ගරු කළ යුත්තන්ට ගරු කරමු
බද්දේගම මහගොඩ කන්ද ඉසිපතනාරාමවාසී,
බද්දේගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී,
ගා/ක්‍රිස්තුදේව
පිරිමි මහා විද්‍යාලයේ ආචාර්ය, ශාස්ත්‍රපති
බලගොඩ සිරිනිවාස හිමි මංගල සූත්‍රාගත අටවන ගාථාවට අද අවධානය යොමු කරමු.
මංගල කරුණු ඇතුළත්වන ගාථා අතුරින් හත්වන ගාථාව වන එම ගාථාව මෙසේ ය.
“ගාරවො ච නිවාතො ච
සන්තුට්ඨී ච කතඤ්ඤුතා
කාලෙන ධම්ම සවනං
ඒතං මංගල මුත්තමං”
මෙම ගාථාව තුළ මංගල කාරණා පහක් ඇතුළත් වෙයි. එම මංගල කරුණු අප දිවියට
එක්කර ගැනීමෙන් දෙලොව සැනසෙන මාවතක් හෙළි කර ගත හැකි ය. එම මංගල කරුණු
පහ මෙසේ පෙළගැස්විය හැකිය.
1. ගරුකළ යුතු අයට ගරු කිරීම (ගාරවො)
2. උඩඟු නොවීම (නිවාතො)
3. ලද දෙයින් සතුටුවීම (සන්තුට්ඨි)
4. කළගුණ සැළකීම (කතඤ්ඤුතා)
5. ධර්ම ශ්‍රවණය කිරීම (කාලෙන ධම්ම සවනං)
මෙම පංචවිධ මංගල කාරණා අපේ මනුලොව දිවි මැදුරු අලංකාරයට මහෝපකාරී වෙයි.
දැන් අපි බලමු මෙහි එකිනෙක මංගල කාරණාවලට තේරුම් මොනවාද කියා.
මානව ශිෂ්ටාචාරය තුළ අප අවනත විය යුතු, අප කීකරු විය යුතු, අප ගරු කළ
යුතු පිරිස් සිටියි. එම පිරිස වෙන්කර ගැනීමේ විවිධ දෘෂ්ටි කෝණද නැත්තේ
නොවේ. අපට ආසන්නම පිරිස වන අපේ මවුපියන් වෙත අපි යුතුකම් වලින් බැඳී
සිටින්නෙමු. අපේ සර්වාරක්ෂක දෙවිවරු වන ඔවුන්, අපි ගරු කළ යුතු අය
අතරින් ආදර බැම්මෙන් බැඳුණු, අත් නො හළ යුතු පිරිසයි. ඔවුන්ගේ ආදර්ශය
හා ම¼ග පෙන්වීම ගරු කිරීමට සුදුසුම ගුණයකි. කාමාශාවන්ගෙන් ඈත්වීමට වෙර
වීර්යය දරන සිල්වත් ගුණවත් පැවිදි උතුමෝ ද ගරු කළ යුත්තෝ ය. මෙහිදී
බුද්ධාදී උතුමන් අපි අමතක නොකළ යුතු ය.
මෙකී ගුණ නැණ වලින් හෙබි උතුමන්ට ගරු කිරීම මෙම මංගල කාරණයෙන් ගම්‍ය
වෙයි. අද ලොව පැවැත්ම සඳහා ද මෙම කාරණය වැදගත් වෙයි.
අද සමාජය දෙස බලන විට වැඩිහිටියන්ට දෙමවුපියන්ට, ගුරුවරුන්ට, ගුණවතුන්ට
සැලැකීම හීන වෙමින් පවතියි. ධන, නිල, පිරිස් බලය අගයන මෙවන් සමාජයක්
තුළ ගුණය, හැදියාව, ශීලය වැනි උත්තම ගුණ පිළිබඳ අගැයීමක් නොමැත. එවැනි
උත්තම ගුණගරුක පිරිසක් සිටිතොත් ඒ අතළොස්සකි. එම පිරිස ද බොහෝ දුරට
පසුව මුදලට නිලයට යටත් වී අගාධයට පත් වෙති. එසේම ගරු කළ යුතු අයට නිගරු
කරමින් ඔවුහු මෙලොවත් පරලොවත් පිරිහෙති.
