බුදුරජාණන් වහන්සේගේ චාරිකා
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක මහෝපාධ්‍යාය,
රාජකීය පණ්ඩිත
ශාස්ත්‍රපති පල්ලත්තර සුමනජෝති නා හිමි
මා
මේ ලිපිය ලිවීමට අදහස් කළේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණ
අතර වැඩිදෙනා නොදන්නා සුවිශේෂ ගුණයක් හෙළි කිරීමටයි. අපි හැම දෙනකුම
ඇවිදීම, චාරිකාව යන ඉරියව්ව අනුගමනය කරමු. එහෙත් ලොවුතුරා බුදුවරයන්
වහන්සේ නමකගේ චාරිකාව අපේ චාරිකාවලට වඩා හාත්පසින්ම වෙනස් වේ.(මේ ගැන
දැනගන්න දීඝ නිකාය අට්ඨ කථාවේ අම්බට්ඨ සූත්‍ර විස්තරය කියවන්න) එහි
විස්තර කරන පරිදි බුදුරදුන්ගේ චාරිකා විලාසය හෙවත් ගම් නියම්ගම්වල
සැරිසැරීම දෙවැදෑරුම් වේ. 1. තුරිත චාරිකා, 2. අතුරිත චාරිකා යැයි එය
දෙයාකාරයි. බුදුන්වහන්සේගේ පඤ්චවිධ දින චරියාවේ රාත්‍රී පශ්චිම යාම
කෘත්‍ය අතර අවසන් කෘත්‍යය මහාකරුණා සමාපත්තියට සමවැදී පැයක් පමණ කාලයක්
ගතකොට ඉන් නැගී තමන් වහන්සේගේ් උපකාර අවශ්‍ය ලොව සිටින පුද්ගලයා
කවරහුදැයි දිවැසින් බැලීමයි. එසේම දාවල පසුබත් කිසෙන් පසු ද ගඳකිළියට
වැඩ විවේකීව වැඩහිඳ මහාකරුණා සමාපත්තියට සමවැදී ඉන් නැඟී ලොව බලති.
මෙසේ මේ දෙවාරයේම ලොව බලා තමන්ගෙන් උදවු අවශ්‍ය පුද්ගලයකු නුවණ දැළට
හසු වූ විට එකෙනෙහි ම ඔහු කරා එළඹ ඔහුට හෝ පිරිසක් නම් ඒ පිරිසට හෝ
පිහිට වන සේක. මෙසේ ඒ ඒ අවස්ථාවල ඒ ඒ ස්ථානවලට වැඩමකරන පිළිවෙළයි මෙහි
චාරිකා යනුවෙන් දැක්වෙන්නේ. පින් මෝරා ගිය පුද්ගලයන් උන්වහන්සේගේ නුවණ
දැළට හසු වූ විට ඔහු ළඟ සිටියත් දුර සිටියත් ඔහු කරා වහා වැඩිය යුතු
නම් තුරිතචාරිකාවෙන් වැඩම කොට ඔහුට හෝ ඔවුන්ට දහම් දෙසා සිවුසස් අවබෝධ
කරවති. මහාකාශ්‍යප හා අංගුලිමාල සොයා වැඩියේ තුරිත චාරිකාවෙනි. ලෝ
වැසිය, කෙරෙහි අනුකම්පාවෙන් පිණ්ඩපාතය සඳහා දවසක් දවසක් පාසා ගම්
නියම්ගම් නගර සිසාරා පිළිවෙළින් යොදුන වශයෙන් පියෙවි ගමනින් වැඩම කිරීම
අතුරිත චාරිකාවයි. එයට සපදාන චාරිකාවයි කියාද කිය හැකියි.
මෙම ක්‍රම දෙකෙන් චාරිකාවේ වැඩම වන බුදුරජාණන් වහන්සේ දඹදිව මහාමණ්ඩලය,
මධ්‍ය මණ්ඩලය හා අන්තර් මණ්ඩලය යන මණ්ඩල තුනෙහි වරින්වර සැරිසරණ සේක.
