Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සසර දුක නිවන සදහම් අමාව

සසර දුකින් මිදීම සඳහා මඟ පෙන්වන, ධර්ම රත්නය බෞද්ධයාට ඇති, අති උතුම්වූත්, ශ්‍රේෂ්ඨතමවූත් දායාදයකි. භාග්‍යවතුන් වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ සසර දුක් විඳිමින් මේ සඳහා කළ කැපවීම අති මහත් බව පෙනේ. අවසන මහා භාරතයේ ඉපිද, අධික වෙහෙසක් දරා තමන්ගේ බුද්ධියෙන්ම ධර්මය අවබෝධ කර ගනිමින්, තුන් ලොවටම උත්තම පදවිය වූ ලොව්තුරා බුද්ධත්වයට පත් වූහ. එසේ බුද්ධත්වයට පත්ව විවේකීව ගත කළ පස් වන සතියේ අජපල් නුග රුක මුලදී ගුරු ඇසුරක් නොමැතිව ජීවත්වීම නුසුදුසුය. එබැවින් කවරකු ගුරු තන්හි පිහිටුවාගෙන ක්‍රියාකරම් දැයි සිතූ භාග්‍යවතුන් වහන්සේ, තමන් වහන්සේගේම බුද්ධියෙන් අවබෝධ කරගත් ධර්මයටම ගුරු තන්හි තබා ගත්හ. සැමවිටම ඒ අනුවම ක්‍රියා කළහ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්නයේ උන්වහන්සේගේ ඇවෑමෙන් ගුරු තන්හි ලා සැලකිය යුත්තේ කවුරුන් දැයි ආනන්ද හාමුදුරුවෝ විමසා සිටියහ. එහිදී ආනන්දය, මවිසින් දේශනා කරන ලද පනවන ලද ධර්ම විනය මගේ ඇවෑමෙන් ගුරු තන්හි පවතින්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ. ඒ අනුව ධර්මය දායාද කර ගනිමින් සැමවිටම දිවිගෙවන්න. කිසිවිටෙක ආමිසය දායාද කර නොගන්නැයි වැඩිදුරටත් දේශනා කළහ. මේ අන්දමට බෞද්ධයකුට ඇති අති උතුම් දායාදය ධර්ම රත්නය බව පෙනේ.

සතර මාර්ග, සතර ඵල නිර්වාණය යන ලෝකෝත්තර ධර්ම ද පන්සාළිස් වසක් මුළුල්ලේ දෙව් මිනිසුන්ට දේශනා කළ, ධර්මස්කන්ධය ඇතුළත් තුන් පිටකය ද, ධර්ම රත්නය ලෙස, දහම් පොත පතේ දැක්වෙයි.

භාග්‍යවතුන් වහන්සේ දැඩි දුෂ්කර ක්‍රියාමාර්ගයක් ඔස්සේ අවබෝධ කර ගනු ලැබූ ශ්‍රී සද්ධර්මයේ අන්තර්ගත සුවිශේෂ ලක්‍ෂණ හයක් ඇති බව පෙන්වා දෙනු ලැබ ඇත. බෞද්ධ වන්දනාමාන වලදී සිහි කැරෙන දහම් ගුණ වන්දනා ගාථාවේ යථෝක්ත දහම් ගුණ කඳ කොටස් හයකට කැටිකොට දක්වනු ලැබ ඇත්තේ මෙසේ ය. ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකො, ඕපනයිකෝ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී, යනුවෙනි. ධර්මය මෙකී ගුණ හය සිහිකිරීම බෞද්ධ වන්දනාමානාදියේ දී මෙන්ම විශේෂ අවස්ථාවලදී සිදු කැරේ. එසේම ධර්මයේ ගුණ වලට සිත යොමු කරමින් ධම්මානුස්සතියෙහි යෙදීමට බෞද්ධයෝ පුරුදු වී සිටිති. එය උතුම් භාවනාවක් වන අතර යහපත් ප්‍රතිඵල ලබා දෙයි. එසේම ධජග්ග සූත්‍ර දේශනාව තුළින් හෙළි කර දෙන්නේ හදිසි විපත් උවදුරු ආදියෙන් ඳදීම සඳහා ධර්ම රත්නයේ ගුණ සිහිකිරීම අවස්ථාවෝචිතව සිදු කිරීමට ය. ධර්ම රත්නය කිසිවිටෙක වෙනස් නොවන එසේම කිසිවකුටත් වෙනස් කළ නොහැකි පරම සත්‍යයකි. ධර්ම රත්නයේ ඇති ශ්‍රද්ධාව පූජනීය බව උදාර බව ශ්‍රේෂ්ඨ බව මනාව වටහා ගැනීමට නම් එහි කැටිකොට දැක්වෙන ගුණ හය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. මේ එක් එක් ගුණයක් පිළිබඳ ඉතා ලුහුඬින් මෙසේ දැක්විය හැකි ය.

