Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

යොවුන් වියේ දී දැල්විය යුතු ධර්ම  ප්‍රදීපය

පියවි ඇසට නො පෙනෙන ඒක සෛලික කළලයක් ලෙස උපත ලැබ, දින දෙසිය අසූවක් පමණ මවු කුස තුළ වැඩී, අනතුරුව මෙලොව එළිය දකින මිනිසා එතැන් සිට මරණය තෙක් වූ අනවරත ගමනක් ආරම්භ කරයි. යුගයට හිමි පරමායුෂ ඔහු ගෙවන්නේ නම්, ළදරු , ළමා, තරුණ, මහලු යන අවස්ථා පසුකර මරණයට පත්වෙයි. මෙම නියත ගමනට ගත වන කාලයට, ජීවිත කාලය යැ යි කියමු.

මෙම ජීවිත කාලය තුළ පසු කරන අවධි අතරින් සිත කය දෙකේ ඉහළම හා උපරිම ජීවය හෙවත් ශක්තිය ආයෝජන හැකියාව ඇති අවධිය, යොවුන් වියයි. බුද්ධ කාලයේදී මිනිස් පරමායුෂය දශක දහයකට බෙදා දැක්විණ. එහි තරුණ විය ඇතුළත් වන්නේ වර්ණ දශකයට හෙවත් අවුරුදු 20 - 30 කාලයට ය. නූතන මනෝ විද්‍යාව අනුව එම යුගය අවුරුදු 18 - 35 කාල පරාසයකට වැටෙයි. මිනිසාට මානසික වයසක් ද ඇත. එය සාමාන්‍යයෙන් ජන්ම වයසට අඩු ය. එහෙත් ඊට වැඩි වූ විශේෂ අය ද කලාතුරකින් සිටිත්. ජන්ම වයසින් සමාන වූවන්ගේ මානසික වයස් සම නැත. අප කැමැති වුණත් අකැමැති වුණත් කායික වයස නිරායාසයෙන් ඉදිරියට ගෙවී යයි. අපට අවශ්‍ය පරිදි එය අඩු කිරීමට හෝ වැඩි කිරීමට නොහැකි ය. එහෙත් සකර්මක ක්‍රියා නිසා ආයුෂයේ අඩුවැඩිතාව සිදුවන බව බුදුදහම අවධාරණය කරයි. යොවුන් විය ගැන කථා කරන විට වැඩි අවධානයක් යොමුකළ යුතු වන්නේ සියලු ක්‍රියාවලට පූර්වාංගම වන මානසික ස්වභාවය කෙරෙහි ය.

පංචේන්ද්‍රියයන්ගේ උපරිම සක්‍රීය භාවය පවතින්නේ තරුණ වියේදී ය. ඒ නිසා ඒවා සන්තර්පණය කෙරෙහි උපරිම නැඹුරුව ද, එම යුගයේදී වෙයි. පුද්ගලයාගේ සිත ඒ අවශ්‍යතා උදෙසා කැපකරුවකු වෙයි. එබැවින් තම සිරුර පිළිබඳ වැඩි උනන්දුවක්, තරුණ වියේ දී ස්වාභාවිකව ඇතිවේ. මේ ස්වභාවය මනාව පසක් කර ගත් වාණිජත්වය විසින් ‘යෞවනයේ පොපියන චමත්කාරයක්’ ඔහු තුළ උපදවා, තුරුණු ආධ්‍යාත්මය ස්වකීය වසඟයට ගෙන, සැලෙන, නළියන, අනුරාගී , ආවේගශීලි මනෝමය සම්භවයක් තරුණ සිත් තුළට සම්පේ‍්‍රෂණය කෙරෙයි. එහි කෙළවර වෙනුවෙන් එම චමත්කාර ප්‍රසංග වේදිකාවේ ඔහු නළුවකු වීමයි. තරුණ විය යනු හුදු විනෝදයෙන් චමත්කාරයෙන් හා සැහැල්ලුවෙන් ගෙවිය යුතු එකක් යැයි උපකල්පනය කිරීම, එම යුගයේ වටිනාකම නොදත් බව දැක්වීමකි. වින්දන හා භාවයන්ගේ ඉහළම සාර්ථක භාගය පවතින්නේ තරුණ වියේ බව සත්‍යයකි. එය අතිශයින්ම ස්වභාවික ය.

