Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වෙසක්-පොසොන් සැමරුම් අර්ථවත් කරමු

ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව වෙසක් හා පොසොන් දින ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරති. මෙම උත්සව දෙකට සියවස් විස්සකට වැඩි ඉතිහාසයක් ඇත. වෙසක් උත්සවය ප්‍රථම වරට දුටුගැමුණු මහ රජතුමා ක්‍රි.පූ. (101 - 77) විසින් පවත්වන ලද බව මහාවංශයෙහි දැක්වේ.

වෙනත් නොයෙකුත් ආගම් අදහන ලෝකවාසී ජනතාවද තම තමන් අදහන ආගම් අනුව, නියමිත දින වලදී එම සැමරුම් උත්සව පවත්වති. ලෝක ජනගහණයෙන් සියයට පනස් පහක් අයත් වන්නේ, ආගම් දෙකකට ය. මෙයින් සියයට තිස් තුනක් පමණ යුරෝපයේ සහ වෙනත් රටවල අය වෙති. අනෙක් සියයට විසි දෙකෙන් වැඩි කොටස වෙසෙන්නේ, මැද පෙරදිග රටවල ය. එම ආගම් දෙකට අයත් වූවන් ද මහත් බැතියෙන් යුතුව වාර්ෂිකව සැමරුම් උත්සව පවත්වනු ලැබේ.

මෙම ආගම් දෙකට අයත්වූවන් ස්වකීය ආගමික අනුස්මරණ දින උත්සව වලදී මස් අනුභවය සාමාන්‍ය අංගයක් කරගෙන තිබේ. එකි ආගමකට අයත් වූවන් ආහාරය පිණිස සතුන් මරන්නේ අනුකම්පා විරහිතව ඉතා කෲර ලෙස ය. මරණයට කැප කර ඇති සතුන් දින ගණනක් තිස්සේ නිරාහාරව තබා බීමට ජලය පවා නොදී කණුවකට බෙල්ල තබා බැඳ තැබීමෙන් පසු මරණයට පත් කරනු ලැබේ. නමුත් යුරෝපයේ ඇතැම් රටවල සත්ව හිංසාව සම්පූර්ණයෙන් තහනම් කර නීතිරීති ද පනවා ඇත. එම රටවල ඉතාම කුඩා සතෙකුට හෝ හිංසා කිරීම උසාවියේ දී දඬුවම් ලබන සාමාන්‍ය වරදකි. ආහාරය පිණිස සතුන් මරන්නේ ද නිර්වින්දනය කර හෝ විදුලි බලය ක්‍ෂණිකව යොදා සතුන්ට නො දැනෙන පරිද්දෙනි.

බුදුරදුන් ජීවමානව සිටි කාලයේදී ද නොයෙක් ආගමික කණ්ඩායම් විසින් යාගහෝම පැවැත්වීමේදී සතුන් මැරීම සිරිතක් කොට ගෙන තිබී ඇත. මෙම සත්ව ඝාතන අනර්ථකර බව නොයෙක් අවස්ථා වලදී බුදුරජාණන්වහන්සේ් වදාළ බව සූත්‍රාන්ත වල දක්නට තිබේ.

‘සත්ව ඝාතන සිදුකැරෙන යාග හෝම අතිශයින් අනර්ථකර වෙයි. ගිතෙල්, වෙඬරු, ශර්කරා ඇතිව කෙරෙන යාග යහපත්ය. සිල්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දෙන දානය ඊට වඩා මැනවි. ඉන් වඩාත් අනුසස් ලැබෙයි. අරම් ඉදිකිරීම ඊට වඩා වැදගත් වෙයි. ශීල චර්යාවේ යෙදීම ඊටත් වඩා හොඳයි. සතර සතිපට්ඨාන භාවනාවේ යෙදීම මේ සියල්ලටම වඩා විශිෂ්ට වෙයි. (කූට දන්ත සූත්‍රය)

තමන්ගේ වේදනාව හා දුක පැවසීමට කිසිදු සමත්කමක් නැති අසරණ ගොළු සත්ත්වයන්ට අභය දානය ලැබීමට මග පෑදීමෙන් බුදුරදුන් තුළ පැවති අපරිමිත කරුණා මහිමය හෙළිවෙයි.

