‘ශ්‍රද්ධාවයි - භක්තියයි
බුදු වදනෙන්
ප්‍රකාශිතයි’
බෝතලේ ඉහළගම
අරණ්‍ය සේනාසනාධිවාසී
ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිතතල්ගමුවේ
සුධීරානන්ද හිමි
ඉගෙනීම, ආකල්ප, කුසලතා වශයෙන් පුද්ගලයා උගත්කමින් සම්පූර්ණත්වයට පත්කරන
පියවර 3 කි. එම තත්ත්වය එලෙසින් ක්‍රමිකවම පුද්ගලයා තුළ දියුණුවීම
සාධනීයම ය. මෙකී නියමය බොදු පිළිවෙත සම්බන්ධයෙන් ද විශේෂයෙන් අදාළ
වෙයි.
බුදු සමයේ මේ පියවර තුන දක්වනුයේ පරියාප්ති, ප්‍රතිපත්ති හා ප්‍රතිවේධ
වශයෙනි. එනම් ත්‍රිපිටක ධර්මය ඉගෙනීම එය ප්‍රතිපත්තිමය වශයෙන් අනුගමනය
කිරීම, එහි ප්‍රතිඵල පසක් කර ගැනීම යනුවෙනි.
බුදු දහම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැඹුරු එකකි. ලෝභ, ද්වේෂ, මෝහ
දියුණු කරන්නන්ට එය වඩාත්ම ගැඹුරු ය. ලෝභාදිය ප්‍රහීණ කිරීමම බුදු දහමේ
පරමාර්ථය බැවිනි. මේ උතුම් දහම මහාසුපින ජාතකයේ සඳහන් වන්නා සේ
අවතක්සේරු කිරීමට තැත් කරන තැන් එමට ය.
තම නමට මුලින් විවිධ උපාධි තානාන්තර දමන්නාක් මෙන් අද අලුත්ම වංචනික
සම්ප්‍රදාය වී ඇත්තේ තමාගේ නමට මුලින් සෝවාන් ඵලලාභී සකද්‍රකාමී ඵල
ලාභී ආදී උතුම් ලොව්තුරු ගුණ ලාභ පිළිබඳ නම් යොදා ගැනීමයි. අල්පේච්ඡතාව
නමැති බුදු වදනට අනුව මග ඵල ලාභීහු එලෙස තම තත්ත්වය ප්‍රකට කරන්නෝ
නොවෙති.
මාර්ගඵලලාභියෙක් තමන්ගේ තත්ත්වය කියන්නේ කාටද මොන අවස්ථාවන්හිදී ද
යන්න, දහමේ සඳහන් වෙයි. නමුත් අද ඇතැම් අය එවැනි විශේෂ අවස්ථාවක් ද
නැතිව තමන් මගඵලාභීන් යැයි පවසති.
එක් ගරු ස්වාමීන් වහන්සේ නමක් ‘පින සහ කුසලය දෙකක් බව පවසති’ ලිපියක්
සපයමින් අභිධර්මයට අනුව පින යනු චෛතසිකයකි, කුසලය යනු චිත්තයකි. යැයි
කියති.
අප ඉගෙන ගන්නා ලද ධම්සංගණී ආදී සප්ත ප්‍රකරණයේ තබා, එම අටුවාවක වත් පින
යනු චෛතසිකයකැයි පෙනෙන්නට තොබිණි. එහි තිබුණේ ඵස්ස, වේදනාදී චෛතසික 52
ක් මිස, පින කියා හෝ පුඤ්ඤ කියා හෝ චෛතසිකයක් ගැන නොවේ. එවැනි ප්‍රකාශ
කෙරෙන්නේ පර්යාප්ති ධර්මය පිළිබඳ අවබෝධයේ අඩුකම නිසා ය.
