බුදුරදුන්ට
අකුසල්
ඵල දුන්නා ද?
ඌරුපැලැව්වේ
හේමාරාම හිමි
දානාදී දස පාරමිතා ධර්ම පුරා ලෙවුතුරා බුදුබවට පත් අප බුදුපියාණන්
වහන්සේට පූර්ව කෘත කර්ම විපාක ලැබිණි ද යන්න සැදැහැවත් ඇතැම් බෞද්ධ
ජනයාට ගැටලුවකි. ත්‍රිපිටකාගත කරුණු විමසා බැලීමේ දී බුදුරදුන්ට කර්ම
විපාක දුන් බව පිළිගත යුතුව තිබේ. අපදාන පාලියේ පුබ්බකම්ම
පිලෝතිකාපදානය තුළින් බුදුරදුන්ට පූර්ව අකුසල කර්ම විපාක දුන් ආකාරය
විග්‍රහ වෙයි. සාමාන්‍ය බෞද්ධ ජනතාවගේ මෙන්ම විද්වතුන්ගේ ද අතිශය
සම්භාවනාවට පත් ධර්ම ග්‍රන්ථයක් වූ මිලින්ද ප්‍රශ්නයට, අනුව නම්
බුදුරදුන්ට අකුසල කර්ම විපාක දීමක් නැත.
ආපදාන පාලියෙහි පිළිවෙළින් බුද්ධාපදාන හා පච්චේක බුද්ධාපදාන දෙක දක්වා,
අනතුරුව ථෙරාපද්‍රාන දක්වා තිබේ. එම ථෙරාපදානයන්හි අවණ්ටඵලදායක
වර්ගයෙහි අවසානයේ 390 වන අපදානය හැටියට සම්මා සම්බුදු පුබ්බකම්ම
පිලේතිකාපදානය දක්වා තිබේ. මෙහිදී පැනනගින ගැටලුව වනුයේ බුද්ධාපදානය
අගටම මෙම පුබ්බකම්ම පිලෝතිකාපදානය නොයොදා ථෙරාපද්‍රාන අතරට අනියම්
ආකාරයට යෙදුවේ කවර හේතුවක් නිසා ද යන්නයි. මෙම කරුණම පාදක කොටගෙන බොහෝ
අය පුබ්බ කම්ම පිලෝතිකාපද්‍රානයේ ඓතිහාසිකත්වය පිළිබඳ සැක කරයි.
සාම්ප්‍රදායික පිළිගැනීම වනුයේ මෙය සංගීතකාරක මහරහතන් වහන්සේ විසින්
ථෙරාපදානය අග තැබූ බවයි.
එම පුබ්බකම්ම පිලෝතිකාපදානයට අනුව සම්බුදු සිරිතේ සිදුවීම් එකොළහක
හේතුව පූර්ව අකුසල කර්ම යැයි දේශිත ය. මෙය සම්බුද්ධ දේශනාවකි. එයට අනුව
පහත සඳහන් අවස්ථා එකොළහට හේතු වූයේ බුදුරදුන් පූර්ව ජාතීන් හිදී කරන ලද
අකුසල් කර්මයෝ ය.
1. සුන්දරී පරිබ්‍රාජිකාව වෙතින් අපහාස විඳීමට සිදුවීම.
ඊට හේතුව -
පෙර ජාතියක මුනාළී නම් ධූර්තයකුව ඉපිද සරභූ නම් පසේ බුදු කෙනකුන්ට
නින්දා කිරීම.
2.චිඤ්චමානවිකාව ගේ අභූත චෝදනාවන්ට ලක්වීමට සිදුවීම
ඊට හේතුව -
සම්බාභිභු නම් බුදුරදුන්ගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට නින්දා කිරීම.
3. දෙව්දත් තෙරුන් විසින් බුදුරදුන්ට ගල් පෙරැළීම හා එ නිසා ශ්‍රී පතුල
(මාපට ඇඟිල්ල )තැලීම.
