බුදු උපත සැපතකි
නාරාවිල පැට්රික්
සුඛෝ බුද්ධානං උප්පාදෝ යන මාතෘකා පාඨයේ සරල අදහස බුදුවරුන්ගේ උපත
සුවයකි. හෙවත් සුවදායක ය යනු යි. ‘සුඛ’ යනු සෞඛ්‍ය සම්පන්න හෙවත්
සැපවත් ය යි ද තේරුම් කළ හැකි ය. මිනිසා සම්බන්ධයෙන් සලකන කළ, වචනයේ
පරිසමාප්ත අර්ථයෙන් ගතහොත්, සුඛ යන්න කායික හා මානසික දෙපසින් ම ගණන්
ගත යුත්තකියි සිතේ. සත්ත්ව ලෝකයේදී මනසින් උසස් වූයේ මිනිස් වන හෙයින්
එහිලා වැඩි දුර යමක් සිතා බැලිය හැක්කේ මිනිසාට වන හෙයින් ම ඔහු එසේ
සිතිය යුතු ද වෙයි. මානව විද්‍යාවට අනුව සත්ත්ව ලෝකයෙන් මිනිසකු
බිහිවූයේ වැඩ කරමින් සිතීමත්, සිතමින් වැඩ කිරීමත් නිසා බව මානව
ඉතිහාසය අපට සිහි ගන්වයි. මෙය මානවයා සතු සදාකාලික උරුමයකි.
එසේ තිබියදී, සැප හෙවත් සුඛ යැ යි කියන විට ලෞකික අපේ සිත්හි ජනිත
වන්නේ කායික සුවය පිළිබඳ හැඟීම යි. එනම් සැබවින්ම පසිඳුරන් සනසවන සුවය
යි. කවර ම තත්ත්වයක හෝ උපතක් සිදු වන්නේ ගැටීම හෙවත් ‘ඵස්ස’ නිසා බව
ධර්මය විසින් මැනවින් පැහැදිලි කරනු ලැබ ඇත. එබැවින් සාමාන්‍ය
මනුෂ්‍යත්වය විසින් සැප යනු එවන් පසිඳුරන් පිනවීම යැ යි සලකතොත් එය ද
ස්වභාවය වෙති යි සැලකීමේ හෝ සිතීමේ අස්වාභාවිකත්වයක් නැත.
අප කවර හැටියෙන් කතා කරතත්, අපට එසේ කතා කරන්නට හැකිව ඇතත්, එසේ කතා
කරන්නට සිදුව ඇතත්, බුදුවරුන්ගේ උපත සුවයක් ලෙස නොපිළිගන්නකු සිටිති යි
සිතිය නොහැකි ය. ඒ නිසා බුදුවරුන්ගේ උපත සුවයක් ම වේ. එබැවින්
බුදුවරුන්ගේ උපත ශ්‍රේෂ්ඨ ය. උත්තම ය. පරම ය. උදාර ය.
එහෙත් බුදුවන්නේ කවරෙක් ද? දෙවියකු, බඹකු හෝ එවන් ගණයේ කවර ජගතකුටවත්
බුදු වන්නට හැකි වී යි කිසි තැනක කියා නැත. බුදුවීම යනු කුමක්ද? අවබෝධය
ලැබීම යි. අවබෝධය ලබා බුදු වන්නේ කවරෙක්ද? ඒත් මිනිසෙක් ම ය. අවබෝධය
ලබන්නේ කුමක් ගැන ද? ධර්මය ගැන යි. මේ ධර්මය වනු කුමක් ද? එනම් ධර්මතාව
යි. මේ ධර්මතාව යනු කවරේ ද? ස්වභාවයාගේ ක්‍රියාකාරීත්වය යි. මේ ස්වභාවය
ඇත්තේ කවර තැනකද? එය අසවල් තැන ය යි කිසියම් තැනක් ඉලක්ක කර කේන්ද්‍රිය
වශයෙන් දැක්විය නොහැකි ය.
