Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘සිත’ කුමක්ද?

බුදුදහම මූලික වශයෙන් චිත්ත කේන්ද්‍රීය දහමකි. සංසාරය සහ එහි නිමාව යන දෙකම සිතෙහි ම ක්‍රියා සාධක වල ප්‍රතිඵල වෙත්. ප්‍රාග් බෞද්ධ වෛදික යුගයේත්, පසුකාලීනව පහළ වූ අන්‍ය ආගම් වලත් මෙම ක්‍රියා සාධක බලය අදෘෂ්‍යමාන මැවුම් කරුවකුට භාර කෙරුණ බව පෙනේ. මෙම චින්තනයෙන් මුළුමනින්ම බැහැර වූ බුදුරජාණන් වහන්සේ, සියලු සත්ත්ව තත්ත්වයනට මුල් වන්නේ - සිත ම බව ස්වකීය ඤාණයෙන්ම අවබෝධ කළ සේක.

සසර ගමන නිම කළ බුද්ධ ශ්‍රාවකයෝ එම ඵල ප්‍රාප්තිය ලබා ගත්තේ චිත්ත දමනය නම් වූ ප්‍රායෝගික ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ගුරු උපදේශ නිසි පරිදි පිළිපැදීමෙන් මිස, සිතෙහි ව්‍යුහය පිළිබඳ ගැඹුරු විමර්ශන කිරීමෙන් නොවේ. කල් යත්ම ග්‍රන්ථ ධූරය දියුණු වූ පසු සිත පිළිබඳ විද්‍යාවක් ගොඩනැගුණු නිසා බුදු දහමත්, නවීන විද්‍යාවත් ඇසුරු කර ගනිමින් සිතෙහි පිහිටීම ව්‍යුහය හා චරණය පිළිබඳ දාර්ශනික විග්‍රහ කිරීමට උගත්හු නැඹුරුවූහ. චිත්ත විද්‍යාව කුතුහලය දනවන විෂයකි. නවීන විද්‍යාවේ වර්ධනයත්, විශේෂයෙන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම සිත පිළිබඳ විවිධ අපෝහණ ගොඩනැගුණු අතර, අද එය ප්‍රත්‍යොක පර්යේෂණ පාදක කරගත් ආකර්ශනීය විද්‍යාවක් වී ඇත.

සිත මගින්ම සිත දැකිය හැකි ප්‍රඥා ශක්තිය කර නොගත් තත්කාලීන මිනිසාට සිත පිළිබඳ ගුප්තාර්ථ සම්මර්ෂණය කිරීමට නවීන විද්‍යාත්මක පර්යේෂණවලින් ලැබෙන පිටුබලය බැහැර කළ නොහැකිය. එහිදී ගනු ලබන ඇතැම් නිගමන බුදු සමයාන්තර දේශනා සමග ගැලපෙන අතර සමහර නිගමන ඊට ප්‍රතිපක්‍ෂ වන බව පෙනේ. මේ නි.මන මූලික වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය.

1. සිත ද්‍රව්‍යමය නොවන අනින්ද්‍රිය අරූපී ජෛව ශක්තියකි.

2. සිත ද්‍රව්‍යමය වශයෙන් පවතින රූපී ඉන්ද්‍රියකි.

අභිධර්ම දේශනාවට අනුව සිත රූප කාන්ඩයට නොගැනෙයි. නාම ධර්මයක් වූ සිත “ අරමුණූ දැනීමේ ශක්තිය “ ලෙස දැක්වේ. නාම ධර්මයෝ , රූපස්කන්ධය මෙන් පඨවි. ආපෝ, තේජෝ වායෝ යන සතර මහා ධාතූන්ගේ සමවායෙන් සැදුම් ලද්දේ නොවේ. සිත ගැන විස්තර කරන රේරුකානේ චන්දවිමල හිමියෝ, චේත, මන, විඤ්ඤාණ, හදය, මානස යනු චිත්තයම දක්වන පාලි වචන බව ද, ඇසට නොපෙනෙන කයෙන් ස්පර්ශ කළ නොහැකි පරම සූක්‍ෂම ධර්මයක් වු මහා බලයක් ඇති සිතට ලොව ඇති සියල්ලම යටත් බවද , දුබල සිත ලොව ඇති සියල්ලටම යටත් බවද පවසති. (අභි : මූලික කරුණු , 37 - 41 පිටු ) භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන් අරභයා දේශිත තථාගත පාඨය අනුව (ධම්ම පදය - චිත්ත වග්ගය 5 ) සිත දැක්වෙන්නේ “ අසරරීරං “ හෙවත් සිරුරකින් තොර බවයි. “ අසරීරං “ යන්නෙන් රූප කාණ්ඩයට අයත් නොවන බව දක්වන්නේ ද “ සරීරං “ යන්නෙන් සත්වයාගේ සිරුර ගෙන දක්වන්නේ නම් සිත රූප නොවේ. එහෙත් අලෝකය , ශබ්දය , ගන්ධය ආදිය රූප කාණ්ඩයට අයත් බැවින් (ගෝචර රූප ) හා ඒවා ද “ අසරීර “ බැවින්ද ඒ අනුව සිත රූප කාණ්ඩයම ගන්නේ නොවේ ද යනු ද තවත් එක් මතයකි.

