Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

චෛත්‍ය නිර්මාණය සහ එහි අංග

චෛත්‍යයක අඩිතාලම නොහොත් අත්තිවාරම පිළිබඳව ඉතා හොඳ විස්තරයක් මහා වංසයෙන් ලබා ගැනීමට පුළුවන. ඒ අනුරාධපුර මත සෑයේ අඩිතාලම පිළිබඳවයි. මහා සෑය ගොඩනංවන ස්ථානයේ බිම සත් රියනක් යටට තැණවීය. තවද එහි බර උසුලා ගෙන සිටීමට හැකිවන පරිදි ඇතුන් ලවා ගෙන්වන ලද ගල් කුට්ටි එහි අත්තිවාරමට දමා ඒවා ඇතුන් ලවා පාගවා ඒ මතුපිට තට්ටුවෙන් තට්ටුවට ගල්, පස් මැලියම් සහ යකඩ දැල් අතුරා සකස් කරන ලදී.

මහා සෑයේ අඩිතාලම සකස් කිරීම පිළිබඳව මහාවංස කතුවරයා දක්වන අදහස් මෙසේය. “යෝධයන් ලවා හුණුගල් ගෙන්වා කුළුගස්වා පොඩි කළ ගල සමින් වැසූ පතුල් ඇති ඇතුන් ලවා මැඩවීය. මේ ගල් අතරට දැමීම සඳහා නවනීත නම් මැටි විශේෂයක් යොදා ගත්තේය. එම මැටි ගෙන එන ලද්දේ රහත් සාමනේරයන් වහන්සේය. ඒ ඍද්ධි බලයෙනි. නවනීත මැටි වෙඬරු මැටි නමින්ද හඳුන්වයි. ඒවා ඇත්තේ අහස් ගඟ පොළොවට වැටෙන තැනය. ඒ බිම නිතර තෙත්ය. තිස් යොදුනක් අවට බිම මැටි සියුම්ය. ගල් අතරට මේ මැටි දමා ඒ මත ගඩොල් ඇතිර වීය. එම ගඩොල් මත ශුද්ධ වූ කර ගල්ද, ඒ මත කුරුවින්ද පාෂාණ ද ඒ මත යකඩ දැල්ද අතුරන ලදී. මේ සඳහා යොදාගත් තවත් ගල් වර්ගයක් විය. ඒවා සුවඳ මරුම්බ නමින් හඳුන්වා ඇත. මරුම්බ ගල් මත පළිගු ගල් අතුරන ලදී. ඒ මත තවත් ගල් තට්ටුවක් අතුරන ලදී. මේවා අතරට සෑම තැනම යොදන ලද්දේ නවනීත මැටියෙනි. ඒ මත්තෙහි රස ජලයෙන් යුක්ත ගිවුළු මැලියම් යෙදවීය. ගිවුළු මැලියම් යනුවෙන් හැදින්වූයේ දිවුල් මැලියම් ය. එය අඟල් අටක් ගනකම් විය. ඒ මත්තෙහි තල තෙලින් තැනූ රන් සිරියෙලින් අඟල් හතක් ගන රිදී පටක් ඇතිර වීය “ (හික්කඩුවේ සුමංගල හිමි හා බටුවන්තුඩාවේ පඬිතුමාගේ සංස්කරණය - 115 පිටුව)

මේවා අතිශෝක්ති වර්ණනා යැයි ඇතැමෙක් පැහැර කරන්නට ද පුළුවන. ඒ කෙසේ වෙතත් මෙම විස්තරයෙන් පැහැදිලි වන්නේ දාගැබක අත්තිවාරම ස්ථිරව පිහිටන සේ කරවූ බවයි.

වර්තමානයේ ගොඩනංවනු ලබන විශාල තට්ටු ගොඩනැගිලි සඳහා කණිනු ලබන අත්තිවාරම් නිරීක්‍ෂණය කිරීමෙන් මේ පිළිබඳව කෙනකුට අවබෝධයක් ලබා ගැනීමට පුළුවන.

