Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව

බුදු දහම මගධ බසින් හදාරා ලද අත්දැකීම් අනුව හැට වසරක පමණ සිට “ගුරුතුමා” නමින් බොහෝ සැදැහැවතුන් අතර ගෞරවණීය, තත්ත්වයකට පත්ව සිටි ඩී.ඒ. රණතුංග මහතා භාවනා පිළිබඳ කරන ලද දේශනා හා මඟ පෙන්වීමද අසන්නට ලැබිණි. පරලොව සැපත් එතුමන්ට කරන ගෞරවයක් වශයෙන් එතුමාගේ දේශනා ඇසුරෙන් මෙසේ ලිපියක් ඉදිරිපත් කිරීමට අපි අදහස් කළෙමු.

බුදුන්වහන්සේ විසින් දේශනා කර වදාරන ලද මේ පාලි ගාථාව දෙස බලන්න.
 

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පාරියෝදපනං - ඒතං බුද්ධාන සාසනං

අපි අද මුලින්ම “මම” “මගේ” යන කොටස් දෙක තේරුම් ගැනීමට උත්සාහ කරමු. ඇස, කන, දිව, නාසය, ශරීරය යන පසිදුරන් මගේ ය. ‘මන’ හෙවත් මම මේ පස්දෙනා පාලනය කරමින් පසුවෙයි. තව ටිකකින් හෝ හෙට උදයේ නින්දෙන් අවදිවී, බැලීමට, ඇසීමට, රසවිඳීමට ආග්‍රහණය කිරීමට, ස්පර්ශය පසක්කර ගැනීමට අපි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු. ඒ අනාගත ස්කන්ධ පංචකයයි. එසේ අනාගතයේ දී ගැනීමට ඉතිරි කර ඇත්තේ ඊයේ නොහොත් අතීතයේ තිබූ ඒවාම නිසා ඒවා අතීතස්කන්ධපංචකය.

මෙසේ ඒවා ගන්නා අවස්ථාව හෙවත් වර්තමානයට ද ස්කන්ධ පංචකයක් ඇත. හෙට බලමි, අසමි, රස විඳිමි ආග්‍රහණය කරමි. ස්පර්ශ කරමියි, හේතුවූ අනාගත ස්කන්ධ පංචක හෙට අතීත ප්‍රත්‍ය වශයෙන් වර්තමානයේ විමසා බලයි. මේ පටිච්ච සමුප්පාදය හෙවත් හේතුප්‍රත්‍ය උපදනා ආකාරයයි.

දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය, පූර්වාක්ත ස්කන්ධ පංචකය, අපරාන්ත ස්කන්ධ පංචකය, පූර්වාන්ත, පරාන්ත ස්කන්ධ පංචකාදිය හා පටිච්ච සමුප්පාදය නොදන්නෝ මිථ්‍යාදෘෂ්ටීන් වනහෙයින් සම්‍යක් දෘෂ්ටීන් වීම සඳහා මෙම කරුණු අට අවබෝධ කර ගත යුතු වේ.

තුන්ලොව වාසී දෙව්, බඹ, මිනිස් තිරිසන් ආදී සියලු සත්වයෝම අතීතයෙන් ගත් අනාගත ස්කන්ධයේ වර්තමානයේ ඵල ලබන අවස්ථාවේ සිදුවන්නේ බැලීම් ඇසීම් ආදී ඵල පසමය.

අවිද්‍යා සහගත සත්වයෝ අනාගත ස්කන්ධ පංචක නොසිඳ තබාගෙන දුක් විඳින, තත්ත්වය දුටු සම්බුදුපියාණෝ භවයේ ආදීනව විමසා බැලීම නම් වූ විදර්ශනා භාවනාව වදාළ සේක.

අනාගත ස්කන්ධ පංචක නොසිඳ පවත්නා හෙයින් සත්වයාට කුසල කර්ම, අකුසල කර්ම හා ආනිජ්ඣාභි කර්ම කිරීමට සිදුවෙයි. මෙම කර්මස්ථාන දැනගත් විට ඉහත කී බැලීම් ඇසීම්, ආදී කරුණු පස කය නොහොත් ශරීරය අනුව ස්පර්ශවීමේ භාවයේ ආදීනව වැටහෙයි. බැලීම්, ඇසීම් ආදී කරුණු පස කවර ශරීරයක් සමග ස්පර්ශවූවත් එහි ඇත්තේ බැලීම් ඇසීම් ආදී පස පමණක්ය බව වටහා ගැනීම කායානුපස්සනා භාවනාවයි.

එම කරුණු පස මිත්තය අනුව ස්පර්ශ වීමේ භවයේ ආදීනව වටහා ගැනීම චිත්තානු පස්සනා භාවනාවයි. මේ බැලීම් ඇසීම් ආදී ස්කන්ධ පස විඳගන්නා භවයේ ආදීනවම වටහා ගැනීම වේදනානු පස්සනා භාවනාවයි. බැලිය යුතුය, ඇසිය යුතුය, රසවිඳිය යුතුය, ආඝ්‍රාණය කළ යුතු ය, ස්පර්ශ කළ යුතුයයි යම් යම් සැප දුක් පිළිබඳව මධ්‍යස්ථ අදහස් රැසක් දරාගෙන තිබීම නිසා, ඉහත කී ඵල ස්පර්ශවන භවයේ ආදීනව දැකීම ධම්මානුපස්සනා භාවනාවයි.

