සිතුවිලි පිරිසිදු කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන කරනු ලබන භාවනාවෙන් පරම සත්‍ය ශාක්ෂාත්කරගනු ලැබීම සත්‍යානුබෝධය වේ. මේ ත්‍රිමාන වැඩපිළිවෙළේ දෙවැනි මානයයි. සත්‍යානුප්‍රාප්තිය යනු සත්‍යට බැස ගැනීමයි. මේ ත්‍රිමාන වැඩ පිළිවෙළේ තුන් වැනි අංගයයි. (සත්‍යානු රක්‍ෂණය) සත්‍ය රැකීම හේතු කොටගෙන (සත්‍යානුබෝධය) සත්‍ය අවබෝධයට පත්විය. සත්‍යානුබෝධයෙන් සත්‍යට බැස ගැනීම සිදුවිය. මේ ඵල සමාප්තිය සිදුවන ආකාරයයි.

වෙසක් දිනය බෞද්ධයාට උතුම් දිනයක් වන්නේ බෝසතුන් බෝමැඩදී සත්‍ය අවබෝධ කර ගත් දිනය නිසාය . මෙම උතුම් දිනයේදී සෑම බෞද්ධයෙක්ම සත්‍යාවබෝධය ලබා අවිද්‍යාන්ධකාරයෙන්, ආලෝකය කරා ගමන් කිරීමට ශක්ති පමණින් ඥාන පමණින් කටයුතු කර ගන්නේනම් මැනවි.

බෞද්ධ මාර්ගයට ප්‍රවිෂ්ට වීමට මෙම ලිපියෙන් අනාවරණය කර ඇති චංකි සූත්‍ර දේශනාව වෙසක් සමයේදී කාගේත් අවධානයට ලක්වේවා!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.