Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව

බොදුනුවා හඳුනා ගනිමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බුද්ධං සරණං ගතො හොතී
ධම්මං සරණං ගතො හොතී
සංඝං සරණං ගතො හොතී
පානාතිපාතා පටිවිරතො හොතී
අදින්නාදානා පටිවිරතො හොතී
කාමේසු මිච්ඡාචාරා පටිවිරතො හොතී
මුසාවාදා පටිවිරතො හොතී
සුරාමේරය මඡ්ඡපමා දට්ඨානා
පටිවිරතො හොතී

පින්වත්නී

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඝටීකාර සූත්‍ර දේශනාවේදී නියම බෞද්ධයා හඳුනා ගන්නා ආකාරය මෙසේ පැහැදිලි කළහ. උපාසක උපාසිකා යනුවෙන් අදහස් කරන්නේ කවරෙක්ද? කිසියම් පුද්ගලයෙකු බුදුරජාණන් වහන්සේ, උන් වහන්සේ දේශනා කළ ධර්මය, උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා වන ආර්ය මහා සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නය සරණයන්නේ නම් ඔහු හෝ ඇය උපාසකයෙක් හෝ උපාසිකාවක් වන බව දැක්වූවා. බොහෝ දෙනෙක් හිතන්නේ තමන් පරම්පරාවෙන්ම බෞද්ධ පරපුරකට අයත් නිසා බෞද්ධ කියලයි. තෙරුවන් සමීපයේ වාසය කරන්නා බෞද්ධ යනුවෙන් හඳුන්වනවා. නමුත් අපේ ඇතැම් බෞද්ධයන් තමන් බෞද්ධයන් බව පිළිගත්තත් උපාසක උපාසිකා යන වචනය ඇසීමට අකමැතියි. එය ඇතැම් කෙනකු යොදාගෙන තිබෙන්නේ උපහාසය පිණිසයි. අඩුම වශයෙන් තමන් උපාසකයෙක් උපාසිකාවක් කියල පිළිගන්න අකමැතිනම් ඒ අය තුළ බෞද්ධකමක් තිබෙනවාද කියන එක සැකයක්. මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ආශ්‍රයෙන් නිවැරදිව උපාසකයා උපාසිකාව නැතහොත් බෞද්ධයා කියා කියන්නේ කවුද? කියා හඳුනා ගන්න උත්සාහ ගනිමු.

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි මහානාම ශාක්‍යයාට උන්වහන්සේ විසින් කෙනෙක් උපාසකයෙක් හෝ උපාසිකාවක් වන්නේ කෙසේදැයි යන වග පැහැදිලි කළා. ඒ අනුව කිසියම් පුද්ගලයෙක් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යන්නේද, එය අනුගමනය කරනවාද නැතහොත් පිළිගැනීම හෝ විශ්වාස කිරීම උපාසකයෙක් වීමට හේතුවන පළමුවන කරුණයි. කෙනකු තෙරුවන් කෙරෙහි පැහැදී එය අනුගමනය කරන පුද්ගලයෙකු බවට පත් වූ පසුව තෙරුවන් හා සම්බන්ධ දෙයක් මිස වෙනත් මිථ්‍යා විශ්වාස පිටුපස ගමන් කිරීම හෝ ඒවා පිළිගැනීම කරන්නේ නැහැ. කිසිම විටකවත් ඒවා අනුගමනය කරන්නෙත් නැහැ. ඔහු නිරන්තරයෙන්ම තෙරුවන් ගුණ පමණක් සිහි කරමින් හා ඒවා අනුගමනය කරමින් තෙරුවන් සම්බන්ධ සියල්ලටම ගරු කරමින් කාලය ගත කරනවා.

