Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සද්ධාතිස්ස රජු ශ්‍රද්ධාවෙන් පුබුදුවාලූ කාලකාරාම සූත්‍ර දේශනාව

දුටුගැමුණු මහ රජුගේ සොහොයුරු තිස්ස කුමරු බුදුරජාණන් වහන්සේ , ධර්මය හා මහා සංඝයා කෙරෙහි දැක් වු මහත් ශ්‍රද්ධා භක්තිය නිසා පසු කාලයේ සද්ධාතිස්ස නමින් ප්‍රසිද්ධ විය. හෙතෙම දාන ශීලාදී කටයුතු විෂයෙහි අනුගමනය කළ පිළිවෙත් පිළිබඳ රසවත් කතාන්තර සහස්සවත්‍ථුව, සිහල වත්ථුව හා රසවාහිනි ආදියෙහි දක්නට ඇත. හෙතෙම කාලකාරාම සූත්‍ර දේශනාව අසා ප්‍රසාදයට පත් අයුරු දක්වන අපූරු කතාව සද්ධර්මරත්නාකරයේ දක්නා ලැබේ. සද්ධර්ම රත්නාකරය කෝට්ටේ රාජ්‍ය සමයේ හි ලියන ලද්දක් බව පොදු පිළිගැනීම ය.
එය පලාබත්ගල වනවාසී ධර්ම කීර්ති පරම්පරාවේ ධම්ම දින්නාචාර්ය විමලකිත්ති හිමියන්ගේ කෘතියකි. වික්‍රමබාහු නම් තෙර නමක් හා වීරසුන්දර නම් උපාසකයකු විසින් කරන ලද ආරාධනයකින් ලියා ඇති මෙය ධර්ම දානමය පුණ්‍ය කර්මයක් කොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් විවරණය ලැබ මතු බුදුවීමේ අරමුණ ඇතිව කළ බව, ඒ හිමියෝ කියති. ද්විතීය ධර්ම කීර්ති නා හිමියන්ගේ ශිෂ්‍යවරයකු වු විමලකිත්ති හිමියන් සතුව පැවැති ධර්මඥානයට උපහාර වශයෙන් ධම්ම දින්නාචාර්ය යන අභිධානයෙන් උන්වහන්සේ හඳුන්වා ඇති බව පෙනේ.
රජරට දෙමළ බලමුළු පලවා හැර මුළු රට එක් සේසත් කළ දුටුගැමුණු මහ රජුගෙන් පසුව ලක් සිහසුනට පත් වුයේ සද්ධාතිස්ස රජුය. එකල මිහින්තලේ පවත්වන ලද සුවිශේෂ ධර්ම දේශනාවකට සවන්දීමට රජු වාසනාවන්ත විය. කාලකාරාම සුත්‍ර දේශනාවට සවන්දීමේ අවස්ථාවක් රජුට ලැබිණි.
මෙකල මිහින්තලේ රාජගිරි නමින් හැඳින්වුණු ගල්ලෙනක බුද්ධ රක්ඛිත නම් තෙර නමක් වාසය කළහ. උන් වහන්සේ වර්ණයෙන් කලු විය. අංගුත්තර නිකායේ චතුෂ්ක නිපාතයේ එන කාලකාරාම සූත්‍රය දේශනා කිරීමේ කැමැත්තක් උන් වහන්සේට ඇති විය. ඒ සඳහා උන් වහන්සේ තෝරා ගත්තේ අමාවක පොහොය දිනයකි. ඒ අඳුර රජයන දිනයකි.
උන් වහන්සේ බැතිබර ජනතාවට නිදහසේ ධර්ම ශ්‍රවණයට පහසු පරිසරයක් තම දේශනා භූමිය වශයෙන් තෝරා ගත්හ. ඒ මිහින්තලේ කලුදිය පොකුණ අසලය. බුදුරජාණන් වහන්සේ රුක් මුල් වැඩ හිඳ ධර්ම දේශනා කිරීමට වඩා පි‍්‍රය කළ බව සිහිපත් කළ බුද්ධ රක්ඛිත හිමියෝ කලු තිඹිරි ගසක් ධර්ම දේශනාව සඳහා තෝරා , ගත්හ. මිහින්තලේ කලුදිය පොකුණ අසල කලුතිඹිරි ගසක් මුල වැඩ හිදිමින් කලු බුද්ධ රක්ඛිත හිමියන් අමාවක් පොහෝ දින කාලකාරාම සූත්‍ර ධර්මය දේශනා කරන බව ගම් දනව් පුරා ප්‍රචාරය විය.