ඔබ කළ යුත්තේ ඔබේ වටිනා මිනිසත් බවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා ගරු
කළ යුතු අයට ගරු කිරීමයි. එය ඔබට ලජ්ජාවක් නොවෙයි. ඔබ යම් ගුණවතකුට
සිල්වතකුට ගෞරව කරයි නම් එය ද ඔබ තුළ පවතින උසස් යහගුණයකි. එය ඔබට
පෙරළා ගරු සම්මාන ලැබීමට හේතුවකි.
එසේ නම් පින්වත ඔබ මෙලොව සිටින ගරු කළ යුතු අයට ගරු කරන්න. එය මෙහි
සඳහන් පළමු මංගල කාරණයයි. රහතන්වහන්සේ වැනි වීතරාගී උතුමන්ගේ සිත්වල
නිරතුරු පහළ වන මෙම ගුණය, සැරියත්, මුගලන්, රාහුල වැනි මහ රහතන්
වහන්සේගේ චරිතාදර්ශනවලින්ද මනාව පැහැදිලි වෙයි.
යම් කෙනෙක් ගරු කළ යුතු පූජනීය අයට නිගරු කරයි නම් අපහාස කරයි නම්
අස්ථාන චෝදනා එල්ල කරයි නම් එය ලොකු අපරාධයකි, බලවත් පාප කර්මයකි. අද
සමාජයේ බොහෝ අය ගුණවතාගේ ඇති ගුණ කීමට මැලි වෙති. නැති චෝදනා එල්ල
කරති. ඊර්ෂ්‍යාව වැනි නරක සිතිවිලි නිසා මෙවැනි අය ඒ කරන අපරාධය සමාජයම
දූෂණය කරන්නකි. ගුණමකු එවන් අය ගුණවතාගේ ඇති ගුණ නො ඉවසති. ඉන් වැඩි
හානිය සිදුවන්නේ එම ගුණමකු අයටම යි.
මෙහි සඳහන් දෙවන මංගල කාරණය, නිවාත ගුණයයි. ඉන් අදහස් කරන්නේ උඩඟු
නොවී, අනතිමානි වීමයි. අද බොහෝ අය විවිධ දක්ෂතා මත - විවිධ වත්
පොහොසත්කම් මත අහංකාරයෙන් ජීවත් වෙති. එපමණක් නොව තමාට වඩා අන් අය පහත්
යැයි තමාම තීරණයකට බැස ඔවුන් තලා පෙළා කටයුතු කරති, අවමන් කරති.
නිවාත ගුණය හෙවත් යටහත් පැවැතුම් ඇතිව සුවච වීමේ ගුණය මැකී යන්නේ
මිනිසා තුළ පවතින මානය නමැති ක්ලේශය නිසයි. මානය යනු පුද්ගලයා මැන බලන
ඒකකයකි. පෘතග්ජන පුද්ගලයකු ළඟම මානය නමැති මේ මැනීමේ හැඟීම පවතියි. මෙය
කොටස් තුනකට බෙදා ධර්මයෙහි විග්‍රහ කොට ඇත. සෙය්‍යමාන යනු මා අන් අයට
වඩා උසස් කෙනකු යැයි මැන ගැනීමයි. එම මැන ගැනීම ඔහුගේ් සිතේ පමණක් ඇති
වන්නකි. තමා ශ්‍රේෂ්ඨයි ඊට වඩා උසස් කෙනෙක් නැතැ’යි පරිකල්පනය කිරීම,
සෙය්‍යමාන නම් වෙයි.
‘සදිස මාන’ දෙවැන්නයි. සදිසමාන නම් තමන් අනිත් අය සමග සමාන යැයි
පරිකල්පනය කිරීමයි. ‘හීන මාන’ යනු තුන් වැන්නය.
ඕනෑම තැනකදී තමා අන් අයට වඩා පහත් ය, හීන ය යන තක්සේරුවේ පසුවීමයි.
