Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිරිත් දෙසුමේ විවිධ සම්ප්‍රදාය

ප්‍රාග් බෞද්ධ යුුගයේ ජීවත් වූ මනුෂ්‍යයෝ තමන්ට සිදුවන රෝග ආදී විවිධ දුෂ්කරතා යම්කිසි ගුප්ත බලයක් මගින් සිදුවන දේ ලෙස එදා දැඩිව විශ්වාස කළහ. ඔවුහු ඒවායින් මිදීමට විවිධ යාගහෝම සහ බලිබිලි පැවැත්වීමට පුරුදුව සිටියහ. එවැනි නිෂ්ප්‍රයෝජනවත්, අමනෝඥ ක්‍රියාවලින් ජනතාව මුදා ගැනීමට එදා බුදුරජාණන් වහන්සේ ඤාති බලි, අථිති බලි, රාජ බලි, දේවතා බලි සහ පුබ්බපේත බලි යන පඤ්ච බලි ඉදිරිපත් කළහ. ‘ද්වේ මේ භික්ඛවෙ යාගා, ආමිස යාගො ච ධම්ම යාගො ච’ යනුවෙන් අර්ථවත් යාග දෙකක් සිදු කිරීමට ජනතාවට මඟ පෙන්වූහ.

එයින් ආහාරපාන, ඇඳුම් පැළඳුම් ආදී ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ආමිස යාගයට අයත් වෙයි. පිරිත් දේශනාව අයත් වන්නේ, මෙයින් ධර්ම යාගයටයි. පිරිසුදු වූ චිත්ත බලය උපයෝගි කර ගනිමින් මෙලොව විවිධ සම්පත් ලබාගත හැකි බුද්ධ මන්ත්‍රයක් වශයෙන් ද පිරිත හැඳීන්විය හැකි ය. බොදු බැතියෙන් යුතුව එදා සිට අද දක්වාම ජිවිතයේ විවිධ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ද, සෞභාග්‍යය උදාකර ගැනීම සඳහා ද ශාන්ති කර්මයක් වශයෙන් පිරිත භාවිතා වෙයි.

‘පිරිත’ යන්නෙන් කියැවෙන අර්ථයද විමසීම වැදගත් ය. ‘පරිසමන් තතො තායති රක්ඛති ති පරිත්තං’ යනුවෙන් හාත්පසින්ම ආරක්ෂාව සලසන බැවින් පිරිත නම් වෙයි යනු එහි අර්ථයයි. ‘පරිතොච සබ්භූපද්දවතො තායතීති පරිත්තං’ සියලු උවදුරු වලින් ආරක්ෂා කරන හෙයින් පිරිත වේ යැයි අටුවාවේ තවදුරටත් එය විග්‍රහ වී ඇත. එහෙත් කර්ම විපාකයක් අනුව යම් විපතක් වූ විට එයට පිහිට වීමට අපහසු බැව් ‘කම්මවිපාකජානං පන සබ්බභෙසජ්ජානිපි සබ්බපරිත්තානිපි නාලං පටිඝාතාය’ යන අටුවා පාඨයෙන් පෙන්වා දෙයි. එහි කම්ම විපාක වශයෙන් බලගතු ගරුක කර්ම සලකන්නට ඇතැයි සිතිය හැකි ය. සාමාන්‍ය අකුසල කර්මවල බලපෑම පිරිතේ බලයෙන් හීන කරගත හැකි බැව් දීඝායු කුමාරයාගේ කතාවෙන් පැහැදිලි වෙයි.

ත්‍රිපිටකයට අයත් මහානුභාව සම්පන්න සූත්‍ර සමුහයක් ඒකරාශි ;කාට පිරිත් පොත නිර්මාණය කර ඇත.