මාලක (මේධි)

මාලක නමින් හඳුන්වන්නේ මුල් අතිත්වාරම මත ගොඩනංවනු ලබන වෘත්තාකාර වේදිකාය. මෙහි මුල් වේදිකාවේ විශ්කම්භයට වඩා ඉහල මාලක වේදිකා විශ්කම්භ කුඩාය. දාගැබෙහි ගර්භය ඉදි කරනු ලබන්නේ ඉහළම මාලකය මතය.

දාගැබක ගර්භය ඉදිරි කිරීමට පෙර මාලක ඉදි කරයි. ස්තූපයක් ගොඩ නංවන ආකාරය දක්වන දිව්‍යාවදානය (මහාභාරතයේ) ගර්භය ඉදි කිරීමට පෙර මාලක තුනක් තනන බව සඳහන් කරයි. මේ රවුම් වේදිකා මාලක නමින් හදුන්වා ඇත්තේ ඉන්දියාවේය. ලංකාවේ මාලක හඳුන්වා ඇත්තේ මේධි යන නමින්ය. සාංචි ස්තූපවල ඇත්තේ මාලක (මේධි එකක් පමණි. සාංචි ස්තූපයේ මාලකය ඉදි කොට ඇත්තේ පොළොව මට්ටමේ සිට ගර්භය ගොඩනැංවීමෙන් පසුවය.

මහාවංසයේ මාලක හඳුන්වා ඇත්තේ පුප්ඵාධාන යන පාලි වචනයෙන්ය. එයි අදහස මල් පුදන ස්ථානය යනුයි. මුල් කාලයේදී මේ මාලක මත මල් පූජා කරන ලදී. ලංකාවේ ස්තූප උසින් සහ විශාලත්වයෙන් ගොඩනංවන විට ඊට අනුරූපව මාලකද උසින් පිහිටුවා ඇත. එහි ඉහළ මාලකයේ මල් පූජා කිරීම අපහසුය. පහළ මාලක පෑගීමෙන් ඒ මතට යන විට පහළ මාලකවල මල් පෑගෙන බැවිනි. එක් කාලයකදී මේ මාලක ස්තූපය ප්‍රදක්‍ෂිණා කිරීම සඳහා ප්‍රදක්ෂිණා පථයක් වශයෙන් යොදාගත් බව ද සඳහන් වෙයි.

අනුරාධපුරයේ මාලක තුන තුන් මහල් (මාල්) පේසාව, පේසා වළලු යනුවෙන් ද හඳුන්වා ඇත. දහතුන් වන සියවසේ රචිත ග්‍රන්ථවල එය තුන් මහල් පියවසාව නමින් හඳුන්වා තිබේ. සංස්කෘත ග්‍රන්ථයක මෙය හඳුන්වා ඇත්තේ ත්‍රි මාල නමින්ය. ධර්ම ප්‍රදීපිකාවේ එය හඳුන්වා ඇත්තේ මල් පියවසා යනුවෙනි. එය පුෂ්ථාධාන යන පාලි වචනයට සමානය. මෙම මාලක මුල් කාලයේදී මල් පූජා කිරීම සඳහා කරන ලද මලසුන් යයි නිගමනය කිරීමට පුළුවන. පේසාවන් ගොඩනංවා ඇත්තේ ගඩොලින්ය. මිරිසවැටි දා ගැබෙහි මෙම මාලක හොඳින් ආරක්‍ෂා වී තිබේ . එය බොරදම් සහ වෙනත් සැරසිලි වලින් අලංකාරය.

වේදි (ගරාදි වැට )

මහාථූපයේ පහළ පේසාවේ පිට වැස්මෙහි මුදුන වටා ගරාදි වැට මෝස්තරය දැක්වෙන පටියක් ඇත. මෙම ස්තූ®පයේ මුදුන් පේසාවේ ඇත් හිස් නිමවා තිබිණි. දැන් ඒවා දක්නට නැත. අනුරාධපුර මහාථූප තුනෙහි මහානාග රජතුමා (622-625) විසින් හත්ථි වේදි ඉදිකරවා ඇත.