උගත්කමින්, ධනවත්කමින්, රූමත්කමින් සමාජයේ අන් අයට වඩා තමන් පහත්
දුර්වල ගති ඇත්තෙකැයි සිතීම මෙහි ස්වභාවය යි. මෙහිදී අප සෙග්‍ය මාන,
සදිස මාන, හීන මාන යන හැඟීම්වලට හසු නොවී, සෑම විට මධ්‍යස්ථ විය යුතු
ය. එහෙත් අප අභිමානවත් විය යුතුයි. ජාතියක් වශයෙන්, රටක් වශයෙන් පොදුවේ
අභිමානයක් ඇති කර ගැනීම දියුණුවට හේතුවකි. ඉන් තමාටවත් අන් අයටවත් කිසි
හානියක් සිදු නොවෙයි. අද මේ අභිමානවත් බව ශ්‍රී ලාංකිකයන් තුළ ජාතියක්
වශයෙන් නො තිබීම නිසා අපට රට ගැන, ජාතිය ගැන, ආගම ගැන කිසි කැක්කුමක්,
හැඟීමක් නොමැති බව පෙනෙයි. මේ නිසා රටට හිතැති, ජාතියට හිතැති
අභිමානවත් ප්‍රතිපත්තියක් කිසි අංශයකින් ක්‍රියාත්මක නො වන බව දක්නට
ලැබේ. එය විශාල පරිහානියකි.
ඉහත සඳහන් කළ මානය, ආඩම්බර ගති තිබෙන තුරු මංගලමය ජීවිතයක් ගත කළ
නොහැකි ය. මෙලොව පරලොව දෙලොවටම එවැනි අය පිරිහීමට පත් වෙති. “අතිමානෙන
කුක්කුරො” යනුවෙන් සඳහන් කර ඇත්තේ අධික මානය නිසා මරණින් පසු බල්ලන් වී
උපත ලබන බවයි.
එසේ නම් පින්වත ඔබත් මෙම අති භයානක මානය යටපත් කර ගැනීමට මහන්සි දරන්න.
කවදා හෝ මානය නැත්තට නැති කළ හැක්කේ රහත් ඵලයට පත් වීමෙනි. එවිට
නිහතමානී වෙයි.
මෙහි සඳහන් තුන් වන මංගල කාරණය වන්නේ “සන්තුට්ඨි” යන්නයි. සතුට, සොම්නස
මින් කියැවෙයි. මේ සතුට ලබන විවිධ ක්‍රම අද මිනිසා නිර්මාණය කරගෙන ඇත.
පංචකාම සම්පත් භුක්ති විඳින විට ඇති වන්නේ සතුටකි. එහෙත් එහි කෙළවරක්
නැත. එහි අවසන දුක, වේදනාවෙන් කෙළවර වෙයි. එසේම ඒ ලබන සතුට ද අතෘප්තිකර
ය. සන්තුට්ඨි යන්නෙන් අවධාරණය කරනු ලබන්නේ තමාට ලැබෙන දෙයින් පමණක්
තෘප්තිමත් වී සතුටු වීමයි. ලාභාලාභාදියේ දී සම සිත් ඇතිව කටයුතු
කිරීමේදී මේ සන්තුෂ්ඨිය ලැබිය හැකි ය.
අද තරගකාරී සමාජය දෙස බලන විට බොහෝ දෙනා අතෘප්තිකර ආශාවන්ගෙන් පෙළෙන බව
පෙනෙයි. කොපමණ ලැබුණත් සෑහීමකට පත් නොවෙති. බලාපොරොත්තු වැඩි කර ගෙන
දිනෙන් දින තම බාහිර බඩු බාහිරාදිය වැඩි කර ගෙන අන්‍යයන් පරයා කටයුතු
කරමින් මේ සතුට ලබාගැනීමට වෙර දරති. අද භෞතික ලෝකයේ විවිධ භාණ්ඩ,
උපකරණ, ආහාරපාන වැඩි වන තරමට එය සතුටක් යැයි සිතති. ම් මුළාව නිසාම අද
මිනිසා සතුටට වඩා අසතුට, දුක ලබයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ අවධාරණය
කරන්නේ අප්පිච්ඡතාව හෙවත් ස්වල්පයක් කැමැති වීම, අඩු බලාපොරොත්තු
තබාගැනීම හෙවත් ලද දෙයින් සතුටු වීම සුදුසු බවයි.