වෛද්‍ය විද්‍යාව මගින් සිත යනු මොළයේ පිහිටි රූපමය ඉන්ද්‍රියයක් ලෙස ඍජුවම දක්වමින් ඒ බව සනාථ කිරීමට ප්‍රමාණවත් හා අත්‍යවශ්‍ය සාක්‍ෂ්‍ය සපයයි. කායික විද්‍යාත්මක කෝණයකින් මේ පිළිබඳ ස්ව මතයක් ඉදිරිපත් කරන විශේෂඥ වෛද්‍ය සේනක රණසිංහ මහතා සිත යනු මොළයේ පිහිටි ද්‍රව්‍යමය (Material) වූ භෞතික ඉන්ද්‍රියක් (Limbic Sistem)ලෙස දක්වයි. තව ද සිත යනු සතර මහා ධාතුන්ගෙන් සැදුණු රූප කාණ්ඩයටම අයත් ඉන්ද්‍රියයක් ලෙස අවධාරණය කරයි (The Science and Art of Buddhism  - 12 පිටුව )තවද නාම ධර්ම කාණ්ඩයෙන් වියුක්තව සිත පිළිබඳ හැඳින්වීමක් ස්වකීය ගුවන් විදුලි දහම් දෙසුමක් මගින් කළ කම්මට්ඨානාචාර්ය වතුරුගම නන්දසිරි හිමියෝ පවසා සිටියේද “ මන” යනු සතර මහා ධාතූන්ගෙන්ම සැදුණු ඉන්ද්‍රියයක් බවය. මෙහි “ මන” යනු සිත්මද ? නැතහොත් සිත යනු “ මන” ඉන්ද්‍රියයෙන් බිහිකෙරෙන ශක්තියක්ද යන්න පැහැදිලි නැත. පංචද්වාරයන්ගෙන් වියුක්තව

සිත ද ඒකලව අරමුණු ගන්නා බැවින් එයට ඉන්ද්‍රියයක කාර්ය භාරය ඉටුකළ හැකි නිසා එය ‘මනීන්ද්‍රිය ලෙස, ඉන්ද්‍රිය ස්වභාවයක් ගන්නා බව බුදු දහමෙහි දැක්වෙයි. එනමුත් ඇස, කණ, ආදී පංචේන්ද්‍රිය මෙන් සතර මහා ධාතු සමවායයෙන් සෑදුණු බවක් නොදැක් වේ. මේ විනිශ්චයන් ‘අසරීරං ‘ යන ධම්ම පද පාඨය සමඟ කෙතෙක් දුරට ගැලපේ ද යන්න විමසිය යුත්තකි. සිතෙහි ව්‍යුහය පිළිබඳ දැක්වෙන මෙම කථා බහ තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා සිත් හටගන්නා තැන් ගැන ද විමසීම ප්‍රයෝජනවත් වෙයි. බුදු දහමට අනුව පංචේන්ද්‍රියයන්ගෙන් ගනු ලබන අරමුණු අනුව පහළ වන සිත්වල උත්පත්ති ස්ථානය එම ඉන්ද්‍රියයන්ම බව දැක්වේ. එම තැන් ‘ප්‍රසාද’ නම් වෙත්. ඇසෙන් ගන්නා අරමුණක් නිසා පහළ වන චක්ඛු විඤ්ඤාණය (සිත) චක්ඛු ප්‍රසාද රූපයේ හෙවත් ඇසෙහි පිහිටි සියුම් තැනක උපදී. අනෙක් සිවු ඉන්ද්‍රිය සම්බන්ධව ද එසේම ය. මේ කවර සිතක් වුවද, භව පවත්වනු ලබන මූල සිතෙහි හෙවත් භවංග සිතෙහි නොගැටී මෙන් හට නොගනී. එම භවංග සිත හෘදය රූපය ඇසුරු කොට පවතින්නක් ලෙස දැක්වේ. අභිධර්මයෙහි අටවිසි ආකාරයකින් බෙදා දැක්වෙන රූප අතුරෙන් නිෂ්පන්න රූපවලට අයත් වන එකකි. හෘදය රූපය. එය ‘හෘදය වස්තුව‘ ලෙස ගැනීමෙන්, සිත් පහළ වන්නේ හදවතේය යන පිළිගැනීමක්ද තිබිණි.