තෙරුවන් සරණ ගිය පුද්ගලයා නිරන්තරයෙන්ම බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය යන ත්‍රිවිධ අනුස්සති භාවනාවන් වඩනවා. මේ නිසා ඔහුගේ සිත තුළ රාගයෙන් පිරුණු ද්වේෂයෙන් පිරුණු මෝහයෙන් පිරුණු සිතිවිලි ඇති වන්නේ නැහැ. පංචකාම වස්තූන් නිසා පෙළඹීමට පත්වන සිතක් ඇති නොවන නිසා ඔහුගේ සිත හැම වෙලාවකම යහපත මෙන්ම නිවැරදි දේ කෙරෙහි සෘජුව නැමී පවතිනවා. ඔහුගේ සිත මුළුමනින්ම වෛරයෙන් හා ව්‍යාපාදයෙන් තොරව මෛත්‍රී සහගත සිතිවිලි වලින් පිරී පවතිනවා. සමාජයේ හැම බෞද්ධයෙකුටම තෙරුවන් ගුණ භාවනාවක් වශයෙන් නිතර මෙනෙහි කරන්න හැකිනම් අපරාධ රැසක් අපේ සමාජයේ සිදුවන්නේ නැහැ නේද? සියලුම අපරාධ සිදුවන්නේ අපේ සිත අපිරිසුදු වන නිසා නේද? තිසරණයෙහි පිහිටවන විට ඇතිවන මානසික පිරිසුදු බව තමන්ට පමණක් නොවෙයි. මුළු සමාජයත් එහි යහපත් ප්‍රතිඵල බලපානවා. තිසරණයෙහි පිහිටි හැම මොහොතක්ම ධර්මයට අනුකූ®ලව කල්පනා කරමින් අයහපත් චර්යාවන් බැහැරකොට රහසින්වත් පව් නොකරන තත්ත්වයට පත්වෙන්නට සැබෑ බෞද්ධයා උත්සාහ ගන්නවා.

මේ නිසා ඔහු තුළ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් ප්‍රසාදයත් ඇතිවෙනවා. ඔහු නිරන්තරයෙන්ම සිල්වතුන් දැකීමටත් ඇසුරු කිරීමටත් රුචියක් දක්වනවා. එසේම ධර්මය ඇසීමටත් උනන්දුවෙනවා. එසේම දීමේ හා පරිත්‍යාගයෙහි උනන්දුවෙමින් කිසිදු භේදයකින් තොරව තමන්ට පරිත්‍යාග කළහැකි දෙයක් නුවණින් යුක්තව අන් අයගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මෙසේ තිසරණයෙහි පිහිටි ශ්‍රද්ධාවත් උපාසකයා හෙවත් බෞද්ධයා සිල්වතෙක් වන්නේ කොහොමද කියා බුදුරජාණන් වහන්සේ මෙසේ පැහැදිලි කළා.

ඒ අනුව යම්කිසි උපාසකයෙක් හෝ උපාසිකාවක් පන්සිල් සමාදන්ව එය ආරක්ෂා කරන්නේ නම් ඔහු හෝ ඇය සිල්වතෙක් බවට පත් වන්නේ ය. පන්සිල් ආරක්ෂා කිරීමත් අනිවාර්ය වෙනවා.

නිවැරැදි ආකාරයෙන් තිසරණයෙහි පිහිටන්නේ නම් පන්සිල් රැකීමත් සිදුවෙනවා. මේ අනුව කෙනෙක් ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම බොරුකීම, සුරාපානය යන පස් පවින් යුක්තනම් ඔහු කිසි විටෙකත් බෞද්ධයෙක් වන්නේ නැහැ.

බෞද්ධ යැයි කියන අයගේ නිවෙස්වල මේ කියන ප්‍රතිපත්ති කොතරම් දුරට ආරක්ෂා කරනවාද? අනුගමනය කරනවාද? හරියට ආගමික වශයෙන් සිදුකරන වත් පිළිවෙත් ටිකවත් දිනපතා නිවසේදී කරන්නේ කී දෙනාද? මේ අනුව නියම බෞද්ධයා ශ්‍රද්ධාවෙහි සීලයෙහි ත්‍යාගයෙහි පිහිටා ක්‍රියා කරනවා. ඒ වගේම නිතර සිල්වත් භික්ෂූන් වහන්සේලාගේ ඇසුර පි‍්‍රය කරනවා.