මහා මන්ධාතු රජුට කහවනු වර්ෂාවක් වැස විශාල ධන සම්පතක් ලබා දුන්නත් ඔහු
තෘප්තිමත් වූයේ නැත.
එයම ඔහුගේ විනාශය බවට පත් විය. මෙවැන්නෝ අද අපේ සමාජයේ නැත්තේ නොවෙයි.
මහ මුහුදට කොපමණ ජලය වැටුණත් ඇතිවීමක් නොමැත. මහ ගින්නට කොපමණ ලී දඬු
දැම්මත් එහි කෙළවරක් නොමැත. මෙලෙස අපේ සමහර අය කොපමණ සම්පත් තිබුණත්
ඉන් සෑහීමකට පත් නොවෙති. සතුටු නොවෙති. ඔවුහු ලොව ජය ගැනීමට වෙර දරති.
එහෙත් ඔවුන්ගේ විනාශය ද මෙයම බව ඔවුහු නො දනිති. ලද දෙයින් තෘප්තිමත්
නො වන තවත් පිරිසක් දේශීය දේ අගය නො කොට විදේශීය දේ අගය කරමින් ඒවාට
ආවඩති. අද සරු දේ නිසරු කර ගෙන නිසරු දේ සරු යැයි කරපින්නා ගෙන බොහෝ අය
අතරමං වී ඇත. මේ අයට කිසි විටෙක මේ සන්තුට්ඨි ගුණය ඇතිකර ගත නොහැකි ය.
එබැවින් මංගල කරුණක් ලෙස මේ ලද දෙයින් සතුටු වීම ප්‍රගුණ කිරීමෙන්
විශාල කායික මානසික තෘප්තියක් ලැබිය හැකි බව පැහැදිලි ය. තෘෂ්ණාව වැනි
මානසික තත්ත්ව යටපත් කර ගෙන සහනශීලී ජීවිතයක් සඳහා සන්තුට්ඨි ගුණය
මහෝපකාරී වෙයි. එය දෙලොව සැනසුමට මඟකි. ඊළඟ මංගල කාරණය වන්නේ කෙළෙහි
ගුණ සැලකීමයි. තමාට අන් අයෙක් සුළු හෝ උදව්වක් කළා නම් එය මතක තබාගෙන
ඔහුට ප්‍රත්‍යුපකාර කිරීමයි. මේ ගුණය ප්‍රථම වරට ලෝකයාට ආදර්ශයෙන්
පෙන්වා දුන්නේ බුදුරජාණන් වහ්නසේ යි. තමන් වහන්සේට සෙවණ ලබා දුන් හිත්
පිත් නැති බෝධි වෘක්ෂයට සති දෙකක් ම වැඩ සිටිමින් කළ ගුණ සළකා ඇති බව
බුද්ධ චරිතයෙන් හෙළි වෙයි. එසේම කළ ගුණ සළකන පුද්ගලයන් ඉතා දුර්ලභ බව
“කනඤ්ඤු කතවේදී පුග්ගලොදුල්ලභො ලෝකස්මිං” යනුවෙන් බුදුන් වහන්සේම
පෙන්වා දී ඇත. ඒ අනුව කළ උපකාර සිත්වල තබා ගෙන ඒවාට සරිලන ලෙස උදව්
කිරීම ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ උසස් ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකි ය. තම
මව්පියන් ගුරුවරයින් සිදුකරන යුතුකම් උපකාර පිළිබඳව පෙරළා යුතුකම් ඉටු
කළ යුතුය. මේ සමාජයේ සියලුම සබඳතා පවතින්නේ මේ යුතුකම් මතය. ඒ සියලුම
යුතුකම් කළ ගුණ සැලැකීම් ගණයට වැටෙයි. යමෙක් ඒ යුතුකම් ලෙස කළගුණ
වශයෙන් කළ යුත්ත නොකරයි නම් එය විශාල වරදකි. මහත් පාප කර්මයකි. එසේම
ප්‍රත්‍යුපකාර නොකොට කළ උපකාර පවා අමතක කරමින් ඒ අයට විවිධ ද්‍රෝහීකම්
කරන්න අධම මිනිසුන් ද මේ සමාජයේ නැත්තේ නොවේ. ඔවුන් කර ගනු ලබන්නේ ද
විශාල පාප කර්මයකි.
