අමරපුර නිකායේ පදවි ප්‍රාප්තිය පානදුර රන්කොත් විහාරයේ දී මාර්තු
15 දා සවස 3 ට
අමරපුර නිකාය
ගල්කිස්ස තෙලවල පාර ස්වර්ණමාලී විහාරාධිපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මහෝපාධ්‍යාය, චන්ද්‍රකීර්ති ශ්‍රී පණ්ඩිත,
ශාස්ත්‍රවේදී
අම්බලම්ගොඩ ශ්‍රී සුමංගල අමරපුර නිකායේ මහා නා හිමි
ආරම්භයේ
සිට වසර හැත්තෑවක් පමණ කාලයක් අමරපුර සමාගම යන නමින් හැඳින් වූ නිකාය
පසුව අමරපුර නිකාය නමින් ව්‍යාප්ත විය. අපේ අමරපුර නිකාය ආරම්භ වී දැනට
වසර 198 ක් පමණ ගත වී ඇත. නිකායේ ආදි කර්තෘවරයන් වහන්සේ අති පූජනීය කතලුවේ ශ්‍රී ගුණරතන මහානායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. උන්වහන්සේ නිකාය ආරම්භ කිරීමේ දී ස්වකීය
කල්‍යාණමිත්‍රයකු වශයෙන් සිටි අම්බලන්ගොඩ සුනන්දාරාම විහාරාධිපතිව වැඩ
විසූ විලේගොඩ ශ්‍රී ප්‍රඤ්ඤසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුවිශේෂ
අනුග්‍රහය ලබා ගත් බව ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන්ව ඇත. අමරපුර නිකායේ
මූලස්ථාන විහාරය වශයෙන් අම්ලන්ගොඩ සුනන්දාරාම විහාරස්ථානය සම්මත කර
ගැනීමේ ප්‍රධාන හේතුව මෙම සම්බන්ධතාව විය හැකි ය. කතලුවේ ශ්‍රී ගුණරතන
මහානා හිමියන් වහන්සේගේ පටන් 1998 වසර දක්වා මහානා හිමියන් වහන්සේ දස
සතර නමක් විසින් නිකාය පාලනය කර ඇත. නිකායට අයත් විහාරස්ථාන, පිරිවෙන්
භාවනා මධ්‍යස්ථාන හා ආරණ්‍ය ආයතන 275 ක් පමණ ඇත. නිකාය පාලක සංඝ සභාව
ශ්‍රී සුමංගල කාරක සංඝ සභාව නමින් හැඳින්වේ. වැලිගම ශ්‍රී සුමංගල
මහානාහිමියන් වහන්සේ විසින් නිකාය අභිවෘද්ධිය සඳහා කරන ලද අත්‍යුදාර
සේවයට උපහාරයක් වශයෙන් මේ නාමය යොදා ගන්නා ලදී. නිකායේ ආරක්‍ෂාවට හා සංවර්ධනයට අවශ්‍ය පරිදි කටයුතු කිරීම පමණක් නොව
නිකායේ ගෞරවය රැකෙන පරිදි කටයුතු සංවිධානය කිරීම නිකාය පාලක ශ්‍රී
සුමංගල කාරක සංඝ සභාවේ වගකීම ය. එබැවින් නිකාය පාලක ශ්‍රී සුමංගල කාරක
සභාවේ වැඩිදෙනාගේ වහන්සේගේඅභිමතය පරිදි රාජකීය පණ්ඩිත දෙවුන්දර
සිරිනන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම නිසා හිස් වූ
අනුනායක ධූරයට පානදුර රන්කොත් විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ
සංස්කෘත අංශයේ මහාචාර්ය රාජකීය පණ්ඩිත, ආචාර්ය කහපොල සුගතරතන මහ
ස්ථවීරයන් වහන්සේත්, අධිකරණ නායක ධූරයට මොරටුව රාවනාවත්ත ශ්‍රී කවිධජ
වාවිස්සර භාවනා මූලස්ථානය ඇතුළු භාවනා මධ්‍යස්ථාන රාශියක ආධිපත්‍යය
උසුලන කම්මට්ඨාචාරිය දොඩම්ගොඩ අස්සජී මහා ස්ථවීරයන් වහන්සේත්, නිකාය
පාලක ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවේ මහා ලේකම් ධූරයට කොටුගොඩ රද්දොළුවේ
සුබෝධාරාම විහාරාධිකාරී රද්දොළුවේ විමලවංස මහා ස්ථවීරයන් වහන්සේත්
පත්කර ගන්නා ලදහ. මෙම ස්වාමීන් වහන්සේ එම උතුම් පදවිවලට සාකල්‍යයෙන්ම
සුදුසු වෙති.