එක් අතකින් ස්වභාවය සීමා කර දැක්විය නොහැකි හෙයින්, එය නම් අනන්තය වෙති
යි කිව හැකි ය. එහෙත් අනන්තය යනු කුමක්ද? අනන්තය යැ යි කියන කල අපට
සිතා ගත හැක්කේ කුමක්ද? ඒ කුමක් දැයි වටහා ගන්නට සිතා ගෙන යන විට අපට
ඉතිරි වන්නේ අනන්තය යන වචනය මිස අන් කිසිවක් නොවේ. එනම්, තේරුම් ගන්නට
බැරි දෙයක් හඳුන්වා දෙන්නට අප වැනි ම යම් කිසිවකු විසින් හැඬ වූ ශබ්ද
පහක් පමණි. විශ්වයේ කෙළවර සොයන්නට ගිය මුගලන් හිමියන් බුදුන් වහන්සේ
විසින් වළක්වන ලද්දේත්, අනන්තය තේරුම් ගන්නට යත්න දැරීමෙන් පලක් නොවන
බව අගවන්නට විය හැකි ය.
එවන් බුදුවරයකුගේ උපත සුවයක් වන්නට හේතුව කුමක්ද? ඒ අන් කිසිවක් නිසා
නොව උන්වහන්සේ සුවපත් හෙවත් සුඛ සම්පන්න මිනිසකු ලෙස උපන් හෙයිනි. එනම්
කායික හා මානසික දෙපසින් ම සුඛ හෙවත් සෞඛ්‍ය සම්පන්න වූ හෙයිනි. බුද්ධ
ශක්තිය පෝෂණය කර රඳවා ගන්නට තරම් උන්වහන්සේගේ කය ඔරොත්තු දෙන සුළු විය.
කාය ශක්තිය පෝෂණය කර රඳවා ගන්නට තරම් උන්වහන්සේගේ මනස ඔරොත්තු දෙන සුළු
විය. කෙසේ වෙතත් උන්වහන්සේට ද පොදුවේ මනුෂ්‍යත්වයට දායාද වශයෙන් උරුම
වුණු කායික හා මානසික දුබලතා නොතිබුණා නොවේ. එහෙත් මෙහිදී වැදගත් වන්නේ
තමා උපතින් ලද කායික හා මානසික ශක්තිය උපරිම විසින් යොදා ගෙන තමන්
අදිටන් කළ අරමුණ වෙත එළඹෙන්නට පෙරුම් පිරූ එක්තරා මිනිසකු වීම යි.
බුදුවරු වැනි උතුමන් ඉතිහාසයේ සටහන් වන්නේ සමාජය යහපත් තැනක් බවට
පත්කරනු පිණිස, ධර්මතාව තේරුම් කර දෙන්නට, සිය ජීවිත පරිත්‍යාගයෙන්
ක්‍රියාකළ උතුමන් ලෙසය. මෙවන් පුද්ගලයෝ ඉපදෙන පලියට ඉපදිය හැක්කේ ද?
නිකමට මෙන් බිහි විය හැක්කෝ ද? ධර්මයට අනුව නම් එවන් පුද්ගලයෝ
පුණ්‍යවන්තයෝ ය.
විශ්වයේ හැම සිදුවීමක් ම කිසියම් හේතුවක ඵලයකි. හේතුඵල නියාමය එක්තරා
සිද්ධාන්තයකි. බුදුවරයකු පහළවීම ද හේතුඵල වාදයට අනුව එක්තරා හේතුවක
ඵලයකි. එය පුණ්‍යවන්තයකුගේ උපත සමඟ බැදුණකි. මහා පුරුෂයන්ගේ උපතේදී
සිදුවුණු අසිරිමත් දෑ ගැන ඔවුන්ගේ චරිතාපදාන වල සඳහන් කර ඇත. ඇතැම්
විට ඒවායේ බෙහෙවින් අතිශයෝක්තික තොරතුරු තිබෙන බව ඇත්ත ය. එහෙත් අප ඒවා
සලකා බැලිය යුත්තේ සාහිත්‍යයේ භාවිත සංකේතාලංකාරයට අනුකූ®ලව බව කිය
යුතු ය. සංකේතාලංකාරය අර්ථාන්විත ලෙස විග්‍රහයට බදුන් කරන විට යථාර්ථය
හෙවත් සත්‍යය අත්දකින්නට ලැබෙනු ඇත. සංකේතාලංකාරය අර්ථාන්විතව යෙදූ කළ
එය විවරණය කරන විට සත්‍යය මැනවින් අත්දකිනු හැකි ය.
