UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සුදුසු ඇසුර

අද අපගේ ධර්ම දේශනාවෙන් කල්‍යාණ මිත්‍ර සේවනයේ ඇති වැදගත් කම පිළිබඳ හඳුන්වා දෙන්නටයි අදහස් කරන්නේ. අපගේ ජීවිතයේ පියවරෙන් පියවර, මොහොතින් මොහොත සුමඟට යොමුවීමට දියුණුවට පත්වීමට අවශ්‍ය මූලික අංගයකි. කලණ මිතුරු ඇසුර, මෙහි ඇති වැදගත්කම පිළිබඳ බුදුරජාණන් වහන්සේ විවිධාකාරයෙන් පෙන්වා වදාළහ. අපගේ මාතෘකා ගාථා රත්නයත් එබඳු එක් අවස්ථාවකි. අපි එහි සරල අදහස විමසා බලමු.

කල්‍යාණ මිත්‍ර සේවනය පිළිබඳව සහ එහි වටිනාකම පිළිබඳ අපගේ බුදුරජාණන් වහන්සේ විවිධාකාරයෙන් පෙන්වා වදාරා තිබෙනවා. ඒ උතුම් වූ කල්‍යාණ මිත්‍ර පණ්ඩිත , සත්පුරුෂ ඇසුර අතිශය දුර්ලභ කරුණකි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වූ මෙකල අපට එම දුලභ අවස්ථාව විවිධාකාරයෙන් හිමිව පවතිනවා. එහෙත් සැම කල්හිම අපට එම වාසනාව ලැබෙන්නේ නැහැ.

පළමුව අපි කල්‍යාණ මිත්‍රයා හදුනාගන්නට අවශ්‍ය වෙනවා. එහෙත් එය අපට පහසු කරුණක් නම් නොවෙයි. මේ සංකීර්ණ සමාජ සංස්ථාව තුල ව්‍යාජ අදහස්, ක්‍රියාකාරකම් බහුල පුද්ගලයන් සිටින නිසා නිවැරැදිව පුද්ගලයන් හදුනා ගැනීම ඉතාම අපහසු කරුණක් වෙනවා. ඒ සඳහා ටික කලක් ගතවෙනවා.

ඇතැම් විට තමන්හටත් නොදැනීම නොමඟට යොමුවන අවස්ථා තිබෙනවා. කෙසේ නමුත් මිතුරන් සතුව පවතින ලක්‍ෂණ අපි හඳුනාගෙන තිබුණහොත් එය වැදගත් ;වනවා. එය අපට බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා. “ මහණෙනි! කල්‍යාණ මිතුරා යනු කවරෙක්ද? යම් පුද්ගලයෙක් සැදැහැවත් වේද? සිල්වත් වේද? බොහෝ දහම් දැන උගත්තේ වේද? පැනවත් වේද? ත්‍යාගවන්ත වේද? ඔහුම කල්‍යාණ මිත්‍රයා වෙයි. ඔහුගේ ඇසුරු කිරීම භජනය කිරීම සමගිව සිටීම, විශ්වාසයෙන් සිටීම යහපත් වේ. “ මේ ආකාරයට අපට ඇසුරට යෝග්‍ය පුද්ගලයන් ධර්මානුකූලව සොයාගන්නට හැකිවෙනවා.

එමෙන්ම නිසරු දෙය නිසරු වශයෙන්ද සරු දෙය සරු වශයෙන්ද අයහපත අයහපත ලෙසද යහපත යහපත ලෙසද පාපය පාපය ලෙසද පින පින ලෙසද අකුසලය අකුසලය ලෙසද කුසලය කුසලය ලෙසද නිවැරැදිව හදුනාගත් වටහාගත් නිවැරැදිව අවබෝධ කරගත් යම් කෙනෙක් සිටිනවා නම් ඔවුන් පණ්ඩිතයන් වෙනවා. ඔව්හුම කල්‍යාණ ගුණ ඇත්තෝ වෙනවා.