එය බණවර සතරකින් යුක්ත ය. ත්‍රිපිටකය තුළ පැවැති මහානුුභාව සම්පන්න සූත්‍ර එකතු කොට පිළියෙල කොට ඇති පිරිත් පොතට බෞද්ධ ජනතාව දක්වනුයේ අසීමිත ගෞරවයකි. ‘පිරිත් පොත් වහන්සේ’ යනුවෙන් ව්‍යවහාර කිරීමෙන් ඒ බව පැහැදිලි වෙයි.

වෙනත් ආගමික කටයුතු මෙන් නොව පිරිත් කීම අවශ්‍ය ඕනෑම වේලාවක ඕනෑම දවසක ඕනෑම ස්ථානයක කළ හැකි ය. එමනිසා අදාළ අවස්ථාවට යෝග්‍ය පරිදි වරු පිරිත්, තිස් පැයේ පිරිත්, තිස් පැය හතේ පිරිත්, සති පිරිත්, වශයෙන් භික්ෂූන් වහන්සේ පිරිත් සජ්ක්‍ධායනා ක්‍රම සකස් කරගෙන ඇත. ඒ සමඟම මෙසේ එක් එක් කාල පරාසයක් තුළ පවත්වන පිරිත්වල අන්තර්ගත දේශනා ශෛලීය මෙන්ම ඒ සඳහා අනුගමනය කරන උපචාර විධි, චාරිත්‍ර සහ භාවිතා කරන පූජා භාණ්ඩ ද, අතිරේක ද්‍රව්‍ය ද වෙනස් ආකාරයෙන් සකස් වී ඇත.

පිරිස් දේශනා කිරීම සඳහා විවිධ දේශනා ශෛලීන් සහ සජ්ඣායනා ක්‍රම සකස් වූයේ පසු කාලීනව පිරිත, සෙත් පැතීමේ බෞද්ධ චාරිත්‍රයක් බවට පමණක් නොව ජනපි‍්‍රය උත්සවයක් බවටද පත්වීමත් සමඟය. බුද්ධ දේශනාව ධාරණය කර ගැනීම සඳහා එය හඬ නඟා උච්චාරණය කිරීම, ශාසනයේ ආරම්භයේ සිටම භික්ෂූන් වහන්සේ අතර පැවැති පිළිවෙතක් වුවත්, පිරිත් සජ්ඣායනා කිරීම හුදෙක් උච්ච ස්වරයෙන් ශබ්ද නඟා බුද්ධ වචන ප්‍රකාශ කිරීමක් නොවේ. එසේම එය බුද්ධ වචනය ගීත ස්වරයෙන් ගායනා කිරීමක් ද නොවේ. බුදුරජාණන් වහන්සේ විසින්ම බුද්ධ වචනය ගීත ස්වරයෙන් ගායනා නොකළ යුතු බව නියම කොට , එහි ආදීනව ද මෙසේ දක්වා ඇත. එනම්,

මහණෙනි, දික් වූ ගී හඬින් දහම් ගැයීමෙහි ආදීනව පසෙකි, තෙමේත් ඒ හඬෙහි ඇලෙයි, අන්හු ද ඒ හඬෙහි ඇලෙත්, ගිහියෝ ද ලාමක කොට සිතත්, ස්වර ක්‍රියාව (හඬ නැංවීම) පතන මහණහුගේ චිත්ත සමාධිය ද ඉන් බිඳී යයි. පශ්චිම ජනතාව එයින් දෘෂ්ටානුගතියට පැමිණෙයි. මහණෙනි, දික් වූ ගී හඬින් දහම් නොගැයිය යුතුයි. යමෙක් ගයන්නේ් වී නම් ඔහුට දුකුලා ඇවැත් වන්නේ ය’ යනුවෙනි.

එසේ වුවත් ධර්මය මිහිරි කටහඬින්, මධුර ස්වරයෙන් ප්‍රකාශ කිරීම අසන්නාගේ ප්‍රසාදයට හේතුවන බවත් උන්වහන්සේ ප්‍රකාශ කර ඇත. එසේම මධුර ස්වරයෙන් විචිත්‍ර ආකාරයෙන් ධර්ම දේශනා කරන ශ්‍රාවකයන් අතර අග තනතුරු පවා ඇතැම් ශ්‍රාවකයන්ට ලබාදී ඇත.

එතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛුනං මඤ්ජුස්සරානං යදිදං ලකුණටක භද්දියො එතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛුනං චිත්තකථිකානං යදිදං කුමාරකස්සපො’

මේ අනුව පෙනී යන්නේ අසන්නන්ට පි‍්‍රය උපදවන ආකාරයෙන් ධර්මය සජ්ඣායනා කිරීම බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදයට ලක් වූ බවයි. තමන් කියන දෙයෙහි අර්ථය වටහා ගනිමින්, නිවැරැදි උච්චාරණයක් ඇතිව සජ්ඣායනා කිරීම උතුම් කොට සලකා ඇත.

එවැනි සජ්ඣායනා සරභඤ්ඤ යනුවෙන් හැඳින්වේ. මේ අනුව සරභඤ්ඤ ලක්ෂණයෙන් යුතු දේශනාව බුදුන් වහන්සේ අනුමත කළ සජ්ඣායනා ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. පසු කාලයෙහි පිරිත් වශයෙන් තෝරාගත් සූත්‍ර හා වෙනත් දේශනා සජ්ඣායනා කිරීමේදී මෙම සරභඤ්ඤ ලක්ෂණය තවදුරටත් සංවර්ධනය වී ඇති බව අටුවා අර්ථ කථනවලට අනුව පෙනී යයි.

පිරිත් දේශනාවේ ආරම්භය බුද්ධ කාලය ලෙස සැලකිය හැකි වුවද වර්තමාන පිරිත් දේශනා ශෛලිය කවර කාලයක සිට ආරම්භ වූවක් දැයි නිශ්චය කර ගැනීම අපහසු ය. කෙසේ වුවත් අපේ රටේ පිරිත් දේශනාව ජනපි‍්‍රය ශෛලියකින් යුතුව දියුණු වූයේ කොළඹ යුගයේ දී යැයි සිතා ගැනීම, වඩාත් සාධාරණ ය. එසේම ශ්‍රී ලංකාවේ පිරිත් දේශනා ශෛලිය පිළිබඳ ප්‍රාදේශීය වශයෙන් සුළු සුළු වෙනස්කම් දක්නට ඇතත් සමස්ථයක් වශයෙන් ගත් විට ඒ වෙනස්කම් එතරම් වැදගත් නැත.

මහ පිරිත් දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් පිරිත් පේ කිරීම බොහෝ ප්‍රදේශවල එකසේ දක්නට තිබුණ ද, දකුණු පළාතේ පිරිත් පේ කිරීම අවිජ්ජා පච්චියා සංඛාරා.... යන්නේ ආරම්භ කරනු ලැබේ.

කොළඹ ප්‍රදේශයේ පිරිත් පේ කිරීම ජයමංගල ගාථාවන්ගෙන් ආරම්භ කරනු ලැබේ. දකුණු පළාතේ් සූත්‍ර දේශනාවේදී කොළඹ ප්‍රදේශයේ මෙන් සූත්‍ර හතක් දේශනා නොකොට ධම්මචක්කය හා මහාසමය යන සූත්‍ර දෙක පමණක් දේශනා කරති. නමුත් විශේෂම අවස්ථාවලදී සූත්‍ර හතම දේශනා කිරීමත් දක්නට ලැබේ. වයඹ පළාතේ සහ උඩරට හතර දෙනා වහන්සේ බැගින්වූ ගණ සජ්ඣායනයම දක්නට ලැබෙන්නේ්ය. මහ පිරිත් දේශනාවකදී දෙනමක් පුරමින් කීමේ සිරිත ද එම ප්‍රදේශවල මුලදී දක්නට නොලැබිණි. කොළඹ පවතින ක්‍රමය වඩා ජනපි‍්‍රය වීම නිසා, දැන් දැන් ඒ ප්‍රදේශවල ද මුලින් දෙනමක් පුරමින් කීම බහුලව දක්නට ලැබේ. පිරිත් දේශනාවකදී අනුගමනය කරනු ලබන චාරිත්‍ර වලද යම් යම් වෙනස්කම් ඒ ඒ පළාත් වශයෙන් දක්නට ඇතත් ඒවා තුළ එතරම් වටිනාකමක් පෙන්නුම් නො කෙරේ.