#####################
මහාචාර්ය කහපොළ සුගතරතන අනු නාහිමි
අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී,
අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි
කොළඹ
දිස්ත්‍රික්කයේ කැස්බෑව ආසනයේ කහපොළ නම් ගම නිජබිම වූ සුගතරතන
අනුනාහිමිපාණන්ගේ දෙමාපියන් වූයේ සෙල්ලප්පෙරුමගේ ජස්ටින් සිල්වා සහ
හරිගම්පිට අප්පුහාමිලාගේ කරුණාවතී ජයතිලක නම් දම්පතීහු ය. 1954
ඔක්තෝම්බර් 22 දින උපත ලද උන්වහන්සේ කහපොළ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබන
දොළොස් හැවිරිදි කුලකුමරකුව සිටියදී පානදුරේ රන්කොත් විහාරය හා පින්වල
පාඨලීරුක්‍ඛාරාමය යන උභය විහාරාධිපති වූත් කැලණිය විශ්වවිද්‍යාලයේ
දර්ශන අංශාධිපති ධූරය හෙබවූ මහාචාර්ය මොරටුවේ සාසනරතන අනුනාහිමියන්ගේ
ආචාර්යත්වයෙන් 1966 මාර්තු 31 වැනි දින සම්බුදු සසුන්ගත වීමේ භාග්‍යය
ලැබිණි. පානදුර රන්කොත් විහාරස්ථ ශ්‍රී සෞගත විද්‍යාලය පිරිවෙනෙහි
මූලික අධ්‍යාපනය ලත් උන්වහන්සේ 1974 දී රාජකීය පණ්ඩිත උපාධිය ලබා ගත්හ.
1975 ජූලි 12 වැනිදින රාජකීය පණ්ඩිත අම්බලන්ගොඩ ධම්මකුසල මහනාහිමියන්ගේ
උපාධ්‍යායත්වයෙන් අම්බලන්ගොඩ මාදම්පාමෝදර උදකුෙක්‍ඛප සීමාමාලකයේදී
උපසම්පදාව ලැබූ සුගතරතන හිමියෝ 1980 කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව
උසස් අධ්‍යාපනය ලබා ගත්හ. එහිදී සංස්කෘත විෂය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී
උපාධිය ප්‍රථම පන්තියේ සාමාර්ථයකින් අත්කර ගැනීමට හැකිවිය. ඉගෙනීමෙහි
සහජ කුසලතා හිමි වූ උන්වහන්සේ පශ්චාත් උපාධි අධ්‍යයනයෙහි යෙදෙමින් 1985
දී ශාස්ත්‍රපති උපාධියත් 1997 දී දර්ශනපති උපාධියත් ප්‍රථම පන්තියේ
ගෞරව සාමාර්ථයෙන් අත්කර ගත්හ. ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙහි
අධ්‍යයන කටයුතුවල යෙදෙමින් 2000 වසරේදී හේතුත්ව සංකල්පය පිළිබඳ පර්යේෂණ
නිබන්ධනය “Causality - Eastern and Wegtern
Thoughts” ඉදිරිපත්
කිරීමෙන් දර්ශන විශාරද ආචාර්ය උපාධිය හිමිකර ගත්හ. සංස්කෘත භාෂා
අධ්‍යයනයෙන් තමන් ලත් ප්‍රවීණත්වය තුළින් අනතුරුව 1990 දී කැලණිය
විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධූරයකට තෝරාපත්කර ගැණින. 1997 දී ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්ය ධූරයකට ද 2000 සිට සංස්කෘත අධ්‍යනාංශාධිපති ධූරයට ද පත්