ධර්මය ඇසීමටත් ඇසූ ධර්මය ධාරණය කර ගැනීමටත් ධාරණය කරගත් ධර්මයෙහි අර්ථය හා ප්‍රයෝජනය සලකා බැලීමටත් අර්ථය මැනවින් අවබෝධ කර ගැනීමෙන් පසුව ඒ ධර්ම නිරන්තරයෙන්ම අනුගමනය කිරීමටත් උත්සාහ ගන්නවා.

ඇතැම් බෞද්ධයන් තුළ සැබවටම මේ ගුණ ධර්ම දකින්න ලැබෙන්නේ නැහැ. ධර්ම දේශනා කරන ස්ථානයකට ගියත් ඒ ගැන කිසිදු උඋනන්දුවක් දක්වන්නේ නැහැ. බොහෝ විට කරන්නේ කාන්තාවන්ට බණ අහන්න අවස්ථාවදී පුරුෂ පක්ෂය වෙනත් කටයුතුවල යෙදීමයි. එහෙමත් නැතිනම් ධර්මය අසන පිළිපදින අය කෙරෙහි ද්වේෂයෙන් යුක්තව කටයුතු කරනවා. සමහර අවස්ථාවලදී ධර්මය ඇසුවත් පිළිපදින්නේ නම් නැහැ. ධර්මය ඔහුන්ගේ ජීවිත වලින් ඉවත් වන විට මුළු ජීවිතයම අඳුරට පත්වෙනවා.

උපාසක උපාසිකා පිරිස අන් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්නේ කොහොමද කියන බව බුදුරජාණන්වහන්සේ මෙසේ පෙන්වා දී තිබෙනවා.

යම්කිසි කෙනෙක් ශ්‍රද්ධා, සීල, චාග යන ගුණ ධර්මයන්හි පිහිටා අන් අයටත් ඒ ගුණ ධර්මයන් ප්‍රගුණ කිරීම සඳහා මඟ පෙන්වීමක් උනන්දු කිරීමක් දිරිමත් කිරීමක් සිදු කරනවානම් එසේම සිල්වතුන් දැකීමටත් ඇසුරු කිරීමටත් ධර්මය ඇසීමටත් ඇසූ ධර්මය සිත්හි ධාරණය කර ගැනීමටත් නොවැටහෙන තැන්පැහැදිලි කර දීමටත්, සාකච්ඡා කිරීමටත් ධර්මය පිළිපැදීමට සහාය ලබා දීමත් එය අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් කරන උතුම්ම සේවයක් බව කිව හැක.

සමහර අය හිතනවා වත් පිළිවෙත් සිදු කිරීම තුළින් පමණක් බෞද්ධයන් වනවා කියලා. බුදුහාමුදුරුවො දේශනා කළේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උසස් බවයි. බෞද්ධයෙකුට බියෙන් හා සැකයෙන් තොරව විසාරදත්වයෙන් යුක්ත බලසම්පන්න ජීවිතයක් ගත කළ හැකි වන්නේ ඔහු පංචශීලය ආරක්ෂා කරන්නේනම් පමණයි. එසේම ඔහුට නිරයෙන් මිදී සුගතියෙහි ඉපදීමට (මිනිස් ලොව හා දෙව්ලොව) උපකාරී වන්නේ ද පන්සිල් රැකීමයි. පන්සිල් රකින බෞද්ධයාට මෙලොවින් හෝ පරලොවින් බියක් හෝ වෛරයක් චෛතසික වශයෙන් දුකක් හෝ දොම්නසක් ඇතිවන්නේ නැහැ.