මෙයින් මහා මණ්ඩලය යොදුන් (නව යොජන සතිකං) නවසියයකි. මධ්‍ය මණ්ඩලය
යොදුන් (ඡ යොජන සතිකං) තුන් සියයකි. අන්තර් මණ්ඩලය යොදුන් (තියොජන
සතිකං) තුන්සියයකි. මහ මණ්ඩලයෙහි මෙසේ සැරී සරන්නට නවමසක් ද මධ්‍ය
මණ්ඩලයෙහි සැරිසරන්නට අටමසක්ද අන්තර් මණ්ඩලයෙහි සැරිසරන්ට සත්මසක් ද
ගතවන බව සඳහනි. (ධර්ම ප්‍රදීපිකාව බලන්න) යම් අවස්ථාවක බුදුන් වහන්සේට
මහා මණ්ඩලයෙහි සැරිසරන්නට සිත් වුවහොත් වප් පුන් පෝ දවස් මහා පවාරණයෙන්
වස් පවරා පෑලවිය (පසළොස්වක දිනට හෝ මාසෙපෝය දිනට) දිනට පසුදා මහා
භික්ෂූ සංඝයා පිරිවරාගෙන විහාරයෙන් නික්ම නවසියයක් යොදු නැති මහා
මණ්ඩලයෙහි චාරිකා කොට නව මසකින් නිමා කරන සේක.
බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩින්නට පෙරාතුව උන්වහන්සේ චාරිකාවේ වඩින
පුවත යොදුන් සියයක් ප්‍රදේශයෙහි පැතිර යයි. ඒ බව අසන මහජනයා අතර
‘බුදුන් වඩිනවා, බුදුන් වඩිනවා’ යන මහා ඝෝෂාව තුඩ තුඩ පැතිරයයි.
කිසියම් මණ්ඩලයකට බුදුන් වඩින බව හෙවත් සැරිසරණ බව සැලවත්ම ඒ මණ්ඩලයෙහි
මහාජනයා පමණක් නොව අසල මණ්ඩලවල මහාජනයා ද තම තමන්ගේ දේශයේදී බුදුන්
පුදන්නට ඒ ඒ දිශාවෙන් ආහාර පාන, රෙදිපිළි, ගඳ මල් ආදිය රැගෙන අවුත්
බුදුන් කොහිද? බුදුන් කොහිද? යනුවෙන් අස අසා උන්වහන්සේ සොය සොයා ඇදෙති.
උන්වහන්සේ සමීපයට පළමුවෙන් ළඟාවිය හැකි වූ අයට දානයට ආරාධනා කරන්නට
අවකාශ ලැබෙතත් පමාවන්නන්ට අවකාශ නොලැබේ. ඈත දුරසිට සිය ගණන් ගැල් පුරවා
ගෙනෙන ලද සිවුපසය පිර වූ ගැල් සාත්තු ගව්වක් පමණ ප්‍රදේශයෙහි එකින් එක
පැහැර සිිටින සේ නවතා තබති. මෙසේ මෙහි දී බුදුරජාණන් වහන්සේට මෙන්ම
මහාසංඝයාට ද ලැබෙන මහා ලාභ සත්කාර අපමණ වේ. මෙසේ ලාභයෙන් හා යසසින්
අගතැන්පත් වූවන් අතර භික්ෂු සංඝයා හැර වෙනත් කිසිම පිරිසක් ලොව මම
නොදනිමියි බුදුන් වහන්සේම චුන්දට වදාළේ ඒ නිසයි. ‘ස්වාමීනි, මහවැස්සක්
වටකල්හි ගංගා දෙකකින් එක්ව ගලා බස්නා මහා ජලකඳ නිසා පහත් තැන් ජලයෙන්
පිරී ඉතිරී දෙගොඩ තලා ගමන් කරන්නාක් මෙන් බුදුන් වහන්සේ යම් යම් තැනෙකට
චාරිකාවෙහි වඩින්නේ ද බ්‍රාහ්මණ ගෘහපතියෝ ද ගම් නියම්ගම් ජනපද වැසියෝ ද
ඔබවහන්සේ වඩිනා දෙසටම යන්නේ ඔබවහන්සේගේ සුසිල්වත්භාවය හා ප්‍රඥා මහිමය
නිසායැයි නාගිත තෙරණුවන් ප්‍රකාශ කළේ ඒ නිසයි.