කෝට්ටේ සංඝ සභාවට අයත් භික්ෂූන් වහන්සේ කෝට්ටේ යුගයේ පිරිත් දේශනාව පිළිබඳ විශේෂත්වයක් හිමිකරගෙන සිටිති. උන්වහන්සේගේ පිරිත් දේශනාව ‘කෝට්ටේ පිරිත’ නමින්ද ප්‍රසිද්ධ වී ඇත. කොළඹ යුගයේ පිරිත් දේශනාව ඒ පිළිබඳ ඉතා ජනපි‍්‍රය වූ තෙරුන් වහන්සේ මූලිකත්වයෙහි තබමින් ප්‍රධාන යුග තුනකට බෙදනු ලැබේ. මෙම බෙදීම එම කාල පරිච්ඡේද වඩාත් කළඑළි කළ යතිවරයන් වහන්සේ වෙනුවෙන්, උන්වහන්සේට ගෞරවයක් වශයෙන් කරන ලද්දකි.

1. පලාතොට ඉන්ද්‍රජෝති නා හිමි යුගය (දහනව වන සියවසේ අග සිට විසිවන සියවසේ මැද භාගය දක්වා)

2. වත්තල සීලරතන නාහිමි යුගය (විසි වන සියවසේ මැද භාගයේ සිට අවසානය දක්වා)

3. මහරගම නන්ද නා හිමි යුගය (වත්මන් යුගය)

තුන්වන යුගය මහරගම නන්ද නාහිමි යුගයයි. මෙම යුගයේ වැඩ සිටින පිරිත් දේශකයන් වහන්සේ වැඩි දෙනෙක් වත්තල සීලරතන නා හිමියන්ගේ ආභාෂය ලද භික්ෂූන් වහන්සේ ය. වර්තමානයේ බොහෝ භික්ෂූන් වහන්සේ එම ශෛලිය අකුරටම අනුගමනය කරනු දක්නට ලැබේ.

එම නිසා අද බොහෝ ස්ථානවල පිරිත් දේශනාවක් ඇසෙන විට වත්තල හාමුදුරුවන් නිතැතින්ම සිහියට නැගෙන්නේ ය. මෙම මෙම යුගයේදී කලින් පැවැති තත්ත්වය වඩාත් දියුණු වී ගොස් පිරිත පිරීමේ දී දෙනමක් සිටිය ද එක නමකගේ් හඬම වඩා ඉස්මතුව ඇසෙන්නේ ය. මුල් යුගයේ දී ප්‍රසිද්ධ බොහෝ භික්ෂූන් වහන්සේ තුළ පිරිත් පිරීම, අනුශාසනා අස්න දේශනාව, ආසන දෙකේ බණ ආදි හැම විචිත්‍ර දේශනාවකටම එක විදියේ දක්ෂතාවක් තිබිණි. නමුත් දෙවන යුගයේ අවසානයත්, තුන්වන යුගය ගැනත් සිතන විට එසේ සියලු දේශනා පිළිබඳ පැවැති හැකියාව ද ක්‍රමානුකූ®ලව ගිලිහී ගිය බවක් පෙන්නුම් කොට ඇත. එය පෙන්නුම් කරන ලක්ෂණ නම්

1. ස්වර ව්‍යඤ්ජනාක්ෂර, අල්පප්‍රාණ- මහප්‍රාණ ආදිය උච්චාරණයේදී සැලකිල්ලක් නොදැක්වීම

2. පාලි භාෂාවෙන් ඇති පිරිත සිංහලට නගා දේශනා කිරීම

3. පිරිතෙහි ඇතුළත් ඇතැම් කොටස් ප්‍රතික්ෂේප කිරීම

4. පිරිත හා සම්බන්ධ ඇතැම් සිරිත් විරිත් ප්‍රතික්ෂේප කිරීම

5. සම්ප්‍රදායානුකූ®ල සජ්ඣායනයෙන් බැහැර වීම යනාදියයි.