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට උපාසක පිරිසක් සමග අනේපිඬු සිටුවරයා පැමිණ සිටි අවස්ථාවක සැරියුත් හිමියන් ඇමතූ® බුදුරජාණන් වහන්සේ පන්සිල් ආරක්ෂා කරන තෙරුවන් කෙරෙහි අදල ශ්‍රද්ධාවෙන් යුක්ත ආජීව අෂ්ටමක සීලය සමාදන්ව වාසය කරන ගිහි උපාසකයා හෝ උපාසිකාව මෙලොව දීම පහසුවෙන්ම සියලුම අපාය හා දුගතීන්ගෙන් තොර සෝතාටිපන්න තත්ත්වයට පත්වන බව දේශණා කළා. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අනුව කිසියම් කෙනෙක් අවංකවම කැපවුනු සිතින් තිසරණයෙහි පිහිටා සීලය කුඩා දෙයකින් නමුත් කඩ කරන්නේ නැතිව කටයුතු කරන්නේ නම් ඔහුට නිසැකයෙන්ම සෝතාපන්න වෙන්න පුළුවන්. බෞද්ධයන් කී දෙනෙක් නම් මේ කාරණය මැනවින් තේරුම් ගෙන තිබෙනවාද?? අවම වශයෙන් නිවැරදිව තිසරණයෙහි වත් පිහිටා සිටිනවාද?

වරක් භික්ෂූන් ඇමතු බුදුරජාණන් වහන්සේ කිසිම දිනෙක පන්සිල් ආරක්ෂා කරන බෞද්ධයකු (උපාසක උපාසිකා) පන්සිල් රැකීම නිසා රාජ පුරුෂයන් විසින් රැගෙන ගොස් කිසිම ආකාරයේ දඩුවමක් නොදෙන බවත් එවැනි දෙයක් දක්නට හෝ අසන්නටත් නොලැබෙන බවත් දේශනා කළා. නමුත් පන්සිල් ආරක්ෂා නොකරන නිසා පුද්ගලයා විවිධාකාරයේ වද බන්ධන වලට නින්දා අපහාස වලට ලක්වන බවත් දේශනා කළා. නුවණින් කල්පනා කළොත් මේ බුද්ධ අවවාදය පමණක් වුවත් ප්‍රමාණවත් නේද? වරදින් මිදෙන්න. සැබෑ අවංක බෞද්ධයෙකු බවටත් පත්වන්න. නියම බෞද්ධයා තෙරුවන් ගැන විශ්වාසයට වඩා නැකත හා කේන්ද්‍රය ගැනත් ශාස්ත්‍ර හෝ වෙනත් වෙනත් යාග හෝම ආදිය කෙරෙහිත් විශ්වාසය තබා කටයුතු කරන්නේ නැහැ. මෙසේ තුණුරුවන්ට නිගාදෙන ආකාරයෙන් කටයුතු කරන්නේ හෝ ක්‍රියා කරන්නේ නැහැ. අන් අයගේ ආගම් වලට ගරු කිරීම බෞද්ධයෙකුගේ ලක්ෂණයක්.

උපාසක උපාසිකාවන් අතර කරුණු පහකින් යුක්ත උපාසක චන්ඩාලයන් මලකඩ බදු පුද්ගලගයන් පිළිකුල් සහගත පුද්ගලයන්ද සිත බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බෞද්ධයෙකු පිළිකුල් සහගත පුද්ගලයෙකු බවට පත්වන කාරණා හය නම්

