Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දියුණුවට මඟ


නමෝ තස්ස භගවතෝ අරහතෝ, සම්මා සම්බුද්ධස්ස

“උට්ඨාන වතෝ සතිමතො
සුචි කම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනො
අප්පමත්තස්ස යසෝභි වඩ්ඩති”


පින්වත්නි!

අසිරිමත් බුදු රුව දැකීම තරම් නෙත් සිත් පහන් කරවන දසුනක් ලොව තවත් නැත. “බුද්ධ” යන වචනය තරම් ඉමිහිරි වදනක් හඬක් ලොව තවත් නැත.

ගුණ දහම් වඩා දුසිරිත් දුරු කිරීමට ඔබේ අපේ සිත් පහන් කරන්නට බුදු බණ බුදුසරණින් ඉදිරිපත් කරන දහම් දෙසුම් පිහිට වුණා. උතුම් නිවන් ගමන් මඟ (ආර්ය මාර්ගය) හෙළි පෙහෙළි කරනවා අපේ සිත් ඒ සඳහා යොමු කරවනවා. ඒ සඳහා අපි ධර්ම ගෞරවය උපදවා ගෙන දහමට සිත යොමු කළ යුතුයි.

ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා දියුණු කළ යුතු යි. ඉහත දක්වන ලද ගාථාව තුළින් ජීවිතයක් අවදියෙන් සහ ප්‍රබෝධයෙන් ගොඩ නඟා ගන්නේ කෙසේදැයි විස්තර කර දී තිබෙනවා.

උට්ඨාන වීර්යය, සිහිය, නිවැරැදි ක්‍රියා විමසා බලා කටයුතු කිරීම, හික්මුණු බව, දැහැමි බව, ප්‍රමාද නොවීම මෙම පුරුෂාර්ථයන් ගොඩ නඟා ගනීද? ඒ තුළින් ජීවිතය පුරාවටම යසස කීර්තිය ගෞරවය ආදියෙන් පුද්ගලයා තුළ පමණක් නොව පවුල තුළත් සමාජය තුළත් රට තුළත් මුළු මහත් මානව පරපුරෙහිත් සමඟිය සහෝදරත්වය එකමුතුකම සාමය සෞභාග්‍ය සමෘද්ධිය ගොඩ නඟා ගත හැකි වේ.

එය ලෞකික සහ ලෝකෝත්තර සුවය කරාද ගමන් කරනු ඇත.

පුද්ගල දියුණුව සඳහා උට්ඨාන වීර්යය අතිශයම අවශ්‍ය වේ. අලසව කම්මැලිව යමෙක් ක්‍රියා කරයිද එමඟින් දියුණුවක් ආලෝකයක් දැකිය නොහැකි ය.

දීඝ ජානු කෝලිය සිටුපුත්‍රයාටද උට්ඨාන වීර්යය මෙලොව දියුණුවට හේතු වන බව පැහැදිලි කළ අතර කරණීයමෙත්ත සූත්‍රය තුළින් අත්ත කුසලයෙහි දක්‍ෂයෙකු ලෙස ක්‍රියා කිරීම තුළින් මානවයා තුළ ගොඩ නඟා ගත හැකි පෞරුෂත්වය අතිමහත් බව පැහැදිලි කර ඇත. අනර්ථයෙන් බැහැරව ආර්යයන් විසින් ප්‍රශංසා කරන ලද කාර්යයයෙහි අලස නොවී කම්මැලි නොවී ක්‍රියා කිරීම දියුණුවට මඟ වේ. ‘විරියෙන දුක්ඛං අ චෙචති’ වීර්යයයෙන් දුක් නැති කරන බව ආලවක සූත්‍රයේ දී පෙන්වා දී ඇත. ප්‍රඥාවෙන් සපිරි වීර්ය සියලු අභිමතාර්ථ ඉටු කරයි.

ප්‍රබුද්ධ සමාජයන් සඳහා විර්යය, උත්සාහය, කැපවීම, අධිෂ්ඨානය බුදුසමය අගය කරයි.යමක් ආරම්භ කිරීමේ ශක්තියක් එය පවත්වාගෙන යෑමේ ශක්තියක් එහි අවසාන ඉලක්කය දක්වා ගමන් කිරීමේ නොපසු බට වීර්යයක් තිබිය යුතු ය.

