Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව:

බුද්ධ පරිනිර්වාණය මංගල කරුණක් වන්නේ කෙසේද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
 

“ ඉධ මොදති පෙච්ච මොදති

කතපුඤේඤ උභයත්ථ මොදති

සො මොදති සො පමොදති

දිස්වා කම්ම විසුද්ධමත්තනො”
 

සැදැහැවත් පින්වතුනි,

‍ෙම් වෙසක් පුන් පොහෝ දිනය ආගමික වශයෙන් මුළු ලෝකයාටම වැදගත් වන වටිනා දවසක්. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි මුළු ලෝකයේම බෞද්ධයින් වෙසක් පොහෝය මුල් කරගෙන අධ්‍යාත්මික ශික්ෂණයක් ලබා ගැනීම සඳහා කැප වෙන අයුරු දැක ගන්නට පුළුවන්. ඒ අතුරින් අපේ රට සුවිශේෂයි. වෙසක් පොහොය දිනය සිංහලයින් දාන සීල භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්ක්‍රියාවන්ට ප්‍රමුඛස්ථානයක් ලබාදෙන අයුරු දැකගන්නට පුළුවන්. බෝධිසත්ත්වයන් වහන්සේ සංසාරයේ කල්පගණනක් සිදු කරපු අධ්‍යාත්මික පුහුණුවේ අවසාන ප්‍රතිඵලය වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ අදව ගේ වෙසක් පුර පසළොස්වක දවසකයි. සාම්ප්‍රදායිකව තෙමඟුල යනුවෙන් හඳුන්වන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තියත්, ඇසතු බෝ මුල බුද්ධත්වයට පත්වීමත්, උපවත්තන සල් උයනේදී සිදුවන බුද්ධ පරිනිර්වාණයත්.

සැබවින්ම මෙම මංගල කාරණා තුන පිළිබඳව අපගේ අවධානය පළමුවෙන්ම යොමු කළ යුතුවෙනවා. මා සිතන ආකාරයට ලෞකික පුද්ගලයෙක් සිදුහත් උපත සහ සම්බුද්ධත්වයට පත්වීම මංගල කාරණයක් ලෙස සලකන්නට සූදානම් වුණත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය මංගල කාරණයක් ම ද කියන ගැටලුව පෘථග්ජනයකුගේ සිත තුළ පහළ වන්නට පුළුවන්. මෙය වියතුන් අතර පවා තවම සාකච්ඡා නොකෙරෙන අදහසක්. මා සිතන විදිහට මෙහිදී සියලුදෙනාටම එකඟ විය හැකි මංගල කාරණය වන්නේ ස්කන්ධ පරිනිර්වාණයට වඩා කෙලෙස් පරිනිර්වාණයයි.

කෙලෙස් පරිනිර්වාණය සිදුවුයේ බුදු උපත සිදු වුන මොහොතේමයි. එය සැබවින්ම මංගල කාරණයක්. පුද්ගල සන්තානය තුළ පවතින ක්ලේශ ධර්මයන් තුළින් යම් උත්තමයෙක් සපුරාම නිදහස් වනවානම් එය මංගල කාරණයක් ලෙස අවිවාදයෙක් පිළිගත හැකියි.

නමුත් බුදුරජාණන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණයේදි ඒ වන විට සෝවාන් භාවයට පත්ව සිටි ආනන්ද තෙරුන් වහන්සේ පවා ශෝකයට පත් වු බවත් රහතන් වහන්සේලා ධර්ම සංවේගය පහළ කළ බවත් බෞද්ධ සාහිත්‍යගත තොරතුරු වලින් හෙළිවනවා.

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය මංගල්‍යයක් බවට පත්වුනේ මිථ්‍යාදෘෂ්ටික මතයක් නියෝජනය කළ සුභද්‍ර වැනි භික්ෂූන්ට බව ඔහුගේ ප්‍රකාශනයන්ගෙන් සනාථ කර ගන්නට අපට අවස්ථාව සැලසෙනවා.

නමුත් මා ඔබට මේ කරුණූ සඳහන් කරන්නේ මෙතෙක් ඔබ අප ගෙන ආ, සාම්ප්‍රදායික තෙමගුල පිළිබඳ දැරූ ආකල්පය සපුරාම බැහැර කර මෙම නව අදහස කර තබා ගැනීමට සිදුකරන බලකිරීමක් ලෙස නොවේ. නිදහස්ව අප ඉදිරිපත් කළ ඉහත අදහස පිළිබඳව ඔබ සිතා බැලීම පමණක් කළ යුතුයි. නමුත් කිනම් අරුතකින් ගත්තද වෙසක් පොහෝය අධ්‍යාත්මික ශික්ෂණයක් ගොඩනගාගැනීම සඳහා පදනම් කරගත හැකි ඉතාම වටිනා දිනයක් ලෙස සඳහන් කළ යුතුයි.

අද දවසේ මෙම ධර්මානුශාසනාවට මාතෘකා වශයෙන් තබාගත් ගාථා පාඨය වෙත අපගේ අවධානය යොමුකරන විට “ පින් කළ පුද්ගලයකු මෙලොවදි සිදුකළ කුසල කර්ම අනුස්මරණයෙන් සතුටු වෙයි.

පරලොවදි විපාකානුභාවයෙන් සතුටුවෙයි. දෙලොවදිම සතුටුවෙයි. තමාගේ විශුද්ධ වූ පුණ්‍යකර්මය දැක්මෙන් හෙතෙම මෙලොවදි සතුටුවෙයි.