ස්වාක්ඛාත ගුණය

භාග්‍යවතුන් වහන්සේ, පන්සාළිස් වසක් මුළුල්ලේ දෙව් මිනිසුන්ට දේශනා කර වදාළ ධර්මයෙහි, කිසිදු අඩුපාඩුවක් නැත. නිවන් ලැබීමට සුදුසු මග එයින් ප්‍රත්‍යක්‍ෂ කර දී වදාළහ. එහි, මුල, මැද, අග අර්ථවත්ව සැකසී තිබිණ. මේ ධර්මයේ ඇති ස්වාක්ඛාත ගුණයයි.
 

සන්දිට්ඨික ගුණය

තමා තුළ උපදවා ගත් නුවණින්, ප්‍රඥාවන්තව තමා විසින්ම හොඳ දෘෂ්ටියකින් දැකිය හැකි ය. සාවද්‍ය දෘෂ්ටියකින් බලන තැනැත්තාට ධර්මයේ ඇති යථාර්ථය වටහා ගත නොහැකි ය. ධර්මය දකින්නා මා, දකින්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළහ. ඉන් ධර්මයේ ඇති වටිනාකම, අර්ථවත් බව මැනවින් අවබෝධ කර ගත හැකි ය.

අකාලික ගුණය

ධර්මය පිළිපැදීමෙන් සැමදා ලැබෙන හොඳ විපාක බොහෝ ය. ධර්මයේ යෙදෙමින් ධර්මචාරී ජීවිත ගත කරන පුද්ගලයාට එහි ප්‍රතිඵල මෙලොවදීම ලැබෙයි. ඔහුට, තමාගේ මනසේ පවත්නා මානසික සුවය නිරතුරුවම සැප ලබා දෙයි. දැහැමිව ජීවත්වන්නාට සමාජයෙන් ලැබෙන ගෞරව ප්‍රශංසාද බොහෝ ය. මේ අකාලික ගුණයේ ඇති ස්වභාවයයි.

ඒහිපස්සික ගුණය

ඕනෑම කෙනකුට, ධර්මය දෙස බලා තම නැණ පමණින් පරීක්‍ෂණ පැවැත්වීම, හා එහි ප්‍රතිඵල නිරීක්‍ෂණය මගින් සිත පහදවා ගත හැකි ය. තම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගනිමින්, දෛනික කටයුතු ඉටු කළ හැකි ය. මේ අන්දමට එන්න ධර්මය දෙස බලන්න යැයි කෙනෙකුට පෙන්විය හැකි ය.

ඕපනයිකෝ ගුණය

සිතට ධර්මය අරමුණු කර ගත යුතු ය. එසේ, ධර්මය සිතට අරමුණු කර ගනිමින් සිත වැඩීම ආරම්භ කළ යුතු ය. ප්‍රගුණ කළ යුතු ය. එසේ ප්‍රගුණ කළ ධර්මය, මාර්ග ඵල ලබා ගැනීම සඳහා සෘජුවම හේතු කාරක වෙයි.

පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි

ධර්මයේ ඒකායන අරමුණ නිවන් දැකීමයි. ඒ සඳහා එක් එක් පුද්ගලයා තම තමා විසින්ම, පෞද්ගලිකව ධර්මය අවබෝධ කර ගත යුතු ය. එසේ නොමැතිව අන්‍යයන්ගේ පිළිසරණ මත නිවන් අවබෝධ කර ගත නොහැකි ය. තමාට පිහිට තමාම ය.

බෝධිසත්වයන් වහන්සේ මෙම මහා ධර්ම ස්කන්ධය යථා පරිදි තමන් විසින්ම අවබෝධ කරගෙන ලොවුතුරා බුද්ධත්වයට පත් වූ සේක. එසේ තමන් වහන්සේ අවබෝධ කර ගත් නිර්මල ධර්මය ධම්මචක්ක (දම්සක් සූත්‍ර දේශනාව) තුළින් ලොවට හෙළි කර වදාළහ. භාග්‍යවතුන් වහන්සේ එම දේශනාව පවත්වද්දී, සියලු දෙවි දේවතාවෝ සාදු නාද දෙමින් එය ශ්‍රවණය කළහ. අප්‍රමාණ සතුටට පත්වූහ. බුදුසසුනට වසර 2550 ක් වඩා ගත වී ඇති වර්තමානයේ ධර්ම රත්නයේ හරවත් බව සාරවත් බව බෞද්ධයා පමණක් නොව, අන්‍ය ආගමිකයන් විසින් ද පිළිගෙන තිබීම, විශේෂ සමරු සටහනකි.

