UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වන විට මේ නගරය පාලනය කළේ සේනිය බිම්බිසාර මහරජතුමා ය. ඔහුගේ පුත් අජාසත්, පිය මහ රජු මරණයට පත් කර රජ බවට පත් වූයේ ද මෙනුවර ය. බුදුරජාණන් වහන්සේට බිම්බිසාර මහ රජතුමා විසින් පුදකළ ආරාමය ද මෙම නගරයේ පිහිටි අතර උන්වහන්සේ ට මහෝපාසක අනේපිඬු සිටුතුමා මුණ ගැසුණේ මෙනුවර පිහිටි වේළුවනාරාමයෙහිදී ය. එම ඓතිහාසික පුරවරය පිළිබඳ ව විවරණයක් කරන්න.

පිළිතුර - මගධ දේශයේ අගනුවර රජගහනුවර විය. බුදු වීමට පෙර දුන් පොරොන්දුවට අනුව බුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ ද පිරිවරාගෙන මගධයේ අගනුවර වූ රජගහ නුවරට වැඩම කළහ. එහිදී උන්වහන්සේ තල් වනයෙහි සුප්පතිට්ඨ චේතියෙහි වැඩ හුන් සේක. එහිදී හමු වූ බිම්බිසාර මහරජතුමා මහානාරද කස්සප ජාතක දේශනාව අසා සෝවාන් විය. පසුදින දානය සඳහා බුදුපාමොක් මහ සඟනට රජ මාළිගයට වැඩම කරවන මෙන් රජතුමා ආරාධනා කළේ ය. දන් පිරිනැමීමෙන් අනතුරු ව බිම්බිසාර මහ රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් උන්වහන්සේ වැඩ සිටින්නට කැමැති කවර විදියේ තැනක දැයි වමසා සිටියේ ය. නගරයට වඩා දුරත් නැති වඩා ළඟත් නැති සැදැහැතියන්ට පහසුවෙන් යාම් ඊම් කළ හැකි සහ දවල් කාලයෙහි ජනාකීර්ණ නොවූ රාත්‍රියට ශබ්ද නැති හැකි තරම් නිහඬ පරිසරයක හොඳින් වාතාශ්‍රය ඇති විවේකස්ථානයක් යෝග්‍ය බව උන්වහන්සේ පැහැදිලි කළහ.

තම රාජ්‍ය නගරයේ වේළුවනය මේ සියලු අංගවලින් යුක්ත බව රජතුමාට හැඟිණි. එහෙයින් තමාට ලබාදුන් අධ්‍යාත්මික ශාන්තියට කෘතඥතාව දක්වනු පිණිස රජතුමා ‘කලන්දක නිවාපේ’ (ලෙහෙනුන් ගේ අභය භූමිය) නමින් ද පතල වූ මනරම් වේළුවනය (උණඋයන) බුදුරජාණන් වහන්සේගේ හා භික්‍ෂු සංඝයා ගේ ප්‍රයෝජනය පිණිස පූජා කරනු ලැබූ ප්‍රථම ආරාමය වූයේ මෙයයි. එක දිගට වස් තුනක් ම එහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ පසුව වස් තුනක් වැඩ සිටින අතර රජතුමා මසකට දින හයක් උපෝසථ සීලය ප්‍රගුණ කරමින්, බැතිමත් බෞද්ධයෙකු වූවාසේ ම රාජ්‍ය පාලනය ද පවත්වා ගෙන ගියේ ය.

ප්‍රශ්නය - පැරැණි දඹදිව ඉතිහාසයේ මෞර්ය යුගයේ ධර්මාශෝක නමැති සුවිශේෂී රජකු පහළ වූවා සේම ක්‍රි.ව. පළමුවන ශතවර්ෂයේ දී අශෝක රජතුමාට බොහෝ කරුණු අතින් සමගාමී රජ කෙනෙක් රාජ්‍ය විචාළේ ය. එතුමා ගේ නාමය සඳහන් කොට ශාසනික මෙහෙවර ද පැහැදිලි කරන්න.

