“උත්පලාවතී”
අකුරටියේ අමරවංස
නා හිමිපාණන් වහන්සේගේ
මීට ටික කලකට පෙර ඉතා සමෘද්ධිමත් නගරයක්ව පැවැති උත්පලාවතී නගරය
දැන් පෙනෙන්නේ අමු සොහොනක් පරිද්දෙනි. දුර්භික්ෂය අනුකම්පා විරහිතවම
නගරය බිළිගෙන ඇත. කෑමට හෝ බීමට යමක් සොයාගත නොහැකිව නගර වැසියෝ
කුසගින්නේම මිය ඇදෙති. ගත සවිබල ඇත්තෝ යස ඉසුරු ඇති ඈත ගම් නගර කරා ඇදී
ගියද, අබල දුබල අය දුර්භික්‍ෂයෙන් බැට කමින් මෙහිම රැඳී සිටිති. රූපවතී
ද , දුක් කරදර මැද වුවද උත්පලාවතී නගරයෙහිම රැඳී සිටි ඉතා රූමත් එමෙන්ම
ගුණවත් කාන්තාවකි.
දිනක්, රූපාවතී කිසියම් අවශ්‍යතාවයකට නගරයෙන් ඔබ්බට යන්නී, නොනැවතී
නැගෙන කෙඳිරිල්ලක් නිසා ඇති වු කුතුහලයෙන් එක්තරා නිවෙසකට ඇතුළු වුවාය.
අවාසනාවකි, එහි වුයේ අලුත දරුවකු බිහි කළ කාන්තාවකි. බිළිදා
කුසගිනින්නේ හඬයි. ඒ මවට දින ගණනාවකින් කෑමට යමක්, ලැබී තිබුණේ නැත.
දරුවා ප්‍රසූත කළ මහන්සියට අධික කුසගින්නද එක් වීමෙන් සිහි විකලව ගිය
ඇය දරුවා මරා කෑමට සූදානම් වු මොහොතේය, රූපවතී එහි ඇතුළු වූයේ.
“ නැගණිය ! ඔබ මේ කරන්නට සූදානම් වන්නේ කුමක් ද”
“ සොයුරිය ...මට තෙහෙට්ටුව හා කුසගින්න අධිකයි ..පිපාසයි මගේ බඩ පපුව
දනවා. මං මැරේවි . කෑමට හෝ බීමට යමක් මේ ගෙදර හරියේ නෑ. මේ දරුවා මරා
මස් කන්නට සිතේ..”
මෙයින් අතිශය කම්පාවට පත් රූපවතී කළ හැකි යමක් සිතුවාය. දරුවා එම
ස්ත්‍රිය ළඟ තබා කෑම ටිකක් ගෙන එන්නට ගියහොත් කුසගිනි විකාරයෙන් ඇය
දරුවා මරා කතියි , රූපවතිය බිය වූවාය. කළ හැකි අන් දෙයක් නොදුටු තැන එම
නිවසේ තිබූ තියුණු ආයුධයක් සොයා ගත් ඇය එයින් සිය පියොයුරු කපා
ස්ත්‍රියට කන්නට දී ඇගේ කුසගිනි නිව්වාය.
“ නැගණිය ..දැන් නුඹට මදක් සැනසීම ලැබුණා. මේ දරුවාද අයිති මටයි. මා
නිවසට ගොස් කෑම ටිකක් රැගෙන එනතුරු ඉවසා සිටින්න “
මෙසේ කියූ රූපවතිය ලේ වැගිරෙන කයින් යුතුව නිවසට ගොස් සිය සැමියාට
සියලු විස්තර පවසා ඔහු අතම එම ස්ත්‍රියට කෑම බීම යැව්වාය. එතෙකින්
නොනැවතුණු ඇය මෙසේ සත්‍ය ක්‍රියාද කළාය.
“ මා මගේ ඇඟ මස් දන් දී ජීවිත දෙකක් ගලවාගත් කුසල කර්මයේ බල මහිමයෙන් .