මහා කපි ජාතක කතාවේදී අතරමං වී වළක වැටී සිටි මිනිසා වළෙන් ගොඩට ගෙන
ජීවිතය බේරා දුන් එම වදුරාව ගලකින් ගසා මරා කෑමට එම මිනිසාම පෙළඹෙන
අයුරු කියාපායි. එම මිනිසා තුළ වඳුරා ලඟ තිබුණු ගුණය පවා නොමැති මිනිස්
තිරිසනෙකු බව මනාව පැහැදිලි වෙයි. මෙවන් මිනිසුන් අදත් අප සමාජයේ දැක
ගත හැක. තම ගෙදර ඇති කරමින් තමන්ට විවිධාකාර උපකාරී වන ගවයා මරා මස් කන
මිනිස්සු මේ ධර්මද්වීපයෙහි සිටිති. එපමණක් නොවෙයි. තමා ඇති දැඩි කළ
මව්පියන්ට පවා අඩන්තේට්ටන් කරන සමහර විට මරණයට පවා පත් කරන මිනිස්
තිරශ්චීනයින් පවා සිටින බව කිව යුතුය. අද අප රට ගුණධර්ම වලින් පිරිහී
ගෙන යන්නේ මෙම කළ ගුණ නොදත්කම මුල් වීමෙන් බව පෙනෙයි.
එම නිසා පින්වත ඔබත් මෙම සමාජ පැවැත්මට පවා මුල් වන සාර ධර්මවල දැඩි
සබඳතාවයට පවා හේතු වන මෙම කතඤ්ඤතා ගුණය මනාව වටහා ගෙන එය ක්‍රියාවට
නංවමින් ඔබේ දෙලොව දියුණුව සළසා ගන්න.
මෙම ගාථාවෙහි අවසාන මංගල කාරණය වන්නේ සුදුසු කල ධර්ම ශ්‍රවණය කිරීමයි.
ධර්මය ඇසීම හැම කාලයටම සුදුසුයි. එහෙත් හැම කලම ධර්ම ශ්‍රවණයට ඉඩකඩ
නොමැත. දහම් සොඬ කතා පුවතට අනුව ධර්මය දත් අය නොමැති කාල ද උදාවිය හැක.
‘සද්ධමෙමා පරම දුල්ලභො’ යනුවෙන් පෙන්වා දී ඇත්තේ ද මෙම ශ්‍රී සද්ධර්මය
ඉතාම දුර්ලභ බවයි. ඊට සැදැහැසිත් පහළ විය යුතුයි. බුද්ධොත්පාද කාලයක
මිනිස් බවක්ම ලබා සිටිය යුතුයි. මේ සියල්ල එක් වූ විට ධර්ම ශ්‍රවණයට
කාලය උදා වෙයි.
අද දසතින් බණ දහම් ඇසෙන කාලයකි. බණ දහම් දැකීමට පොතපත ජනමාධ්‍ය ඕන තරම්
පහසුකම් ඇත. එහෙත් කියන තරම් බණ අසන ඒවා පිළිපදින පිරිස විරල බව
පෙනෙයි. ධර්මය ඇසීමෙන් අපේ දැනුම වැඩි දියුණු වෙයි. දැනගත් ධර්මය
තහවුරු වෙයි.
සිත පිරිසුදු වෙයි. පාපී චේතනා යටපත් වී අප සුමගට ;යාමු කරවයි. මෙහි
ප්‍රතිඵලයක් ලෙස ආචාරශීලී ගුණ ගරුක දැහැමි ප්‍රතිපත්තිවලින් පිරිපුන්
මනා පෞරුෂයකින් හෙබි සාමකාමී පිරිසක් බිහි වෙයි. එවන් ධර්මකාමී
පුද්ගලයින් බවට පත්වීම සඳහා මේ මංගල කරුණ ක්‍රියාත්මක කළ යුතුය. |