පිළිතුර - උතුරු දඹදිව කුෂාණ රජාවංශයේ අධිරාජයා වශයෙන් සැලකෙන මේ රජතුමා ‘පුරුෂපුරය’ වර්තමාන පෙෂර්වොර් ප්‍රදේශය තම රාජධානිය වශයෙන් තෝරා ගත්තේ ය. සිව්වැනි ධර්ම සංගීතිය සඳහා දායකත්වය දැරූ මෙතුමා සැදැහැවත් බෞද්ධයකු විය. මධ්‍ය ආසියාවේ ධර්ම දූත සේවාවෙහි ආරම්භකයා ද වූ කණිෂ්ක රජතුමා බුදුසමය ඈත පෙර දිගට විහිද යාම සඳහා බෙහෙවින් දායක විය.

ප්‍රශ්නය - පහත සඳහන් අදහස් ඇතුළත් ගාථා ධර්මය කුමක්ද? යමෙකු නපුරු සිතින් කතා කළහොත් යමක් කළහොත් ගැල අදින ගවයා පිටුපස එන රියසක මෙන් දුක් කරදර ඔහු කරා ළඟා වන්නේ ය. යමකු ප්‍රසන්න සිතින් කථාව හා ක්‍රියාව කළහොත් තමා අතහැර නොයන සෙවණැල්ල මෙන් සැපය ඔහු පසුපස ම එයි. මෙම ගාථා ධර්මය සහ ඇතුළත් ග්‍රන්ථ නාමය ද සඳහන් කරන්න.

පිළිතුර - ධම්ම පද ග්‍රන්ථයෙහි එන පළමුවැනි හා දෙවන ගාථා ධර්මයෝ ය. මනෝ පුබ්බං ගමා ධම්මා, මනෝ සෙට්ඨා මනෝමයා, මනසාචේ පදුට්ඨෙන, භාසතීවා කරොතිවා, තතොනං දුක්ඛ මන්වෙති, චක්චංච වහතො පදං. මනො පුබ්බංගමා ධම්මා, මනො සෙට්ඨා මනොමයා මනසා චෙ පසන්නේන භාසතිවා කරොතිවා - තතොනං සුඛ මන්වෙති ඡායාව අනපායිනී.

ප්‍රශ්නය - බුදු දහමට අනුව කර්මය හා විපාකය පිළිබඳ කෙටිම හැඳින්වීමක් කරන්න.

පිළිතුර - කර්මය නම් ක්‍රියාවයි. විපාකය එහි ප්‍රතිඵලයක් හෙවත් ප්‍රතික්‍රියාවයි. සෑම වස්තුවකටම හෙවණැල්ලක් ඇති පරිද්දෙන් ම හැම සචේතනික ක්‍රියාවකට ම විපාකයක් ඇත. කර්මය, පැළවෙන්නට ශක්තිය ඇති බීජයක් වැනි ය. විපාකය ගසක ඵලය වැනි ය. කර්මය කුසල හෝ අකුසල වන පරිදිම විපාකය ද කුසල හෝ අකුසල වෙයි. එය සැප සොම්නස් වශයෙන් හෝ දුක් දොම්නස් වශයෙන් කර්මයේ ස්වරූපය අනුව ලැබේ. “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි”

චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා යනුවෙන් අං.නි. “නිබ්බේධික පරියාය” සූත්‍රගත දේශනාව බෞද්ධ කර්ම විග්‍රහය පිළිබඳව ඉතා ප්‍රකට වූවකි. චේතනාව කර්මයැයි බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාරති. ;ච්තනා සම්ප්‍රයුක්තව කයින් වචනයෙන් මනසින් කර්ම කෙරේ. සචේතනික (චේතනා සහිත) ක්‍රියා සියල්ල කර්ම නමින් ගැනේ.