අහිංසක සත්ත්වයන්ට කරුණාව දැක්වීමට හද පත්ලෙන් නැගෙන අවංක චේතනාව නිබඳව නිරන්තරව මූර්තිමත් කිරීමට ‘සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා’ යන සූත්‍ර පාඨයෙන් මහ පොළොව යට සිටින පණුවා කෙරෙහිපවා කරුණාව දක්වා ඇත.

සෑම රටකම ජීවත්වන ජනතාව නමුත් අදහන ආගම අනුව ජාතික සංස්කෘතියේ අංග හැඩගසාගෙන ඇත. ඒ අනුව ජාතියකගේ ක්‍රියාකාරී පිළිවෙත් රටාව සංස්කෘතිය නමින් හඳුන්වනු ලැබේ. අවුරුදු දෙදහස් පන්සියයක බෞද්ධ සංස්කෘතිය ලේ මස් නහර විනිවිද අපේ ශරීරයට කා වැදී තිබේ.

ශ්‍රී ලංකාව මාතෘ භූමිය කොට ගත්ලක් වැසි ජනතාවට සංස්කෘතික අංග වශයෙන් ශ්‍රීපාදය, දාගැබ, වැව්කණ්ඩිය, ලැබී ඇති දායාදයෝ ය. පොදු චෛතසික හැඟීම් වලින් ජාතික සංස්කෘතියක් පැන නැගුනේ මෙම දායාදයන් ජාතියේ ජීවන ක්‍රමයේ මූලික අංගයන් වශයෙන් සනිටුහන් වී ඇති හෙයිනි. මේ අනුව ශ්‍රී ලංකාවාසී ජනතාවගේ සංස්කෘතිය වන්නේ එකම වැව් කණ්ඩියේ දෙපැත්ත වශයෙන් නිල් ගොයමත් කහ සිවුරත් ය.

මහින්දාගමනය, යුදගනාව, වැව් කණ්ඩිය සඳකඩ පහණ, සමාධි පිළිමය, අව්කන බුදුරුව, ජයශ්‍රී මහා බෝධිය, දළදා වහන්සේ ආදියෙන් අපි අපේ යටගියාව සග අත්වැල් බැඳ ගනිමු. සියවස් විසිපහකට ආසන්න ඉතිහාසය හා අපේ සංස්කෘතිය ලොව අන්සියලු ජාතීන්ගේ සංස්කෘතීන් වලින් වෙනස් වන්නේ මෛත්‍රීය, කරුණාව, දයාව, උපේක්ෂාව, මානව භක්තිය, කෙළෙහිගුණ සැලකීම, ගුණවත් බව අපිස් චාම් සරල දිවි පැවැත්ම යන බෞද්ධ ගුණ ධර්ම වලින් පෝෂණය වී ඇති හෙයිනි.

අකාලික වූ සාර්ව භූ®මික වූ සර්වත්‍රක වූ චිරන්තන ගුණයක් ඇති, සියලු සත්ත්වයා කෙරෙහි දයාව කරුණාව දැක්වීම මුල්කොට ගත් ඉගැන්වීම් වලින් සමන්විත බුදු දහමින් ජනතා සිත් සතන් පුබුදුවා ලීමට වෙසක් හා පොසොන් උත්සව දිනවලදී පෞද්ගලික හා සාමුහික චර්යාව මගින් අර්ථවත් වන වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය ය.