බුදු දහමේ සඳහන් වන ශ්‍රද්ධාව හා භක්තිය පිළිබඳවද මීට නොදෙවැනි මුලාවක
බොහෝ දෙනකු පැටලී ඇති බව පෙනේ. බුදු දහමේ ශ්‍රද්ධාව මිස භක්තියක් නැති
බවත්, භක්තිය සෙසු ආගම් වලට අදාළ වූවක් බවක් කියති. ත්‍රිපිටකය
අනුසාරයෙන් මේ පිළිබඳ කරුණු කිහිපයක් මතු කිරීම සඳහා මේ ලිපිය ලියැවේ.
“තනමං තස්මං සමයෙ සද්ධින්ද්‍රියං හොති යා තස්මිං සමයේ සද්ධා සද්දහනා,
ඔකප්පනා, අභිප්පසාද්‍රෝ...” වශයෙන් ධම්ම සංගණිප්‍රකරණයේ සඳහන් වේ.
“කුසල් සිතක් පහළ වූ කල්හී (එයට) ප්‍රධාන වූ, තෙරුවන් ගුණ විශ්වාස
කිරීම් වශයෙන් ඇතිවන ධර්මතාව ද ශ්‍රද්ධාවයි. එසේ එම ගුණ විශ්වාස කරන
ආකාරයක් වේ ද එය ද ශ්‍රද්ධාවයි.
බුද්ධාදී ගුණ කෙරෙහි බැසගත් විශ්වාසයක් වේ ද එය ද ශ්‍රද්ධාවයි. එකී ගුණ
කෙරෙහිම වඩාත් පැහැදීමක් වේ ද, එය ද ශ්‍රද්ධාවයි. පාලි පාඨයේ සිංහල
අරුත ශ්‍රද්ධාව දියුණු වූ මට්ටම අනුව ද තවදුරටත් කොටස් හයකට බෙදා දක්වා
වදාළහ. සද්දහන ලක්ඛණ සද්ධා, සම්පසාදන ලක්ඛණ සද්ධා, සම්පක්ඛන්දන ලක්ඛණ
සද්ධා ඕපක්ඛන්දන ලක්ඛණ සද්ධා, ආගම සද්ධා, ආධිගම සද්ධා යනු එම සයයි.
මුළු හදින්ම තෙරුවන් ගුණ කෙරෙහි ඇතිවන විශ්වාසය ඉන් පළමු වැන්නයි.
දෙවැන්න දුකක් පැමිණි විට මෙන්ම සැපක් පැමිණි විට ද තෙරුවන් ගුණ සිහිකර
සිත සකසා ගැනීමේ ලක්‍ෂණය ඇති ශ්‍රද්ධාවයි.
සක්විති රජුගේ උදක ප්‍රසාද මාණික්‍යය දැමූ විගස් බොරදියක් වහා පිරිසුදු
වන්නා සේ සිතේ ඇති ලෝභාදී බොර ගති මැඩ සිත පිරිසුදු කිරීමට සමත්
ශ්‍රද්ධාව, තුන් වැන්නයි. ඕපක්ඛන්දන ලක්‍ඛණ ශ්‍රද්ධාව ඊටත් වඩා දියුණු
ශ්‍රද්ධාවයි.
ගංගාවක් දෙගොඩ තලා ගලා බස්නා විටකදී එතෙර මෙතෙර යා නොහැකිව බලා සිටින
ජනයා අතරට වීර පුරුෂයෙක් පැමිණ,තියුණු ආයුධයක් ගෙන ගඟට බැස නපුරු ජලජ
සත්වයින් නසමින් එම ජනයා එතෙර කරවන්නාක් මෙන් සිතේ ඇති වන ලෝභාදී ක්ලේශ
මැඩිමින් දානාදී කුසල් කිරීම සඳහා හැකි වන්නේ මෙකී ඕපක්ඛන්දන ශ්‍රද්ධාව
නිසා ය. ආගම ශ්‍රද්ධාව නම් නියත විවරණ ලත් මහ බෝසතුන්ට බුදු බව දක්වා
භවයෙන් භවයට පිහිටන ශ්‍රද්ධාවයි. මගඵල ලැබූ උතුමන්ට පිහිටන්නේ අධිගම
ශ්‍රද්ධාවයි. මේ සඳහන් කරන්නට යෙදුණේ ශ්‍රද්ධාව පිළිබඳ තෙවලා දහමේ
ඇතුළත් කරුණු ස්වල්පයකි.