මෙදින හිරු අවරට යත්ම පෑල දිග අහස රක්ත වර්ණයෙන් ආලෝකමත් විය. අවට වන හිස නන් කුසුමෙන් අලංකාර විය. සා මුවෝද තුරුලතා වල ලැග සිටි පක්ෂීහුද නිහඬ වුහ. තෙරුන් වහන්සේ ධර්මය දේශනා කරන අටියෙන් රුක්මුල වැඩ සිටියහ. උන් වහන්සේ ගේ ශාන්ත විලාසය දැක ගැනීමට මෙන් මඳ පවන් හැමීය. බුද්ධරක්ඛිත හිමියෝ ධර්ම දේශනාව පටන් ගත්හ.
සද්ධාතිස්ස රජු හැම පොහොය දිනකම සිල් සමාදන් වීම සිරිතක් කර ගෙන සිටියේය. මෙදින ද අමාවක පොහොය දිනය වූයෙන් උපෝසථ සීලය සමාදන් වු රජු සුමධුර ධර්ම දේශනාවකට සවන් දීමේ ආශාවෙන් සිටියේය. මිහින්තලේ පැවැත්වෙන සුවිශේෂ ධර්ම දේශනය පිළිබඳ රජුට අසන්නට ලැබිණි. රජු අතවැසියන් සමග එහි ගියේය.
රජු එහි යන විට අඳුර වැටී තිබූ අතර බොහෝ උවසු උවැසියෝ ධර්ම දේශනා භූමියේ අතුරු සිදුරු නැතිව පිරී සිටියහ. තමා පැමිණි බව තෙරුන් වහන්සේට දැන්වීම හෝ සෙනග පීරා ගෙන ඉදිරියට යෑම හෝ නොමනා යැයි රජු සිතූ සේය.
හෙතෙම ඉඩ ලද තැනක සිටි වනම හිටිපිය නොසලා, මුළු රැය පහන් වනතුරුම ධර්ම ශ්‍රවණය කළේය. පසු දින පහන් වත්ම හමාර බණ දෙසූ හිමියෝ ධර්ම දේශනය නිමා කළහ.
තමන් පැමිණි බව තෙරුන්ට ඇඟවීමට සුදුසු කල යැයි සිතූ රජු. උන් වහන්සේගේ දර්ශන පථයට සමීප විය. බුද්ධ රක්ඛිත හිමියෝ රජු හැඳින ගත්හ.
රජු තෙරුන් සමීපයට ගොස් දොහොත් මුදුන් දී වැන්දේය. තමා මුළු රැයම ධර්ම ශ්‍රවණය කළ බවත් එයින් තමා ගැඹූරු ආශ්වාදයක් විඳි බවත් රජු පැවසීය. රජකු වශයෙන් කිසි සුවයක් නොලැබ මුළු රැය පුරා හිටිවනම ධර්මය ශ්‍රවණය කිරීම ගැන තෙරුන් වහන්සේ පුදුමය පළ කළහ. ඊට පිළිතුරු දුන් රජු ‘ ඔබ වහන්සේගේ මිහිරි ධර්ම දේශනා විලාසය අතිශයින්ම ප්‍රසාදජනක යැයි ද එක් රැයක් නොව දිවි ඇතිතුරා වුවද ඔබ වහන්සේගේ දේශනාව අසා සිටිය හැකි යැයි ද පැවසීය.
මෙතරම් අරුත්බර මිහිරි ධර්ම දේශනයක් මෙතෙක් තමාගේ ජීවිත කාලය පුරා අසා නැති බවත් පැවසු රජු ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය එක සූත්‍ර දේශනාවකින්ම පැවසුවේ නොවේදැ’යි විමසීය.
ඊට පිළිතුරු දෙන තෙරුන් වහන්සේ මහරජ පන්සිය පනස් ජාතක දේශනාය. දෙසිය නවානූදහසක් කතා වස්තු දේශනාය. සතළොස් දහස් පන්සිය පන් සැත්තෑවක් සූත්‍ර දේශනය ආදි වශයෙන් බුද්ධ ධර්මය සුවිශාල ධර්මස්කන්ධයක් බව පැවසූහ. මේ සා විශාල ධර්මස්කන්ධය අතුරෙන් තමා දේශනා කළේ එක සූත්‍ර දේශනාවක් පමණක් බවත් පැවසූහ.