බුද්ධ චරිතය පුරාත් බෝසත් චරිතය පුරාත් එය මනාව විචිත්‍රවත් කර ඇත. උපන් මිනිසුන් වශයෙන් අප සැමත් එය අගය කර අපගේ ජීවිත වලට එය ඇතුළත් කර ගත යුතු වේ.

අද කළ යුතු දේ අදම කළ යුතු වේ. හෙටට කල් නොදැමිය යුතු ය.එය බෞද්ධ දර්ශනයේ එන විශිෂ්ට උපදේශනයකි. අපේ පැරැන්නන් අනේ අනිච්චං කියා නිකං සිටියේ නැත.

ඔවුන් ඒ තුළින් තවත් ශක්තිමත් වීර්යය උපදවා කළ යුත්ත කල් නොදමා වහා කළේ ය. එය පුද්ගලයාගේ මෙන්ම මුළු රටේම දියුණුවට හේතු විය. ඒ නිසා අටු කොටු පිරුණා, කෙත් වතු සරු සාරවත් වුණා. මඟ දාගැබ් ඉදි වුණා. පන්සිල් ආරක්‍ෂා කළා. ගුණ දම් වැඩුවා. මව්පියන්ට ගරු කළා. ඒ නිසා මහළු නිවාස ගොඩ නැඟුනේ නැත. මව්පියෝ මහමග අසරණ වූයේ ද නැත. ගුරුවරුන්ට වැන්දේය, පිදුවේ ය, ගුරුවරු ඉටු දෙවියෙකු ලෙස සැළකුවේ ය.

වීර්යය වන්තවරු අලස කමින් තොරව සීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශාසනයෙහි යෙදී ක්‍රියා කිරීමෙන් මෙලොව පරලොව සැපය පිණිස එය පවතී.

තමන් කරන කාර්ය පිළිබඳව නිවැරදිව සිහි කල්පනාවෙන් කටයුතු කිරීමෙන් කීර්තිය ප්‍රසංශාව හිමි වේ. වැරැදි ක්‍රියාවන් ගෙන් ඈත්ව සියලු කාර්යයන්හි සිහියෙන් කටයුතු කරන්නේ නම් එය දියුණුවේ මඟ බව බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක.

කාය කර්ම වචී කර්ම දහමට අනුව කිරීමෙන් එනම් කයෙන් වන වැරැදි වලින් වැලකී වචනයෙන් වන වැරැදි වලින් ඈත් වන්නේ නම් එය පුද්ගල දියුණුව මෙන්ම සමාජ දියුණුවද ඇති වේ.

නුවණින් විමසා බලා කටයුතු කිරීමද බුදුන් වහන්සේ අගය කළ අතර රාහුලෝවාද සූත්‍රයෙන්ද පැහැදිලි කරනු ලැබුවේ තමන්ටත් අනුන්ටත් අවැඩ පිණිස අහිත පිණිස පවතින දේ කිරීමෙන් වලකින ලෙසයි.

ඒ සඳහා මූලිකව විමසා බලා කටයුතු කළ යුතු බව පෙන්වා දුන්සේක.

තිදොර සංවරය සියලු යහපත පිණිස පවතී. ධාර්මිකව ගිහි පැවිදි දෙපක්‍ෂයම ක්‍රියා කරන්නේ නම් එය පුද්ගලයා තුළ මෙන්ම සමාජය තුළ ද නිවීම සැනසීම අන්‍යොන්‍ය ගෞරවය විශ්වාසය ගොඩ නැඟීමට හේතුවේ.

මෙකී ධර්ම කාරණා අනුව කටයුතු කිරීම තුළින් කීර්තිය ප්‍රසංශාව හිමි වන බැවින් ඔබත් ඔබේ දිවි මැදුර සරු කරගන්නට මෙම උතුම් දහම් පද අගයා ක්‍රියා කළ යුතු වේ.

ඔබ සැමට බුද්ධාදී ත්‍රිවිධ රත්නයේ උතුම් වූ ගුණ බලයෙන් සැපත ශාන්තියම වේවා.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.