“ ඒ මහානාග රජ තෙම .මහ සෑ තුනෙහි සුණුකම් හා කොත් කැරළි ද කළේය ඇත් පවුරුද කරවා සිතියම් කරවි” (ම.වං . 40 පරිච්ඡේදය 26 පිට ) මහාථූපයේ ගරාදි වැටවල් තුනක් විය. ඒ තුනට වෙන වෙන නම් තිබුණි. නමුත් ඒ එකක්වත් හත්ථිවේදි නමින් හඳුන්වා නැත. ක්‍රි.ව. 39 - 67 භාතිකාභය රජතුමා විසින් මහාථූපයේ ගරාදි වැට දෙකක් කරවන ලදී “ මහා සෑයෙහි පිළිකඩ දෙකද”

(මහාවංසය 34 පරිච්ඡේදය 142 පිටුව)

මහාවංස ටීකාවේ මෙම ගරාදි වැට හඳුන්වා ඇත්තේ මුද්ධවේදිතා සහ කුච්ඡි වේදිකා නමිනි. මුද්ධ = සංස්කෘත මූර්ඨං (හිස , මුදුන) මුද්ධ වේදිකා යනු මුදුනේ පිහිටි ගරාදි වැටය. තුච්ජි යනු කුස , ගැබ , උදර යන තේරුමය. ඒ අනුව කුච්ඡි වේදිකා යනු ගර්භයෙහි කළ ගරාදි වැටය.

ගර්භය

දාගැබක ඉතා වැදගත් වූ අංගය ගර්භයයි. එය අර්ධගෝලාකාරය. ධාතු ගර්භය දාගැබෙහි මධ්‍යයෙහි පිහිටුවනු ලබයි.

ධාතු ගර්භය

අනුරාධපුර මහා සෑයේ ගර්භයේ වැඩ පටන්ගැනීමට පෙර මුදුන් පේසාව මත ධාතු ගර්භය තනන ලදී. මේ පිළිබඳ විස්තරයක් මහාවංසයේ සඳහන් වේ. ඒ අනුව ධාතු ගර්භය මංජුසාවක ආකාරයෙන් සකස් කර ඇත. මේ සඳහා මේද වර්ණ පාෂාණ උතුරුකුරු දිවයිනේ සිට රහතුන් වහන්සේලා ගෙන ඇත. එක ගල් පුවරුවක් දිගින් සහ පළලින් රියනක් අසූවකි. ඝනකම රියන් අටකි.

එක ගල් පුවරුවක් ඉහළම පේසාව මත අතුරා අනෙක් පුවරු හතර බිත්ති වශයෙන් හතර පැත්තෙන් තබා ඇත. එහි පියන සඳහා වූ ගල් පුවරුව රහතන් වහන්සේලා විසින් නොපෙනෙන සේ නැගෙනහිර දිසාවෙන් තැබූහ. ධාතු ගර්භයෙහි ප්‍රමාණය රියන් 80x80x80 කි. එනම් ඝන රියන් 512,000 කි. අනුරාධපුරයෙහි ප්‍රධාන දාගැබ් වල ධාතු ගර්භ පිළිබඳ පරීක්‍ෂණයක් කර නැත. නමුත් පුරා විද්‍යාඥයින් විසින් දාගැබ් හතරක් පිළිබඳ තොරතුරු සොයා ගෙන ඇත. සීගිරි දාගැබ එයින් එකකි. එහි එකිනෙකට උසින් පිහිටි ධාතු ගර්භ තුනකි. පඬුවස්නුවර දාගැබෙහි ධාතු ගර්භ දෙකකි. අනෙක් දාගැබ් දෙක පිහිටියේ පොළොන්නරුවේය. කිරිවෙහෙර එයින් එකකි. අනෙක් දාගැබ තෝපා වැවේ දූපතක පිහිටා ඇත.