මේ සඳහා ප්‍රඥාව හා කරුණාව සෑම දෙනා තුළම තිබිය යුතුය. ඊට හේතුව බුද්ධ මන්දිරය ගොඩනගා ඇත්තේ ප්‍රඥාව හා කරුණාව නමැති මහා ස්ථිම්භ දෙක මත නිසාය. ප්‍රඥාව පුද්ගලයාට යහපත උදා කරයි. එයින් අවශ්‍ය සතුට හා සැපත ලැබෙයි. එමෙන්ම ලෝකය පිළිබඳ සත්‍ය හා සැබෑ තත්ත්වය දැක ගැනීමෙන් ඔහු සම්පූර්ණත්වයට පත්වෙයි.

ඔහු මේ තත්ත්වයට පත්වන විට සමාජයට ණය ගැතිය. සතුන්ට හා මිනිසුන්ගේ පරිභෝජනයට ගස ඵල දරන්නාක් මෙන් ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව ඔහු ජීවත්වන සමාජයේ යහපත පිණිස කැප කරයි. මේ තත්ත්වයට පත්වන්නේ කරුණාව පෙරදැරි කරගත් ප්‍රඥාවන්තයකු පමණි. කරුණාව හා ශ්‍රද්ධාව නොමැති ප්‍රඥාවන්තයා ඔහුගේ  බුද්ධිය මෙහෙයවන්නේ ජනතාව සූරා කෑමට ය. ඔහු සිත්පිත් නැති කපටියෙකි. මේය අනුව කරුණාව හා ප්‍රඥාව අතර ඇත්තේ අඛණ්ඩ සම්බන්ධතාවකි.

විශේෂයෙන්ම පසළොස්වක පොහෝ දින රජය විසින් නිවාඩු දිනයක් කර ඇත්තේ මේ රටේ සියයට හැත්තෑවකට ආසන්න බෞද්ධයින්ට ස්වකීය ආගමේ කටයුතු වල යෙදීමට ය. නමුත් එම දිනයේදී අඩුම තරමින් තමන්ගේ ශාස්තෲවරයන් වහන්සේට මලක් පූජා කිරීමටවත් පන්සලකට යන බෞද්ධයින්ගේ සංඛ්‍යාවද සියයට තිස් පහකටත් වඩා අඩුය. මේ තත්ත්වය තුළ සිල් සමාදන් වීමට හා භාවනාදී කටයුතු වල යෙදීමට සහභාගි වන්නේ සමස්ත බෞද්ධ ජනගහනයෙන් සියයට දෙකකටත් අඩු පිරිසකි. රජය ලබාදී තිබෙන පෝය නිවාඩුව සමහර බෞද්ධයන් විසින් අකුසල් රැස්කර ගැනීමට යොදාගෙන තිබේ.

ඒ බව පැහැදිලි වන්නේ පෙර පෝය දිනයේ දී මස් අලෙවි හල් හා මත්පැන් හල්වලට රැස්වී පෝය දිනයේ පාවිච්චියට මස් හා අරක්කු තැන්පත් කර ගැනීමට ගෙන යන ආකාරයෙනි. මේවා කර බාහෝ දෙනෙකුට ප්‍රඥාව ඇතත් ශ්‍රද්ධාව නැත.

විවිධ ආශාවන් නිසා විවිධ පෙළඹවීම් ඇතිවීම ස්වභාවිකය. උපභෝග පරිභෝග වස්තූන් අධික වශයෙන් තිබෙන සමාජ පරිසරයක ඉන්ද්‍රිය දමනයෙන් හා යහපත් මානසික සෞඛ්‍යයෙන් යුක්තව ජීවත්වීමට අධ්‍යාත්ම ශික්ෂණයක් හා මානසික සංස්කෘතියක් ඇතිකළ යුතුය.

මෙම ආත්ම ශික්ෂණයෙන් යුත් බෞද්ධ සමාජයක් ගොඩ නැගීමට පෝය දිනය වෙනුවෙන් දී තිබෙන රජයේ නිවාඩු දිනයේ දී බෞද්ධ ආයතන වල විධිමත් බෞද්ධ අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කාලෝචිතය.