ඊට හේතුව -
පෙර ජාතියක සිය පියාට දාව වෙනත් මවුකුසක උපන් සහෝදරයා ගලකින් හෙළා
මැරීම.
4. දෙව්දත් තෙරුන් විසින් විදිනට දුනුවායන් යෙදවීම.
ඊට හේතුව -
පෙර ජාතියක දරුවකුව සිටි අවධියේ දී මහ මග වඩිමින් සිටි පසේ බුදු රජාණන්
වහන්සේ නමක් දෙසට ගලක් විසි කිරීම.
5. නාලාගිරි ඇතු මත්කොට බුදුරදුන් වඩිනා මඟට එවීම,
ඊට හේතුව -
පෙර ඇත්ගොව්වකුව සිටි පිඬුසිඟා වඩින පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙත
ඇතකු යැවීම.
6. ශ්‍රී පාදයෙහි ගල් පතුර වැදීම නිසා ඇති වූ ලේ පිරීම ඉවත් කිරීමට
සිදුවීම.
ඊට හේතුව -චහිස කඩුවකින් කපා දැමීම.
7. නිරතුරුව පැවැති හිසේ
වේදනාව.
ඊට හේතුව -
පෙර ජාතියක මසුන් මරන ගමක දරුවකුව ඉපද මසුන් මරනු බලා හිඳ සතුටු වීම.
8. වෙරඤ්ජා පුරයෙහි තෙමසක් යවහාල් අනුභවය
ඊට හේතුව -
ඵුස්ස බුදුරදුන්ගේ ශ්‍රාවකයින්ට හැල් සාලේ බත් නොකනු, යව හාල් කනු යැයි
නින්දා කිරීම.
9. නිරතුරුව පැවැති කොන්දේ වේදනාව
ට හේතුව -
පෙර මල්ලව පොර යුද්ධයකදී මල්ලවයකු පීඩාවට පත්කිරීම.
10. ලෝභිත පක්‍ඛන්දිකා නම් රෝග වැළඳීම
ඊට හේතුව -
පෙර වෙදකුව සිට ධනලෝභය නිසා සිටුවරයෙකු විරේචනය කිරීම
11. සය වසරක් දුෂ්කර ක්‍රියා කිරීම
ඊට හේතුව -
පෙර ජෝතිපාල නම් මානවකයකුව ඉපිද, කාශ්‍යප බුදුරජුන්ට මුඩු මහණනුට
සම්බෝධිඤාණ කොයින්දැයි ප්‍රශ්න කිරීම.
මෙම සිද්ධීන් දෙස සුපරීක්‍ෂාකාරීව බැලීමේ දී පෙනී යනුයේ බුද්ධ චරිතයේ
සඳහන් එම සිද්ධි 11 ටම පූර්වයේ සිදුකළ අකුසල කර්ම බලපා ඇති බවය. මෙම
අපදාන දේශනාව, හිමාලයේ මනරම් ගල් තලාවක් මතුයෙහි හිඳ බොහෝ භික්‍ෂූන්
වහන්සේට බුදුරදුන් විසින් කළ දේශනාවකි. මෙම පුබ්බකම්ම පිලෝතිකාපදානයට
අනුව නම් බුදුරදුන්ට කර්ම විපාක දුන් බව පෙනී යයි.
ඉහතින් සඳහන් කළ මිලින්ද ප්‍රශ්නයේ දී මේ සම්බන්ධ මතය අපදාන පාලියට
ප්‍රතිපක්‍ෂය. මිලින්ද ප්‍රශ්නයෙහි මිලිඳු රජු හා නාගසේන තෙරුන්වහන්සේ
අතර ඇතිවන සංවාදයෙක්හිදී රජු විසින් “බුදුරදුන් සර්වඥතාඤාණයෙන්
කර්මක්‍ෂය කොට බුදු බව ලැබුයේ නම් අකුසල කර්ම හේතුවෙන් පාදයෙහි ගල්
පතුරක් වැදී තැලීම හා ලෝහිත පක්ඛන්දිකා රෝගය වැළඳීම කෙසේ සිදුවිය
හැකිදැයි විමසයි. එයට පිළිතුරු දෙන නාගසේන මහ රහතන් වහන්සේ සියලු දුක්ඛ
කර්ම හේතුවෙන්ම නූපදින බව වදාරයි. මෙය අපදානපාලියේ පුබ්බකම්ම
පිලෝතිකාපදානයට එකඟ නොවෙන අදහසකි. මිලින්ද ප්‍රශ්නයෙහි මතය පිළිබඳ
අදහස් දක්වන අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමියෝ මෙසේ
වදාරති.