කරනු ලැබ වඩාත් ඵලදායී වූ අධ්‍යාපන සේවයක උන්වහන්සේ නිරතව සිටිති. සියගුරු දේවයන්ගේ ඇවෑමෙන් පසු 1981 දී පානදුරේ රන්කොත් විහාරයෙහි
ආධිපත්‍යයට පත්වූ සුගතරතන හිමියෝ තත්විහාරය කේන්ද්‍රකොට ගෙන ඉමහත්
ආගමික හා සාමාජික සේවාවක ද නිරතව සිටිති. ශාස්ත්‍රීය සේවයකද යෙදී සිටින
කහපොළ සුගතරතන හිමිපාණන් වහන්සේ ස්වනිකාය මඟින් චන්ද්‍රකීර්ති ශ්‍රී
ගෞරව නාමය සහිත අනුනායක ධූරයකට පසුගියදා පත්කරන්නට යෙදුණි. #####################
දොඩම්ගොඩ අස්සජී අධිකරණ නා හිමි
ශාස්ත්‍රපති නින්දානේ චන්දවිමල නා හිමි
රාජ්‍ය
වර්ෂ 1947 පෙබරවාරි මස 01 වනදා, කළුතර, දොඩම්ගොඩදී උපන් කුඩා දරුවා
මූලික ඉගෙනුම ලැබුවේ දොඩම්ගොඩ කනිටු විදුහලෙනි. 1960 ඔක්තෝම්බර් මස 22
වන දින මාතර දික්වැල්ලේ පිටදෙනියේ ශ්‍රී රෝහණ සතිපට්ඨාන භාවනා
යෝගාශ්‍රමයේ දී පරම පූජනීය බේරුවල සිරිනිවාස මහ නා සමිඳුන්ගේ
උපාධ්‍යයත්වයෙන් හා දොඩම්පහළ කවිධජ මාහිමි පාණන්වහන්සේගේ ආචාර්යත්වයෙන්
දොඩම්ගොඩ අස්සජි නමින් පැවිදි බිමට පත් විය. මරදානේ ශ්‍රී ලංකා
විද්‍යාලයෙන් හා මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙන් අධ්‍යාපනය ලැබුහ. ගුරු දේවයන්වහන්සේලාගේ හදිසි අපවත්වීමෙන් හිස් වූ දීපව්‍යාප්ත ශිල
භාවනා සංවිධානයේ වගකීම අස්සජි හිමියන්ට පැවරිණි. 1967 ජූනි 21
අම්බලන්ගොඩ මාදම්පාමෝදර උදකුක්ඛේප සීමාමාලකයේ දී බේරුවල සිරිනිවාස මහ
නා හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යයත්වයෙන් උපසම්පදාව ලැබූ මුන්වහන්සේ
බුරුමරට “ශාසන යෙයිතා” භාවනා යෝගාශ්‍රමයේදී විශේෂ භාවනා පුහුණුවක් ද
ලැබුහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන පැවිදි
අනුශාසක ධූරය දරමින් උතුරු නැගෙනහිර ඇතුළු හමුදා කඳවුරුවල පැවැත්වෙන
ආගමික කටයුතු මගින් රණවිරුවන් දිරිමත් කළහ. මොරටුවේ භාවනා මූලස්ථානය හා මීගොඩ හයිලෙවෙල් පාරේ භාවනා භික්‍ෂු
මධ්‍යස්ථානය උන්වහන්සේ ආරම්භ කළ පින්කෙත් ය. ලක්දිව සුපතල ධර්ම
දේශකයාණන් වහන්සේ නමක් වූ අස්සජි හිමියන් අම්බලන්ගොඩ සුමංගල
මහානාහිමියන් ප්‍රධාන ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවව මගින් මෙවර
ස්වනිකායේ අධිකරණ සංඝනායක පදවියට පත්කොට ඇත.
