Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උප්පාද-වය ධම්මිනො

උප්පාද යනු ඇතිවීමයි. හට ගැනීමයි. වය යනු නැතිවීමයි. ඇතිවීම හා නැතිවීම සත්වයාට බලපාන පොදු ධර්මතාවකි. ජීව අජීව සියලු වස්තූන්වලට එය සනාතන දහමකි. අනිත්‍යතාව එය පසුපසින් දිවඑයි. ලොව පහළ වන බුදුවරු එය පසක්කරන සේක. ගෞතම බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටින විට දේවතාවෙක් උන්වහන්සේ ඉදිරියට වැඩම කළේය. එම දේවතාව බුදුරජාණන් වහන්සේගෙන් පැනයක් විමසා සිටියේය.

‘කිංසු ජානෙති පුරිසං ‘ - සත්වයා උපද්දවන්නේ කවරෙක් විසින්ද ? බුදුරජාණන් වහන්සේ එයට මෙසේ පිළිතුරු දුන් සේක.

“ තණ්හා ජානෙති පුරිසං – සත්වයා උපද්දවන්නේ තෘෂ්ණාව ය.

තෘෂ්ණාව මූලික හේතුව කරගෙන සත්වයා උපදින ක්‍රම හතරක් තිබෙන බව ධර්මයේ සඳහන් වේ. ඒවා නම් 1. අණ්ඩජ 2. ජලාබුජ 3. සංසේදජ 4. ඕපපාතික යන ක්‍රම සතරයි.

අණ්ඩජ යනු බිත්තර මගින් බිහිවන සත්වයින්ය. කුරුල්ලන්, හූනන් ආදී සතුන් එසේ බිහිවෙයි. ජලාබුජ යනු මව්කුසේදී දියතරලයකට මැදි වී පෝෂණය ලබා පසුව ජීවියකු ලෙසින්ම බිහිවීමයි. මනුෂ්‍යයා , ගවයා, බල්ලා, බළලා ආදී සතුන් එසේ බිහිවෙයි. සංසේදජ යනු කුණු රොඩු , දියසෙවල, ගල්තලා මතට වැටෙන කොළ ආදියෙන් හටගන්නා සමහර පණුවර්ග, කුඩා කෘමිසතුන් ය. ඕපපාතික යනු ඉබේ පහළ වීමකින් සිදුවන ඇතිවීමකි. දෙවියන්, බ්‍රහ්මයින් ,පේ‍්‍රතයින් එසේ පහළ වෙයි. ඒ ක්‍රම හතරින් සත්වයා උප්පාද වේ.

සත්වයා වය වන නැතිවන ක්‍රම හතරක්ද ධර්මයේ සඳහන්ව ඇත.

සබේබ සත්තා මරිස්සන්තී

මරණංතංහි ජීවිතං යනුවෙන් සඳහන් වන්නේ,

සියලු සත්වයෝම මැරෙන්නාහ. ජීවිතය වනාහි මරණයෙන් කෙලවර වන්නේය යන්නයි. ඒ අණුව සත්වයා මරණයට පත්වන ක්‍රම හතරක්ද ඇති බව ධර්මයේ සඳහන්ය. ඒවා නම්

1. ආයුක්ඛය මරණය
2. කම්මක්ඛය මරණය
3. උභයක්‍ඛය මරණය
4. උපච්ඡේදක මරණය යනුවෙනි

ආයුක්ඛය මරණය යනු සත්වයාගේ ආයුෂ අවසන්වීමෙන් පසුව සිදුවන මරණයයි. කම්මචක්ඛය මරණය යනු සත්වයාගේ කර්මය අවසන්වීමෙන් පසුව සිදුවන මරණයයි. උභයක්ඛය මරණය යනු සත්වයාගේ ආයුෂත් කර්මයත් යන දෙකම අවසන්වීමෙන් පසුව සිදුවන මරණයයි. උපච්ඡේදක මරණය යනු හදිසි සිදුවීමකින් සත්වයා මරණයට පත්වීමකි. එම මරණය සිදුවන්නේ බොහෝ දුරට එම සත්වයාගේ ආයුෂත් කර්මයත් විඳීමට ඉතිරිව තිබියදීය. රිය අනතුරකින් හෘදයාබාදයකින්, ජලයෙන් ගින්නකින් බෝම්බ පිපිරීමකින් ආදී හදිසි අවස්ථාවක් එම මරණය සිදුවීමට ඉඩ තිබේ.

බුදුරජාණන් වහන්සේ දේශනාකළේ උප්පාද වීමත් වයවීමත් දුකක් බවයි. එය නැති කළ යුතු බව උන්වහන්සේ දේශනා කළ සේක. ඉපදීම නැතිකිරීම නිවනයි. ජීවිතය නැතිකිරීම මරණයයි. ඒ අනුව ජීවයේ ඉපදීම , හටගැනීම හෙවත් උප්පාදවීම නිරෝධයකර නිර්වානාවබෝධය කිරීම උතුම්ම සැපත බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.