“මානවකය සත්වයෝ කර්මය දායාද කොට ඇත්තෝ ය. කර්මය හේතු කොට ඇත්තෝ ය. කර්මය ඥාති කොට ඇත්තෝ ය. කර්මය පිහිට කොට ඇත්තේ ය. කර්මය සත්වයන් ගේ මේ උස් පහත් බව බෙදන්නේ ය. යන බුදුවදන අසා විස්තර වශයෙන් කරුණු පහදා දෙන්නැයි තොදෙය්‍යය පුත්‍ර සුභ මානවකයා කළ ඉල්ලීමට අනුව බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. ප්‍රාණඝාත හේතුවෙන් අල්පායුෂ්ක බව ද ප්‍රාණඝාතයෙන් වැලැක්මෙන් දීර්ඝායුෂ බව ලබන බව ද සත්ව හිංසා හේතුවෙන් රෝගී බව ද සතුනට දයාව දැක්වීම හේතුවෙන් නිරෝගී බව ද මානය නිසා හීන කුලයක උපත ද ආදී ලෙසින් කරන ලද කර්මයනට අනුරූප ව පුද්ගල විෂමතා දක්නට ලැබෙන්නේ යයි ද වදාළහ.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ විසින් පවත්වන ලද දම්සක් පැවතුම් සූත්‍රය දේශනාවසානයෙහි කොණ්ඩඤ්ඤ තවුසාණන්ට පිවිතුරු නිර්මල දහම් ඇස (ධම්මචක්ඛු) පහළ විය. මේ දහම් ඇස “ධම්ම චක්ඛු” යන්නෙන් පැහැදිලි කරන ධර්මය පිළිබඳ ව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර - බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන් උදෙසා ‘මාගේ චෙතො විමුක්තිය - නොසෙල්වන සුළු ය. මෙය මගේ අවසන් උපතයි. නැවැත පැවැත්මක් සිදුවන්නේ නැත. දේශනාවසානයෙහි පස්වග මහණුන් අතර ජ්‍යෙෂ්ඨතමයා වූ කොණ්ඩඤ්ඤ තවුසා හට ගැනීම ස්වභාවය කොට ඇති සියලු දේ තුළ වැනසෙන ස්වභාවය ඇත්තේ ය.(යං කිංචි සමුදය ධම්මං සබ්බතං තං නිරෝධ ධම්මං) යන්න තේරුම් ගනිමින් ධර්මාවබෝධය ලබා සෝවාන් මාර්ගඵලය අධිගමනය කළේ ය.

ප්‍රශ්නය - ප්‍රථමවරට ලෝක ඉතිහාසයේ ධර්ම ප්‍රචාරය සඳහා දූත පිරිස් මෙහෙයවා ඇත්තේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ය. බුදු සිරිත හා ශ්‍රාවක සිරිත ඇසුරෙන් පැහැදිලි කරන්න.

පිළිතුර - බෞද්ධ ශ්‍රාවක ධර්ම දූත මෙහෙවරෙහි පරමාර්ථය බහුජන හිත පිණිස සුවයයි. ඒ සඳහා ශ්‍රාවක සංඝයා මෙහෙයවීම පිළිබඳ මහාවග්ග පාලි ග්‍රන්ථය උපුටා දක්වන මෙම ඓතිහාසික සිද්ධිය සංයුක්ත නිකායෙහි මෙසේ සටහන් කර ඇත. මහණෙනි! මම දිව්‍යමය වූත් මානුෂික වූත් සියලු බන්ධන වලින් මිදුණෙමි. ඔබලා සියලු බන්ධනවලින් මිදුනාහු ය. මහණෙනි, බහුජන හිත සුව පිණිස ලොකානුකම්පාව පිණිස චාරිකාවෙහි හැසිරෙව්. දෙනමක් එක මගකින් නොයව්. මුල යහපත් මැද යහපත් අග යහපත් අර්ථවත් ව්‍යංජනවත් සර්වප්‍රකාරයෙන් පරිපූර්ණ පිරිසුදු බ්‍රහ්ම චර්යාව ප්‍රකාශ කරව්. අල්ප වූ කෙලෙස් රජස් පිරිහෙති. ධර්මය අවබෝධ කර ගන්නෝ සිටිති. මම ද මහණෙනි! දහම් දෙසීමට උරුවේලාවෙහි සේනානී නිගමයට යන්නෙමි.