මිනිස් දිවියෙහි වටිනාම අවධිය වූ තරුණවියේ විභව ශක්තිය නිවැරැදිව තේරුම් ගෙන, එහි උපරිම ඵල නිවැරැදිව නෙළා ගැනීමට මං පෙත විවෘත කර දීම, සියලු දෙනාගේම පුළුල් වගකීමකි. සතුට හා සුන්දරත්වය, තරුණ වියේ පසුවන අයට අවශ්‍යම දෙයකි. වයසින් වැඩී ගිය වැඩිහිටියන්ට මෙන් කායික හා මානසික පරිණතභාවයක් නැති ඔවුනට අප ආරාධනා කළ යුත්තේ, එකී සතුට හා සුන්දරත්වය නිවැරැදි අන්දමින් විඳින්නට ය. එසේ නොකළහොත් එය නිදහසේ සිතන්නට, ගවේෂණය කරන්නට, එමගින් මිනිස් දිවියෙහි යථාර්ථය දකින්නට යෞවනයාට ඇති ඉඩකඩ ආවරණය කිරීමක් වනවා පමණක් නොව ඔවුනට කරන අගෞරවයක් ද වනු ඇත. සෑම දෙයක්ම යථාර්ථයෙන් විමසා දැකීමේ ස්වභාවික ප්‍රවණතාවක් ඇති යෞවනයාට ඒ යථාර්ථය පෙන්වා දිය යුතුය. එළිපිට දකින දේවල්වලට වඩා, ස්වකීය අසම්පූර්ණ අත්දැකීම් මගින් පමණක් වටහා ගත නොහැකි. සම්භාව්‍ය කරුණු ගැන දැන ගැනීමට ඔවුහු කුතුහලයෙන් සිටිති. එනිසා ධර්ම ප්‍රදීපය දැල්විය හැකි හොඳම යුගය යොවුන් විය යි. නමුත් ස්වකීය අවදියේ ස්වභාවය අනුව, බාහිර ලෝකයේ අරමුණු සමග වැඩිහිටි පිරිසට වඩා දැඩි ලෙස බැඳී සිටින, එසේම අනාගත අපේක්ෂා සපුරා ගැනීමෙහි ලා අවිනිශ්චිතව සිටින අපේ යොවුන් පිරිසට වැඳුම් පිදුම් මට්ටමේ ක්‍රියා තුළ පමණක් වැඩිහිටියන්ට මෙන් රැඳී සිටිය නොහැකි ය. ඔවුනගේ ආධ්‍යාත්මයට ඊට වඩා අර්ථවත් දර්ශනයක් අවශ්‍ය ය. ඔවුන් අසන ප්‍රශ්න බුදු දහමේ හරය සිසාරා යයි. යම් දෙයක යථාර්ථය, හුදු ඇදහීමෙන් තොරව දැකීමට ඔවුනට අවශ්‍ය ය. ඒ හැකියාව වැඩිහිටියනට වඩා ඔවුන්ට ඇත බුදුදහම වනාහී වයසින් පරිණත වූ වැඩිහිටියන්ට පරිහරණය කළ යුතු දෙයක්ය යන සංකල්පයෙන් වැඩිහිටි පිරිස පළමුවෙන් බැහැර විය යුතු බව පෙනේ.