මීළඟට භක්තිය යනු කුමක්දැයි සලකා බලමු. ශ්‍රද්ධාව යනු තෙරුවන් කෙරෙහි
ප්‍රසාදය බවත් භක්තිය යනු සෙසු ආගමිකයන් තුළ ඔවුන්ගේ ශාස්තෘවරයන් හා
දහම පිළිබඳව ඇති බිය පිළිබඳව තැතිගැනීම් සහිත ගෞරවය බවත් ඇතැම් අය අප
සමඟ ද පවසා ඇත. එවිට අපි, “භක්තිය යන්නෙහි “භ” යන්න මුලින් ඇති නිසා ද
භය පිළිබඳ අර්ථයක් එයට ඇතුළත් කරන්නේ යනුවෙන් ඇසීමු. භක්තිය යන වචනයට
භය යන අරුතක් දීම කිසි ලෙසකින් සුදුසු නොවේ. භක්ති යන්නේ අරුත,
විශ්වාසය, ඇදහීම යනාදි යයි.
තවද මේ වචනය තෙරුවන් කෙරෙහි විශ්වාසය ප්‍රසාදය යන අරුත ද පෙල දහමේ බොහෝ
තැන්හි යේදී ඇත.” තෙනඛො පන සමයේන සම්බහුල , සන්දිට්ඨා සම්භත්තා භික්ඛු
ඉසිගිලිපස්සේ තිණකුටියෝ කරිත්වා වස්සං උපගච්ජිංසු” (දුතිය පරාජිකා –
පාරාජිකා පාලි) ඒ සමයේ වනාභි දැකීමෙන් මිතුරු වූ වඩාත් විශ්වාසයෙන්
මිතුරු වූ බොහෝ භික්ෂූහු ඉසිගිලි පර්වතය සමීපයේ තෘණ කුටි සකසා වස්
එළඹුණාහ. මෙහි ‘සම්භත්තා’ යනුවෙන් දැක්වෙන්නේ ‘ වඩාත් විශ්වාසවන්තව
මිත්‍ර වූ “ යන අර්ථයයි.
භික්ඛු යන්න පුල්ලිංග නාම පදයක් නිසා සම්භත්ති යන තුන් ලිඟුවටම වරනැගෙන
මේ පදය ‘සම්භත්තා භික්ඛු” යනුවෙන් එහි යෙදී ඇත. සූත්‍ර පිටකයේ බොහෝ
තැන්වල මෙන්ම අභිධර්ම පිටකයේ පවා භක්තිය යන පදය යෙදී ඇත්තේ ‘තත්ථ කතමා
කල්‍යාණමිත්තතා යෙ තෙ පුග්ගලා සද්ධා සීලවන්තෝ බහුස්සුතා පඤ්ඤාවන්තෝ
චාගවන්තෝයා තෙසං සේවනා නිසේවනා සංසේවනා භජනා සම්භජනා භක්ති සම්භත්ති
තංපවංකතා අයං වුච්චති කල්‍යාණ මිත්තතා “ ආදි වශයෙනි.
(පුද්ගල්‍යඤ්ඤත්තිප්පකරණ - අභිධම්ම පිටක)
එහිලා කල්‍යාණ මිත්‍ර බව නම් කවරේද? යම් මේ පුද්ගලයෝ ශ්‍රද්ධවන්ත
වූවාහුද සිල්වත්හුද, බහුශ්‍රැත ද ත්‍යාගවත්හුද නැණවත්හුද ඔවුන්ගේ යම්
සේවනය කිරීමත් ආශ්‍රය කිරීමක් සමව ඇසුරුකිරීමක් භජනය කිරීමක් දැඩිසේ
භජනය කිරිමක් විශ්වාසයක් දැඩි විශ්වාසයක් එම සීලවන්ත අයගේ ගුණයට නැමුණු
බවක් වේද , මේ කල්‍යාණ මිත්‍රත්වයයි.