යන්ත්‍ර ගල (කරඬු විශේෂයකි)

ස්තූප වල ප්‍රධාන ධාතු ගර්භය පිහිටුවා ඇත්තේ මුදුන් පේසාව මට්ටමින්ය. පොළොව මට්ටමට යටින් පිහිටි ගර්භයක් සහ කොටස් වලට බෙදූ භාජනවල ධාතුන් වහන්සේලා තැන්පත් කර කැත. මෙම යන්ත්‍ර ගල් පිළියෙල කොට ඇත්තේ දාගැබේ අත්තිවාරම තුළ මංගල වස්ත්‍ර තැන්පත් කිරීම සඳහාය. මංගල වස්තු තැන්පත් කරන ලද්දේ පේළි තුන, හතර හෝ පහ බැගින් සකස් කළ සම සතරැස් සිදුරු නවයක් දහයක් හෝ විසිපහක් සහිත ගල් පුවරුවක් තුළය. මේවා හඳුන්වා ඇත්තේ යන්ත්‍ර ගල් යනුවෙනි. මෙවැනි ගල් පුවරු නටබුන්ව ගිය පැරණි සිද්ධස්ථාන අසල දකින්නට ඇත.

මහා මේරු පර්වතය

පැරණි චෛත්‍යය වල ධාතු ගර්භය මැද පිහිට වූ හතරැස් ගල් ටැඹක් දක්නට ලැබේ. එයින් මහාමේරු පර්වතය නිරූපණය කරයි. මහාමේරුවට සියලු ලක්‍ෂණවලින් යුත් ගලක් තෝපාවැව දාගැබෙන් හමුවී තිබේ. එහි හතර පැත්තේ ගැටි හතකි. එය මහාමේරු පර්වතය වටකොට තිබෙන සත්කුළු පව් නිරූපය වෙයි. තවද එය තැන්පත් කර ඇත්තේ කුඩා රුකුල් ගල්තුනක් මතය. එයින් දැක්වෙන්නේ මහාමේරු පර්වතය ත්‍රිකූටයකින් නැගෙන බවයි. ගලෙහි පහත කොටස අත්තිවාරමට යට වී තිබේ. එයින් මහාමේරු පර්වතයේ යට කොටස සාගරය තුළ පිහිටි බව පෙන්වයි. පර්වතයේ පැති හතර වර්ණ හතරකින් යුක්තය. ගලට පහළින් නාග රූප තැන්පත් කර තිබේ. එයින් මහාමේරු පව්ව යට නා ලොව පිහිටි බව පෙන්වයි. මහාමේරුව නිරූපණය කරන ගලක් තැන්පත් කිරීම දාගැබ විශ්වය සලකුණු කරන සංකේතයක් බවට සාක්ෂ්‍යයක් වෙතැයි සඳහන් වේ. සේරුවාවිල විස්තරයට අනුව එහි දාගැබෙහි මහාමේරු ගල මුදුනෙහි සක්දෙවිඳුගේ අසුනේ සිට බුදුරජාණන් වහන්සේ දහම් දෙසති. ඒ අනුව මහාමේරුව බුද්ධ චරිතය පිළිබඳ සලකුණක් වශයෙන් ද සැලකේ.

හර්මිනාව (කුඩා මණ්ඩපය , හතරැස් කොටුව)

මහාවංසයේ මෙය හදුන්වා ඇත්තේ චතුරස්වය , සිව්කොන් සෑය යන නම් වලිනි. එය පරමිතා යනුවෙන් හඳුන්වන්නේ භාරතීය ග්‍රන්ථවලය. හතරැස් කොටුව ඉදිකරන්නේ ගර්භයට ඉහළින්ය. මෙම හතරැස් කොටුව වටාද ගරාදි වැටක් ඇත.

මුද්ධ වේදිකා යනුවෙන් හැඳින්වූයේ එයයි. පැරණි දාගැබ්වල හතරැස් කොටුවට ඉහළින් කොත් කැරැල්ලක් නොවීය.

යූපය (යෂ්ටිය, මිට)

හතරැස් කොටුව මත යෂ්ටියක් සවිකරන ලද්දේ ඡත්‍රය දරා සිටීම පිණිසය. මේවා ගලින් නිමකර ඇත. හතරැස හා අටපට්ටම් හැඩවලින් යුක්තය. උස අඩි 12 සහ අඩි 7 බැගින් වූ යෂ්ටි හමුවී ඇත. නටබුන් ව ඇති දාගැබ් මළුවල දක්නට ලැබේ.