අපේ තරුණ පිරිසට ස්වකීය ආධ්‍යාත්මය අවදි කර ගැනීමට අතහිත දෙන අවස්ථා පෙරට වඩා වර්තමානයෙහි උදාවෙමින් පවතින බව දක්නට ලැබීම සතුටට කරුණකි. එහෙත් ඒ අවස්ථා ප්‍රමාණවත් නැති අතර, අප රටේ ඒවායේ ප්‍රමාණවත් ව්‍යාප්තියක් තවම නැති බව කිව යුතු ය.

තරුණ පිරිසට සපුරා ගතයුතු බොහෝ අපේක්ෂා ඇති බව සත්‍යයකි. ජීවත්වන පරිසරයට හා යුගයට අනුව ඉදිරි අනාගතය සඳහා පිඹුරුපත් සකසා ගැනීමට වෙහෙස මහන්සියෙන් අධිෂ්ඨාන පූර්වකව ක්‍රියාකිරීමේ වගකීම යෞවනයාට ඇත. එකී ජීවන අවශ්‍යතා බුදුදහමේ පරාසයෙන් පිටත දෑ නොවේ. ඒ අභියෝග සියල්ලටම සාර්ථකව මුහුණ දීමටත් ඒවා ජය ගැනීමටත් අවශ්‍ය මානසික සංස්කරණය ඔවුනට ලබාදිය හැකි ය. දහම් පතපොත කියවීමට අපේ බොහෝ තරුණ පිරිස පසුබා සිටිත්, මේ අවශ්‍යතාව ඉතා පහසුවෙන් සපුරා ගැනීමට මහානර්ඝ අත්වැලක් සතිපතා සපයන ‘බුදුසරණ’ පුවත්පතවත් ගෙන කියවන තරුණ පිරිස ඉතා අඩුබව කනගාටුවෙන් වුවද කිව යුතු ය. ඒ සඳහා ඔවුන්ගේ සිත් යොමු නොවන්නේ ඇයි? මේ ප්‍රශ්නයට පිළිතුරු අප සොයා ගත යුතු ය. සති අන්ත පුවත්පත් වල මැදට තබා සඟවා පිට කෙරෙන සතිපතා ප්‍රසිද්ධියේම නිකුත් කෙරෙන සමනල වර්ණ අතිරේකවල රූප රාමු හා තොරතුරු ඉමහත් අභිරුචියකින් කියවීමට ඔවුන් බහුල වශයෙන් යොමු වන්නේ ඇයි? ඒවායේ අන්තර්ගත අදට හෝ මතුවට හෝ කිසි ප්‍රයෝජනයක් නැති දෑ කෙරෙහි හැරවී ඇති වින්දනාත්මක ක්‍ෂේත්‍රය ඵලදායි මාවතකට යොමු කිරීමට කළයුතු වන්නේ ඒවාට දොස් තැබීම නොව, ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හැකි ආකල්පමය හැඩගැස්මක් තුරුණු වියේ අය තුළ ඇති කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමයි. එවැනි පසුබිමක් නොමැති විට ඔවුනට කළහැකි වෙනත් දෙයක් නැත.

දිනපතා ක්‍රියාත්මක වන උපකාරක පන්ති මහා ව්‍යාපාරය තුළත්, ජීවන සටන උදෙසා වෙළෙඳ කලාපයන් හි හා වෙනත් බොහෝ ආයතන තුළත් හිර වී කටුක දිවියක් ගෙවන අති විශාල තරුණ පිරිසටත් කවර නම් ආධ්‍යාත්මික අතදීමක් කුමන ආකාරයේ හෝ මුද්‍රිත මාධ්‍යයකින් කෙරේද? තරුණ තරුණියන් වෙනුවෙන් ම පළ කෙරෙන සියලු මුද්‍රිත ප්‍රකාශන මගින් ද ඔවුන් තුළ බුද්ධිමය අවදි බවක් ඇති නොකෙරේ. වර්ණයෙන් රූපයෙන් පමණක් නොව, අද යුගයේ බිහිකර ඇති අමුතුම වචන රටා මගින් ද ඔවුන් ගේ ඇස බැඳ තබා ගැනීම සාර්ථකව කෙරේ. අවම වශයෙන් පුන් පොහෝ දිනයේදීවත් උපකාරක පන්තිවලින් අපේ තරුණ දරුවන් නිදහස් කර ගැනීමට නොහැකි ලෙස ‘මානව අයිතිවාසිකම්’ න්‍යාය දර්ශනයට අප රාජ්‍ය තන්ත්‍රයද අවනත වී ඇත.