හෘදය රූපය යනු, හදවතෙහි දරා සිටින අඩපතක් පමණ වූ ලේ ධාතුව ලෙස දැක්වේ. හෘදයෙහි එකලාව පවතින්නා වූ ලේ ධාතුවක් නැති බැවින්ද, එය නිරන්තරයෙන් මුළු සිරුර පුරා චලනය වෙමින් පවතින බැවින් ද මුළු ශරීරයම ඇසුරු කොට සිත් පහළ වන බව පිළිගැනෙයි. ඒ අනුව ‘සිත් හටගන්නේ මොළයේ ය.’ යන වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීමට එය ප්‍රතිවිරුද්ධය. අපගේ ශරීරයේ අන්තරාසර්ග පද්ධතිය නම් වූ ඉන්ද්‍රිය පද්ධතියක් ඇත. පිටියුටරි තයිමස්, තයිරොයිඩ්, අධිවෘක්ත ආදි නම් වලින් හැඳින්වෙන එම ඉන්ද්‍රියයන්ගෙන්, අපට පහළ වන සිත්වල ස්වභාවය අනුව සුවිශේෂ හෝමෝන ස්‍රාවය වී රුධිරයට එක් වේ. අධි ආවේගී අවස්ථාවල අපගේ හදවත වේගයෙන් ස්පන්දනය වෙයි. පහළ වන සෑම සිත්වලදී ම එසේ නොවේ. සමහර සිත් හදවතේ් ක්‍රියාකාරිත්වයටද, සමහර සිත් මොළයේ ක්‍රියාකාරිත්වයටද සෘජුවම බලපායි. මොළය ද රුධිරය සංසරණය වන ඉන්ද්‍රියයකි. එබැවින් අද දියුණු වී ඇති නවීන විද්‍යා පර්යේෂණ වලට අනුව සිත් පහළවීම හදවත සහ මොළය යන ස්ථාන දෙකම ඇසුරෙන් සිදුවන්නකි යන්න පිළිගැනේ. බුදු දහමත් නූතන වෛද්‍ය විද්‍යාවත් යන දෙකම සැලකිල්ලට ගෙන කරුණු දක්වන පෙර අපර දෙදිග සමහර විද්වත්හු සිරුරේ නිය, කෙස් ආදී ) ජීවිතේන්ද්‍රිය නොවන තැන්හි හැර අන් සෑම තැනක්ම ඇසුරු කොට ගෙන සිත් පහළ වන බවත්, මොළය වනාහි එම චිත්තාවේදන සුවිශේෂීව හඳුනාගෙන සක්‍රීය කරවන සම්පේ‍්‍රෂණ මධ්‍යස්ථානයක් පමණක් බවත් පවසති. තද නින්ද, නිර්වින්දනය වැනි අවස්ථාවලදී දැනීම නොලබන්නේ, ස්නායු පද්ධති අවේදනීය වීමෙනි. එහෙත් බුදුදහමට අනුව භවංග චිත්ත පරම්පරාව නොබිඳී පවතින්නේ ය. එමගින් මනෝද්වාරිකව අරමුණු ගැනීමෙන් තද නින්දේ දී සිහින පෙනීම ද සිදුවෙයි.