මෙවැනි තත්ත්වයක් වර්තමාන පිරිත් සජ්ක්‍ධායනා වලදී බහුලව දක්නට ලැබීම ඉතා කනගාටුදායක තත්ත්වයකි.

එදා සිට අපේ සම්ප්‍රදාය තුළ පිරිතෙහි ඇතුළත් අක්ෂර පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන ලදී. ඉතා ක්‍රමානුකූ®ලව ස්වර ව්‍යඤජන මාත්‍රා හා ඡන්දස වැනි ව්‍යාකරණ විධි මෙන්ම සජ්ඣායනයේදී නිසි ආකාර පද බෙදීම් ද අනුගමනය කරන ලදී. එහෙත් අද ඒ වෙනුවට බොළඳ සරළ සිංහල වචන භාවිතා කරමින් පිරිත් සජ්ඣායනා කරනු බොහෝ විට ඇසෙයි. එහිදී නියමිත උච්චාරණ විධි පිළිබඳ කිසි සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් දිනෙන් දින පිරිත් දෙසුමට සිදුවන්නේ විශාල හානියකි. ථෙරවාදි සම්ප්‍රදායෙහි ඇතුළත් ආටානාටිය වැනි පිරිත් සූත්‍ර ප්‍රතික්ෂේප කිරීම ද පරිහානියේ තවත් අංගයකි. එසේම ඇතැම් පිරිස්, පිරිත පිළිබඳ අමනෝඥ අර්ථකථනක සැපයීමත්, එය සැහැල්ලුවට ලක් කිරීමත්, ශාසනික වශයෙන් අද විශාල ඛේදවාචකයක් වී ඇත. මෙවැනි තත්ත්ව උද්ගත වීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ පිරිත පිළිබඳ හා පිරිත් දේශනා ශෛලිය පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යාපනයක් ලබා ගැනීමට යම් ආයතනයක් ස්ථාපිත වී නොතිබීම බව ඉතා පැහැදිලිය.

පිරිත් දේශනා ශෛලීන් ආරක්ෂා කර ගනිමින් එය තවත් අපේ අනාගත පරම්පරා කිහිපයකටම නිවැරදි ලබා දීමේ අවශ්‍යතාව අද තදින් දැනෙන දෙයකි. මේ සඳහා කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක සරභඤ්ඤ විශාරද, පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ ගේ අනුශාසකත්වයෙන් නව වැඩපිළිවෙළක් අරඹා ඇත.වාළුකාරාමය කේන්ද්‍ර කොටගෙන සිදුවන මෙම වැඩපිළිවෙළහි ප්‍රධාන අරමුණ වන්නේ ශාසනික අභිවෘද්ධිය උදෙසා භික්ෂූන් වහන්සේට ඉතා කුමානුකූලව, විධිමත්ව පිරිත් දේශනා පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම යි. බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වරට සිදු කෙරෙන මෙම පරිත්‍රාණ පුහුණු ව්‍යාපෘතියේ පුහුණු කිරීමේ ප්‍රධාන සංවිධායක ලෙස කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක, සාරභඤ්ඤ විශාරද පූජ්‍ය මාපලගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කටයුතු කරති. වර්තමානයේ පිරිත් දේශනාව උද්ගත වී ඇති බරපතල ඛේදවාචකයෙන් මුදවා එහි දේශනා ශෛලීන් හා සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීම, මෙහි මූලික අරමුණ වී ඇත. නොමිලේ පවත්වන මෙම පුහුණු ව්‍යාපෘතිය සඳහා ඕනෑම භික්ෂූන් වහන්සේ නමකට සහභාගි විය හැකි ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.