මධ්‍ය මණ්ඩලයෙහි හා අන්තර් මණ්ඩලයෙහි පෙරමෙන් සැරිසරණ බුදුන් වහන්සේට
ඒවායෙහි දී ද ලැබෙන සත්කාර මහා මණ්ඩලයෙහි දී මෙන්ම කිසි අඩුවක් නැත.
එහිදී බුදුන් වහන්සේ ඒ ඒ ගම්වල දිනක් දෙකක් තුනක් වැඩ වෙසෙමින්
දානමානාදිය පිළිගෙන මහාජනතාවට අනුග්‍රහ දක්වමින් ධර්ම දේශනා කරමින්
ඔවුනට නිවන් සැප ළඟාකර ගැනීමට පිහිට වන සේක. මෙසේ කුසල් වඩාගැනීමට
ඔවුනට පිහිට වෙමින් මහාමණ්ඩල චාරිකාව නවමසකින් සමාප්ත කරන නමුත් ඇතුළු
වස් කාලය තුළ භික්ෂූන්ගේ සමථ විදර්ශනා භාවනා තරුණ වී නම් (මාර්ගඵලබෝධයට
තරම් මුහුකුරා නොතිබුණි නම්) බුදුන් වහන්සේ මහාපවාරණයෙන් පවාරණය නොකොට
ඉල්මස පුර පෝදා වස් පවාරණය කොට පළමු මහා භික්ෂු සංඝයා සමඟ විහාරයෙන්
නික්ම සයසියයක් යොදුනැති මධ්‍ය මණ්ඩලයෙහි සැරිසරා අටමසකින් පෙරලා වඩින
සේක. වෙනත් කරුණක් සඳහා මධ්‍ය මණ්ඩලයෙහි සැරිසරනු කැමැත්තේ නම් සිවු
මසක් වැස ඉන් නික්මී වඩින සේක. මෙකී පරිදිම සෙසු මණ්ඩල දෙක්හි මෙන්
මධ්‍ය මණ්ඩලයෙහි දී ද සත්කාර නොවඩුව ලැබේ. මෙසේ ලෝකයාට අනුග්‍රහ පිණිස
පෙරමෙන් මධ්‍ය මණ්ඩල චාරිකාව ද අටමසකින් නිමා කෙරේ.
කිසියම් අවස්ථාවක සිවු මස ම වස් එළඹි භික්ෂූන් මෙන්ම හික්මවිය යුතු
නොපැසුණු ඉඳුරන් ඇති වෙනත් පුද්ගලයෝ හෝ වෙත් නම් ඔවුන්ගේ ශ්‍රද්ධාදී
ඉන්ද්‍රියයන් ගේ් පරිපාකය හෙවත් බිහිකිරීම සඳහා තවත් මසක් දෙමසක්
තෙමසක් සිවුමසක් පමණ කාලයක් එහිම වැඩ හිඳ ඔවුන් හික්මවා වඩින සේක.
බුදුන් වහන්සේ මෙසේ ත්‍රිවිධ මණ්ඩලයන්ගෙන් කිසියම් මණ්ඩලයක චාරිකාවේ
යෙදෙන්නේ සිවුරු පිරිකර ආදී කිනම් ලාභාපෙක්ෂාවකින් ඒවා සෙවීම අරමුණු
කොට නොවේ. දුගී, මගී, වැඩිහිටි, රෝගී කිසිවෙක් වේ නම් ඔවුහු තමන් වෙතට
පැමිණ තමන් වහන්සේ දැක බලා සතුටුවෙද්ද? නොයෙසේ ව තමන් වහන්සේ ගම්
නියම්ගම්, ආදියෙහි සැරිසරණ විට මහජනයාට තමන් දැකගන්නට ලැබීමෙන් සිත්
පහදවා ගනිති. මල් ආදිය පුදා පින් රැස්කර ගනිති. සමහරු බත් හැන්ඳක් බෙදා
පින් රැස්කර ගනිති. සමහරු මිථ්‍යා විශ්වාස දුරුකොට සම්‍යක් දර්ශනය වැලඳ
ගනිති. එසේ කිරීම ඔවුන්ට සසර දිගු කලක් හිත සැප පිණිස හේතු වේ යන
කාරුණික චේතනාවෙනි.