යොවුන් වියේ පසුවන අයට, වැඩිහිටියන්ට මෙන් මරණය කෙළවර නොපෙනේ. එය දැකීමට අවශ්‍යතාවක් ද ඔවුනට නැත. එමනිසා වැඩිහිටියන් සිතන - පතන, වඳින - පුදන ආකාරයට තරුණ පිරිස යොමු නොවීම ගැන දොස් පැවරිය නොහැකි ය. එමෙන් ම එවැනි ;යාමුවීමක් අපේක්ෂා කිරීමට ද නොහැකි ය. ශුද්ධ ධර්ම දේශනා හෝ කාලීන දේශනා ඔවුන් තුළ චර්යාමය වෙනස් කමක් ඒකාන්ත වශයෙන් ඇති කරන්නේ නැත. ඔවුන් තුළ ධර්ම ප්‍රදීපය දැල්වීම යනු හුදු ශාස්ත්‍රීය ලෙස ධර්ම ඥාණය ලබාදීමක් ම යැයි සැලකිය යුතු නොවන්නේ ය. අප කරන, කියන, අසන, දකින, සිතන, පතන

සෑම තැනකම ධර්මය ඇත. ගීතයේත්, චිත්‍රයේත්, රංගනයේත්, කෙටියෙන් කීවොත් සමස්ත සංස්කෘතියේ ම ධර්මය ඇත. ධර්මය යනු, යථාර්ථයයි. ස්වභාවයෙන්ම මිනිසාට, විශේෂයෙන් තරුණයාට සතුට, සුන්දරත්වය, විනෝදය වැනි වින්දනාත්මක තෘප්තිය අවශ්‍ය ය. නැතහොත් ඔහු වියලී ගිය පත්‍රයක් සේ වෙයි. තරුණ විය ප්‍රාණවත් පත්‍රයක් මෙනි. එහෙත් එය නොයෙකුත් පළිබෝධයන්ට ගොදුරු වීම වළක්වාලිය යුතු ය. එය කළ හැක්කේ යෞවනයාගේ බුද්ධිය අවදි කර යථාර්ථය දකින්නට සැලැස්වීමෙනි. ධර්ම ප්‍රදීපය දැල්වීම යනුවෙන් අදහස් කරන්නේ එයයි. එසේ යථාර්ථය දැකීමේ හැකියාව ඇති වූ විට ඔහු අත්දකින සතුට, සුන්දරත්වය හා විනෝදය හරවත් ද නැතහොත් හර සුන් ද යන්න ඔහුටම විනිශ්චය කළ හැකි වෙයි. එවිට හරසුන් දෑ වලට ඔහු ගොදුරු නොවෙයි. අපේ තරුණ පෙළ තුළ විශ්මිත දක්ෂතා හා හැකියා ඇත. ඒවා අගය කිරීම ඉතා අවශ්‍ය මෙන්ම උතුම් කාරණයකි. නමුත් ඒ දක්ෂතා හරහා උපක්‍රමශීලිව පහන් එළියට වහ වැටුණු මෙරුවන් බවට ඔවුන් පත්කිරීම කළ යුතු නොවේ. නිසරු දේ - නිසරු ලෙසත්, සරු දේ - සරු ලෙසත් දැකීමේ කුසලතාව ප්‍රගුණ කර ගැනීමට බුදු දහමින් ලැබෙන පිටුබලය අති විශාලය. යෞවනයාගේ බුද්ධිය අවදි කර ගැනීමට අවකාශය සැලසෙන, යථාර්ථය දැකීමේ විමසීමේ හා ගවේෂණය කිරීමේ ප්‍රවණතාව ඇති කරන බුද්ධිමය ධර්ම සංවාද, දේශනා හා ප්‍රායෝගික වැඩ සටහන්, අප රටේ ධර්ම රුචි බුද්ධිමතුන් විසින් සංඝරත්නයේද අවවාද අනුශාසනා ලබාගෙන හැකිතාක් දුරට සැලසුම් කළ යුතුව ඇත.