මානව ඉතිහාසය තුළ වෛද්‍ය විද්‍යාව පරිණාමයට යමින් තිබියදී පුද්ගලයකුගේ
උපත පිළිබඳ අංශය ද සාකච්ඡාවට බඳුන් වෙමින් වැඩී ආ බවට තර්ක කළ හැකි ය.
ඇලොපති, ආයුර්වේද, හෝමියෝපති හා යුනානි ආදී වශයෙන් කවර නමකින්
හැඳින්වුණත්, ඒ හැම එකක් ම වෛද්‍ය විද්‍යාව යි. වෙනසකට ඇත්තේ එක් එක්
බසකින් එය හැඳින්වීමේදී ඇති වූ ස්වරූපමය විකල්පය පමණි.
කවර ආකාරයක පුද්ගලයකු හෝ මොලොව එළිය දකින්නේ ඔහුගේ උපතිනි. එසේ වුවත්
පුද්ගලයකුගේ උපතේ ආරම්භය මවුකුස තුළ සිදුවන ප්‍රතිසන්ධිය බව කීමේ
සාධාරණයක් ඇත. ජීවියා කායික හා මානසික වශයෙන් සාර්ථක පුද්ගලයකු වන්නේ
මවුපියන්ගේ ජාන ශක්තිය මත බව කිව යුතු නොවේ. එය රඳා පවතින්නේ
දෙමාපියන්ගේ නිරෝගිත්වය මත ය.
කවර සම්ප්‍රදායකට අයත් වෛද්‍ය ක්‍රමයක වුවත් නිරෝගි දරුවන් ලබන්නට
දෙමවුපියන් අනුගමනය කළ යුතු වත් පිළිවෙත් දක්වා තිබේ. උපදින දරුවා
රෝගියෙක් වන්නේ නම් ඔහු මුළු ලොවට ම බරක්වනු නියති. දරුවන් ලබන්නට පතන
කවර මවක හෝ පියකු ‘නොදරුවන්’ ලබන්නට සිතනු නොහැක්කේ ම ය. එසේ නම් හැම
මවක හෝ පියකු පින්වත් දූ පුතුන් ලබා ගත යුත්තේ තමන් කවර තරම් බුද්ධිමත්
ලෙස කටයුතු කිරීමෙන් දැයි උගත යුතු ය. දත යුතු ය. සැබවින් ම එසේ
සිතන්නට බැරි මවුපියන් දරුවන් නොලබා සිටිනු වඩා හොඳ ය.
වෙසෙසින් ම මවුපියනට සම්පතක් වන දරුවකු ලබා ගැනීමේලා මවක කෙරෙහි පැවරී
ඇති වගකීම අසාමාන්‍ය ය. එයට ප්‍රබල ම හේතුව දරු ගැබක් හට ගන්නේ
මවුකුසක් තුළ පමණක් ම වන හෙයිනි. මෙහිලා කෘත්‍රිම ක්‍රම ඇතොත් අප කලබල
විය යුතු නොවේ. එය ස්වභාවයට පටහැනි හෙයිනි. ස්වභාවයට අභියෝග කරන විට
එහි අතුරු පල බාර ගන්නට අපට සූදානම් විය යුතුය. මේ සත්‍යය පැහැදිලි කර
ගනු පිණිස අපි, අප විසින් ශ්‍රේෂ්ඨත්වයෙන් සලකනු ලබන සිද්ධාර්ථ උපත ගැන
සලකා බලමු.
පින්වත් පුත් රුවනක් ලබා ගන්නට කවර සැටියෙන්, වත් පිළිවෙත් පිරිය යුතුව
තිබිණ දැ යි මහාමායා බිසොවුන් ක්‍රියාකළ ආකාරයෙන් අපට සිතාගත හැකිය.