මෙම ධර්ම දූත මෙහෙවර බහුජන හිත පිණිස දෙව් මිනිසුන්ට අර්ථය පිණිස කරන ලද්දක් බැවින් ලෝකානු කම්පාවෙන් යුතු පරාර්ථචර්යාව එහි එකම අරමුණ විය. නානා තරාතිරමේ මිනිස්සු ලොව වෙසෙති. ඔවුනතර කෙළෙස් අඩු අයද සිටිති.

ධර්මය අවබෝධ කර ගැනීමට සමත් අයද මේ අතර වෙති. එබඳු අයට ධර්මය අසන්නට නොලැබීමෙන් සිදු වන්නේ අලාභයකි. පිරිහීමකි. එබැවින් ඔවුන්ට අනුකම්පාවෙන් දයා කරුණාවෙන් ධර්ම ප්‍රචාරය සඳහා චාරිකා කිරීමට ශ්‍රාවකයන් මෙහෙය වූහ. ධර්මයෙන් ජනතාවගේ ආරක්‍ෂාවරණය සැලසීම තථාගතයන් වහන්සේගේ කාර්ය බව මෙසේ ප්‍රකාශ කර තිබේ.

ධාර්මික, ධර්මරාජ, තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මය නිසාම ධර්මයට සත්කාර කර ධර්මයට ගරු කර ධර්මයට බුහුමන් කර ධර්මධ්වජ කොට ධර්මය කේතු කර මෙවැනි කාය කර්ම, වාග් කර්ම, මනො කර්ම ඇතිවිය යුතු ය. මෙවැනි ගම් නියම්ගම් ඇසුරු කළ යුතු යැයි භික්‍ෂු භික්‍ෂුණීන් උපාසක උපාසිකාවන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණය සලසා ධර්ම චක්‍රය පවත්වතී.

මේ සූත්‍රයෙන් ප්‍රකාශ වන පරිදි ධර්මයෙන් ලොවට ආරක්‍ෂාව සලසා දීම ධර්ම ප්‍රචාරයෙන් බලාපොරොත්තු වන අරමුණ ය.

තථාගතයන් වහන්සේ එය දැහැමින් රටවැසියන් රකින සක්විති රජකු මෙන් සිදුකරන බව සූත්‍රයෙහි දැක්වෙයි. ධර්මය ආරක්‍ෂා වරණය සැලැස්වීමේ ප්‍රමුඛත්වය ගන්නා හෙයින් තථාගතයන් වහන්සේ ධර්මරාජ වෙති. ධර්මය ආරක්‍ෂා වන අතර එය අවබෝධ කර ගැනීම දේශනා කිරීම පතුරුවාලීම තම තමන්ගේ ආරක්‍ෂාව පිණිස වෙයි. ශ්‍රාවක සංඝයා මේ කාර්යභාරයෙහි කොටස්කරුවන් බවට පත්කිරීමට ධර්ම ප්‍රචාරය සඳහා චාරිකාවෙහි යෙදීමට “ලැබූ අනුදැනුම” මෙසේ සඳහන් වෙයි.

“ඔබලාධර්ම ප්‍රචාරය සඳහා චාරිකාවෙහි යෙදෙව්. මමත් ධර්ම දේශනා කිරීමට උරුලොවට යන්නමි යන ප්‍රකාශයෙන් පෙනී යන්නේ තමන් වහන්සේත් “යථාවාදී තථාකාරී ගුණයෙන් යුතුව“ අනුශාසනය ක්‍රියාවෙන් ද අනුගමනය කරන බවයි. ශ්‍රාවක භික්‍ෂු පිරිසද එම අරමුණෙන් ක්‍රියා කළ යුතු බව බුදු හිමියෝ ඉන් අදහස් කළහ.

බක් අමාවක
පෝය

මැයි මස 4 වනදා ඉරිදා
අපරභාග 08.32 ට ලබයි.
5 වනදා සඳුදා අපර භාග 05.48 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මැයි මස 05 වනදා සඳුදාය

මීළඟ පෝය මැයි 12 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]