#####################
අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී රද්දොළුවේ විමලවංස නා හිමි
උදම්මිට උත්තමාරාම පුරාණ විහාරාධිපති,
උදම්මිට අස්සජීතිස්ස අනුනාහිමි
අමරපුර
නිකායයේ මහා ලේඛකාධිකාරී ධූරයෙන් හා සම්මාන නායක පදවියකින් පිදුම් ලැබූ
රද්දොළුවේ විමලවංස මාහිමියන්ගේ උපන් ගම ජා ඇල හා කටුනායක නගර දෙක අතර
පිහිටි බෞද්ධ ගම්මානයක් වූ රද්දොළුවයි. එම ගමේ වෙදපරපුරක දක්‍ෂ
වෛද්‍යවරයකු වූ පත්තාගේ සලමන් පෙරේරා මහතා පියාණන් වූ අතර මෑණියන් වූයේ
පානදුර නිජ භූමිය කරගත් තෙල්ගේ ජෙනී චාලට් පීරිස් මහත්මියයි. දරුවන්
පස්දෙනෙකුගෙන් වැඩි මහල්් පුත් රුවන වූ ජී. දයාසෝම වෛද්‍යතිලක පෙරේරා
තම ගමේ ශ්‍රී පඤ්ඤානන්ද පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය. අනතුරුව
මිනුවන්ගොඩ නාලන්දා මහා විද්‍යාලයට ඇතුළත් ව දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස
අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් උසස් ලෙස සාමාර්ථය ලැබීය. කලකසිට තම
ප්‍රධාන අභිලාෂය වූ ප්‍රවෘජ්‍යා භූමියට පත්වීමට සැදැහැවත් දෙමාපියන්
කැමති කරවා ගත හැකි විය.එහි ප්‍රතිඵලය වූයේ 1964 මාර්තු 12 වන දින
රද්දොළුව අභිනවාරාමාධිපතිව වැඩ විසූ රද්දොළුවේ අරියවංස මා හිමියන්ගේ හා
වත්මන් රද්දොළුව සුබෝධාරාමාධිපති රද්දොළුවේ අමරවංස නාහිමිපාණන්
වහන්සේලාගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්වීමය. ඊට පසු 1967 ජූනි 21 වන
දින අම්බලන්ගොඩ ශ්‍රී සුනන්දාරාම මහා විහාරාසන්න මාදම්පා මෝදර උදකුෙක්‍ඛප සීමාවේ දී බේරුවල සිරි නිවාස මහා නායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලැබීය. පානදුර රන්කොත් විහාරස්ථ සෞගත විද්‍යාල පිරිවෙනින් අධ්‍යාපනය ලබා එහිම
ආචාර්යවරයෙකු ලෙස 1975 වසරේ සිට සේවය කළහ.
ගුරු දේවයන් වහන්සේලාගේ බලවත් ඉල්ලීම මත 1978 ජනවාරි 04 වන දින
රද්දොළුව සුබෝධාරාමයට වැඩම කරවීමෙන් පසු විහාරස්ථානයේ නව ප්‍රබෝධයට
කටයුතු රාශියක් ඉටු කෙරිණි. උන්වහන්සේ වැඩම කරවන විට එක නමක් පමණ වැඩ
සිටි පැරැණි ගොඩනැඟිලි වලින් සමන්විත වූ මෙම විහාරස්ථානය දැනට විසිපස්
නමක් පමණ වැඩ සිටින ප්‍රදේශයේ සියලු ආගමික කටයුතු ඉටු කෙරෙන
කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත. ඒ අප නාහිමියන්ගේ දැඩි කැපවීම හා
උත්සාහය මත 2006 වසරේ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන පිහිටුවීමත් සමඟය. නව
සංඝාවාසය දෙමහල් පිරිවෙන් ශාලාව දෙමහල් සීමා මන්දිරය බෝධි ප්‍රාකාරය,
වාහල්කඩ උන්වහන්සේගේ පරිශ්‍රමයෙන් දායක පින්වතුන්ගේ සහ දෙස් විදෙස්
සැදැහැවතුන්ගේ උපකාරයෙන් ඉදිකරන ලද නවීන විහාරාංගයන් ය. විහාරස්ථානයට