සැමගේ සිත් සනසන තම ගෞරවය රැකෙන සැමට සැමතින් සැනසීම උදාකරන උදාර ක්‍රියාවන්ම කිරීමට උනන්දු වනවා. මෙලෙස කායික ඍජු භාවයට පැමිණෙනවා. නුවණැති සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයාගේ කායික,, වාචසික , මානසික සියලු ක්‍රියාවන්ම පිරිසුදු වනවා.

සත්පුරුෂයා තුළ හදුනාගත හැකි තවත් බොහෝ ගුණ තිබෙනවා. නීතියට විනයට සීලයට යුක්තියට ඔහු ගරු කරනවා. අයුක්තිය අසාධාරණය හමුවෙහි ඔහු හිස නමන්නේ නැහැ. එහිදී ඔහු ඍජුව ක්‍රියා කරනවා. එමෙන්ම වරද වරද වශයෙන් ඔහු දකිනවා. ආයත සංවරයේ පිහිටා වැඩ කටයුතු කරනවා. ධනය බලය, නිලය , කුලය හේතුවෙන් දුසිරිතයට දුරාචාරයට යොමුවීමක් නැහැ. අන්‍යයා වරද පෙන්වා දෙන කල්හි කිපෙන්නේද නැත. එහිදී ඔහු වඩාත් සතුටුට පී‍්‍රතියට , ප්‍රමෝදයට පැමිණෙනවා. තමනට ධන නිධානයක් පෙන්වා දුන්නාක් මෙන් සිතා, වඩාත් පී‍්‍රතිවෙනවා. මෘදු , මොලොක් ගුණයෙන් යුතු වනවා. ඔහු හැම විටම මනා සිහිනුවණින් සියලු කටයුතු කරනවා.

සත් පුරුෂයා ලොවටම ක්‍ෂාන්තියකි. ක්‍ෂේම භූමියකි. අඳුර පරදවා , තාරකා ආලෝකය අභිභවනය කර උදාවන පිරිපුන් චන්ද්‍රයා බඳුය. අඳුර දුරු කොට ලොවට ආලෝකය සපයන හිරුවැනිය. යම් කෙනෙක් ඔහුගේ ඇසුරට , සේවනයට පැමිණෙනවා නම් ඒකාන්තයෙන්ම ඔහුට යහපතක්ම යි සිදු වනවා. පුර පස සඳ මෙන් ඔහුගේ අභිවෘද්ධිය වැඩෙනවා. ගුණ නුවණින් දියුණු වෙනවා.

ඇසුරට යෝග්‍ය කළ්‍යාණ ගුණ ඇති මිතුරන් සිව් දෙනෙකු පිළිබඳ අපට සිගාලෝවාද සූත්‍රයෙන් හඳුනා ගන්නට හැකිවෙනවා. උපකාරක මිත්‍රයා සමාන සුඛ, දුක්ඛ, අත්ථක්ඛායි සහ අනුකම්පක යනු එම සිව් දෙනයි.

ඔවුන් තුළ පවත්නා විශේෂ ගති ලක්‍ෂණ අනුවයි මෙම වර්ග කිරීම සිදුවන්නේ. ඒ පිළිබඳවත් විමසා දැන ගැනීම අපට බොහොම වැදගත් වෙනවා.

පළමුවෙන් උපකාරක මිත්‍රයා හඳුනාගනිමු. යම් ප්‍රමාදයක් හේතුවෙන් සිය මිතුරාට හානියක් සිදුවන්නේ නම් හෝ ඔහු වැරැදි ක්‍රියාවනට යොමුවන්නේ නම් එයින් මුදවා ගැනීමට කටයුතු කරනවා. ආරක්‍ෂාව නැති තැන ආරක්‍ෂාව සපයනවා. ඔහු සතු ජීව, අජීව, සම්පත් ආරක්‍ෂා කර දෙනවා. මිතුරාට පැමිණෙන බිය කරදර ආදිය දුරලීමට හැකි සැම වෙහෙසක්ම ගන්නවා. ඔහුගේ අවශ්‍යතා හමුවෙහි අත නොහැර හැකි පමණින් උපකාර වනවා.