බුදුරජාණන් වහන්සේ ජනපද චාරිකාවේ යෙදෙන්නේ ඉහත සඳහන් කරුණුවලට
ප්‍රමුඛත්වය දෙමින් වුවත් වෙනත් කරුණු ද උන්වහන්සේගේ චාරිකාව සඳහා
උපයෝගී කරගෙන තිබේ. 1. ජඩ්ඝා විහාර වසෙන ශරීර ඵාසුකත්ථාය (ඇවිදීමෙන්
සිරුරට විවේකයක් ලබාදීම) , 2. අට්ඨුප්පත්ති කාලං අභිසඩ්ඛනතාය
(අර්ථොත්පත්තියකට හෙවත් ධර්ම දේශනාවකට කිසියම් හේතුවක් ඇතිකර ගැනීමට)
3. භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤාපනත්ථාය (භික්ෂූන්ට ශික්ෂාපද පැනවීම සඳහා)
4. බොධනෙය්‍ය සත්තෙ බොධනත්ථාය (ශ්‍රද්ධාදි ඉඳුරන් මුහුකුරා ගිය භාවනාව
මුදුන්පත් වීමට ආසන්න පුද්ගලයන් ළඟට වැඩ චතුරාර්ය සත්‍ය ධර්ම පිළිබඳ
අවස්ථානුකූ®ලව උපදෙස් දී ඔවුන්ට නිවන් පසක් කර ගැනීමට පිහිටවීම) යන
කරුණු හතර අරමුණු කරගෙන ද අමතර අවස්ථාවල චාරිකාවේ වඩින සේක.
වද 1. මේ සත්ත්වයෝ බුදුන් සරණයන්නෝ වෙති, 2. මේ සත්ත්වයෝ දහම් සරණ
යන්නෝ වෙති, 3. මේ සත්ත්වයෝ සඟුන් සරණ යන්නෝ වෙති, 4. එසේම මහා දහම්
වැස්සකින් සිවුවණක් පිරිස සන්තර්පනය කරන්නෙමි යන අදහසින් ඔවුනට තෙරුවන්
සරණ යාමට පිහිටවීම සඳහා හා ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාවක් සලසා දීම
සඳහා යන කරුණු හතර නිමිති කරගෙන ද චාරිකාවේ හැසිරෙන සේක.
තවද කරුණු පහක් අරමුණු කරගෙන සත්ත්වයන් කරා කරුණාවෙන් වඩින බුදුන්
වහන්සේ 1. මේ සත්ත්වයන් ප්‍රාණඝාතයෙන් වළක්වන්නෙමි, 2. මේ සත්ත්වයෝ
අදත්තාදානයෙන් වළක්වන්නෙමි, 3. මේ සත්ත්වයෝ කාමයෙහි වරදවා හැසිරීමෙන්
වළක්වන්නෙමි, 4. මේ සත්ත්වයෝ මුසාවාදයෙන් වළක්වන්නෙමි, 5. මේ සත්ත්වයෝ
සුරාමේරය මජ්ඡපමාදට්ඨානයේ යෙදීමෙන් වළක්වන්නෙමි. යන කරුණු පහෙන්
සංග්‍රහ කිරීම සඳහා ද බුදුන් වහන්සේ චාරිකාවේ හැසිරෙන සේක.
තවද කරුණු අටක් අරමුණු කරගෙන චාරිකාවේ සැරිසරණ බුදුවරු මේ සත්වයෝ
ප්‍රථමධ්‍යානය ලබන්නෝය, 2. මේ සත්ත්වයෝ ද්විතීයද්ධ්‍යානය ලබන්නෝය, 3.