ඉන්දියාවේ ස්තූපවල ගර්භය මත හතරැස් කොටුවේ මැද පිහිට වූ මෙම යෂ්ටි හැඳින්වූයේ යූපය යන නමින්ය. වෛදික සාහිත්‍ය ග්‍රන්ථවල යුප යන වචනය සඳහන් වේ. එහි යූපය හඳුන්වා ඇත්තේ සතුන් බිලිදීමට බැඳ තබන කණු වශයෙනි.

ඉන්දියාවේ පැවති ආගමික පිළිවෙතක් බෞද්ධයන් විසින් අලුත් මුහුණුවරකින් පෙන්වා, දීමට දාගැබට යූපයන් සම්බන්ධ කර තිබේ.

ඡත්‍රය

ඡත්‍රය සවිකරන ලද්දේ ඉහත සඳහන් කළ යෂ්ටිය මතය. මෙම ඡත්‍ර ලීයෙන් මෙන් ගලින්ද නිමවා ඇත. සමහර ඒවායේ රන් ආලේප කර තිබුණි. ඇතැම් දාගැබක ඡත්‍ර දෙකක් හෝ ඊට වැඩි ගණනක් විය. දාගැබක කොත් කැරැල්ලේ ආරම්භය මෙයයි. මහාවංසය සහ දීපවංසය ඡත්‍ර පිළිබඳ විස්තර දක්වා තිබේ.

පළිඟු වළල්ල

සංඝතිස්ස රජතුමා විසින් මහථූපයේ පළිඟු වළල්ලක් සවිකරවන ලදී. මේ මත අගනා මැණිකක් පිහිටවනු ලබයි. පළිඟු වළල්ල අකුණු සැර වැදීම වලක්වයි. එයින් දාගැබ මුදුනේ තිබෙන මැණික ආරක්‍ෂා වෙයි.

දේවතා කොටුව

හතරැස් කොටුව මත එහි මැද ගඩොලින් තැනූ වෘත්තාකාර සිලින්ඩරයක් ඇත. අභයගිරි දාගැබෙහි සිලින්ඩරයේ විෂ්කම්භය අඩි 30 කි. උස අඩි 15 කි. කිරිවෙහෙරේ එය අඩි 9 යි අගල් 6 ක් විෂ්කම්භයෙන් යුක්තය. උස අඩි 7 යි . අඟල් 8 කි. මෙහි පාදම කුළුණු අතර නමස්කාර මුද්‍රාව දක්වන දේවරූප ඇත. මෙම දේව රූප නිසා එය දේවතා කොටුව නමින් හැඳින්වෙයි. කිරිවෙහෙර දේවතා කොටුවෙහි බහිරව රූප 16 ක් දක්නට ඇත.

කොත් කැරැල්ල

දාගැබ්වල මුලදී ඉදි කරන ලද ඡත්‍රාවලිය පසුකාලයේදී කොත් කැරැල්ල බවට පත් විය. දේවතා කොටුවේ සිට ඉහළට යන කොත් කැරැල්ල කේතුවක හැඩය ගනී. වටකුරුය. කෙළවරට යන විට සිහින් වේ. පැරණි දාගැබ්වල තිබූ කොත් කැරළි විනාශයට පත් වී ඇත.

(ජේතවනාරාමයේ කොත් කැරැල්ල නිරික්ෂණය කරන්න)

චූඩා මාණික්‍ය

චෛත්‍යයක මුදුනෙහිම ඇත්තේ චූඩා මාණික්‍යයයි. සංඝතිස්ස රජතුමා මහාථූපය මුදුනේ කරවූ චූඩා මාණික්‍ය කහවනු දශ ලක්‍ෂයක් වටිනා එකකි. දීප වංසයෙහි සිඛාථූපයක් මැණික් ගලකින් කරවූ බව සඳහන් වේ. ඒ අනුව සංඝතිස්ස රජතුමා විසින් කොත අග පැළඳවූ මැණික ස්තූපයක හැඩයට කපා සකස් කළ බව පෙනේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.