Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විමුක්තිය සොයා ගිය එකම පවුලේ පස් දෙනාගේ කතාව

සුන්දර වූ ගැටහැත්ත ගම්මානය මාරඹේ ප්‍රදේශයට එක්කළේ අපූර්ව චමත්කාරයකි. මීදුම් පටල අතරින් මතුවන කඳු මිටියාවතත්, හිරු කිරණින් නැහැවී රන්පැහැ වූ කෙත් යායත් මනරම් සිත්තමක් වැනි ය. ප්‍රදේශයේ සත්පුරුෂ චරිතයක් වූ එදිරිසිංහ ආරච්චිලාගේ රූපසිංහ මහතාට හා ඇල්.වී. කරුණාවතී මහත්මියට 1959 සැප්තැම්බර් 26 වැනිදා සතුට ඉහවහා ගිය දිනයක් විය. මක්නිසා ද යත් තම කැදැල්ලට සුරතල් පුත් රුවනක් එකතු වූ බැවිනි. එදිරිසිංහ ආරච්චිලාගේ් වික්‍රමසිංහ යැයි නම් ලැබූ ඒ පුත් කුමරු මවුපියන්ගේ ආදර සෙවණේ ඇති දැඩි විය.

නිසි කළ උදාවීමෙන් තම ආදරණීය පුතුට අවැසි අධ්‍යාපනය ලබාදීම සඳහා දෙයියාගල විද්‍යාලයට ඔහු ඇතුළත් කිරීමට මවුපියෝ ක්‍රියා කළහ. පසුව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් හා උඩුවන ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ගත් වික්‍රමසිංහ ශිෂ්‍යයා ළමා විය පසුකොට තාරුණ්‍යය පැමිණියේ ජීවන ගමනේ් කඩඉමක් වෙත රැගෙන ආ පණිවිඩයක්ද සමගිනි. තුරුණු වියේ පසු වන කා තුළත් ඇතිවන පේ‍්‍රමාන්විත හැඟීම්, ඔහුගේ් හද තුළ ද දළු ලා වැඩුණේ නිරායාසයෙනි. ගාල්ල ප්‍රදේශයේ සුජාතා විදානපතිරණ නම් යොවුන් රුවැත්තිය වික්‍රමසිංහ යෞවනයාගේ පේ‍්‍රම දැලට හසු වූයේ, මේ සමයේදීය. ඔවුනොවුන්ගේ් හදවත් තුළ පොපියන පේ‍්‍රමණිය හැඟුම් එකිනෙකා වෙත බෙදාගත් නමුත් අනිකුත් පෙම්වතුන් මෙන් තොරතෝංචියක් නැති හිස් බස් තෙපළීමෙන් වැළකී ජීවිතයේ යථාර්ථය පිළිබඳ සාකච්ඡා කිරීමට තරම් ඔවුන් බුද්ධිමත් වූහ. දෙදෙනාගේ අදහස් එකට බැඳී යද්දී සිතිවිලි වල සමාන බව ඔවුන්ට වැටහීමෙන් ජීවිත ගමන එකට එක් වී ගෙන යෑමට තීරණය කළහ. තම ජීවන ගමනට වසර තිහ (30) එළඹීමත් සමග සුජාතා නම් වූ සුන්දර පේ‍්‍රමාදරය තම පි‍්‍රයම්බිකාව කර ගැනීමට වික්‍රමසිංහට හැකි විය.

ආදර්ශවත් දිවියක් ගෙන ගිය ඔවුන් දෙපළට උතුම් වූ මවුපිය පදවිය ලබා දෙමින් 1991 ජනවාරි 16 වැනිදින ඉසුරු සම්පත් ධනංජය නම් පුතණුවෝ ද 1992 අපේ‍්‍රල් 10 වැනි දා සචිනි සුගන්ධිකා ධනංජනී නම් දියණියද යළි 1994 ඔක්තෝබර් 19 වැනිදා ලහිරු සම්පත් මධුෂාන් නම් පුත් රුවනද වික්‍රමසිංහ කැදැල්ලට එක් වූහ. සාමය සතුට පිරී ගිය මේ සුන්දර කැදැල්ලේ ජීවිකාව ගෙවූ වික්‍රමසිංහ මහතාට විශ්‍රාමලත් ගුරු මාතාවක වූ මානිපුර මහත්මියගේ සහයෝගයෙන් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගෙන් ධර්මානුශාසනා ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා වූයෙන් ඔහු මෙතෙක් ගමන්ගත් මාර්ගය වෙනතකට යොමු විය. ජන්මයෙන් ඔහු තුළ තිබු දහම් පිපාසය ඤාණානන්ද හිමියන්ගේ් අනුශාසනා තුළින් යම් තරමකට සංසිදිණි. බෞද්ධ දර්ශනය හා සම්බන්ධ වටිනා කරුණු තර්කානුකූ®ලව නිරාකරණය කර තම මනස නමැති දහම් ගබඩාවේ ඒවා රැස්කර ගන්නට ඔහු වෙහෙස විය.

විධිමත්ව ලබාගත් ධර්ම සාරය තුළින් මනස පෝෂණයවත්ම, ලෞකික ජීවිතයේ නිසරු බව අවබෝධ කරගන්නට වැඩි කලක් ගත නොවුණේ ඔහු තුළ ඒ ගැන තිබූ දැඩි උනන්දුව හා කැපවීම නිසා ය. ඤාණනන්ද හිමියන්ගේ මඟ පෙන්වීමෙන් භාවනාවේ නිරත වූ ඔහු ලෞකික සැපත දුටුවේ සිඳී බිඳී යන දිය බුබුළක් ලෙසයි.