ශ්‍රද්ධාව හෙවත් තෙරුවන් පිළිබඳ පැහැදීමක් නැති බව

දුස්සීලයෙකු වීම

සුබ නිමිති කෙරෙහි විශ්වාසය තැබීම

ක්‍රියාවට වඩා නැකතට මුල් තැන දීම

මේ සස්නෙන් බැහැර පුද්ගලයන් සොයා ගොස් ඔවුන්ගේ ඇසුර ලැබීම

මේ සස්නෙන් බැහැර පුද්ගලයන්ට සංග්‍රහ කිරීම

බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව බෞද්ධයා යනු සත්පුරුෂයෙක්. සත්පුරුෂ අසත්පුරුෂ යන දෙදෙනා අතර වෙනස උන්වහන්සේ චූලපුණ්ණව හා සප්පුරිස සූත්‍රවල පැහැදිලි කර තිබෙනවා. සෑම දෙනාම සත්පුරුසයන් මෙන් කටයුතු කර යුතුයි. සත්පුරුසයා යනු පංචශීලය ආරක්ෂා කරන ප්‍රතිපත්තිකාමී පුද්ගලයෙක් බව ධර්මයේ සඳහන් වෙයි. බුදුදහම ආමිස පූජාව ප්‍රතික්ෂේප කර නැහැ. බෞද්ධ වත්පිළිවෙත් සියල්ලම සිත සකස් කර ගැනීම මත පදනම් වනවා. ඒවා අප කළයුත්තේ තෙරුවන් කෙරෙහි දක්වන ගෞරවයක් උපහාරයක් වශයෙන් මිස යාඥවක් වශයෙන් නොවෙයි. ඒ ක්‍රියාවලි අප අපේක්ෂා කළ යුත්තේ සිත පිරිසුදු කර ගැනීම හා සිත සකස් කර ගැනීමයි. මල් පූජාව අනිත්‍යතාව හෙවත් ජීවිතය අවබෝධ කර ගන්නා භාවනාවක් බවට පත්කර ගත යුතුයි.

සැබෑ බෞද්ධයා අධර්මයෙන් කිසිවක් අපේක්ෂා කරන්නේ නැහැ. ඔහු නිරන්තයෙන්ම විවිධ හැකියාවන්ගෙන් යුක්ත (සක්කෝ) සෘජු (වූචු) වඩාත් සෘජු (සූජූ) කීකරු (සුවචො) මෘදු මොලොක් ගති වලින් යුක්ත (මුදු) මානයෙන් තොර (අනගිමානී) සතුටින් සිටින (සන්තුස්සතෝච) පහසුවෙන් පෝෂණය කළ හැකි (සුභරො) වැඩ අඩු (අප්පකිච්ඡ) සැහැල්ලුවෙන් සිටින (සල්ලකවුත්ති) සංසුන් ඉඳුරන් ඇති (සන්තින්ද්‍රියෝ) දක්ෂ (නිපක) පක්ෂ්‍යාතිත්වයෙන් තොර (කුලෙසු අනනූගිද්ධො) නැණවතුන්ගේ ගැරහුමට ලක්වන ක්‍රියාවන් නොකරන සියලු සත්වයන් කෙරෙහි මෙත්සිත පතුරුවන අයෙකි.

බුදුරජාණන් වහන්සේගේ ඉහත දේශන කීපයෙන්ම අපට සැබෑ බෞද්ධ හා උපාසකයා හා උපාසිකාව මැනවින් හඳුනා ගන්න පුළුවනි. බෞද්ධයා වනාහි ප්‍රඥාවන්තයෙක් ඔහු කරුණාව, මෛත්‍රීය, දයාව, අනුකම්පාව, ආදී මානව ගුණධර්ම වලින් පෝෂණය වු අයෙක්. ජීවිතය ලෝකය, තමා පිළිබඳව මෙන්ම සංසාරික තත්ත්වයන් මැනවින් අවබෝධ කර ගත් එලඹ සිටි සිහියෙන් හා නුවණින් යුක්තව කටයුතු කරන්නෙකි. සසර බිය දකින ඔහු පවට හා අකුසලයට ලැජ්ජාවක් මෙන්ම බියක් දක්වයි. ආමිස පූජාවෙන්ද ප්‍රතිපත්ති පූජාවෙන්ද ස්වකීය සිත පිරිසුදු කර ගැනීමට නිතර කැපවෙන බෞද්ධයා තමාගේත් අන් අයගේත් යහපත වෙනුවෙන් කටයුතු කරන්නෙකි.

සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා

ඔබ සැමට තෙරුවන් සරණයි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.