වෙසක් හා පොසොන් පසළොස්වක දින වලදී සිහිපත් කළ යුතු ඉතා වැදගත් ශාසනික සිදුවීම් රාශියක් තිබේ. ඒවා අනුස්මරණය කිරීමට තොරණ, රූකඩ සංදර්ශන, පහන් කූ®ඩු බැති ගී නාට්‍ය සංදර්ශන, පෙරහැර ආදියද පවත්වති. මේවා නැරඹීමට එන බැතිමතුන්ට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කිරීමට පවත්වනු ලබන දන්සැල් ආදිය මෙම දිනවල සෑම තැනකම පාහේ දක්නට තිබේ.

තොරණ, රූකඩ සංදර්ශන, නාට්‍ය ආදී විශේෂාංග ශ්‍රව්‍ය හා දෘෂ්‍යාධාරක මාධ්‍යයෙන් දයාව, කරුණාව, මෛත්‍රීය ආදී ගුණ ධර්ම ජනතා සිත්සතන් තුළ පැලපදියම් කිරීමට දෙන අධ්‍යාපනයක් වශයෙන් සැලකිය හැකිය. මේ ආකාරයට සියවස් කාලයක සිට බෞද්ධයින්ගේ උත්සව කටයුතු සිදු කෙරුණේ් ඉතාමත් සංවරශීලි ගුණධර්ම මත පිහිටාය.

නමුත් දැනට දශක තුනක පමණ කාලයක සිට බෞද්ධයින් යැයි පවසා ගන්නා ඇතැම් පිරිස් විසින් වෙසක් සහ පොසොන් දිනවල ගෞරවය කෙලෙසන ආකාරයට නොයෙකුත් විකාර කටයුතු කරනු ලැබේ.

බෝධිසත්වයන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමෙන් දුක් කෙළවර කරගත්තේ ඉඳුරන්ගෙන් ගනු ලබන අරමුණු අතහැර දැමීමෙනි. එය සිදුවූයේ වෙසක් පොහෝ දිනයකදීය.

මිහිඳු මාහිමියන් පොසොන් පුර පොහෝ දින අප රටට ගෙනා බුදුදහමින් අනාවරණය කළේ එක්තරා චරණ පද්ධතියක් හා ධර්ම පද්ධතියකි.

එම කාරණා සිහිපත් කිරීමට පැවැත්වෙන උත්සව වල අරමුණ වියයුත්තේ ඒ ධර්ම කාරණා හැකිතාක් දුරට පිළිපැදීමට පුරුදු පුහුණු වන කටයුතු වල යෙදීම ය. නමුත් එම දිනවල බොහෝ දෙනා විසින් කරනු ලබන්නේ ඊට ප්‍රති විරුද්ධ පැත්තේ කටයුතු ය.

සියලු දුක් පැමිණෙන්නේ ඉඳුරන් පිනවීමට ඇති ආශාව නිසා ය. එසේනම් වෙසක් දිනයේ දී වෙනදාටත් වඩා ඉඳුරන් පිනවීමට පොළඹවන නිසරු වැඩ විදහා දක්වන බුද්ධිහීන පුද්ගලයෝ වෙසක් දිනයේ ගෞරවනීයත්වය කෙළෙසන බව නොදනිති.

පුරාණ කාලයේ පටන් වෙසක් හා පොසොන් දිනවලදී දන්සල් පැවැත්වීම බෞද්ධයන් විසින් කරනු ලබන්නේ දයාව කරුණාව පෙරදැරි කරගෙන ය. දුර බැහැර සිට වන්දනාවේ එන බැතිමතුන්ට දන් දීමට බෞද්ධ සමිති සමාගම් පිහිටුවාගෙන දන්සැල් පවත්වනු ලැබේ. එම පින්වතුන් ඒ දානමය කටයුතු ඉතා ශිෂ්ඨසම්පන්නව සිදුකරන්නේ වන්දනාකරුවන් අප්‍රමාණ ප්‍රසාදයට පත් කරවමිනි.