මේ සත්ත්වයෝ තෘතීයද්ධ්‍යානය ලබන්නෝය, 4. මේ සත්ත්වයෝ චතුර්ථද්ධ්‍යානය
ලබන්නෝය, 5. මේ සත්ත්වයෝ ආකාශානඤ්චායතන සමාපත්තිය ලබන්නෝය, 6. මේ
සත්ත්වයෝ විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ලබන්නෝය, 7. මේ සත්ත්වයෝ
ආකිඤ්ඤචඤ්ඤායතන සමාපත්තිය ලබන්නෝය, 8. මේ සත්ත්වයෝ නෙවසඤ්ඤා
නාසඤ්ඤායතන සමාපත්තිය ලබන්නෝය. යනුවෙන් ඒ ඒ සත්ත්වයන් අෂ්ට සමාපත්ති
ලබන බව දිවසින් දැක ඔවුන් කරා චාරිකාවේ වැඩ අනුග්‍රහ දක්වන සේක.
තවත් කරුණු අටක් අරමුණු කරගෙන බුදුන් වහන්සේ චාරිකාවේ වඩින බව සඳහන්
වේ. 1. මේ මේ සත්ත්වයෝ සොතාපත්ති මාර්ගයට මෙන්ම, 2. සොතාපත්ති ඵලයට ද
පැමිණෙන්නෝය, 3. මේ මේ සත්වයෝ සකදාගාමි මාර්ගය, 4. මෙන්ම සකදාගාමි
ඵලයටද පැමිණෙන්නෝය, 5. මේ මේ සත්වයෝ අනාගාමි මාර්ගයට , 6. මෙන්ම
අනාගාමි ඵලයටද පැමිණෙන්නෝය. 7. මේ මේ සත්ත්වයෝ අර්හත් මාර්ගයට මෙන්ම
අරිහත් ඵලයටද පැමිණෙන්නෝය. යනුවෙන් සතර මඟ සතර ඵලයට පත්වන සත්ත්වයන්
දැක ඔවුන් කෙරෙහි කරුණාවෙන් ඔවුන්කරා චාරිකාවේ වඩින සේක.
මෙකී අතුරිත චාරිකාව තවත් දෙකොටසකට බෙදා දක්වා තිබේ. එනම්, අනිබද්ධ
චාරිකා හා නිබද්ධ චාරිකා යන දෙකයි. අනිබද්ධ චාරිකා නම් චාරිකාවේ
යෙදෙනවිට ගම්, නියම්ගම්, නගර ආදියෙහි පිළිවෙළින් චාරිකා කිරීමයි.
නිබද්ධ චාරිකා නම්, චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට නුවණ මුහුකුරා ගිය
එක් පුද්ගලයකු අරමුණු කරගෙන පවා ඔහු වෙතට වැඩම කිරීමයි. මෙසේ
බුදුරජාණන් වහන්සේ රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි මහාකරුණා සමාපත්තියෙන්
නැගී දසදහසක් ලෝකධාතුව තුළ මහාකරුණා නමැති ඤාණ දැළ එලා චතුරාර්ය සත්‍ය
ධර්මයන් අවබෝධ කර ගැනීමට තරම් නුවණ මුහුකුරා ගිය වෛනෙයජන නමැති ඥාතීන්
පිළිබඳව කරුණාවෙන් බලන සේක.
එස් බලන බුදුන් වහන්සේගේ ඤාණ දැළට කිසියම් පින් ඇති සත්ත්වයකු හසු
වුවොත් ඔහුට මාර්ගඵල අවබෝධයට හේතු සම්පත් තිබේද? කියා බලා හේතු සම්පත්
තිබේ නම් ඒ පුද්ගලයා ලොව කොතැනෙක සිටියත් ඔහු පිළිබඳ දතයුතු සියලුම
කරුණු නුවණින් දැක බලා ඔහු කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කොට ඔහුට පිහිට වන
සේක. මේ උත්තරීතර ගුණය බුදුවරයකුට හැර ලොව අන්කිසිදු සත්ත්වයකු තුළ
නොමැති බව සලකන්න.
සබ්බේ සත්තා භවන්තු සුඛතත්තා |