පාසලේදී විධිමත් අධ්‍යාපනයක් ලබා දහම් පාසල් අධ්‍යාපනය ද ලබා තරුණ වියට පිවිසෙන දරුවෝ බුද්ධිමත් ය. ප්‍රමාණවත් විද්‍යා අධ්‍යාපනයක්ද ලබාඇති නිසා, අතාත්වික සම්මුතියෙන් ඔබ්බට තාත්ත්වික පරමාර්ථ වටහා ගැනීමට ද ඔවුනට හැකියාව ඇත. ඒ සඳහා නවීන විද්‍යාත්මක පර්යේෂණ ද ඔවුනට පිටුබලයක් විය හැකි ය. අපේ විහාරස්ථානවල වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේගේ නායකත්වය හා මාර්ගෝපදේශකත්වය යටතේ දහම් පාසල් ප්‍රධානාචාර්යවරු, ගුරු භවතුන් හා ධර්ම රුචිධර්ම ධර- දැනුවත්ගිහි පින්වතුන් එකතු වී මවුපියන්ගේ ද සහාය ලබා ගෙන ප්‍රාදේශීය වශයෙන් අවම වශයෙන් මසකට වරක්වත් තරුණ දහම් හමු සංවිධානය කළ හැකි ය. ආරම්භය තරමක් දුෂ්කර විය හැකිය. එසේ කරන තැන්ද අපේ රටේ නැතිවා නොවේ. තරගකාරිත්වයෙන් තොරව අන්තර් සාමාගි‍්‍රයෙන් යුතුව ඒවා සැලසුම් කරගතහොත් අවශ්‍ය ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟා විය හැකි ය. තරුණ පිරිස හුදු සවන් දෙන්නන් හෝ කියනදේ කරන්නන් ලෙස නොගෙන, ඔවුන් එම් දහම් හමුවල ක්‍රියාකාරී පුද්ගලයන් බවට පත් කිරීමෙන් යහපත් ප්‍රතිඵල උදාකරගත හැකි ය.

බුදු දහමෙහි නිර්දිෂ්ට බොහෝ ගැඹුරු කරුණු අවදි කරගත් බුද්ධිය ඇති අය විසින් පසු කාලයේදී අවබෝධ කර ගනු ලබන ඒවා වෙත්. ඒ අවබෝධ තලයට තරුණ පෙළ ගෙන ඒමට නම් ඔවුන්ගේ දෘෂ්ටිය පිරිසුදු කළ යුතු බව නොරහසකි. උපදේශනය පමණක්ම ඊට ප්‍රමාණවත් නොවේ. ප්‍රශ්න කිරීම්, විමසීම්, නැවත නැවත විමසීම්, එකඟ විය නොහැකි තැන්වලදී ප්‍රතික්ෂේප කිරීම්, අත්හදා බැලීම් වැනි විචාරශීලි අවස්ථා වලට විවෘත අවකාශය මෙකී දහම් හමුවලදී තරුණ පෙළට ලබාදිය යුතු ය. එවැනි පරිපූර්ණ අත්දැකීමක් ඔවුනට ලබාදුන් පසු අනාගතයේ දී ඔවුහු දේශයේ ධර්ම ප්‍රදීපය දල්වනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.