මගේ ස්ත්‍රී භාවය අතුරුදන්ව පුරුෂ භාවය ලැබේවා. මතු සසරෙහි දිනක සියලු
සත්වයන් දුකින් මුදවාලනු පිණිස, උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වේවා”
ඒ සත්‍ය ක්‍රියා බලයෙන් සුව වූ ඇයගේ , ස්ත්‍රී භාවයද අතුරුදන්ව
පුරුෂභාවය ලැබූවෙන් එතැන් සිට රූපාවත් කුමාර යනුවෙන් ප්‍රසිද්ධ විය. මේ
අතර උත්පලාවතී රාජධානියේ රජු මිය ගිය පසු රාජ්‍ය උරුමයට කිසිවකු නොමැති
වූයෙන් එහි රජකමට පත් වූ රූපාවත් කුමරු දැහැමෙන් සෙමෙන් රාජ්‍ය විචාරා
කලුරිය කොට ඒ නගරයේම ගෘහපතියෙකුට දාව උපත ලද්දේ, ශරීරයෙන් සඳ රැස් වැනි
කැලුම් විහිදීම නිසා චන්ද්‍ර ප්‍රභ යන නම ලද්දේය. සැප සම්පතින් පිරුණු,
ඉසුරුමත් ජීවිතයක් ගත කළ චන්ද්‍ර ප්‍රභ කුමරු ශිල්ප හැදෑරීමට ගුරු
ගෙදරට ගියේය. ගුරු ගෙදර ශිල්ප හදාරමින් සිටි කුමරු දිනක් උතුම් වූ දාන
පාරමිතාව පුරන්නෙමැයි සිතා සිරුරෙහි මී පැණි ගිතෙල් ගල්වාගෙන, සිරුර
තැන් තැන්වලින් තුවාල කොටගෙන සොහොන් පිටියෙහි වැතිර හොන්නේය. ඒ දුටු
ගිජුළිහිණියෝ චන්ද්‍ර ප්‍රභ කුමරුගේ ඇඟ මස් ඉරා කෑම නිසා ඔහු මිය
ගියේ, එම නගරයෙහිම බ්‍රාහ්මණ කුලයක උපත ලද්දේය. බ්‍රහ්මයාට සමාන
තේජසකින් යුක්ත වු හෙයින් බ්‍රහ්මප්‍රභ නමින් හැඳින්විණි. සියලු යස
ඉසිරු සම්පත් මැද හැදී වැඩුණු බ්‍රහ්මප්‍රභ කුමරු වේද මන්ත්‍ර ආදී
ශිල්ප ශාස්ත්‍ර උගෙන විවාහ ජීවිතයද ප්‍රතික්ෂේප කොට මව්පියන් වැඳ
අවසරගෙන තපසට නික්මුණේය.
ක්‍රමයෙන් උත්පලාවතී රාජධානියෙන් ඈතට ගොස් එක් සුන්දර වන පියසකට
පිවිසුණේ, තවත් තවුසන් දෙදෙනෙකු හමුවිණි. ඒ තවුසන් දෙදෙනා සමඟ නතර වූ
බ්‍රහ්මප්‍රභ තවුසාද සසර මඟ කෙටි කරනු වස් තවුස්දම් පුරන්නට පටන්
ගත්තේය. කාලය කෙමෙන් ගෙවී යයි. දිනක් බ්‍රහ්මප්‍රභ තවුසාණෝ සිය කුටිය
අසල යමක් දුටුවෝය. ඒ ගැබ් ගත් දිවි දෙනකි.
දිවි දෙන බ්‍රහ්මප්‍රභ තවුසාගේ කුටියට මදක් ඈතින් පිහිටි ගල් ලෙනක නතර
වූවාය. කිසිවෙකුටත් ඇගෙන් හිරිහැරයක් නොවිණි.
ටික දිනක් ගත වීමෙන් පසු දිවිදෙන පැටවුන් දෙදෙනෙකු බිහි කළාය. පැටවුන්
බිහි කළ දිවි දෙනට අහර සොයා යන්නට නොහැකි වූවාය. පැටවුන්ට ඇති ආදරය
නිසාත් අධික තෙහෙට්ටුව නිසාත් ආහාර සොයා නොගිය දිවි දෙන ලෙන තුළටම වී
සිටියාය.