අප්‍රමාණ ධාන්‍ය රැසකින් සැදි හාල් කෙතකින් එක් වී කරලක්, මහ මුහුදට දැමූ භාජනයක පිරුණු දිය ස්වල්පයක් , අතෙකුගේ ශරීරයෙන් කුහුඹුවකු ගත් මස් ස්වල්පයක්, වට මහ වැස්සකින් කුඹුරක ලියැද්දක පිරී ගිය ස්වල්පයක්, තරම් වු ධර්මයක් පමණක් තමා විසින් දේශනා කරන ලද බවත්, නොදෙසූ දහම් අපමණ බවත් පැවසූ සේක. සමස්ත ධර්මය හාල් කෙතක ධාන්‍ය වලටත් මුහුදක ජල කඳටත් ඇතෙකුගේ මහත් ශරීරයටත් මහා මේඝයකින් වට ජලයටත් සමාන කරමින් උපමා වශයෙන් රජුට පැහැදිලි කර දුන්හ.
තෙරුන් වහන්සේගේ උපහැරණ රජුගේ සිත් පුබුදාලීය. ශ්‍රද්ධා භක්තිය වැඩිණි. තෙරුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය ද වැඩිණි. රජු කොතරම් ප්‍රසාදයට පත් වීද යත් තමා සක් දෙවි නම් මුලු දිව්‍ය පුරයම පූජා කරමියි ද ස්වාමිනි මම ඔබ වහන්සේට මුලු ලංකාද්වීපයම පූජා කරමියි ද කීය මහරජ රාජ්‍ය දෙකක ධූර දැරීම අසීරු කරුණක් යැයි ද අපට උරුම හිමිකම් ඇත්තේ ධර්ම රාජ්‍යය පමණක් හෙයින් ලංකා රාජ්‍යය තොපටම උරුම යැයි ද රජුගේ වදනට පිළිතුරු වශයෙන් බුද්ධ රක්ඛිත හිමියෝ පැවසූහ . එසේ පැවසූ හිමියෝ රජුගේ පූජාව උපේක්‍ෂාවෙන් යුතුව ප්‍රතික්‍ෂේප කළහ.
සද්ධාතිස්ස රජු කාල බුද්ධ රක්ඛිත හිමියන්ගෙන් කාලකාරාම සූත්‍ර දේශනාව අසා ප්‍රසාදයට පත් අයුරු දක්වමින් සද්ධර්මරත්නාකරයේ සඳහන් මෙම කතා ප්‍රවෘත්තියෙන් විමලකිත්ති හිමියෝ වැදගත් කරුණු කිහිපයක් කෙරෙහි අපේ අවධානය යොමු කරති.
එකල පොදු මහ ජනතාව පමණක් නොව රජුන් ද පොහොය දිනවල උපෝසථ ශීලය සමාදන් වීම සිරිතක් කර ගෙන සිටි බව,
ධර්ම කථික තෙරුන් වහන්සේ පොහොය දිනවල විහාරයට පැමිණි ජනතාවට ඔවුන්ට විෂය වන සූත්‍ර දේශනා කළ බව,
ධර්ම ශ්‍රවණයේදි රජුන් පවා විශේෂ පහසුකම් නොපැතූ බව,
සෙසු බැතිමතුන්ට අවහිරයක් නොවන සේ රැය පුරා වුවද හිටිවනම ධර්ම ශ්‍රවණයට රජුන් සැදී පැහැදී සිටි බව,
තමා සක්විති රජකුගේ සක්දෙව් රජු නොවන බව සිතමින් සද්ධා තිස්ස රජු තම තත්වය අවබෝධ කර ගෙන සිටි බව,
ධර්ම දේශකයන් වහන්සේ ධර්ම ඤාණයෙන්ද ඉමිහිරි දේශනා හැකියාවෙන්ද යුතුව සිටි බව,
ආරාමවලින් බැහැරව රුකක් මුල ධර්ම දේශනාවෙන් බොහෝ දෙනා නිදහසේ ධර්ම ශ්‍රවණයට ඉඩ ලද බව,
රජුන් තම සිහසුනේ කිරුළේ අයිතිය පවසන ලංකා රාජ්‍යය වුව ද සසුනට පුජා කිරීමට සැදී පැහැදී සිටි බව, යනු එම කරුණුය


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.