නූතන වෛද්‍ය විද්‍යාවට අනුව සිත ‘මනින්ද්‍රිය’ වශයෙන් ක්‍රියාකරන බව, එයින් ද පෙනී යයි. තවම ප්‍රමාණවත් හා නිශ්චිත විශ්ලේෂණයකට ලක් නොවුණු එහෙත් අභිධර්මයෙහි පුළුල්ව විග්‍රහ කැරෙන ද්වීතීයික ශක්ති විශේෂයක් වන්නේ චෛතසිකය. සිත සමගම උපදින ඒ සමගම නිරුද්ධ වන සිත ගන්නා අරමුණුම ගන්නා චෛතසිකයකින් තොරව, කිසි සිතක් හට නොගනියි. දෙපනසක් වූ චෛතසිකයන්ගෙන් හතක් සෑම සිතක් සමගම උපදී. වෛද්‍ය විද්‍යාවේදීහු සිතිවිලි ( THOUGHTS) ලෙස ගන්නා මේ ශක්තිය අනෙකක් නොව සිතේම විවිධාංග ස්වරූපයක් ලෙස දක්වති.

මෙසේ විචිත්‍ර වූ විශ්මිත වූ අසම වූ සිත වනාහි විද්යුත් ගාමක ශක්තියක් (EMF ) ලෙස ද විද්වත් හු හඳුන්වති. විද්යුතය වනාහි වේගය අතින් ආලෝකයේ වේගයට, එනම් තත්පරයට කිලෝ මීටර 297600 කට, සම වූවක් බව දැක්වේ. එම වේගයෙන් ගමන් කරන යම් වස්තුවක් ඇතිද එහි ස්කන්ධය ශූන්‍ය වන බවද, කාලයෙන් නිරපේක්ෂ බව ද විසි වන සියවසේ පහළ වූ ශ්‍රේෂ්ඨ ගණිතඥයා වන ඇල්බට් අයින්ස්ටීන් විසින් නිවැරැදිව පෙන්වා දෙනු ලැබ ඇත. සිත පිළිබඳ බුද්ධ භාෂිතය වූ ‘දූරංගමං’ යන්නෙන් එම ස්වභාවය අදහස් කරන්නේ ද යන්න විමසීම සුදුසු ය. සිතෙහි චාලක, වේගය, විද්යුතයේ වේගය ඉක්මවන බව පිළිගැනෙයි. ඒ අනුව සිත යනු ‘විද්යුත් ශක්තියක් ය යන පිළිගැනීම සසල වෙයි.

අනිත්‍ය ධර්මයක් වූ සිතෙහි ආයු කාලය (චිත්තක්ෂණය) කිසි මානයකින් මැනිය නොහැකි ය. චිත්ත ශක්තිය විශ්ව ශක්තියකි. සිත මනාව පුහුණු කර, ප්‍රගුණ කළ විට විශ්වයේ ඕනෑම තැනක්, ඕනෑම කෙනකුගේ් සිතක් මොහොතකින් එයට ස්පර්ශ කළ හැකිය. බිඳකුදු පුහුණු නො කළ ප්‍රගුණ නොකළ සිතකට, තමාගේ සිතවත් අවධානයට ලක් කළ නොහැකිය. භාවනා අභ්‍යාසයෙහි යෙදෙන ආධුනිකයාගේ සිත අසංඛාරිකව, එනම් ස්වකීය කිසි අනුදැනුමකින් තොරව, නොයෙකුත් අරමුණු ගනී. කාල මානනයකට සාපේක්ෂව බැලුවොත් කිලෝ මීටරයක් දුර ඇති අරමුණක් සිතට ගැනීමට ගතවන කාලයත්, කිලෝමීටර සිය මිලියනක් දුරින් ඇති අරමුණක් සිතට ගැනීමට ගතවන කාලයත් අතර වෙනස් නැත.

කුමක් වුවත්, කොතැන ඇතිවුණත් පැවතුණත් දුකද, දුක හට ගැනීමේ හේතුව ද සිතම ය. දුක්ඛ නිරෝධය ලබන මාර්ගය ද චිත්ත ප්‍රාප්ත ධර්මයෝම ය. බැවින් සිත පිළිබඳ ව්‍යුහ විද්‍යාවට වඩා චිත්ත පරිශුද්ධභාවය ලබන විද්‍යාවම උතුම් වන්නේ්ය. ‘සච්ත්ත පරියෝදපනං’ යනුවෙන් සියලු බුදුවරයන් වහන්සේ විසින් සිදු කරන ලද අනුශාසනය එයයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.