දින දෙක තුනක් ගතවෙද්දී කුසගින්න වැඩිකම නිසාම සිහි විකල්ව ගිය ඇය
පැටවුන් මරා කෑමට සූදානම් වූවාය. එහෙත් තිරිසනකුව උපන්නත් දරු
සෙනෙහසින් ලය පිරුණු දිවි මව පැටවා කනු නොහැකිව ලතවෙමින් සිටියාය. කෙසේ
වුණත් තව ටික වේලාවකින් දිවි දෙන පැටවුන් ගොදුරු කරගන්නා බව දුටු
බ්‍රහ්මප්‍රභ තවුසා අනෙක් තවුසන් දෙදෙනාද කැටිව දිවි දෙන විසූ ලෙන අසළට
ගියේය. එහෙත් වියරු වැටි සිටි දිවිදෙන ගොරවා කඩා පැන්නෙන් තිරිසන්
සතෙකු වෙනුවෙන් මනුෂ්‍යයෙකුට බිලිවිය නොහැකි යැයි පැවසූ අනෙක් තවුසන්
දෙදෙනා පලා ගියහ. බ්‍රහ්මප්‍රභ තවුසා තනිවිය. දිවිදෙන දැන් දැන්
පැටවුන් කා දමතියි සැකයෙන්
“ මම මේ දිවි දෙනගේ කුස පුරවන්නට මගේ ඇඟ මස් දන් දෙමියි” සිතා ගල්ලෙන
අසලට ගියමුත් තවුසාණන් ගේ මෛත්‍රී බලයේ අනුහසින් දිවි දෙන තවුසා
බිලිනොගෙන පැටවුන් කෑමට සැරසුණාය. ඒ දුටු බ්‍රහ්මප්‍රභ තවුසා ..
“මම මගේ අතින්ම ගෙල සිඳගෙන මේ දිවි දෙනට බිලි වන්නෙමි.. මගේ මේ ඇඟ මස්
පූජාවේ ආනිශංසයෙන් අනාගතයෙහි උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්ව සියලු
සත්වයෝ සසර දුකින් මුදවන්නට හැකිවේවායි “ ප්‍රාර්ථනය කොට තියුණු උණ
පතුරකින් සියතින්ම ගෙල සිඳ දිවි දෙනට බිලි වූයෙන්, දිවිදෙන සා පිපාසාව
සන්සිඳුවාගෙන සුවපත් වූවාය.
සැවැත් නුවර දෙව්රම්වෙහෙරෙහි වැඩ වසන සමයේදී දානයෙහි හා දන් දීමෙහි
විපාක පිළිබඳ වටහා දෙන්නට ඉහත කතාව වදාළ බුදුන් වහන්සේ ..තව දුරටත්
මෙසේ වදාළ සේක.
ඉඳින් සත්ත්වයෝ දානයෙහි හා හා දාන ඵලයෙහි පින්පල දන්නාහු නම් ඔවුහු
කෑමට අතට ගත් අන්තිම බත් පිඩ හෝ අනුනට නොදී නොකන්නෝමය. සිතෙහි හටගන්නා
මසුරු මල දුරු නොකොට නොවසන්නාහුය .
මහණෙනි! එකල උත්පලාවතී රාජධානිය මෙකල පුෂ්කලා වනයයි. වැදුම් ගෙයිදීම
මරාකන්නට සූදානම් වූ දරුවා මෙකල රාහුල කුමරුවායි. එකල බ්‍රහ්මප්‍රභ
කුමරුගේ මව්පියවරු මෙකල සුදොවුන් හා මහාමායා රජ දෙපලයි. එකල දිවි දෙනව
උපන්නේ මෙකල කෞණ්ඩික භික්‍ෂුවයි.දිවිදෙනගේ පැටවුන් වුයේ නන්ද, රාහුල
දෙදෙනායි.
බ්‍රහමප්‍රභා තවුසා සමඟ වනයේ තවුස් දම් පිරූයේ මෛත්‍රී බෝධිසත්වයන් හා
සුප්‍රබුද්ධ රජුයි. උත්පලවතී නුවර කුසගින්නේ සිටි දරුවන් වැදූ මවට
පියයුරු කපා දන් දුන් රූපවතියව උපන්නේත්, කුසගින්නේ සිටි දිවි දෙනට ඇග
මස් දන්දී , මෛත්‍රී බෝධි සත්වයන්ට පෙර බුදුවීමට පෙරුම් පිරූ
බ්‍රහ්මප්‍රභ තවුස්ව උපන්නේත් මෙකල සම්මා සම්බුද්ධ වු මම්ම වේදැයි
දේශනා කළ සේක
සිංහල දිව්‍යාවදානය”
ඇසුරින් සකස්කෙළෝ විසාකා දිසානායක
කුලියාපිටිය |