මායා බිසොවුන් අනුගමනය කළේ එදා භාරතයේ පැවති සම්ප්‍රදාය යි. එය සදහට ම
වලංගු ය. ඇසළ පුන් පෝදා මායාවෝ පෙහෙවස් සමාදන් වූහ. එතෙක් දරුවකු නොලැබ
සිටි මායාවන් එදා පහන් සිතින් කවර පැතුමක් කරන්නට ඇද්ද යනු සිතා ගැනීම
අපහසු නැත.
සුදොවුන් රජුගෙන් ද බිසොවුන්ගේ පැතුමට දායකත්වයක් ලැබෙන්නට ඇත. එය එසේ
විය යුතු ම ය. තමන්ගෙන් පසු රජකම පවරන්නට පුතකු ලබා ගැනීමේ වගකීමෙන්
හරි අඩක් සුදොවුන් රජු සතු ය. එබැවින් පුත් කුමරකු ලබා ගැනීමේ
අවශ්‍යතාව ගැන රජ - බිසෝ යුවළ කොතෙකුත් කතාබහ කරන්නට ඇත.
මායාවන් දුටුවේ අපූර්ව සිහිනයකි. එය සාහිත්‍යයේදී භාවිත වන කදිම
සංකේතයකි. සුදු ඇත් පැටවකු මායා දේවියගේ කුසට පිවිසුණහ යි යන්නෙන්
සංකේතවත් වන්නේ සිද්ධාර්ථ කුමරුගේ ප්‍රතිසන්ධිය යි.
පින් මඳ පුතුන් ලබන්නට නම් කවර පිළිවෙත් පිරීමක් ද. මෙසේ පින්බර පුතුන්
ලබන්නට ඔවුන් පතන මවුපියවරුන් විසින් පෙරුම් පිරිය යුතු හැටි ඇති
පදමින් සම්භාව්‍ය සාහිත්‍යයේ සටහන්ව ඇත.
පින්බර, සුරු විරු පුතුන් ලබන්නට මවුපියවරුන් පෙරුම් පිරිය යුතු හැටි
විවරණය කැරෙන සහ ඒ මඟින් එහිලා භාරත සමාජයේ චින්තනය ප්‍රකාශ කැරෙන මහා
කාව්‍යයක් ඇත. එනම්, භාරත මහාකවි කාලිදාසයන්ගේ් කුමාරසම්භව කාව්‍යය යි.
සිද්ධාර්ථ වැනි පුතකු ලබා ගන්නට වැඩි වගකීමක් පවරා ගෙන එයට පෙරුම් පිරූ
මවකගේ චරිතයක් මායා බිසොවුන්ගෙන් සංකේතවත් වෙයි. තාරක අසුරයා මඬින්නට
සුදුසු කුමාර (ස්කන්ද) වැනි සුර විරු පුතකු පර්වතියගෙන් ලබා ගන්නට වැඩි
වගකීමක් පවරා ගෙන පෙරුම් පිරූ පියකුගේ චරිතයක් ශිව දෙවියාගෙන් සංකේතවත්
වෙයි.
ඒ වගකීම තමා වෙත පවරා ගනිමින්, එහි බරපතළකම පාර්වතියට ද ස්වාත්මිකව
වටහා ගත හැකි වන පරිදි, තවුස්දම් පුරන්නට ඇය දිරි ගන්වා ලූයේ, පින්බර
පුතුන් බිහි කරන්නට පතන මවක එහිලා කෙසේ, කවර සුදුසුකම් ලැබිය යුතු දැ
යි අවධාරණය කරනු පිණිස ය. මේ කවරකින් වුවත් පැහැදිලි වන්නේ පරිපූර්ණ
පුද්ගලයකු වන්නට ආරෝග්‍යය (ලෙඩ නැති බව) කෙතරම් වැදගත් වන්නේ ද එය ලබා
ගන්නට නූපන් දරුවකු සම්බන්ධයෙන් පවා ක්‍රියාකළ යුත්තේ කෙසේ දැයි කැරෙන
ඉඟිය යි. |