මේ සියල්ල කොතෙකුත් කළද අනිත්‍යවී නැතිවී යන භවයේ ආදීනවය වටහා ගැනීම අනිත්‍යානු පස්සනා භාවනාව. මේ සියල්ල දැකගත් දැනගත් උතුමෝ අනාගත ස්කන්ධ පංචක තබා ගැනීමෙන් ලැබෙන ආදීනවය දුකක් මිස සැපක් නොවන බව වටහා ගනී. අනාගත ස්කන්ධ පංචක තබා ගැනීම දුකට හේතුව හෙවත් සමුදය සත්‍ය බව වටහා ගනී. ඒ උතුමෝ අනාගත බැලීම් ඇසීම් ආදිය කෙරෙහි නොඇලේ. ඒ නිරෝධ සත්‍යයයි.

පින්වතුනි ඉහත දැක්වූ කරුණු අවබෝධ වීම හෙවත් වටහා ගැනීම බුදුන්වහන්සේ වදාළ පරිදි “බුද්ධං සරණං ගච්ඡාමි” හෙවත් බුදුන් සරණ ලබාගැනීමය. මේ සත්‍යය අමතක නොකර ධාරණය කර ගැනීම “ධම්මං සරණං ගච්චඡාමි” හෙවත් ධර්ම යේ සරණ ලබා ගැනීමය. එලෙස නීතියටම පවත්වාගෙන යෑම “සංඝං සරණ ගච්ඡාමි” යයි කිව හැකි ය.

සැදැහැවත් භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාදීන්, මිථ්‍යා මතයෙන් තිසරණය බේරාගෙන නියම ධර්මය ලොව පතුරුවාලීමට කාලයත්, ධනයත්, ප්‍රඥාවත් යොදන්නෙහි නම් බුද්ධාදී ආර්යයන් වහන්සේ වදාළ පරිදි, බුද්ධියත් ධාරණයත් සරණ පිහිටුවා බෝධිසත්ව තත්ත්වයෙන් තිසරණය පිහිටුවාගත හැකියි.

පින්වත්නි, ඉහත කී කරුණු අනුව ආදීනව අවබෝධ කරගත් බැලීම් ඇහීම් අනාගතයට නොතැබීමට අදහස් කළ උතුමෝ “සබ්බ පාපස්ස අකරණං” හෙවත් සියලු දෙය පව්ය. ආකරණය යනුවෙන් වදාළහ.

“කුසලස්ස උපසම්පදා සච්ත්ත පරියෝ දපනං ඒකානු බුද්ධාන සාසනං”

පින්වතුනි, ඒ මේ බුදුන් වහන්සේගේ අනුශාසනාවයි. අනුශාසනාව කුමක්ද? තමන්ට අත්ථ හිත සුව පිණිසත් අනුන්ට අර්ථවත් හිත සුව පිණිසත් සම්පත් උපදවා ගැනීමට කුසල් කළ යුතුය. නමුත් ඉහත කී මම සහ මගේ පස්දෙනාත් ආකෂණව හෙවත් එක්ව දමනය වී, මේ සත් දෙනාගේ තත්ත්වය මනාසේ දැන දැක අවබෝධ වූ සත්වයෙක් විය යුතු ය. පාරමී ධර්ම රාශියක් මෙයට ඇතුළත් වෙයි.

ඉහත කී කරුණු අට දැක දැනගත් පින්වත්හු සම්‍යක් දෘෂ්ටිකයෝ වෙති. භාවනාවක් මෙනෙහි කිරීමෙන් සම්මා සංකප්ප යනුවෙන්ද?, ඒ අනුව මමත් සමඟ කථා කර ගැනීම සම්මා වාචා ලෙසද, කර්ම අන්ත කිරීම හෙවත් අනාගත ස්කන්ධ පංචක නොතැබීම සම්මා කම්මන්ත ලෙසද, ඒ අනුව මඳක් ජීවත්වීම සම්මා ආජීව ලෙසද, මේ කරුණු අනුව මඳක් යාම් ඊම් ආදී ව්‍යායාම කිරීම සම්මා වායාම යනුවෙන් ද ඉහත කී සියල්ල සිහියෙන් යුතුව කළ යුතු හෙයින් සම්මා සති ලෙසද, මේ උතුමා සමාධියට පත්වන හෙයින් සම්මා සමාධි ලෙසද හැඳින්විය හැකි ය.

පින්වත්නි,

තම තමා තුළ මෙතෙක් පැවති අවිද්‍යා මත අතහැර දමා තමනුත් මේ තත්ත්වයට පත්වීමට තමාම උත්සාහ දැරිය යුතු ය. කවර මට්ටමේ පූජාවන් හෝ වන්දනා කිරීම් ආදී කිසිම බාහිර ක්‍රමයකින් මේ තත්ත්වයට පත්විය නොහැකි ය. වහ වහා ධර්මය ඉගෙන ඉහත කී නිවීම , පාරමිතා පිරීම අද අදම පටන්ගත යුතු බව සලකත්වා. ඉහත කී කරුණු අට මනාලෙස දැක දැනගත් උතුමෝ, ආරම්භක ය. නිවීමේ අරමුණු පාරමී පිරීමේ අරමුණ ගැනීම නික්ඛමථ ය. අනාගත ස්කන්ධ නොතබා නිවීමේ මඟට හෝ පාරමිතා මඟට නික්මීම, “සුඤ්ඤතය” ඒ තං බුද්ධානසාසනං යනු බුදුන්ගේ ඒ අනුශාසනාව අනුව කාලය ගෙවිය යුතු බවය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.