පරලොවෙදීද බොහෝ සෙයින් සතුටු වෙයි” බුදුරජාණන් වහන්සේ සිදු කළ මෙම උතුම් මග පෙන්වීම අධ්‍යාත්මික ශික්ෂණයක් ගොඩනගා ගැනීම සඳහා සිතන බෞද්ධයාගේ සිත තුළ ඒ පිළිබඳ කැමැත්ත වර්ධනය කිරීමට තරම් සමත්වන ඉතා ශක්තිමත් ඉගැන්වීමක් බව පළමුව සඳහන් කළ හැකියි.

මෙහිදී පින්කළ තැනැත්තා පිළිබඳ කථා කිරීමට පෙරාතුව පින යනු කුමක්ද යන්න පිළිබඳව නිරවුල් අවබෝධයක් ලබා ගැනීම ප්‍රයෝජනවත් වේ. බොහෝ විට චිත්තංපුනාතිති පුඤ්ඤං යනුවෙන් සිත තුළ ඇතිවෙන සතුට පිනායාම , පින ලෙස සරලව විග්‍රහ කර ගැනීමක් සිදු කර ගනු ලබයි. එහෙත් පාලි භාෂාවේ පුනාතිති යන වචනය තුළ අර්ථ දැක්වෙන්නේ පොළනවා යන අදහසයි. සහල් හෝ වෙනත් ධාන්‍ය වර්ගයක් පෙළීමෙන් අප බලාපොරොත්තු වන්නේ පිරිසිදු කර ගැනීමයි.

ඒ අනුව චිත්තං පුනාතිති පුඤ්ඤා යන පාඨයෙහි නිවැරැදි අරුත විය යුත්තේ සිතෙහි ඇතිවන පිරිසිදු භාවය පින යනුවෙනි . එවැනි පිරිසිදු සිතක් තියෙන පුද්ගලයාට ලෝභ, ද්වේශ , මෝහ සිත තුළින් ක්‍රමයෙන් පහව යන විට ඉදමෝදති මෙලොව සතුට ද පෙච්ච මෝදති පරලොව සතුට ද තවත් පින්කම් කරනු ලැබුවේ යැයි කියා මෙලොවදි හා පරලොවදී අත්මිදෙන්නට හැකියාව ලැබේ.

විශේෂයෙන්ම වෙසක් පොහොය දිනයෙහි අප සිදුකරනු ලබන දෑ අපි සිතන දෑ අපි කථා කරන දෑ සිත පිරිසිදු භාවයට පත්වන දේවල් වුවහොත් පමණක් ඒ තුළින් අපට මෙලොව පරලොව සතුටු විය හැකි පිනක් අපට සිදුකර ගත හැකිවනවා.

ඔබ දන්සල් තුළ හෝ භික්ෂු සංඝයා වහන්සේට හෝ දුගී මගී යාචකයන්ට හෝ අද දවසේ ලබා දෙන දානය අවසානයේ ඔබ විඳිය යුත්තේ සාමාන්‍ය පුහුදුන් සතුටක් නොව ලෝභ ද්වේශ මෝහ දුරුකිරීමෙන් ඇතිවෙන අධ්‍යාත්මික තෘප්තියයි. එහි කාමයන් නොතිබිය යුතුයි.

දන්සල් දීම වැනි සංස්කෘතියක් ලෝකයේ පවතින එකම රට ලංකාවයි. නමුත් පෙරට වඩා එය සංකර භාවයකින් යුක්තව අධ්‍යාත්මික පැතිකඩ අමතක කර තබා සිදුකරන ක්‍රියාවක් බවට පත්වීමකට ඉඩ නොදිය යුතුයි. ඒ තුළ වාදනය කරන ගීත අපගේ අධ්‍යාත්මික ශික්ෂණයට හානි කර එවා නොවිය යුතුයි.

ඔළුබක්කන් නැටවීම වැනි ක්‍රියාවන් මෙම උතුම් පින්කම සමඟ සම්බන්ධ කර ගැනීමෙන් දන්සල තුළ පවතින අධ්‍යාත්මික බව සපුරාම විනාශ වී ගොස් වෙසක් ‘ festival’ යන සංකල්පය කරා ගමන් කරනවා දකින්න පුළුවන්. එය අපේ සංස්කෘතියට නොගැලපෙන්නක් බව අපේ අදහසයි.

නියම ආකාරයට පින සිද්ධ කළහොත් දන්සල හෝ සීල සමාදාන වැඩසටහන හෝ අවසානයේදී පමණක් නොව ඒ පිළිබඳව සිතන සැම විටමත් එහි ආනිශංස බලයෙන් සුගතීන්හි ඉපිද ඒතුළදීද තෘප්තිමත් වීමට සක්‍යතාවයක් පැවතිය යුතුයි.

එසේම වෙසක් පොහොය දිනයෙහි අප ප්‍රමුඛස්ථානය දිය යුත්තේ ප්‍රතිපත්ති පූජාමය අංශයට බව අපගේ අදහසයි. ආමිස පූජාව සපුරා ප්‍රතික්ෂේප කළ යුතුය යන්න ඉන් අදහස් වන්නේ නැහැ.

පවුලේ සියලු දෙනාම පාහේ සිල් සමාදන් වීම මේ උතුම් දිනයේ සිදුකළ හොත් ඒ තුළින් ඔබට මෙලොව පරලොව දෙකෙහිදීම සතුටු විය හැකි පිනක් සිදුකර ගැනීමට හැකිවනු නියතයි.

ඔබ සැමට තෙරුවන් සරණින් යහපතක්ම වේවා!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.