අදත් එවැනි දන්සල් බොහෝ තැන්වල පවත්වන අතර තවත් සමහර තැන්වල දානය ගැන නොදන්නා නුවණ මද පිරිස් විසින් පවත්වන දන්සල් නිසා බොහෝ දෙනෙකුට සිදුවන්නේ මහත් පීඩාවකි.

වෙසක් හා පොසොන් දිනවල මහමග යන එන අයව බලහත්කාරයෙන් නවත්වා සිසිල් පැන්යැයි පවසමින් ඩයි වර්ග සහ සීනි දමා සාදාගත් වතුර පානය කිරීමට බල කරති.

මේ කටයුතු වල යෙදෙන තරුණ පිරිස් විකාර ඇඳුම් ඇඳගෙන තරාතිරම නොබලා උසුළු විසුළු කරමින් ඉතා අසංවර ලෙස හැසිරෙන අවස්ථාද මග තොටදී කාටත් දකින්නට පුළුවන. විශේෂයෙන්ම බෞද්ධ කොඩිය සහිත ලොකු පොළු පාරට හරස් කර බලහත්කාරයෙන් වාහන නතර කරවීම ගමන් බිමන් යන අයට ලොකු පීඩාවකි. සමහර තැන්වල කලකෝලාහල ඇති වන අවස්ථා ද නැත්තේ නොවේ.

සැබෑ බෞද්ධයින් නම්, වෙසක් හා පොසොන් දිනවලදී උනන්දුවිය යුත්තේ මිනිසුන්ගේ මොළයට ආහාරයක් දී ඔවුන්ව අධ්‍යාත්මික වශයෙන් දියුණු කරවීමට ය. ආහාරයට කෑදර තිරිසන් සත්ත්වයෝ ය. මිනිසා ද ආහාරයට ම ගිජු වන්නේ නම්, අභ්‍යන්තර දියුණුවක් ගැන කථා කළ නොහැකි ය. තුන්සිය හැටපස් දවසේ ම තුන්වේලම ආහාර ගන්නා මිනිසාට ධර්මාවබෝධය සඳහා කටයුතු කර ගැනීමට යොදා ඇති දිනයත් කෑමට ම කැප වූ දිනයක් කිරීම ප්‍රඥා ගෝචර නොවේ.

පෝය දිනවල දී විහාරස්ථාන වලට කොතරම් ධර්මධර භික්ෂූන් වහන්සේලා වැඩම කරවා ධර්මදේශනා පැවැත්වූවත් ඒවා ශ්‍රවණය කිරීමට එන පිරිස ඉතාමත් අඩුය. ඊට හේතු දක්වන්නේ බොහෝ දෙනෙකුට වෙලාවක් නොමැති බවය. නමුත් ධර්මදේශනාව පවත්වන පන්සල ඉදිරිපිට දන්සලේ දෙන ආප්ප දෙක හෝ අයිස් ක්‍රිම් කප් එක ලබා ගැනීමට පැය දෙක තුන පෝලිමේ සිටීමට මේ අයට වෙලාව ඇත. බෞද්ධයා කෑමට බීමට කොයිතරම් ගිජු වී ඇත්දැයි මෙයින් වටහා ගැනීමට පුළුවන. වෙසක් හා පොසොන් දිනවල දී ලස්සනට හැඳ පැළඳ ගෙන දන්සැල් වල පෝලිමේ සිටීමද දැන් මෝස්තරයක් වී තිබේ.

බෞද්ධ කම යනු බුද්ධිමත්කමයි. වෙසක් හා පොසොන් දින වලද අප කවුරුත් වෙහෙස වියයුත්තේ අවබෝධය ලබා ගැනීමට යි. අවබෝධය නොමැති තැන බෞද්ධකමක්ද නැත. මේ ගැන නුවණින් හිතා බලා ඉදිරියට එන වෙසක් හා පොසොන් දිනවල දී සත්‍යාවබෝධය ඇතිකර ගැනීමට සැමට සිත් සතන් පහළ වේවා යි ඉත සිතින් පතමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.