ජීවිතය තණ්හා, ආශා, වෛර, ක්‍රෝධ, දුක්, සංකාවන්ගෙන් පිරී ඇති බැවින් හා රෝගයෙන් , වයස්ගත වීමෙන්, කායික - මානසික වේදනාවෙන් මරණයෙන් නිතර ගිනි ඇවිලෙද්දී කෙසේ නම් සතුටු සිතින් සිටිය හැකිදැයි ඔහුගේ මනස ඔහුගෙන් අසන්නට විය. මේ ශරීරය කොතරම් අලංකාර ලෙස සරසාගෙන සිටියත් මෙය මසින් පිරුණු ඇටසැකිල්ලකි. ලෙඩදුක්, කන්දරාවකි. අඥානයා මේ ශරීරය වෙත කොතරම් ඇලුම් කළද මෙය අනිත්‍ය ය, සතර මහා ධාතූන්ගෙන් හටගත් මේ ශරීරය ජරාජීර්ණ වී මරණයෙන් අවසන් වන බව ඔමු අවබෝධ කර ගත්තේ ය.

උපදින්නා වූ සෑම භවයකදීම අවසන මාරයා හා කරන සටනින් අප පරාජය වන අතර තණ්හාව නිසා නැවත නැවත සසර උපදිමු. අප වපුරන ලද කෙළෙස්වල බලයෙන් නිමක් නොමැති මේ සංසාර චක්‍රය පවතින බව වටහාගත් වික්‍රමසිංහට මේ කෙළෙස් සටන ජය ගැනීමට අවශ්‍ය විය. ඔහු ලබාගත් ධර්ම ඥාණය සිය අඹුදරුවන් සමඟ බෙදා ගන්නටද ඔහු නිතර උත්සාහ කළ නිසා පවුලේ සියල්ලෝම සම්බුද්ධ දර්ශනයේ සත්‍යය තුළින් ජීවිතය පිළිබඳව නිසි අවබෝධයක් ලැබූහ.

කාලයත් සමඟ ඔහුගේ් මෙම සිතිවිලි වැඩි වන්නට වූයෙන් සසර ගමන අවසන් කිරීම පිණිස පැවිදිව බවුන් වැඩීමට සිත් විය. තම දරුවන් තම ආදර බිරිය විසින් රැකගනු ඇතැයි ද ඔහු කල්පනා කළේය.

එහෙත් සිදුවූයේ කුමක්ද? ඔහුගේ බිරිය වූ සුජාතා ද ඒ වන විට කල්පනා කරමින් සිටියේ සැමියාගෙන් අවසර ගෙන පැවිදි බව ලැබීමට බවයි. ඒ ගැන ඔහු බිරිය හා කතාබහ කළ විට දැනගන්නට ලැබුණේ.

ඉතා පුදුමයට කරුණක් වූයේ මවුපියන් දෙපළ එසේ කල්පනා කරන ෂටදීම, ඔවුන්ගේ් දරුවන් සියලු දෙනාද පැවිදිවීමේ අදහස ඇතිව සිටීමයි.

එක්තරා දිනයකදී මේ පින්වත් හදවත් තුළ තෙරපුණු එම උතුම් අපේක්‍ෂා විවෘත වූයෙන් එකිනෙකාගේ අරමුණු මුවින් ගිලිහෙන්නට වූයේ වාන් ඇරදැමූ දිය දහරක් කඩා හැලෙන විලසිනි.සැවොම එසේ තම අරමුණු ප්‍රකාශ කරද්දී වික්‍රමසිංහ මහතාගේ සිතට හැඟුණේ අප්‍රමාණ සහනයකි. විමුක්තිය සොයා යන ගමනට තම පවුලේ අයද එක්කර ගැනීමට ලැබීම කොතරම් වාසනාවක් දැයි ඔහුට සිතුණේ ය. ඔවුන් එකම පවුලක සාමජිකත්වය දැරුවා සේම, එකට එක්ව සංසාර ගමනද කෙළවර කිරීමට සසර පෙර සිටම පතා ආ පරිදි විය. මෙපරිද්දෙන් 2003 ජනවාරි මස මැද භාගයේ දී පවුලේ සියලු දෙනා සසුන්ගත වීමට තීරණය කළේ මහත් සතුටෙන් යුතුව ය.

සියලු ලෞකික දේ අතහැර, සාමාජිකයන් පස් දෙනකුගෙන් යුත් පවුලේ සියල්ලෝම පැවිදි බව ලබා ගැනීම සඳහා එසේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ ආරාමය වෙත පිය නැඟූහ.

අපේ හාමුදුරුවනේ.. බුදු සසුනක උතුම් පැවිදි බව ලැබීම දුෂ්කර දෙයක් බව දනිමි. පැවිදි වූ අයකුට ඒ පැවිද්දේ රැඳී සිටීමත් දුෂ්කර බව පිළිගන්නෙමි. නමුත් ගිහි ගෙයි වාසය කිරීමට අපගේ කැමැත්තක් නැත. සමාජයේ අසමාන අදහස් ඇති අයත් සමඟ වාසය කිරීම ද දුකකි. සංසාර ගමනේ කෙළවරක් නොමැති ව ගමන් කිරීම ද දුකකි. ඒ නිසා පැවිදි බව ලබා සංසාරය නමැති අඳුරු කතරේ නිමාවක් දැකීමට ඔබවහන්සේ අපට උපකාර කළ මැනව යැයි තමන්ගේ උතුම් ඉල්ලීම ඉදිරිපත් කළහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.