සමාන සුඛ දුක්ඛ නමින් දෙවන මිත්‍රයා නම් කරනවා. ඔහු මිතුරාගේ සැපතෙහිදි සතුටුව සමීපයේ සිටිනවා. එමෙන්ම දුකෙහිදීද අත නොහැර ඉන් මිදීමට පහසුකම් සලසනවා. මිතුරාට සඟවන රහසක් ඔහු තුල නැති අතරම මිතුරාගේ සැඟ විය යුතු රහස් කිසිදා කුමන හේතුවක් නිසාවත් හෙලි කරන්නේ නැහැ. විපතේදී අතනොහැර කටයුතු කරනවා මෙන්ම යහපත වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වුවද, ක්‍රියා කරනවා. මෙම ලක්‍ෂණ ඔහුට ආවේණිකව පිහිටා තිබෙනවා.

මිතුරාගේ දියුණුව, යහපත වෙනුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කරනුයේ අත්‍ථකායි මිත්‍රයා, එමෙන්ම වරදෙහි ආදීනවය මැනවින් ;පන්වාදී වරදින් මුදවා ගැනීමටත් යහපතෙහි ආනිසංස පෙන්වාදී යහපතෙහි යෙදවීමටත් ඔහු වෙහෙසෙනවා. මෙලෙස මිතුරා කෙරෙහි අනුකම්පා පෙරටුව ක්‍රියා කරන හෙයින් හේ අනුකම්පක මිත්‍රයා ලෙස නම් කරනවා. ඔහු සතු තවත් ආවේණික ලක්‍ෂණ කිහිපයක් වනවා. සිදුවන විපතින් බේරා ගැනීමට මහත්සේ වෙහෙසෙනවා. දියුණු වේදි සතුටු ව ඒ සඳහාද උපකාර කරනවා. මිතුරාගේ අගුණ දුර්වලතා කියන්නන් දුටු කළ ඔවුනට ඇති තතු පහදා දී එසේ නොකිරීමට උපදෙස් දෙනවා. එමෙන්ම මිතුරාගේ කීර්තිය ප්‍රශංසාව අගයමින් කටයුතු කරන්නන් හමු වූ කළ ඔවුනට ප්‍රශංසා කර එය තහවුරු කරනවා. මෙපරිදි ඇසුරට සුදුසු මිත්‍රයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කර වදාරා තිබෙනවා.

අපි සෑම පින්කමක් අවසානයේ පතන්නේ නිවන් දකින තුරු සත්පුරුෂ ඇසුරම ලැබේවා කියලයි. එපමණට එය උතුම් වනවා. උතුමන්ගේ ඇසුරට යොමුවන විට තම ගුණ දහම් වැඩෙනවා.

අගුණ දුර්වලතා දුරු වනවා. සරු දහම් මොහොතින් මොහොත වැඩෙත්වා . දියුණුවම සැපතම සැනසීමම උදාවෙනවා. ඉදින් තමනට නිසි කල්‍යාණ මිත්‍ර ඇසුරක් නොලැබෙනවා නම් දැඩිව අදිටන් කර හුදෙකලාව විසීම උතුම් බවද පෙන්වා වදාරා තිබෙනවා. එබැවින් ගුණ නුවණින් උසස් කලණ මිතුරු ඇසුරම පි‍්‍රය කරමු. එයම නිවන් දකින තුරු පතමු.

තෙරුවන් සරණයි!

වෙසක් පුර අටවක පෝය

 මැයි මස 11 වන දා ඉරිදා අපර භාග 09.37 ට ලබයි.
12 වන දා සඳුදා අපරභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 12 වන දා සඳුදා ය.

මීළඟ පෝය මැය මස 19 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]