Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කසාගල පුරාණ රාජ මහා විහාරය

මෙම විහාරස්ථානය අනුරාධපුර යුගයට අයත් පුද බිමකි. ජන වහරට අනුව කසාගල රාජමහා විහාරය කාවන්තිස්ස රජු විසින් කරවන ලද බව පැවසෙතත් බෝධි වංශ සඳහනකට අනුව මෙහි දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇත. මේ අනුව මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස යුගය කරා දිව යන්නේ යැයි කියැවේ.

“වට්ටාරම රජමහ විහාරස්ථානයෙහිද, සුලුගල්ලේද, රැස් වේරුවේද, කට්යාවෙහිද, ගිරි අබා වෙහෙරෙහිද, ඇඹලව රහත්ගල් වෙහෙරෙහිද, කසාගලු වෙහෙරෙහිද, යාපවු සුන්දරගිරි පවුවෙහිද, මෙසේ සම සතලිස් මහා බෝධි රාජයෝ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන වූ ලෙසටමැ මේ ශ්‍රී ලංකාද්වීපයෙහි පිහිටියාහු ය” (බෝධි වංශය) මාතර – කතරගම මාර්ගයෙහි රන්න සිට වීරකැටිය මාර්ගයේ සැතැපුම් 5 ක් පමණ ගිය තැන උඩයාල ග්‍රාමනිලධාරී වසමෙහි මෙම කසාගල පුරාණ විහාරස්ථානය පිහිටා ඇත. අනුරාධපුර සමයේ සිට රහතන් වහන්සේලාට වාස භූමියක් වූ මෙම විහාරස්ථානය දුටුගැමුණු රජුගේ යුධ හමුදා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස තිබූ බව රුහුණු ජන වහරේ සඳහන් ය.

කසාගල නුදුරු “රන්න” ග්‍රාමයට එම නාමය ලැබී ඇත්තේ ගිරිබණ්ඩශිවගේ දියණිය පාලි කුමරිය පණ්ඩුකාභය කුමාරයාට ඇඹුල බෙදූ ස්ථානය මුල් කොට ගෙන ය. මහා වංශයේ සඳහන් ලෙස පාලි කුමරිය පණ්ඩුකාභය කුමාරයාට ඇඹුල බෙදන්නට කඩාගත් නුගකොළ රන් පැහැවී ඇත.

එම නුගකොළ රන් පැහැ වූ නුග ගස පිහිටි ස්ථානය “රන්න” නම් වී ඇති බව ජනප්‍රවාදයේ එන්නේ ය. පණ්ඩුකාභය රුහුණේ සිට තම මාමාවරුන් හා සටන් කරන්නට යන ගමනේ දී කසාගල කඳවුරු ලාගත් බවද ජන වහරෙහි කියැවේ.

එදා දේවානම් පියතිස්ස යුගයේ රෝපණය කරන ලද දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේ ගල් ප්‍රාකාරයෙන් වටවූ පුදබිම තුළ අදත් දක්නට ඇත. එමෙන්ම කසාගල ගල් පවුව මත අදත් දක්නට ඇති චෛත්‍ය දේවානම් පියතිස්ස යුගයේ මැටියෙන් කරන ලද චෛත්‍ය බව විශ්වාස කෙරේ. එය මහනුවර යුගයේ සුනු පිරියම් කර වර්තමාන තත්ත්වයට සකස් කර ඇත. අනුරාධපුර යුගයේ මෙහි “මිත්ත” නම් රහතන් වහන්සේ වැඩ සිටි බවද සඳහන් ය. රහතන් වහන්සේලා සිවුරු සෝදා වේලෙන්නට මෙම ගල් පව්වෙහි වැනූ විට කහපාටින් ඈතට දිස්වුණ මෙම ගල් පව්වට ආදි වාසීන් “කහගල” කියා ව්‍යවහාර කළ බවද කියැවේ. මෙහි ඇති ක්‍රිෂ්තු වර්ෂ ;දවැනි සියවසට අයත් සෙල් ලිපියක මෙහි නම “කචගල් විහර” ලෙස සඳහන් වේ. මෙහි මුඛ පරම්පරාගත ඉතිහාසය කෙසේ වෙතත් මෙහි පැරැණි විහාර ගෙය අනුරාධපුර යුගයට අයත් බව ඉතිහාසඥයින්ගේ ද පිළිගැනීමයි. නුවර යුගයේ අලුත් වැඩියා කරන ලද විහාරගෙයි අනුරාධපුර යුගයට අයත් මහා ගල් කුලුණු අදත් දැකිය හැකි ය. එසේම විහාරස්ථානය වටා ඇති මහා ගල් ප්‍රාකාරයද මෙහි ඇති විශේෂ ලක්‍ෂණයකි. මෙහි දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර තිබූ බව පරණවිතාන සූරීන් සඳහන් කර ඇත. මහනුවර යුගයේ සිට රාජ්‍ය අනුග්‍රහය ලබමින් වාර්ෂික ඇසල පෙරහක් පවා පවත්වා ඇති කසාගල විහාරස්ථානයේ මුල්ම විහාරාධිපතීන් වහන්සේ හැටියට පොත පතේ සඳහන් වන්නේ ශ්‍රී පාදස්ථානය සහිත පහතරට සංඝනායක වේහැල්ලේ ධම්මදින්න මහා ස්වාමීන් වහන්සේ ය. එතැන් පටන් මහ කදුරුපොකුණේ සුමණ්ණ ජෝති හිමි, කදුරුපොකුණේ සෝභිත හිමි, බද්දේගම ගුණරතන හිමි, ගාල්ලේ ධම්ම රක්ඛිත හිමි, මාතර සෝභිත හිමි, පොළොම්මාරුවේ සෝනුත්තර හිමි, හීල්ලේ පියතිස්ස හිමි, දොඩම්පහළ ජිනරතන හිමි, කදුරුපොකුණේ සුමනතිස්ස හිමි, විතාරන්දෙණියේ විමලසිරි හිමි, වර්තමාන විහාරාධිපති කණුමුල්දෙණියේ ආනන්ද හිමි යන හිමිවරුන් මෙහි විහාරාධිපතිත්වය දරා ඇත.

විතාරන්දෙණියේ විමලසිරි නායක හිමියන්ගේ සමයේ මෙම ඓතිහාසික කසාගල භූමි භාගයට අයත් අක්කර දහසකට අධික බිමෙන් අක්කර 117 ක් කසාගල ජන උදාන ගම්මාන පිහිටුවීමට රජයට ලබා දී ඇත. 1997 වර්ෂයේ කසාගල ජන උදාන ගම්මානය විහාරයට නොදුරු ගමක් ලෙස විවෘත වීමෙන් පසුව කසාගල විහාරස්ථානයට නව ආලෝකයක් ඇතිවිය. තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම කසාගල ඓතිහාසික විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කරන්නට එවකට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගේ මූලිකත්වයෙන් මුල්ගල් තැබීම 1997 දී සිදු කරන ලදී. දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙහි ඇති මහනුවර යුගයට අයත් ධර්ම මණ්ඩපය සහිත ධර්ම ශාලාව පිළිසකර කරගෙන යනු ලබයි. පුරාවිදු පුදබිමක් ලෙස නම්කර ඇති මෙහි කළයුතු පිළිසකර කටයුතු බොහෝ ඇතත් තවමත් මේ සම්බන්ධ සුවිශේෂ අවධානය යොමු නොවීම නිසා මෙහි ඓතිහාසික ශ්‍රී විභූතිය දැක ගැනීම දුෂ්කර වී ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.