“බුදුහාමුදුරුවන්ට කර්ම විපාක දෙන්නේ නෑ කියලා සමහරු කියති. මිලින්ද
ප්‍රශ්නයෙත් තියෙනවා කර්ම විපාක දෙන්නේ නෑ කියලා. ඒක වැරැදියි. ඒ කියලා
තියෙන එක පැහැදිලි නෑ පැහැදිලිව තෝරල දීල නෑ.”
මහ නා හිමියන්ගේ පිළිගැනීම වනුයේ මිලින්ද ප්‍රශ්නයේ මතය සාවද්‍ය හා
ව්‍යාකූල බවයි. මෙවැනි කරුණු අනුව නාගසේන මහ රහතන් වහන්සේ එක්කෝ
පුබ්බකම්ම පිලෝතිකාපදානය පිළිනොගනියි කියා හෝ උන්වහන්සේ දැන් තිබෙන
පුබ්බකම්ම පිලෝතිකාපදානය දැක නැතැයි කියා හෝ යමකුට අනුමාන ගොඩනැගීමට ද
හැකි ය. පුබ්බකම්ම පිලෝතිකාපදානයෙහි ඓතිහාසිකත්වය පිළිබඳව සැක පහළ
කරන්නට මෙ නිසා රුකුලක් ද ලැබේ. මෙය විමසිය යුතු තැනකි.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ අපදාන පාලියට සංඥාපනයක් ලියන
පණ්ඩිත පරවාහැර පඤ්ඤාණන්ද නා හිමියෝ “ බුදුරදුන්ගේ කය වජ්‍රකාය වන
බැවින් පරෝපක්‍රමයෙන් කාය භේදයක් නොවිය හෙන්නේ යැයි “ කියති.
උන්වහන්සේ මේ මතය දක්වනුයේ ගල්පතුරක් වැදී සම්බුදු සිරිපතුල , තැලීම
සම්බන්ධව එන පුබ්බකම්ම පිලෝතිකාපදාන පුවත පිළිබඳවය. මෙමගින් උන් වහන්සේ
ද මිලින්ද ප්‍රශ්න මතයට සමීප වන බවක් ද පෙනී යයි. කෙසේ වුවද එම මතය
ධර්මධරයන්ගේ අවධානයට යොමුවිය යුතු බවද පැවසෙයි.
අපදාන පාලියෙහි බුද්ධාපදානය කවුරුත් පාහේ පිළිගනියි. එහි සඳහන් වනුයේ
බුදුරදුන්ට කුසල කර්ම විපාක දුන් ආකාරය බව “ මෙලෙසින් අපදාන පාලියෙහි
එන්නේ සමසක් සම්බෝධි ප්‍රත්‍යෙකබෝධි , ශ්‍රාවක බෝධියි. තුන්බෝධීන්
පිණිස ප්‍රාර්ථනා කරමින් ඒ. ඒ. පුද්ගල විශේෂයන් විසින් කරන ලද
පූර්වකර්මයන්ගේ වෘතාන්ත කථා සංග්‍රහයයි යනුවෙන් අපදානපාලි සංඥාපනයේදි
පරවාහැර පඤ්ඤානන්ද නාහිමියෝ කියති. මේ අනුව බුදුරදුන්ට පූර්ව කුසල
විපාක දුන්නේ යැයි පිළිගන්නේ නම් පූර්ව අකුසල් කර්ම විපාක දීමද පිළිගත
යුතුව ඇත.