ඉදිරිපසින් හා පසුපසින් බිම් කොටස් 4 ක් සඟ සතු කර පූජා කිරීමෙන්
විහාරස්ථානයේ ඉඩකඩ ද විශාල විය. 1982 මීරිගම ඉංගී‍්‍රසි ගුරු විදුහලට ඇතුළත් ව පුහුණු ගුරු සහතිකය
ලැබීමෙන් පසු රජයේ පාසලකට ලද පත්වීම ප්‍රතික්‍ෂේප කොට ශාසනික හැඟීමෙන්
පිරිවෙන් ගුරු සේවයෙහිම රැඳුණි. පානදුර රන්කොත් විහාරස්ථ සෞගත විද්‍යාල
පිරිවෙන, දොරණෑගොඩ සදානන්ද මහ පිරිවෙන, හීනටියන ශ්‍රී ලක්ෂ්මී ධර්මදූත
පිරිවෙන උන්වහන්සේගේ සේවය ලැබූ පිරිවෙන් ය. මීට අමතරව බලගල්ල බෞද්ධ හා
පාලි විශ්වවිද්‍යාල ආයතනයේ බාහිර ඉංගී‍්‍රසි ආචාර්යවරයෙකු ලෙසද සේවය
කෙරිණි. ජර්මනියෙන් ලැබුණු ආරාධනයක් මත ගුරුවෘත්තියෙන් විශ්‍රාමගෙන
යුරෝපයේ ධර්ම ප්‍රචාරක කටයුතු ඇරඹිණ. ජර්මනියේ බොන් විහාරස්ථානය මුල්
කරගෙන එංගලන්තය, ස්වීඩනය, ඩෙන්මාර්ක්, ඉතාලිය හා ඕලන්දය යන රටවල ධර්ම
ප්‍රචාරක කටයුතු වල යෙදුණි. ඉතාලියේ සිසිල විහාරස්ථානයද අප නාහිමියන්ගේ
විහාරාධිපතිත්වයෙන් ආරම්භ කරන්නට යෙදුණි. වසර 7 ක පමණ කාලයක් යුරෝපීය
ජාතිකයන් හා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉටු කළ සේවයද අති විශාලය. රද්දොළුව සුබෝධාරාම විහාරස්ථානයේ දායක පින්වතුන්ගේ බලවත් ඉල්ලීම මත
ධර්ම ප්‍රචාරක කටයුතු නතර කොට 2003 දී නැවත තම විහාරස්ථානයට වැඩම
කරවීමෙන් පසු ස්වනිකායේ සහ තම ගම් ප්‍රදේශයේ ශාසනික කටයුතු පෙර පරිදි
සිදුකරන්නට විය. 2005 වසරේ සිට නිකායයේ වාර්ෂික උපසම්පදාව විහාරාසන්න
අත්තනගලු ඔයෙහි උදකුක්ඛේප සීමා මාලකයේදී මේ දක්වා ඉතා උසස් අයුරින්
සිදු කෙරේ. මහාමාර්ග අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මැතිතුමාගේ
අනුග්‍රහයෙන් විශාල මුදලක් වැයකොට සාදවන ලද සීමා මාලකය නිසා උපසම්පදා
විනය කර්මය මැනවින් සිදුකිරීමට මහා සංඝරත්නයට ඉඩකඩ සැලසුණි. සීමා මාලකයට යාබද අක්කරයක් පමණ භූමි භාගය උදම්මිට විසූ විමලදාස සිල්වා
මුදලාලි මහතාට පින් පිණිස එම්. නිමල් සිල්වා මහතා විසින් පූජා කිරීමෙන්
ඉදිරියටද මෙම උතුම් විනය කර්මය මැනවින් සිදුකිරීමට අවස්ථාව උදාකළේ ද
විමලවංස නාහිමියන්ගේ ඉදිරිපත්වීම තුළිණි. උන්වහන්සේගේ ශාස්ත්‍රීය සේවාවන් අතර
The Requisits of Enligtnmet
නමැති බුරුම ධර්ම ග්‍රන්ථය බෝධි පාක්ෂික ධර්ම චින්තා නමින් පරිවර්තනය
කොට පළකෙරිණි. The Ordination Procedure
and Some Vinaya Rules නමැති කෘතිය උපසම්පදාවට අදාළ විනය නීති නමින් පළ කරන ලදී. මේ හැර
නාථකරන ධර්ම හා දුර්ලභ කරුණු සතරක් පළ කරන ලද තවත් කුඩා ධර්ම ග්‍රන්ථ
දෙකකි. කාලයක සිට ගුවන් විදුලි ධර්ම චින්තා හා ධර්ම දේශනා අවස්ථා
කිහිපයකදී පවත්වා ඇත. උන්වහන්සේගෙන් අඛණ්ඩව ඉටුවෙන මෙම ශාසනික සේවය නිකායේ මහ ලේකම් ධූරයට
පත්වීම තුළින් ස්වනිකායේ දියුණුවට ද හේතුවනු නිසැකය. |