මෙසේ වූ ගුණ සමුදායකින් පිරි නොසැලෙන ධර්මරත්නය බෞද්ධයාට ඇති, උතුම් දායාදයකි. සසර දුක්, නිවාලන දහම් අමාවකි. එය පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යනුවෙන් තෙවැදෑරුම් වේ. ‘පර්යාප්ති’ යනුවෙන් දක්වනු ලැබ ඇත්තේ තුන් පිටකය ප්‍රධාන කොට පවත්නා සියලු බුද්ධ දේශනාය. ඉතා අගනා මෙම ධර්ම කොටස් ඊට අදාළ පොත්පත් කියවීමෙන් හෝ ශ්‍රවණය කිරීමෙන් අවබෝධ කර ගත යුතු ය. ඒ අනුව එක් එක් පුද්ගලයා පෞද්ගලිකව ධර්මය හැදෑරීමත්, අවබෝධ කර ගැනීමත් අවධාරණය කැරේ. එසේ උගත් ධර්මය තම දෛනික ජීවිත රටාවට යොදාගෙන පිළිපැදීම, ‘ප්‍රතිපත්ති’ යනුවෙන් දැක්වේ. මෙහිදී සිත, කය, වචනය යන තුන් දොර රැක ගැනීම අත්‍යවශ්‍ය වේ. භාවනාව මගින් සිත හා නුවණ දියුණු කර ගැනීම ද ඊට ඇතුළත් වේ. තමා උගත් ධර්මය ප්‍රතිපත්තිගරුකව නොපිළිපදින කිසිම අයෙකුට අත්වන ප්‍රතිඵලයක් නොමැත. ‘ප්‍රතිවේධ’ යන්නෙන් අදහස් කෙරෙනුයේ පිළිවෙත් පුරන පුද්ගලයා ලබන ධර්මාවබෝධයයි. මෙසේ ධර්මය පිළිපැදීම තුළින් මනුෂ්‍යයාට ලැබිය හැකි ඉහළම ප්‍රතිඵලය වන නිවන අවබෝධ කර ගැනීමේ භාග්‍යය උදා කර ගත හැකිවේ.

අති දුෂ්කර ක්‍රියා මාර්ගයක් ඔස්සේ අති උතුම් ලොව්තුරා බුද්ධත්වයට පත්, භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ධර්ම ස්කන්ධය අති විශාලය. ඉතා ගැඹුරු ය. ඒ ප්‍රඥාවන්තයන් සඳහාම වූවකි.

බෞද්ධ ජනතාවද පර්යාප්ති, ප්‍රතිපත්ති ප්‍රතිවේධ ක්‍රම වේදයන් ඔස්සේ නිසි පිළිවෙත් පුරමින් එම ධර්මය අවබෝධ කර ගැනීම උදෙසා ක්‍රියා කළ යුතු වේ. මේ සඳහා එක් එක් පුද්ගලයාට පෞද්ගලිකව වීර්යය, අධිෂ්ඨානය, ශ්‍රද්ධාව ප්‍රඥාව ආදී ගුණධර්ම අවශ්‍ය වේ. තමාට පිහිට තමාමය. එබැවින් තමන් පිහිට කොට අන්‍යයන්ගේ පිහිට නොපතනු යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවක සමූහයාට දුන් අවවාදය අනුව ක්‍රියාකාරී විය යුතු ය. තවද තම බුද්ධියත්, ව්‍යායාමයත් ඉවහල් කර ගෙන සියලු සසර බැමිවලින් නිදහස්වීමේ බලය මිනිසා සතු බැවින් තම තමාම විමුක්තිය සොයා ගන්නැයි අවවාද කළහ. ඔබ ඔබගේ කාර්යය ඉටු කළ යුතු ය. තථාගතයන් වහන්සේ හුදෙක් මාර්ගය පෙන්වා දෙනු ඇත යනුවෙන් කළ දේශනා ධර්මය සිහියට ගත යුතු වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ මේ උපදෙස් පිළිපදිමින් ධර්මය ප්‍රගුණ කරන්නා තුළ ප්‍රඥාව වඩ වඩාත් වර්ධනය වනු ඇත. උසස් ප්‍රතිඵල ලැබෙනු ඇත.

යො චෙ වස්සතං ජීවෙ
අපස්සං ධම්මමුත්තමං
ඒකාහං ජීවිතං සෙය්‍යො
පස්සතො ධම්මමුත්තමං

(ධම්මපදය - සහස්ස වග්ග)

උතුම් ධර්මයක් අවබෝධ කර නොගත්තහුගේ සියක් අවුරුදු ජීවිතයට වඩා එය අවබෝධ කර ගන්නහුගේ එක දවසක ජීවිතය උසස් ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.