සියලු බුදුවරයන් වහන්සේට සාධාරණ වූ ධර්මතා 30 ක් ඇති බව සම්බුද්ධ
ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවෙහි බුද්ධවංස පාලියට සංඥාපනයක් ලියන
පූජනීය කරගම්පිටිගොඩ සුමනසාර නාහිමියෝ දක්වයි. එයින් 7 වැනි දා දක්වා
ඇත්තේ” පැවිදිවැ යටත් පිරිසෙයින් සත්දිනක් හෝ ප්‍රධන් වීය¸ කිරීම
යනුවෙනි. මෙයින් ගම්‍ය වනුයේ දුෂ්කර ක්‍රියා කිරීම සියලු බුදුවරයන්ට
සාධාරණ ධර්මතාවක් බවයි. එසේ නම් සියලු බුදුවරයන්ට සාධාරණ වූ ධර්මතාවක්
ගෞතම බුදුරදුන් විෂයෙහි කර්ම විපාකයක් හැටියට දක්වන්නේ කෙසේ ද? එම
සාධාරණ ධර්මතාවට කර්මය ඈඳාගන්නේ කෙසේද? යන ගැටලුව තුළ පැන නගී.
ඉහත දැක්වූ පරිදි නොයෙකුත් පරස්පරතා තිබුණ ද බුදුරදුන්ට පූර්ව අකුසල
කර්ම විපාක නුදුන්නේයැයි එකහෙළා කීමට නොහැකිය. එම මතවාද පිළිබඳ
උගතුන්ගේ අවධානය යොමුවිය යුතුව ඇත. අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද
මෛත්‍රිය මහ නාහිමි වැනි උතුම් පඬිවරුන්ගේ ද මතය වනුයේ බුදුරදුන්ට
අකුසල කර්ම විපාක දුන් බවයි. උගතුන් කෙසේ තර්ක විතර්ක කළද පුබ්බකම්ම
පිලෝතිකාපදානය වෙන කිසිවකුගේ නිපැයුමක් යැයි කීමට ද නොහැකි ය. අතීතයේ
විසූ භික්ෂූන් වහන්සේ ත්‍රිපිටක බුද්ධ වචනයට එතරම්ම ගරු කළ බැවින්,මේසා
විශාල වෙනසකින් යුතු අංගෝපාංගයක් උන් වහන්සේ අතින් එක්වීමටද ඉඩක් නැත.
කෙසේ වුවද දැනට ඇති ථෙරීය ත්‍රිපිටකය පිළිගන්නේ නම් බුදුරදුන්ට අකුසල්
පලදුන් බව අප විසින් පිළිගත යුතුව ඇත. ඉහතින් දැක්වූ කරුණු 11 දෙස
බැලීමේදී අප දැඩි ලෙස සැලකිය යුතු වන්නේ බුදුරදුන් වැනි මහෝත්තමයන්ටත්
අකුසල විපාක දෙන්නේ නම් අප වැනි අය ගැන කවර කතා ද යන්නයි. එසේ කල්පනා
කොට, සියලු බුදුවරුන්ගේ අනුශාසනාව වූ
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියො දපනං
එතං බුද්ධාන සාසනං
යන අවවාදය දැඩිව පිළිපදිමින් සසර දුක නැති කර ගැනීමට අප හැම දෙනා
උත්සුක විය යුතුය. මෙයින් මතු කළ කරුණු පිළිබඳ ධර්මධරයෝ විමසත්වා .
අපදාන පාලි - (බුද්ධ ජයන්ති
ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව)
බුද්ධවංස පාලි - (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව)
පාරාජිකා පාලි - (බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව)
පැරිසියේ දී පැවැත් වූ
විචිත්‍ර දේශනා -
(බලංගොඩ මහ නාහිමි )
පරවාහැර චන්දරතන හිමි,
මිලින්ද ප්‍රශ්නය - (ගලගම
සරණංකර හිමි සංස්කරණය) යන ග්‍රන්ථ ඇසුරෙන් ධර්ම කරුණු උපුටා ගැනිණි. |