මේ බුද්ධ වචනය අනුව සලකා බලන කල්හිද බුදුදහමේ ශ්‍රද්ධාව ගැන මිස
භක්තියක් සඳහන් නොවන බවත් භක්තිය අදාළ වන්නේ අන්‍යාගම් සඳහාය. යන අදහස
නිෂ්ප්‍රභා වෙයි.
මෙම තේමාව යටතේ කෙරෙන මේ පැහැදිළි කිරීම සමගම තවත් බොහෝ දෙනා අසන
පැනයකට පිළිතුරු සැපයිය යුතු යැයි සිතමි. බුදුන් වහන්සේ ධර්මරත්නය හා
සංඝරත්නය කෙරෙහි ඇති වන විශ්වාසය ප්‍රසාදය භක්තිය හා ශ්‍රද්ධාව
වන්නාසේම ක්‍රිස්තු භක්තිකයන් ශාස්තෘන් වහන්සේ වු යේසුතුමා පිළිබඳ එම
දහම පිළිබඳ ඇති වන විශ්වාසය ද ශ්‍රද්ධාව නොවන්නේදැයි බොහෝ අය අසති.දිය
යුතු කෙටිම පිළිතුර නැත යන්නයි එයට හේතුව මෙසේය. ශ්‍රද්ධාව යනු නිවන්
අවබෝධ කරන්නට අවශ්‍ය ශක්තිය ලබා දෙන මඟපෙන්වන රත්නත්‍රය කෙරෙහි ඇතිවන
විශ්වාසයයි. ප්‍රසාදයයි.
එහෙයින් බුදුරුවන දම්රුවන සඟරුවන කෙරෙහි ඇතිවන විශ්වාසය ම ශ්‍රද්ධාව
මිස වෙන වෙන අය කෙරෙහි වෙන වෙන දේ කෙරෙහි ඇති වන පැහැදීම් ශ්‍රද්ධාවවත්
එහි ප්‍රභේදයක්වත් නොවේ. යේසුස් වහන්සේ නිවන ගැන ප්‍රකාශ කළේ නැත. එම
දහමේ නිවන් මාර්ගය හෙවත් අරිඅටඟි මගක් ඇත්තේද නැත.
උන්වහන්සේ අනුගමනය කරන ශ්‍රාවකයෝ හෙවත් ක්‍රිස්තු භක්තිකයෝ නිවනක් ගැන
කියන්නෝද එමග ගමන් කරන්නෝද නොවෙති. එහෙයින් යේසුස් වහන්සේකෙරෙහි වත්,
එතුමන්ගේ දැනුම කෙරෙහිවත් එම ශ්‍රාවකයින් කෙරෙහිවත් ඇතිකරගනු ලබන
ප්‍රසාදය ශ්‍රද්ධාව නොවන බව අවධාරණයෙන් කිව යුතුය.
තවද කිතු දහමේ නිෂ්ඨාව වන්නේ දෙව්ලොවයි. බුදුන් වහන්සේ දෙව්ලොව
පමණක්නොව බඹලොව පමණක් නොව භූමි තල 31 ම ත්‍රිලක්ෂණයට යටත් හෙයින් ඒවා
නිෂ්ඨාව ලෙස පරමාර්ථය ලෙස නොවදාළසේක. දුක් නොවන්නා සේම දුකට හේතුවක්
නොවන බැවින් බුදුන් වහන්සේ වදාළේ. නිර්වාණය ලබන පිළිවෙතයි. බුදු දහමේ
නිෂ්ඨාව නිර්වාණයයි.
කරුණු මෙසේ හෙයින් ශ්‍රද්ධාවක් භක්තියක් දහමට අනුව මැනවින් තෝරාගෙන
අවබෝධ කරගෙන එයින් උපරිමයෙන් පෝෂණය වීම සඳහා අවශ්‍ය තෙවළා දහම පිළිබඳ
සුතමය , චින්තාමය හා භාවනාමය නුවණ සියලු දෙනා තුළ පහළවේවා! සියලු
සැනසුම වේවා! |